“දේවාලේ කපුවා මාව ගෙන්න ගත්තා”

“දේවාලේ කපුවා මාව ගෙන්න ගත්තා”

සුගතිගාමීවීමට හෙවත් සදිව්‍ය ලෝකවල හෝ මනුෂ්‍ය ලෝකයේ උපත ලැබීමට නම් මරණාසන්න මොහොතේ ත්‍රිහේතුක කුසලයක් චුති චිත්තයට අරමුණු විය යුතුය. ඒ අවස්ථාවේ සිතට මතුවන අරමුණෙහි ලෝභය, ද්වේෂය හෝ මෝහය තිබුණහොත් ඔහුගේ හෝ ඇයගේ ඊළඟ උපත සතර අපාගත උපතක්මය. තවත් පැහැදිලි කළොත් මරණාසන්න මොහොතේ අඹු සැමි දූ දරු, මිතුරු සතුරු පුද්ගලයකු හෝ ගේ දොර වස්තු සම්පතක් හෝ ණය ගනුදෙනුවක් හෝ යුතුකම් පැහැර හැරීමක් හෝ සිතට අරමුණු වුවහොත් ඒ අරමුණ තුළ ලෝභයක්් ආශාවක් ආදරයක් හෝ තරහක් අමනාපයක්, වෛරයක්, ඊර්ෂ්‍යාවක් , කණගාටුවක් ගැබ්වීම අනිවාර්යය වේ. එසේ නම් ඔහු හෝ ඇය සතර අපායේ උපත ලබයි. එසේ නම් මේ මිනිස් භාවයෙන් නික්ම යන අයගෙන් ලක්ෂයකට එක් අයෙක්වත් සුගතිගාමී නොවේ.

එසේ නම් දුගතිගාමීව එසේ මැරෙන අයගෙන් බොහෝ දෙනෙකු අමනුෂ්‍යයන් වී අප ජීවත්වන පරිසරයේම උපත ලබති. අවුරුදු කෝටි ගණනක සිට මේ මගේ නෑදෑයාය. මිතුරාය, සතුරාය, මගේ වස්තුවය,මගේ දේපළ යැයි මරණ අවස්ථාවේ සිතට සිතුවිලි නැගුණු පිරිස කෝටි ප්‍රකෝටි ගණනකි. ඔවුහු අප ජීවත්වන පරිසරය තුළම කර්මානුකූලව විවිධ හැකියාවන්, විවිධ අඩුපාඩු ඇතිව අපට නොපෙනෙමින් ජිවත් වෙති. ඔබට හා මට ද මරණාසන්නයේ දී දුගතිගාමී දෙයක් සිහිපත් වුණොත් අනිවාර්යෙන්ම මෙලෙස සතර අපායේම උපදිති.කෙනෙක් ගොනෙක් කරත්තයේ බැඳ වැඩ ගනියි. රිලවෙක්, නයෙක් අල්ලා ගෙන නටවා ආදායමක් ලබයි. එසේම සමහර ඇදුරෝ ද දේවාල කපුවෝද එසේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර මගින් අමනුස්සයන් බැඳගෙන වැඩ ගනිති

. ජීවන්ත හොරණ ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි ව්‍යාපාරිකයෙකි. පවුල අවුල් වී බිරිඳ හා දරු දෙදෙනා ඔහු අතහැර ගොසිනි. ව්‍යාපාර බංකොලොත් වී ඇත. නිවසේ අසාමාන්‍ය සද්ද බද්ද හා දුර්ගන්ධයක් පවතී. ඔහු රාත්‍රී නින්දේ දී බියටපත්ව කෑ ගසාගෙන අවදි වෙයි. ශාරීරිකව වේදනා මතු වෙයි. මේ අසාමාන්‍ය තත්ත්වයන් හා අසනීප නිසා ජීවන්ත විවිධ වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් වත් පිළිවෙත් කළත් සුවයක් හෝ සහනයක් නොවීය.

“මාංචු” පත්‍රය කියවන මිත්‍රයකුගේ දැනුවත් කිරීමක් මත ජීවන්ත ඒ මිත්‍රයා සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන ගියේය. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන් පත්ව සිටින අසහනකාරී තත්ත්වය පැහැදිලි කළේය.

පළමු ගවේෂණයේ දීම ජීවන්ත ගැහෙන්නට වූ බැවින් මෙහි අමනුෂ්‍ය දෝෂයක් ඇතැයි නිගමනය කළ ගවේෂකවරයා ඔහුට දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්ව ා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ප්‍රතිකාර ආරම්භ කරන විට ම ජීවන්තගේ ශරීරයට භූතාත්මයක් ආවිශ්ට වී කතා කරන්නට විය. ගවේෂකවරයා භුතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?”

“නම මතක නෑ.” භූතයා කීවේය.

“මොනවද මේ කරන්නේ?”

“මම මූ එක්කම ඉන්නේ. මම මූව දාලා යන්නේ නෑ. මූ ලවා ගෙදර රණ්ඩු කරවනවා. අහල පහළ අයත් එක්ක රණ්ඩු කරවනවා.

“ඇයි ඒ? මොකද්ද හේතුව ?”

“ඒක කියන්නේ නෑ.”

“කරුණාකර හේතුව කියන්න.”

“ඒවා මගෙන් අහන්න එපා. මම කියන්නේ නෑ.”

ගවේෂකවරයා ශක්ති කිරණ එල්ලකොට භූතාත්මය පුච්චන්නට විය.

“පුච්චන්න එපා. පුච්චන්න එපා. දැවිල්ලයි. දැවිල්ලයි.”

භූතයා වේදනාවෙන් කෑ ගසන්නට විය.

“එහෙම නම් අහන දේවල්වලට උත්තර දීපං. නැත්තම් තවත් පුච්චනවා. ඇත්ත කියපන් ඇයි මේ ශරීරයට ආවේ?”

“අනේ, ආවා නෙමෙයි, මාව එව්වා.”

“කවුද එව්වේ?”

“මූ නිතර යන එන දේවාලයෙන්.”

“කොහේද ඒ දේවාලය තියෙන්නේ?”

“හොරණ”

“එතැනින් මොනවද කළේ?”

“මූට සල්ලි තියෙන බව දැනගත්ත කපුවා මා ලවා නිතර මූව ගෙන්න ගත්තා.”

භූතාත්මය ශරීරයෙන් ඉවත් කළ ගවේෂකවරයා භූතයා කියන කතාව ඇත්තක් දැයි ජීවන්තගෙන් ඇසීය.

දැනට අවුරුදු පහක තරම් කාලයක සිට තමන් හොරණ දේවාලයට යන බවත්, අවට සිටින අය ඉරිසිරියාවෙන් තමන්ට හූනියම් කළ බවත් ඒවායෙන් තමන් ආරක්ෂාව ගත්තේ ඒ දේවාලයෙන් බවත් ජීවන්ත පැවසුවේ හොරණ දේවාලය ගැන තවමත් විශ්වාසයක් ඇති බවද කියමිනි. තමන් සෑම සති දෙකකට වරක් නොවරදවා ඒ දේවාලයට ගිය බවත් ඒ සෑම වාරයකම රුපියල් 5000/-ක් කපුවාට දුන් බවත් ඔහු තව දුරටත් කීවේය.

“තමුන් සෑම මාසයකම කපුවාට රු 5000/-ක් කපුවාට දුන්නම තමන්ගේ ව්‍යාපාර පිරිහෙන්නේ නැතුව තියේවිද?”

ගවේෂකවරයා ජීවන්තගෙන් ඇසීය.

“..............................................................” ජීවන්ත නිරුත්තර විය.

“කවුද තමුන්ට හූනියම් කරලයි කියල කිව්වේ?”

“දේවාලේ කපු මහත්තයා”

“බිරිඳයි දරු දෙන්නවයි ගෙනත් දෙන්න කියලා කපුවාට කිව්වේ නැද්ද?” ගවේෂකවරයා ජීවන්තගෙන් ඇසීය.

ජීවන්ත නිරුත්තරව බිම බලාගත්තේය. ගවේෂකවරයා නැවතත් ඔහුගේ ශරීරයට භූතාත්මය දිෂ්ටි ගැන්වීය. ගවේෂකවරයා භූතයාගෙන් ප්‍රශ්න කළේය.

“තමුන් පේ‍්‍රතයෙක් වෙලා කපුවන්ට කඹුරනවා.මිනිස්සු දුකට පත් කරලා පවුල් අවුල් කරලා මහා පවක් කරගන්නවා නේද?”

“මොනවා කරන්නද මහත්මයා මමත් මූ වගේම ඒ කපුවාට අහුවෙලා ඉන්නේ,” භූතාත්මය කීවේය.

“ඇයි තමුන් එහෙම කළේ?”

“මහත්මයා, මට හොඳට සල්ලි තිබුණා. දවසක් ගෙදර වත්ත අතු ගගා ඉන්නකොට මගේ පපුව හිර වුණා. මගේ ශරීරය බිම වැටිලා තිබුණා. ඒත් මම නැගිටලා හිටියා. මම මැරිලා ජීවත් වුණා. ඊට පස්සේ මම ඔහේ තැන තැන ඇවිද ඇවිද හිටියා. එහෙම ඇවිදින කොට අනිත් භූතයෝ මට ගැහුවා. එතකොට මට කාගෙ හරි උදව් ඕනෑ කියලා හිතුණා. එතකොට මේ දේවාලයට මාව ඇදිලා ආවා. ඉතින් දැන් සතුටින් ඉන්නවා. මේ විස්තර කාටවත් කියන්න එපා කියලයි කපු මහත්තයා මට කියලා තියෙන්නේ භූතයා ගවේෂකවරයාට කීවේය.

“මොනවද විස්තර කිව්වේ?”

ගවේෂකවරයා ඇසීය.

“මහත්තයා පුච්චනකොට කිව්වා.”

“හොඳයි, හොඳයි, ඒත් දැන් තමුන් මේ ශරීරය අතහැර ඉවත්වෙලා යන්න ඕනෑ.”

“ඒක නම් කරන්න බැහැ.”

“බැහැ කියලා හරි යන්නේ නෑ. ඔය පේ‍්‍රතාත්මයේ දුක් විඳින්නේ නැතුව හොඳ සිද්ධස්ථානයකට ගිහින් පිනට දහමට යොමු වෙන්න. “

“බැහැ....බැහැ.... පන්සල්වලට යන්න මට බැහැ”

ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට පුච්චා භූතාත්මය දුර්වල කර පන්නා දැමීය.

නිවෙස් උදේ සවස ඉටු කළ යුතු බෞද්ධ පිළිවෙත් කීපයක් හා සජ්ඣායනා කළ යුතු පිරිත් සුත්‍ර කීපයක් ජීවන්තට නියම කළ ගවේෂකවරයා බිරිඳ සොයා ගෙනගොස් සත්‍යය පවසා ඇයත් දරු දෙදෙනාත් නිවසට කැඳවා ගෙන එන්නැයි ද අවවාද කළේය.

මතුගම මහින්ද විජේතිලක