අන්තවාදින්ට ප්‍රහාර එල්ල කළ මාධ්‍යවේදිනිය මරා දමලා

අන්තවාදින්ට ප්‍රහාර එල්ල කළ මාධ්‍යවේදිනිය මරා දමලා

කන්නඩා භාෂාවෙන් පවතින “ලන්කේෂ් පත්‍රිකා” නමැති ටැබ්ලොයිඩ් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි ගෞරි ලන්කේෂ් මෝටර් සයිකලයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් තිදෙනෙකුගේ වෙඩි ප්‍රහාර වලට ලක් ව ජීවිතයෙන් සමු ගැනීමේ පුවත මාධ්‍ය කේෂත්‍රයේ පමණක් නොව දේශපාලන කේෂත්‍රයේ ද මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් විය.

ගෞරි ලන්කේෂ් අන්තවාදී හින්දු ජාතිවාදයට එරෙහිව සිය පෑන මෙහෙයවන නිර්භිත මාධ්‍යවේදිනියක් ලෙස සෙසු මාධ්‍යවේදීන්ගේ ගෞරවයට පාත්‍ර වූ චරිතයකි.

පනස් පස් වියේ පසු වූ ඇය රාජකාරී කටයුතු නිමවා බැංගලෝරයේ පිහිටි තම නිවස අසලදී මෝටර් රථයෙන් බැස නිවස කරා යමින් සිටියදී හිටි හැටියේම එතැනට මෝටර් සයිකලයකින් පැමිණි තිදෙනෙක් ඇයට වෙඩි පිට වෙඩි තබා පලා ගියහ. හිසට හා පපුවට වෙඩි වැදී ලේ විලක් මැද ඇය නිවසේ ඉස්තෝප්පුවේ වැටී මැරී සිටියාය.

මෙම ඝාතනය සිදුවන අවධියේ කර්නාටක ප්‍රාන්තයේ ඡන්ද උණුසුම ඉතා ඉහළ තත්ත්වයක පැවතිණි. කොංග්‍රස්පක්ෂයේ රජයක් මගින් පාලනය වන කර්නාටකයේ බලය අල්ලා ගැනීමට අගමැති නරේන්ද්‍ර මෝද්ගේ භාරතීය ජනතා පක්ෂය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියේය.

“හින්දුත්ව දේශපාලනයට කුලවාදසට එරෙහිව කථා කළහොත් එම තැනැන්තා මාවෝ වාදියෙකු ලෙස හංවඩු ගසනවා. මමත් ඒ අයුරින් හින්දු අන්තාවාදයට එරෙහිව කටයුතු කිරීම නිසා මම නම් කර ඇත්තේ හින්දු විරුද්ධවාදියෙකු ලෙසටයි. ඒත් එය මා සතුව පවතින පුරවැසි යුතුකමක්. ආචාර්ය අම්බෙඩ්කාර් ගේ චින්තනය අනුව සමානාත්මතාවය පවතින සමාජයක් ගොඩනැගීමට පවතින යුතුකමක් ලෙස මම එය සලකනවා.” යනුවෙන් ගෞරි ලන්කේෂ් ඉතාම නිර්බයව සිය අදහස් ප්‍රසිද්ධ කළාය.

ඉන්දීය මාධ්‍යවේදී සමාජය විසින් ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් පණ්විඩයක් නිකුත් කරමින් මෙසේ කියා සිටියේය.

“ඇය ඉතාම නිර්භිත එසේම හැමවිටම අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි නිදහස් මාධ්‍යවේදිනියක්. ඒ නිසාම ඇගේ හඬ නිශ්ශබ්ද කිරීම සඳහා මෙම සාහසික මරණය සිදුකර තිබෙනවා. කෙනෙකුගේ අදහස් වලට විරුද්ධ නම් මේ වගේ විවෘතව කථා කරන මාධ්‍යවේදිනියක් කිසිදු හව්හරණක් නොමැති වේලාවක මරා දැමීම මාධ්‍ය නිදහසට එරෙහිව කරන ලද මාරාන්තික ප්‍රහාරයක් ලෙස සැලකිය යුතුයි.“

හින්දු අන්තවාද සංවිධාන වලට දරුණු ප්‍රහාරයන් එල්ල කළ ගෞරි භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයින්ට එරෙහිව වංචා රැසක් හෙළි කර තිබිම නිසා ඊට එරෙහිව පැවති අපහාස නඩු විභාගයේදී ඇය වැරදිකාරිය බවට පත් වූවාය. එම තීරණයට එරෙහිව ඇපැලක් ඉදිරිපත් කර තිබු අවස්ථාවක ඇගේ ඝාතනය සිදුවී ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබිණ.

“ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කිරීමක්” ලෙස හඳුන්වනු ලැබු මෙම අපරාධයට එරෙහි ඉන්දියාව පුරා මාධ්‍යවේදීන් දැවැන්ත උද්ඝෝෂණ පවත්වා ගෙන යන බවට වාර්තා ලැබෙන අතර කොංග්‍රස් පක්ෂයේ නායකයෙකු වන රාහුල් ගාන්ධි “මෙම මිනී මැරුම භාරතීය ජනතා පක්ෂයට සහ එම පක්ෂයට සම්බන්ධ දක්ෂි ආංශික හිතවතුන්ට එරෙහිව විවේචනය කරන අයට එල්ල කළ අනතුරු හැඟවීමක්” ලෙස හඳුන්වා ඇත.

එහෙත් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ භාරතීය ජනතා පක්ෂය කියා සිටියේ කර්නාටක ප්‍රාන්තයේ වර්තමාන පාලනයේ පවතින දුර්වලතාවය නිසා නීතිය හා සාමය නොසෑහෙන ලෙස කඩ වී ඇති බවයි. එයට කොංග්‍රස් පක්ෂය වගකිව යුතු බවත් ඔවුන් අවධාරණය කරයි.

කර්නාටක ප්‍රාන්තයේ ප්‍රධාන පොලිස් අධ්‍යක්ෂ ආර්.කේ. දන්තා මෙම ඝාතනය පිළිබඳව කිසිවකු ගැන සැක කිරීමට දැන්ම නොහැකි බව ප්‍රකාශ කළ අතර මෑතකදී ගෞරි තමාට හමු වූ නමුත් ඇයගේ ජීවිතයට අනතුරක් ඇති බව ඇය තමා සමඟ නොපැවසු බවද හෙතෙම පැවසීය. එසේම මෙම ඝාතනය පිළිබඳ පරික්ෂණ පවත්වන බවද ඔහු ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදින් ආරක්ෂා කිරීමේ සංවිධානය මෙම ඝාතනය පිළිබඳව තම විරෝධය පළ කරමින් ප්‍රකාශ කළේ “බිය සැක නැතිව කථා කළ ඉන්දියානු මාධ්‍යවේදින් 27 දෙනෙකු මේ වන විට මරා දමා ඇති බවය. එසේම හින්දු අන්තවාදීන්ට එරෙහිව කටයුතු කළ උගතුන් තිදෙනෙකු මීට පෙර මරා දැමීමට ගෞරිගේ ඝාතනය ද එක්වන බව මාධ්‍යවේදීන් ප්‍රකාශයට පත් කළේ දිල්ලිය ඇතුළු ප්‍රධාන නගර රැසක විරෝධතා රැළි පවත්වන අතරතුරය.

රෝහණ ආර්යරත්න