“මෙයාට වැහුණෙත් මම ම තමයි”

“මෙයාට වැහුණෙත් මම ම තමයි”

අනුන්ගේ සැපත, සතුට, යසස, දැක හෝ අසා විඳ දරා ගැනීමට නොහැකි පීඩාවට “ඊර්ෂ්‍යාව“ යැයි කියති. එවැනි ඊර්ෂ්‍යාකාරයෝ අනුන්ගේ සැපත, සතුට, යසස, කීර්තිය විනාශ කිරීමට කටයුතු කරති. කේළාම් කියා ඔවුනොවුන් බිඳවති. එසේ නොහැකි නම් අන වින හූනියම් කරවති. මෙවැන්නන් සමාජයට පිළිකා වැනිය.

මෝහයෙන් හා ද්වේෂයෙන් අන්ධ වූ මෙවැන්නෝ තමන් ආදරය කරන දෙයට තවත් කෙනෙක් සද්භාවයෙන් සලකනවාට ද අකමැතිය. මෙය ස්ත්‍රී පුරුෂ කාටත් පොදු අකුසල ධර්මතාවකි. එහෙත් බොහොමත්ම ස්ත්‍රීන් අතර මෙය වැඩියෙන් දක්නට ඇත.

ඉන්දිකා කඩුවෙල ප්‍රදේශයේ පදිංචි විවාහක එක් දරු මවකි. පරිගණක ඉංජිනේරුවරියකි. හසන්ත ඇගේ සැමියාය. ඉන්දිකා දැනට මාස හතරක සිට අධික රුධිර වහනය වීමක් නිසා පීඩා විඳින්නීය. දිනකට ලේ පයින්ට් එකක් පමණ සිරුරෙන් පිටවීම නිසා නිතර නිතර ඇයට ලේ දිමට සිදුව ඇත. මේ නිසා ඇගේ ශරීරය ද කෘශ වී තිබේ. වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් වෛද්‍ය පරීක්ෂණවලින් ඇයට කිසිදු රෝගයක් නැතැයි හෙළිදරව් වී ඇත. ප්‍රතිකාරවලින් සුවයක් නොලැබුණු බැවින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලින් වත් පිළිවෙත්වලින් සහනයක් පැතුව ද එයින් දින දෙක තුනකට වඩා සුවයක් නොවී යළිත් පෙර සේම රුධිරය වහනය වන්නට විය. තිස් දෙහැවිරිදි ඇය ඊටත් වඩා වියපත් බවක් පෙන්නුම් කළාය.

කිසිදු සුවයක් නොලද තැන ඇගේ සහෝදරයෙකු වූ හසන්ත “මාංචු” පත්‍රයේ පළවන “භූත ආත්ම” විශේෂාංගයේ සඳහන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පිළිබඳ ඇය දැනුවත් කළේය. ඒ අනුව දිනක් ඇය සිය සහෝදරයා ද හසන්ත ද සමඟ එහි ගියාය. එහිදී අධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසුණු ඇය රෝගාබාධ විස්තර කළාය.

පළමු ගවේෂණයේදීම ඇය ගැහෙන්නට වූවාය. ඇයට අමනුෂ්‍ය දෝෂයක් ඇතැයි නිගමනය කළ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඇයට උපදෙස් දුන්නේය.

ඊළඟට පැමිණි දිනයේ ඇය කෑ ගසන්නටත් දිව එළියට දමා ගොරවන්නටත් විය.

“මම මේකිගෙ බඩේ ඉන්නේ. මේකිව දාලා මට යන්න බෑ”

ඇය කෑ ගසමින් කියන්නට වූවාය.

“කවුද මේ ශරීරය ඇතුළට වෙලා කෑගහන්නේ”

ගවේෂකවරයා භූතාත්මයෙන් විමසීය.

“නෑ..... නෑ..... නම කියන්නේ නෑ” භූතයා කීවේය.

“කවුද එව්වේ?”

“මෙන්න මූගේ “අම්මා” යි කී භූතාත්මය හසන්ත දෙසට ඇඟිල්ල දිගුකොට පෙන්වීය.

“ඇයි එහෙම කළේ?”

“නැන්දම්මා ලේලිට ඉරිසියාවෙන් තමයි එහෙම කළේ?”

“කොහොමද ඒක කළේ?”

“මෙයාගෙ නැන්දම්මා දේවාළෙට ගිහින් කපුවා ලවා ගුරුකමක් කළා. කපුවා ඒක මට පැවරුවා. මම දැන් මේකිගෙ බඩට වෙලා මේකීව ලෙඩ කරනවා.”

මේවා අසා සිටි හසන්ත නොමනාපයෙන් මෙන්” ඔය කතාව වැරදියි. මගේ අම්මා එක්ක මෙයා අමනාපයි. ඔය මෙයාගෙ යටි හිතෙන් මතුවෙන දේවල්. මම පිළිගන්නේ නැතැ” යි ගවේෂකවරයා දෙස බලමින් කියන්නට විය.

“මේක බොරුවක් නම් මෙච්චර කල් වෛද්‍ය ප්‍රතිකාරවලට වත් පිළිවෙත් වලට ලක්ෂ ගණනක් වියදම් කළේ මොකටදැ”යි ගවේෂකවරයා හසන්තගෙන් ඇසීය.

“වියදම් කළා නම් තමයි. ඒත් මම නම් ඔය කතාව විශ්වාස කරන්නේ නැහැ.” හසන්ත යළිත් කීවේය.

“පිළිගන්නේ නැත්නම් ලෙඩාව ගෙදර එක්ක ගෙන යන්න. අකමැති නම් අපි බලෙන් ප්‍රතිකාර කරන්නේ නෑ.”

ගවේෂකවරයා හසන්තට කීවේය. මොහොතක් ගවේෂකවරයා දෙසත් ඔහුගේ සොහොයුරියත් දෙස බලා සිටි හසන්ත හීන් සීරුවේ යළි මිමුණුවේය.

“සමාවෙන්න මහත්තයා, මගේ නංගිව සනීප කර දෙන්නැ” හසන්ත ගවේෂකවරයාගෙන් දෑත් වැඳ ඉල්ලා සිටියේය.

“ඔව්, අප ළඟට ආ රෝගියෙක් සුවපත් කරන එක අපේ යුතුකම” යැයි කී ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට ඉන්දිකාගේ, භූතාත්මය පුච්චන්නට විය.

“බෑ.... බෑ.... මට මෙයාව දාලා යන්න බෑ..” පේ‍්‍රතයා කෑ ගසන්නට විය.

එහෙත් ගවේෂකවරයා නොනවත්වාම දවාලන්නට විය.

“එහෙම නම් එවාපු එකා ළඟට යන්නද?.”

භූතාත්මය වේදනාවෙන් විමසුවේය.

“කා ළඟට ද ? දේවාලේ කපුවා ළඟට ද?”

“නෑ..... නෑ.... මූගේ අම්මා ළඟට”

භූතාත්මය කියන්නට විය.

“හරි හරි යවන්න. යවන්න. පුළුවන් නම් යවන්න. අපේ අම්මා අන වින හූනියම් කරන කෙනෙක් නෙවෙයි. මමත් මේවා පිළිගන්න කෙනෙකුත් නෙවෙයි. පුළුවන් නම් යවන්න” යි හසන්ත මානයෙන් මෙන් ගවේෂකවරයාට යළි කීවේය.

හසන්ත මානයෙන් උදම්ව සිටින බව දත් ගවේෂකවරයා ඉන්දිකා පියවි සිහියට පත් කොට ඇයට තවත් බෝධි පූජා දහ හතරක් පවත්වන ලෙස ඊට විශේෂ පිළිවෙත් කීපයක් ද නියම කරමින් කීවේය.

ඒ බෝධි පූජා ආරම්භ කරන විට ඇගේ රුධිරය වහනය වීම ක්‍රමයෙන් අඩු වී ගියේය.

තුන්වැනි දින බෝධි පූජා පවත්වා සතර වැනි දිනට පහන් වන විට හසන්ත තම මෑණියන් ඔසවා ගෙන ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ආවේය. ඔහුගේ මව වේදනාවෙන් කෑ ගසන්නට වූවාය. හසන්ත ගවේෂකවරයා ළඟ වැද වැටී “අනේ මට සමාවෙන්න. මහත්මයා මගේ අම්මව බේරා දෙන්නැ” යි ගවේෂකවරයා ඉදිරියේ පිං සෙන්ඩු විය.

“ඇයි මොකද අම්මට? “ ගවේෂකවරයා හසන්තගෙන් විමසීය.

“දැන් ඉන්දිකාට හොඳයි. ඒ ලෙඩේ අම්මාට හැදිලා දැන් අම්මාට ලේ යනවා.”

“වයස කීයද අම්මාගේ?”

“අවුරුදු හැටපහයි”

“එහෙම නම් රුධිර වහනයක් වෙන්න විදිහක් නැහැනෙ. ඉස්පිරිතාලෙකට එක්ක යන්න. ඔයා මේවා පිළිගන්නෙත් නැහැනේ.”

ගවේෂකවරයා හසන්තව ගණනකට නොගෙන කියන්නට විය.

“අනේ මහත්මයා මගේ නොදන්නාකමට එදා එහෙම කීවාට මට සමාවෙලා අම්මව සනීප කරල දෙන්න.”

“මගේ හිතේ තරහක් නෑ. ඔබ වගේ ම තවත් අය මේ සමාජයේ ඉන්නවා. තමන්ට වැරදුණාමයි ඒ අය පිළිගන්නේ. එහෙම නම් අම්මා එක්ක ගිහින් බෝධි පූජා විසි එකක් තියලා එන්න. එදාට ඉන්දිකාවත් එක්ක ගෙන එන්නැ”යි ගවේෂකවරයා හසන්තට උපදෙස් දෙමින් දුන්නේය.

ඒ වනවිට ඉන්දිකා සම්පූර්ණ සුවය ලබා සිටි අතර නැවත රැකියාවට ද වාර්තා කර තිබුණි. එහෙත් හසන්ත ගේ මවගේ රුධිර වහනය නොනැවතී සිදු වන අතර ශාරීරිකව ද ඇය මහත් දුර්වලතාවයකට පත්ව සිටියාය. ඉන්දිකාගේ ශරීරයට පේ‍්‍රතයා යළිත් බලපෑම් කරන්නට ඉඩ ඇතැයි කී ගවේෂකවරයා නැන්දම්මාගෙන් ඈත් වී සිටින්නැයි ඉන්දිකාට උපදෙස් දුන්නේය. මවට සාත්තු සප්පායම් කිරීම් සම්පූර්ණයෙන්ම හසන්තට පැවරුණි.

බෝධි පූජා අවසන් කොට හසන්ත, ඉන්දිකා ද සමඟ මෑණියන් කැඳවා ගෙන ආවේය. එදින ඉන්දිකාගේ ශරීරයට ආවිශ්ට වී සිටි භූතයා නැන්දම්මා තුළින් මතු වී ආවේය.

“කවුද මේ..?” ගවේෂකවරයා ඇසීය.

“මේ ඉන්දිකාගෙ ඇඟේ හිටිය ඒ මම ම තමයි.”

“දැන් ඉවත් වෙලා යන්න.”

“බැහැ මේ මහ ගෑනි තමයි මේ ඔක්කොම කළේ.”

පේ‍්‍රතයා ඇගේ ශරීරයෙන් ඉවත්ව යන්නට අකමැත්තක් දැක්විය. හසන්ත ගවේෂකවරයා ඉදිරියේ හඬා වැලපෙමින් මව සනීප කර දෙන ලෙස කීවේය. පසුව පේ‍්‍රතයා හසන්තගේ මවගේ ශරීරයෙන් ඉවත් කළ ගවේෂකවරයා ඒ ගැන ඇගෙන් විමසුවේය. “අනේ මහත්තයා මම මේ දේ කළේ ඉරිසියාවට. මගේ මහත්තයා මරුණාම පුතාව හදාගත්තේ මම. මේ පුතා විතරයි මට ඉන්නේ. ඉන්දිකාගේ වැරැද්දක් නෑ. ඒත් ඒ දෙන්නා ආදරෙන් ඉන්නවා දැක්කාම මට ඉරිසියා හිතුණා.”

“තමන්ගෙ පුතාට තවත් කෙනෙක් ආදරය කරනවා නම් ආදරයෙන් සලකනවා නම් තමන්ගේ පුතා සතුටින් එයා එක්ක සමගියෙන් ඉන්නවා නම් අම්මා කෙනෙක් හැටියට සතුටු වෙන්න ඕනෑ නේද? දැන් මේ ලේලිගෙන් සමාව ගන්න”

ගවේෂකවරයා හසන්තගේ මවට කීවේය.

“අනේ දුවේ! මට සමාවෙන්න” ඇය ඉන්දිකා ඉදිරියේ දෑත් එකතු කොට කීවාය.

හසන්තත්, ඉන්දිකාගේ අයියත්, නිහඬව බිම බලාගත්හ.

නැවත භූතාත්මය දිෂ්ටි ගැන්වූ ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට භූතාත්මය දවා දුර්වල කොට හසන්තගේ මවගේ ශරීරයෙන් පන්නා දැමීය. නිවසේ උදය හවා කළ යුතු වත් පිළිවෙත් කීපයක් මවටත් පුතාටත් පැවරීය. ඒවා නිසිපරිදි ඉටු නොකළහොත් පේ‍්‍රතයා මව කරා පැමිණිය හැකි බවට ගවේෂකවරයා ඔවුනට අනතුරු ද ඇඟවීය.

මතුගම මහින්ද විජේතිලක