“තිබුණු හිතේ අමාරුවට පපුවේ අමාරුව හැදිලා මැරුණා”

“තිබුණු හිතේ අමාරුවට පපුවේ අමාරුව හැදිලා මැරුණා”

අතීතයේ කරන ලද කර්මයක විපාකය ගෙවන විට එය තවත් කර්මයකට හේතුවක් නොවීමට නුවණැත්තෝ වග බලා ගනිති. පෙර කරන ලද කුසල කර්මයකට විපාක වශයෙන් වස්තු සම්පත් ලැබෙන විට ඒවා පස් පව් දස අකුසල් සඳහා යොදා ගනී නම් ඔහු හෝ ඇය අපායට පාර කපා ගනී. දුගී දුප්පත්ව ඉපදී හොර මැරකම් හා වංචා කොට මුදල් උපයාගන්නට පෙළඹේ නම් ඔහු ද විපතකට ම පාර කපා ගනී.

විමල් නුගේගොඩ පදිංචිව කාර් සේල් ව්‍යාපාරයක් පවත්වා ගෙන ගිය අයෙකි. පනස් පස් හැවිරිදි ඔහුට මේ වන විට කාරයක් තියා පාපැදියක්වත් නැත. අවුරුදු හතරක පමණ කාලයක සිට ඔහු බංකොලොත් වී සිටී. ඒනිසා බිරිඳත් දරුවොත් ඔහු අතහැර ගොසිනි. එබැවින් ඔහුට සැනසිලිදායක නින්දක් ලැබෙන්නේ නැත. යන්තම් ඇස් පියවෙන විටම හීනෙන් බිය වී කෑ ගසාගෙන අවදි වෙයි. මීට හේතුව මොකක්ද යැයි සොයා බැලිය යුතු බව සිතු විමල් දේවාල ගානේ ගොස් සාත්තර අසන්නට විය. එහිදී ඔහුට පවසා ඇත්තේ කිසිවකු විසින් කරන ලද හුනියමක් නිසා මෙවන් තත්ත්වයකට පත්ව ඇති බවය. අවසානයේ ඊට පිළියම් යොදන්නට යන්ත්‍ර කිහිපයක් දැමිමත් ඵලක් නොවු තැන ඔහු සිය සමීප මිතුරකු සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන ගියේය. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා ඔහු පරීක්ෂා කරද්දී විමල් වටා ඇති ශක්ති ශරීරය පළුදු වී ඇති බව අනාවරණය විය.

දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔහුට කීවේ ඊට අවශ්‍ය උපදෙස් ද දෙමිනි. ඔහු මිතුරන්ගේ ද සහයෝගය ලබාගෙන බෝධි පූජා පවත්වමින් අදාල වත් පිළිවෙත් සියල්ල සිදුකොට නැවත ගවේෂකවරයා සොයාගෙන ආවේය. එදින ඔහුගේ ශරීරයට භූතාත්මයක් ආවිශ්ට රෞද්‍ර ලෙස ගොරවන්නටත් අත මිට මොළවා ගෙන බිත්තියට පහර දෙන්නටත් විය. වේවැළ අතට ගත් ගවේෂකවරයා භූතයා පාලනය කොට ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ දඟලන්නේ?”

“මම සෙනෙවිරත්න” භූතයා උත්තර දුන්නේය.

“ඇයි මේ අයට කරදර කරන්නේ?”

“මුගෙන් පළිගන්න.”

“ඇයි මෙයා මොන වරදක් කළාට ද?”

“මූ හොරෙක්. වංචා කාරයෙක්. මාව රැවට්ටුවා. ඒකටයි පළිගන්නේ. මම මුගේ සබ්බ සකල සේසතම විනාශ කළා. අන්තිමට මූව ලෙඩ කරලා මරනවා.”

“මොකක්ද මෙයා කරපු වංචාව“

“මූ කාර් සේල් කාරයා. මමත් කාර් එකක් ගන්න හරිම ආසාවෙන් හිටපු කෙනෙක්. මුගෙන් ලක්ෂ 11කට මම කාර් එකක් ගත්තා. ඒක ලෙඩ ගොඩක්. මාව රවට්ටලා තමයි දීලා තියෙන්නේ. කාර් එක අරගෙන ගිහින් දෙවෙනි දවසෙ ඉඳලම ඒක ලෙඩ දුන්නා. තවත් වියදම් කළා. ළඟ තිබුණු හැම සතයක්ම ඒ කාර් එකට වියදම් කළා. බැරිම තැන ලක්ෂ 11ට ගත්ත කාර් එක ලක්ෂ 6කට විකුණලා දැම්මා. මූ මාව නැති කළා. ඒ හිතේ අමාරුවට අසනීප වෙලා මම මැරුණා. ඒ නිසා ඒකට පළිගන්න මූව මරන්න ඕනෑ. වංචා කාරයා” භූතයා කෑගසන්නට විය.

ගවේෂකවරයා භූතාත්මය ශරීරයෙන් ඉවත්කොට විමල්ගෙන් මේ සෙනෙවිරත්න කියන්නේ කවුදැයි විමසුවේය.

සෙනෙවිරත්න කෙනෙක් ගැන මතකයක් නැතැයි විමල් ගවේෂකවරයාට කීවේය.

“අවුරුදු පහක් ඇතුළත වාහන විකුණන ලද ලියකියවිලි ද අරගෙන තවත් සතියකින් නැවත එන්නැ”යි ගවේෂකවරයා විමල්ට නියම කළේය.

ඔහු ඒ ලියවිලි ද රැගෙන සතියකින් නැවත ආවේය. එදින ද විමල්ට භූතාත්මය ආවිශ්ට කොට ප්‍රශ්න කළේය.

“තමුන් කොහේද පදිංචිව සිටියේ?”

“පානදුරේ”

“කාර් එක ගත්තේ කවදාද?”

“අවුරුදු පහකට කලින්”

“මැරුණේ කවදාද?”

“අවුරුදු හතරක් වෙනවා දැනට”

“කීයකට ද කාර් එක ගත්තේ?”

“ලක්ෂ එකොළහකට”

නැවතත් භූතාත්මය ශරීරයෙන් ඉවත් කළ ගවේෂකවරයා විමල් රැගෙන ඇවිත් තිබුණු ලියකියවිලි පරීක්ෂා කර බැලීය. මීට අවුරුදු පහකට කලින් විකණන ලද කාර් පිළිබඳ සොයා බලන විට පානදුරේ සෙනෙවිරත්න නමැත්තෙකුට විකුණන ලද වාහනයක ලියකියවිලි විමල් ළඟ තිබී සොයා ගත හැකි විය.

එහි සඳහන් ලිපිනය සොයාගෙන ගොස් ඔහුගේ බිරිඳ හා දරුවන් හමු වී සෙනෙවිරත්න දැනට දුගතියක ඉපිද සිටින බවත් ඔහු ඒ තත්ත්වයෙන් මුදා ලීම සඳහා කටයුතු කිරීම සඳහා සති දෙකකින් පසු ඔවුන්ද කැඳවා ගෙන එන ලෙසත් ඒ සතිදෙක තුළ බෝධි පූජා පවත්වමින් සෙනෙවිරත්නගේ ප්‍රාණකාරයාට පින් අනුමෝදන් කොට සමාව ඉල්ලන ලෙසද ගවේෂකවරයා විමල්ට උපදෙස් දෙමින් කීවේය.

ඒ නියමයන් ඉටු කළ විමල් නැවත පැමිණියේය. එදින සෙනෙවිරත්න ගේ බිරිඳ හා පුතෙක් ද පැමිණ සිටියහ.

ගවේෂකවරයා සෙනෙවිරත්නගේ බිරිඳගෙන් ඔහු පිළිබඳ තොරතුරු විමසීය.

“මගේ මහත්මයා රජයේ රැකියාවක් කළ කෙනෙක්. වයස අවුරුදු හැටෙන් විශ්‍රාම ගියා. එයා කාර් එකක් ගන්න හරිම ආසාවකින් සිටියෙ විශ්‍රාම ගිහින් ලැබුණු විශ්‍රාම දීමනාවෙන් රුපියල් ලක්ෂ එකොළහකට කාර් එකක් ගෙනාවා. කාර් එක ගෙනැත් දෙවෙනි දවසේ ඉඳලා කාර් එක ලෙඩ දෙන්න හිටියා. හැදුවා, හැදුවා, අවුරුද්දක්ම හැදුවා. තවත් ලක්ෂ දෙකකට වඩා වියදම් කළා. ඒ කාර් එක ගොඩගන්න බැරිම තැන මහත්තයා ඒක විකුණලා දැම්මා. ලක්ෂ එකොළහකට ගෙනා කාර් එකට තවත් ලක්ෂ දෙකකටත් වඩා වියදම් කර ලක්ෂ හයකට විකුණලා දැම්මා. අන්තිමට කාර් එකත් නෑ. ළඟ තිබුණු සල්ලිත් නෑ. ඒ හිතේ අමාරුවට තමයි මහත්තයා පපුවේ අමාරුවක් හැදිලා මැරුණේ.” ඇය දෙනෙතින් ගලා එන කඳුළු පිස දමමින් කීවාය.

“මැරෙන වෙලාවේ සෙනෙවිරත්න මොනවද කීවේ?”

“අරූ මාව කෑවා. අපිව නැති කළා. ඕකගෙන් පළිගන්න ඕනෑ ඕකට හෙන ගහන්න ඕනෑ.” කිය කියා තමයි හිටියේ. ඇය ගවේෂකවරයාට පිළිතුරු දෙමින් කීවාය.

“දැන් පේනවා නේද අධික ලාබ ලබන්නට වංචනික වෙළඳාම් කිරීමේ පාප කර්මය. ඒ විපාකය තමයි ඔය දිට්ටධම්ම වේදනීය විපායක් විදිහට පළ දුන්නේ. තමන් හම්බ කරපු හැම දෙයක්ම විනාශ වෙලා ගියා. තමන්ගේ අඹු දරුවොත් දාලා යන්න ගියා. අන්තිමට මොකක්දෝ පෙර පිනක් මතුවෙලා මෙතැනට එන්න සිද්ධ වුණා.” කී ගවේෂකවරයා නැවත විමල්ට භූතාත්මය දිෂ්ටි ගැන්වීය.

“ආ.... මැණිකේ, අද ඔයත් ආවද?” බිරිඳගේ අතින් අල්ලාගෙන භූතාත්මය කීවේය.

“බලන්න මූ අපට කරපු අපරාධය. අපිව නැතිකළා. මම මුගෙන් පළිගන්නවා.” භූතයා ඇයට කියන්නට විය.

“මෙයාගෙන් පළිගන්න ඔබ මොනවද කළේ?”

ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.

“මම මුගේ ඔළුව අවුල් කර මූව බංකොළොත් කළා. මූගේ ගෑනිගෙ ඇඟට ගිහින් දෙන්නව රණ්ඩු කෙරෙව්වා. ගෑනි ලවා මූට ගැස්සෙව්වා. තෝ වංචා කාරයා වංචාවෙන් හම්බ කරන සල්ලිවලින් නේද අපට කන්න දුන්නේ කියලා හැමදාම මූට ගෑනි ලවා පහර දුන්නා. අන්තිමට ඒ ගෑනියි දරුවොයි මූව අතහැරලා යන්න ගියා.”

“හරි හරි ඔබ දැන් මෙයාට දඬුවම් කළා. මුළු කාර් සේල් ව්‍යාපාරයම නැති කළා. පවුලත් අවුල් කර විනාශ කළා. දැන් මම අහන දේවල් වලට උත්තර දෙන්න.”

“හොඳයි අහන්න”

“ඔබට වාහන එන්ජින් ගැන කාර්මික දැනුම තියෙනවාද?”

“නැහැ.”

“එහෙම නම් වාහනයක් ගන්න කොට පරීක්ෂා කරලා බලලා ඒක අරගන්න ඕනෑ. තමන්ගෙනුත් වැරදීමක් වෙලා තියෙනවා. මේ වරදෙන් කොටසක් තමනුත් බාරගන්න ඕනෑ.”

“එහෙමයි. මට දැන් වැටහුණා”

පන්සලට හීල් දානයක් පිරිනමා සෙනෙවිරත්නට පින් අනුමෝදන් කොට අනුරාධපුරයට යෑමට සුදානම් වී තවත් සතියකින් එන්නැයි විමල්ට නියම කළ ගවේෂකවරයා සුදුමල් වට්ටියක් ද රැගෙන එදිනට රැගෙන එන්නැයි සෙනෙවිරත්නගේ බිරිඳටත් දරුවන්ටත් කීවේය.

සතියකින් ඔවුන් පැමිණි විට සෙනෙවිරත්නගේ ප්‍රාණකාරයා මල් වට්ටියට සම්බන්ධ කොට ඔවුන් සමඟ අනුරාධපුරයට යැවීමට ගවේෂකවරයා කටයුතු කළේය. එදායින් පසුව විමල්ට කිසිදු උපද්‍රවයක් පැමිණියේ නැත. ඔහුගේ මීළඟ අභිප්‍රාය තමා අතහැර ගොස් සිටින බිරිය හා දරුවන් යළි තමා ළඟට ගෙන්වා ගැනීමය.

මහින්ද විජේතිලක

මතුගම