දෙවෙනි වරටත් වැරුදුණු කුරුමානම

දෙවෙනි වරටත් වැරුදුණු කුරුමානම

අරුමාහන්දි ජනිත් මදුශංක ද සිල්වා නොහොත් “පොඩි ලසී” අම්බලන්ගොඩ හික්කඩුව ආශි‍්‍රතව ක්‍රියාත්මක පාතාල කල්ලියක නායකයාය. දැන් ඔහු සිටින්නේ ගාල්ල බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගතවය.

ඒ.... එක පිට එක සිදුකළ මනුෂ්‍ය ඝාතන කිහිපයක්, අනවසර ගිනි අවි ළඟ තබාගැනීම, හොරොයින් ළඟ තබා ගැනීම සහ ජාවාරමේ යෙදීම මෙන්ම රත්ගම හිටපු ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතන නඩුව ඇතුලු නඩු කිහිපයකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබිමිත් නිසාය.

ඇතුලේ එළියේ කියා පොඩි ලසීට එතරම් වෙනසක් නැත. ඇතුලේ සිටියදී ඔහුට ඇති එකම ගැටලුව තමන්ගේ එදිරිවාදීන් මරා දැමීමට තමන්ටම යා නොහැකි වීම පමණි. එහෙත්... තමාට යා නොහැකි වුවද ඔහුට අවශ්‍ය ඉලක්ක සපුරා දීම සඳහා ඔහුට එලියේ ගෝලයෝ එමටය.

එබැවින්... ඇතුලේ සිට ජංගම දුරකථන ඔස්සේ එලියේ සිටින ගෝලයන් මෙහෙයවමින් පොඩි ලසී දිගින් දිගටම තම එදිරිවාදීන් විනාශකර දැමීමට ගන්නා උත්සාහය අවසන් වන බවක් ද පෙනෙන්නට නැත.

එහෙත්.... මේ වන විට පොඩි ලසී ගේ හොඳම වෙඩික්කාරයන් දෙදෙනා වූ සොබනාහන්දි සනත් ද සිල්වා නොහොත් රාජුත් රණාත් දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවය. ඒ... මැයි මස මුල සිට ජුලි මස අග දක්වා ගෙවී ගිය සති කිහිපයේ දී එක පිට එක මනුෂ්‍ය ඝාතන හතක් පමණ සිදුකිරීම හේතුවෙනි. දෙදෙනා විසින් එලෙස ඝාතනය කර තිබුණේ පොඩි ලසී ගේ එදිරිවාදීන් හා දැනට විදෙස්ගතව සිටින කොස්ගොඩ සුජී නැමැති පාතාල නායකයාගේ එදිරිවාදීන්ය.

හික්කඩුව, තෙල්වත්ත පොඩි ලසීගේ උපන් ගම් පියස වන අතර ඔහුගේ පියා “පැත්තා” යන අනවර්ථ නාමයෙන් හැඳින් විය. යම් පිරිසක් එක්ව ඔහු වෙඩි තබා මරා දමන විට පොඩි ලසී ගේ වයස අවුරුදු දාසයකි.

එදා සිට අද දක්වා පොඩි ලසී ගේ ජීවිතයේ එකම අරමුණ වී ඇත්තේ පියා මරා දැමු හා ඊට වචනයකින් හෝ දායක වූ සියල්ලෝම මරා දැමීමය.

පියා ගේ ඝාතනයට සම්බන්ධ වුවන් යැයි කියමින් මේ වන විට පොඩි ලසී විසින් පුද්ගලයන් හතර පස් දෙනකුම මරා දමා අවසන්ය. එහෙත්.... තවමත්.... ඒ ඝාතන රැල්ල අවසන් නැති බව තහවුරු වන්නේ පසුගිය දහ වැනිදා තෙල්වත්ත ප්‍රදේශයට ආ නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනකු කළ වෙඩි තැබීමත් සමඟය.

එදින දහවල් එකහමාරට පමණ මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපති වරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබිණි. ඇමතුම දුන් අය පවසා සිටියේ තෙල්වත්තේ පන්සල ළඟ වෙඩි ශබ්දයක් ඇසුනු බවය.

තොරතුරු ලද වහාම ස්ථානාධිපතිවරයා කණ්ඩායමක් ද සමඟ තෙල්වත්ත පන්සල අසලට යද්දී ප්‍රදේශවාසීන් රැසක් නිවෙසක් අසල එක් රොක්ව සිටිනු දක්නට ලැබිණි.

ඒ අතර සිටි මැදි වයසේ පුද්ගලයකු මෙම වෙඩි තැබීමේ සිද්ධිය මුල සිටම දැක තිබු අතර ඔහු ඒ සියලු තොරතුරු පොලිස් කණ්ඩායම හමුවේ හෙළිදරව් කළේය.

“මම අපේ අයියගෙ පුතාගෙ ගෙවල් පැත්තට යන්න හදද්දී තුවක්කු දෙකක් අතේ අරගෙන කැලෑ ඉඩම හරහා දෙන්නෙක් ආවා. මම ඒක දැකලා කෑ ගහද්දී උං දෙන්නා දාගෙන ආපු සෙරෙප්පුත් ගලවලා දාලා දුවන ගමන් පුතා ගේ ගේ දිහාට වෙඩි තිව්වා. වෙඩි තියාගෙන දුවලා ගිහින් දෙන්නා බයික් දෙකේ නැගලා ගියා.”

මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය සිදුකළ පරීක්ෂණ වල දී හෙළි වූ තොරතුරු වලට අනුව පැමිණ ඇති වෙඩික්කරුවන් දෙදෙනා වයස අවුරුදු විස්සත් විසිපහත් අතර තරුණයන්ය.

මේ දෙදෙනා යතුරුපැදි දෙකකින් පැමිණ ඇති අතර දෙදෙනා අතේම ටී - 56 ගිනි අවි තිබී ඇත. යතුරුපැදි දෙක අසල පිහිටි වන ලැහැබක නවත්වා මේ දෙදෙනා තුවක්කු ද අතැතිව පැමිණ තිබුණේ හෙල්මට් හෝ ජැකට් හෝ නොහැඳය. එනම්.... මුහුණු හොඳින් පෙනෙන ලෙසටය. එහෙත් මේ දෙදෙනා හොඳින් දුටුවද කවුරුන්දැයි කියා හඳුනාගැනීමට කිසිවකුට හැකි වී නැත.

මේ දෙදෙනාගේ ඉලක්කය වී ඇත්තේ තෙල්වත්තේ පදිංචි යුද හමුදා සැරයන් මේජර් වරයකු වන ලසන්ත මෙන්ඩිස් යන අයයි. වෙඩික්කරුවන් දෙදෙනා පැන යන අතරතුර වෙඩි පහර එල්ල කර තිබුණේ ඔහුගේ නිවෙසටය.

ලසන්ත මෙන්ඩිස් මේ වන විට යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීම සඳහා විශ්‍රාම පුර්ව නිවාඩු මත නිවෙසේ කල් ගෙවයි. හතලිස් දෙහැවිරිදි ඔහු රත්ගම හිටපු ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් ගේ ළඟම හිතවතෙකි.

මනෝජ් මෙන්ඩිස් රත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව ප්‍රදේශවල සිය බලය පතුරුවාගෙන සිටි සමයේ ලසන්ත මෙන්ඩිස් ඔහුගේ රියැදුරු ලෙස කටයුතු කර ඇත. ඒ.... යුද හමුදා සේවයේ නිරතව සිටියදීය.

ඊට අමතරව මනෝජ් මෙන්ඩිස් ගේ ඉදිකිරිමේ කොන්ත්‍රාත්තු වලට ද මොහු සහභාගි වී ඇත. එනම්... මොහු මනෝජ් මෙන්ඩිස් ගේ ළඟම ගෝලයෙකි.

තම පියා ඝාතනයට සම්බන්ධ වූ කණ්ඩායමේ මනෝජ් මෙන්ඩිස් ද සිටි බව කියන පොඩි ලසී ගේ මතය වන්නේ ලසන්ත මෙන්ඩිස් ද සිය පියා ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවයි.

එබැවින්.... පොඩි ලසී ලසන්ත මෙන්ඩිස් මරා දැමීම සඳහා කලක සිට කුරුමානම් අල්ලමින් සිටින නමුත් දෙවැනි වතාවට ද කුරුමානම ව්‍යාර්ථ වී ගියේය.

ලසන්ත මෙන්ඩිස් මරා දැම්මේ පළමු සැලසුම ක්‍රියාත්මක වුයේ පසුගිය වර්ෂයේ ජනවාරි මාසයේ දී ය. සිද්ධිය වූ දිනයේ දහවල් ලසන්ත මෙන්ඩිස් සිය පුත්‍රයා සමඟ නිවෙසින් බැහැරව යන්නේ පුතා ගේ කොණ්ඩය කැප්පවීම සඳහාය.

එදින පුතා ගේ කොණ්ඩය කප්පවා ගෙන යතුරු පැදියෙන් නිවෙසට එමින් සිටිය දී මේ දෙදෙනා නාඳුනන තුවක්කු කරුවකුගේ වෙඩි පහර වලට ඉලක්ක වන්නේ නිවෙසට හැරෙන හන්දිය අසලදීය.

එහෙත්.... එදින එල්ල වූ වෙඩි පහර මේ පියාට වත් පුතාට වත් අනතුරක් ගෙන දුන්නේ නැත. එම වෙඩික්කරුවන් තවමත් අත්අඩංගුවට ගෙන තබා හඳුනාගෙනවත් නැත.

වසරකුත් මාස නවයක් ගෙවී යද්දී ලසන්ත මෙන්ඩිස් ඝාතනය සඳහා යළිත් තුවක්කු කරුවන් පැමිණෙන්නේ පවතින කෝන්තරය තවමත් අවසන් නොමැති බවත් එහි අවසානය සනිටුහන් විය යුත්තේ ලසන්ත මෙන්ඩිස් මරා දැමීමෙන් අනතුරුව බවත් කියා පාමිනි.

මෙම වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා මෙවැනි මෙහෙයුම් වලට ආධුනිකයන් බව පරීක්ෂණ කණ්ඩායම්වල අදහසයි.

ඊට හේතු සාධක කිහිපයකි. දෙදෙනා අතම ටී 56 ගිනි අවි තිබුණ ද පුද්ගලයකු කළ කෑ ගැසීම හේතුවෙන් මේ දෙදෙනාම බියට පත්ව ඇත. ඔවුන් කොපමණ බියට පත්වුවා ද කිවහොත් ඉලක්කය අතහැර පලා යන්නේ පැළඳගෙන ආ පාවහන් ද ගලවා දමාය.

එනම්... මොවුන් එතැනින් පලා යන්නේ ඒ තරමටම බියට පත්වය. එලෙස දිව යන අතරතුරේ වෙඩි පහර තුනක් එල්ල කරන අතර ඒවා ද ඉලක්කයට නොව අත වෙව්ලන අතර එල්ල කළ ඒවා බව වැටහෙන්නේ උණ්ඩ එහේ මෙහේ ගොස් එක උණ්ඩයක් පමණක් ලසන්ත මෙන්ඩිස් ගේ නිවෙසට වැදී තිබීම නිසාය.

පලපුරුදු තුවක්කුකරුවකු කිසිදින මෙලෙස බිය වී පලා නොයන අතර දකින අයකුට හඳුනාගත හැකි වන අයුරින් මුහුණ එළියේ දමාගෙන පැමිණෙන්නේ ද නැත.

ඒ කෙසේ වෙතත් පොඩි ලසී තම ඉලක්ක සපුරා ගැනීම කිසි දිනෙක අත් නොහරින බව මින් පෙනෙන්නට ඇත.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. එස්. ප්‍රනාන්දු, ගාල්ල නියෝජ්‍ය පොලිස්පති චන්දන ගලප්පත්ති, ඇල්පිටිය පොලිස් අධිකාරී නිහාල් තල්දුව සහකාර පොලිස් අධිකාරි සමන් පුස්සැල්ල යන නිලධාරින්ගේ උපදෙස් මත මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපති එච්.ටී.එම්. තුෂාර ප්‍රමුඛ අපරාධ අංශයේ ස්ථානාධිපති පුජිත වරුසවිතාන ඇතුලු කණ්ඩායමක් පරීක්ෂණ වල නිතරව සිටී.

තක්ෂිලා ජයසේකර

ඡායාරූප - අන්තර්ජාලය ඇසුරෙනි...