" ඇයි මාව පුච්චන්නෙ මොන වරදක් කළාට ද ? "

" ඇයි මාව පුච්චන්නෙ මොන වරදක් කළාට ද ? "

තමන් දුක් මහන්සි වී ගොඩනගන ගේ දොරට මිනිස්සු ආදරය කරති. මේ මගේ නිවස මගේ කඩය මගේ කම්බි වැට මගේ තාප්පය යැයි ඔවුහු සිතින් ඇලී සිටිති. එයට හානියක්, පාඩුවක් වෙනවාට ඔවූහු අකමැති වෙති. රුපියලෙන් රුපියල එකතු කර ආරම්භ කළ ව්‍යාපාරය, වෙළඳාම දියුණු වූ විට මේ ව්‍යාපාරය මගේ යැයි කියමින් ඔවූහු සතුටු වෙති. ආශාවෙන් ඇලී සිටිති. එය වෙනත් කෙනෙකු “මගේ” යැයි සිතනවාට ඔවුන් අකමැතිය. තම බිරිඳ හෝ තම දරුවන් පවා එසේ සිතනවාට සමහරු අකමැතිය. ඇයි? රුපියලෙන් රුපියල එකතු කොට මේ ව්‍යාපාරය පටන් ගත්තේ “මමය” මෙය ආරම්භ කරන විට බිරිඳ “මා” සමඟ විවාහවෙලාවත් නැත. දරුවෝ ඉපදිලාවත් නැත. දිවා රාත්‍රී නිදි වරාගෙන දුක් මහන්සි වූයේ “මම” ය. ඒ නිසා මේ සියල්ල මාගේය. ඒවා මට හිමි දේය. එසේ සිතමින් ඔවූහු සතුටු වෙති.

මෙසේ සිතා සිටින මිනිසා සියල්ල වෙනස්වන, කැමැත්ත පරිදි නොපවතින ධර්මතාවය නොදන්නාකම හා, මරණයෙන් පසු නැවත උපතක් ඇති බව නොදැනීම නිසාත්, තණ්හාව උපාදාන වී ලෝභයෙන්, රාගයෙන්, ද්වේෂයෙන් මෝහයෙන් දුකට පත් වේ. මේ නිසා ඔවුන් සංසාර ගමන දිග් කර ගෙන සතර අපාගතව උපදී.

තිස් හැවිරිදි නිර්මාලි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි කාරියකි. ඇය මව ප්‍රේමවතී සහ අයියා ජයන්ත සමඟ එක්ව නිවසට යාබදව වෙළඳසලක් පවත්වා ගෙන යති. මෑතක සිට රාත්‍රියට මේ වෙළඳසල තුළ සද්ද බද්ධ ඇහෙන්නට පටන් ගැනිණි. වෙළඳාමට ගෙනා ආහාර ද්‍රව්‍ය ඉතා ඉක්මනින් නරක් වීම නිසා ඔවුන් සිටියේ අසතුටෙනි. ඒ අතර පවුලේ අය හීනෙන් බියට පත්ව කෑ ගසාගෙන අවදි වන්නට වූහ. ඒ සමඟම කඩේ වෙළඳාම ද සීඝ්‍රයෙන් අඩුවෙන්නට විය.

මේ නිසා ඇදුරන්ට මුදල් වැය කරමින් විවිධ වත් පිළිවෙත් කළත් කිසිදු සහනයක් නොලැබිණි. අන්තිමට “මාංචු” පත්‍රයේ “භූත ආත්ම” විශේෂාංගයේ සඳහන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන මේ මවත් දුවත් එහි ගියහ. එහිදී ආධ්‍යාත්මික උපදේශකවරයා මුණගැසී තමන්ට එළඹ ඇති තත්ත්වයන් පැහැදිලි කළහ.

පළමු ගවේෂණයේදී නිර්මාලි කෑ ගසා ගෙන සිහිසුන්ව ඇද වැටුණාය. ඔවුන්ට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව වටහාගත් ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට ඔවූහු නැවත පැමිණියහ. එදින ද ගවේෂකවරයා නිර්මාලී දිෂ්ටි ගැන්වීය. භූතාත්මය දත් සපමින් රෞද්‍ර ලෙස පේ‍්‍රමවතී දෙස බලා ගොරවන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය.

“කවුද මේ ශරීරයට ඇතුල් වෙලා ඉන්නේ?”

“මම මුදලාලි අප්පුහාමි” භූතයා උත්තර දුන්නේය.

“ඇයි මේ අයට කරදර කරන්නේ?”

“මේවා මගේ දේවල්. මගේ දුක් මහන්සියෙන් ගොඩනගපු දේවල්. මම ඉන්නේ මගේ තැන. උඹලට බෑ මාව පන්නන්න”

“කවුද තමුන් එළවනවාය, පන්නනවාය කිව්වේ?”

“නොකීවාට මට තේරෙනවා කරන්න යන දේ මොකද්ද කියලා.”

“හරි හරි ඇයි මේ අය එක්ක අමනාප?

“මම කැමති නැහැ මගේ කඩේ මෙයාලා භුක්තිවිඳිනවාට”

තවත් දවස් දාහතරක් බෝධි පූජා පවත්වා පියාට පින් අනුමෝදන් කර නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දෙමින් කීවේය.

බෝධි පූජා පවත්වන තුන්වැනි දවසේ පන්සලේ සිට ගෙදර ආ නිර්මාලි එකවරම නිවසේ තිබූ පොල්ලක් අරගෙන මවටත් අයියාටත් පහර දෙන්නට වූවාය. ඔවුහු කෑ ගසාගෙන දුවන්නට වූහ. ඇය ඔවුන්ට එළව එළවා පහර දෙන්නට වූවාය. මේ අයගේ කෑ ගැහිල්ලට පැමිණි අසල්වැසියෝ ඇය අල්ලා මර්ධනය කරන්නට සූදානම් වන විටම ඇය පොල්ල අතහැර මහ පාරට පැන දුවන්නට වූවාය. අසල්වැසියෝ ද ඇගේ පසුපසින් දුවන්නට වූහ. අවසානයේ නිර්මාලි ගමේ කනත්තට දුවගොස් අප්පුහාමිගේ මිනී වළ ළඟ ඇද වැටුණාය.

ගමේ අය ඇය ඔසවා ගැනීමත් සමඟ ඇයට පියවි සිහිය ලැබුණි. මේ බව ගවේෂකවරයා වෙත දුරකතනයෙන් දැනුම් දුන් විට ගවේෂකවරයා වහා පවුලේ තුන් දෙනාටම ආධ්‍යාත්මීය ආරක්ෂාව යෙදුවේය.

නැවත ප්‍රතිකාර සඳහා පැමිණි දිනයේ ද නිර්මාලි දිෂ්ටි ගැන් වූ විට භූතාත්මය ඉතා රළු ගති දැක් වූ බැවින් ගවේෂකවරයා සිය ශක්ති කිරණ එල්ල කොට භූතාත්මය පුච්චා දැමුවේය. මෙසේ දින හතරක්ම ගවේෂකවරයා විසින් භූතාත්මය දවාලන්නට විය.

හතරවැනි දිනයේදී භූතාත්මය කතා කළේය.

“ඇයි මහත්තයා මාව පුච්චන්නේ මම මොන වරදක් කළාට ද?”

“ගෙදර අයට කරදර කරන නිසා”

“මට මගේ කඩේ දාලා යන්න බැහැ. ඒ නිසා මම මගේ කඩේ බලා කියාගෙන මගේ පාඩුවේ ඉන්නවා. ඉතින් ඇයි මට කරදර කරන්නේ....?”

“තමුන් ජීවත්ව ඉන්දැද්දීත් ඔය කඩේ බදාගෙනමද හිටියේ?”

“නෑ..... නෑ.... මම කොයිතරම් පින් දහම් කළාද?”

“මොනවද කරපු පින්කම්?”

“මම හොඳට පින් කළා.පන්සල්වලට කොයිතරම් උදව් කළාද?”

“ඉතින් ඒ තරම් පින් දහම් කරපු කෙනෙක් දිව්‍ය ලෝකයකට යන්න එපා යැ”

“ඒක තමයි. මොකද මහත්මයා එහෙම වුණේ?”

“කඩේ ගැනම තණ්හාවෙන් මැරුණු නිසා තමයි තමන්ට ඔහොම වෙලා තියෙන්නේ.”

“ඉතින් මගේ කඩේට මම ආදරය කරන එක වැරදිද? මහත්තයා”

“වැරදියි. වැරදියි. කෙනෙක් මැරෙන කොට ඒවා අතහැරලා යන්න ඕනෑ. මුදලාලි අප්පුහාමි එතැනින් ඉවරයි. ඔයා තණ්හාව නිසා තමයි තමුන් පේ‍්‍රතයෙක් වෙලා ඉන්නේ. දැන් තමුන් අප්පුහාමි නෙමෙයි පේ‍්‍රතයෙක්.”

“ඉතින් මම කරපු පින්කම්වලට දිව්‍ය ලෝකෙ යන්න බැරිද?”

පේ‍්‍රතයා ගවේෂකවරයාගෙන් ඇසීය.

“පුළුවන් පුළුවන්. හැබැයි පළමුවෙන් ඔය ගෙවල් දොරවල් කඩය හීනෙන් අතහරින්න ඕනෑ.”

“ඊළඟට”

“අපි පින්කමක් කරල පින් අනුමෝදන් කරන්නම්. ඒ පින් අනුමෝදන් වුණාම අර පරණ පිනුත් ඔබට මතක් වේවි. ඒවත් පළ දේවි”

එසේ කී ගවේෂකවරයා ස්වාමීන් වහන්සේලා දහ නමක් ගෙදරට වඩම්මවා අට පිරිකර සහිත සාංඝික දානයක් පිරිනමා පියාගේ නම සඳහන් කොට පැන් වඩා පින් අනුමෝදන් කරන්නැ” යි නිර්මලීටත් ප්‍රේමවතීටත් උපදෙස් දුන්නේය.

ඔවූහු ඒ උපදෙස් පරිදි පියාට පින් අනුමෝදන් කොට නැවත ගවේෂකවරයා හමුවට පැමිණියහ. එදින ද භූතාත්මය නිර්මලීට දිෂ්ටි ගැන් වී පේ‍්‍රමවතීට ඔච්චම් කර හිනාවෙන්නට විය.

“හූ..... හූ.... උඹලට බෑ දිව්‍ය ලෝකෙ යන්න. මට පුළුවන්. නේද මහත්තයා.”

“ඔව්..... ඔව්... හැබැයි මම කියන විදිහට කරන්න ඕනෑ. කඩේ පැත්ත පළාතෙ යන්න එපා. පන්සලේ බෝධීන් වහන්සේ ළඟට වෙලා ඉන්න. ඊට පස්සේ අනුරාධපුරයට ගිහින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ කරන පින්කම්වලට අත හිත දී සිත පිරිසිදු කරගන්න. එහෙම ටික කාලයක් ඉන්න කොට දිව්‍ය ලෝකයේ යන්න පුළුවන්. එහෙම නම් දැන් මේ ශරීරය අතහැර පන්සලේ බෝධිය ළඟට යන්න”

ගවේෂකවරයා භූතාත්මයට කීවේය.

ඊළඟ දිනයේ සුදු මල් වට්ට්යක් රැගෙන අනුරාධපුරයට යෑමට සූදානම් වී එන්නැයි ගවේෂකවරයා පේ‍්‍රමවතීටත් නිර්මලීටත් උපදෙස් දෙමින් කීවේය.

නියමිත දිනයේ පවුලේ තුන්දෙනාම සුදු මල් වට්ටියක් රැගෙන අනුරාධපුරයට යෑමට සූදානම් වී පැමිණියහ. එදින භූතාත්මය ගෙන්වා සුදු මල් වට්ටියකට සම්බන්ධ කළ ගවේෂකවරයා පැමිණි තිදෙනා අතේම භූතාත්මය අනුරාධපුරයට යැවීය.

මතුගම මහින්ද විජේතිලක