ඝාතකයන් හඳුනාගත් ඇසින් දුටු සාක්කිය

ඝාතකයන් හඳුනාගත් ඇසින් දුටු සාක්කිය

අමාලි මධුෂිකා දොළොස් හැවිරිදි දැරියකි. ඇය කුලියාපිටිය මීගහ කොටුව දණ්ඩගමුව ඔය අසබඩ කුඩා නිවෙසක පදිංචිව සිටින්නේ සිය පියා වූ විල්බට් හා හැට අට හැවිරිදි කිරි අම්මාත් එකම සොහොයුරියත් සමඟිනි. අමාලිගේ නංගිට වයස අවුරුදු හතකි. අමාලිගේ මව නිලක්ෂි කුමාරිත් පියා විල්බටුත් සිය ජීවිත ගැට ගසා ගත්තේ කුලී වැඩ කරමිනි. දෙදෙනාම වැඩ කරන්නේ වීරඹුවට ආසන්න පිහිටි ගඩොල් වැඩපළකය. මේ නිසා නිලක්ෂි කුමාරි ඇගේ මහ ගෙදර පිහිටි වීරඹුව ප්‍රදේශයේ නිවසේ වැඩිපුර කාලය ගත කරන්නීය. ඇය දණ්ඩගමුවට එන්නේ අත්‍යවශ්‍ය වැඩක් තිබුණෙත් පමණි. ඒ නිසා අමාලි සිය පියාත් කිරි අම්මාත් නංගිත් සමඟ දරන්ඩගමුවේ රැඳී සිටී. ඇයත් නංගිත් පාසල් යන්නේ ද එහි සිටය.

පසුගිය සැප්තැම්බර් මස 29 වැනිදා උදෑසන පාසල් ගිය අමාලි ගෙදර එනවිට වේලාව තුනට ද ආසන්න වී තිබිණි. පාසල් ඇඳුම ගලවා වෙනත් ඇඳුමක් හැඳ පැළද ගන්නට සූදානම් වෙද්දී ඇය දුටුවේ ත්‍රීවිලරයකින් තිදෙනකු සිය නිවෙසට එන අයුරුය.

ඒ මොහොතේ අමාලිගේ පියා විල්බට් සිටියේ තද නින්දකය. ඔහු දවාලේම සරු වී සටීම ඊට හේතුව විය.

“කෝ තාත්තා...”

පැමිණි අයෙකු අමාලිගෙන් විමසන්නට විය.

“තාත්තා ගේ ඇතුලේ නිදි.”

ඇය ඔහුට ඇත්තම කීවාය. ඒ සැනින් හෙල්මටය අතට ගත් ඔහු කෙලින්ම ගියේ විල්බට් නිදාසිටි ඇඳ වෙතය.

“නැගිටපන්..”

ඔහු පරුෂ වචනයෙන් බැන වදිමින් තාත්තාට පහර දෙනු දුටු අමාලි “ආච්චි අම්මේ මෙන්න තාත්තාට ගහනවා.” කියමින් කෑ මොර දුන්නාය. එහෙත් විල්බට්ට පහර දුන් පුද්ගලයන් අමාලිගේ කෑ ගැහිල්ල තඹේකටවත් මායිම් කළේ නැත. පහර කෑ විල්බට් ඇඳෙන් නැගිට ගෙයි පිටුපසට දිව යන්නට විය. හෙල්මටය අතේ ඇති පුද්ගලයා ඉන් විල්බට්ට හොඳ හැටි පහර දීම නිසාදෝ බීමත්ව වාරු නැතිව සිටි විල්බට් එතැනම ඇදගෙන වැටුණේය.

“ඔය මනුස්සයාට ගහන්න එපා. අපිට ඉස්පිරිතාලෙට ගෙනියන්න ඉඩ දීපන්” මිත්තනිය ද මරලතෝනි දෙමින් පහර දෙනවුන්ට කීවාය.

“අල්ලපන්. මුව උස්සපන්” හෙල්මටය අතැති පුද්ගලයාගේ විධානයට අනුව සෙසු දෙදෙනා විල්බට්ව ඔසවා ගත්හ. දියණියගේත් මිත්තණියගේත් විලාපය නොතැකූ ඔවුන් ඒ අසලින් ගලායන දණ්ඩගමුව ඔයට විල්බට් අතහැරියේ කිසිදු හිතක් පපුවක් නොමැත්ත වුන් සේය. පිරිස පලා ගියේ ඉන් අනතුරුවය.

“අයියෝ. උඹලා මොනවද ඒ කළේ... අනේ පුතේ”

මිත්තණිය විලාප දෙමින් දෙඅත් හිසේ ගසමින් උදව් ඉල්ලද්දී පුංචි අමාලි ඔය දෙසට ගොස් “තාත්තේ තාත්තේ කියමින් කෑගසන්නට වූවාය.”

ඔයට වැටුණු විල්බට් එකවරම වතුර යටට ගොස් යළි උඩට ආවේය. ඒ දුටු අමාලි නැවතත් ”තාත්තේ... තාත්තේ” යැයි කියමින් ලතෝනි දුන්නාය. ඒත් තාත්තාව බේරගන්නට තරම් ශක්තියක් මේ පුංචි දැරියට නොවීය. ඒ නිසා ඇය කෑ ගසමින් හඬා වැළපෙමින් ඒ මේ අත දිව්වාය. දෙතුන්වරක් වතුරෙන් උඩට පැමිණි විල්බට් අවසානයේ දිය බුබුළු නංවමින් ඔය යටටම ඇදී ගියේ අමාලි දුවගේ දෑස් ඉදිරියේය. නොපෙනී යන පියා දෙස බලමින් විලාප දෙන ඇගේ හඬ ඇසුණේ ඒ අවට සිටි වෝල්ටර් මාමාට පමණි.

“අනේ මාමේ අරුන් අපේ තාත්තාව ඔයට දැම්මා....”

අමාලි වෝල්ටර්ට හඬමින් කීවාය. ඔහුද ඔය දෙසට දිවගොස් ඒ මේ අත බලමින් විල්බට් සෙවුව ද විල්බට්ගේ සේයාවක් වත් කාටවත් පෙනුණේ නැත.

“උඹලා පලයන් පොලිසි....”

වෝල්ටර් ගේ කතාව ඇසූ අමාලිත් මිත්තණියත් කුලියාපිටිය පොලිසියට දිව ගියේ ඉන් අනතුරුවය.

කිරි අම්මාත් අමාලිත් සිදු වූ සියල්ල පොලිස් නිලධාරින්ට කීහ.

“ඒ තුන්දෙනා තාත්තට ගහලා ගහලා ඔයට දැම්මා.” දියණියගේත් මිත්තනියගේත් පැමිණිල්ල සටහන් කරගත් නිලධාරින් සිද්ධිය වූ බව කියන මීගහකොටුව දණ්ඩගමුව ඔය වෙත යන්නේ ඉන් අනතුරුවය.

“මෙන්න මෙතනින් තමයි තාත්තව දැම්මේ..”

දියණිය අපරාධ විමර්ශන අංශය බාර ස්ථානාධිපතිවරයාට තාත්තා ඔයට දැමූ ආකාරයත් එම ස්ථානයත් පෙන්වමින් කියන්නට වූවාය. නිලධාරින් ඔය පිරික්සුව ද විල්බට්ගේ සේයාවක්වත් දක්නට නොවීය. ඉන් අනතුරුව විමර්ශන ඇරඔූ නිලධාරින් දුටුවේ ගංතෙර ස්ථාන දෙකක රුධිරය ගලා ගොස් තිබෙන අයුරුය. ඉන් අනතුරුව සිද්ධිය වූ ස්ථානයට ආරක්ෂාව යෙදූ නිලධාරින් සොකෝ නිලධාරින් ද එතැනට කැඳවිය. අඳුර වැටෙන තුරු ඔය හා ඒ අවට සෝදිසි කළ ද විල්බට් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වූයේ නැත. උප පොලිස් පරීක්ෂකවරයකුගේ ආරක්ෂාව සිද්ධිය වූ ස්ථානයට යෙද වූ ස්ථානාධිපතිවරයා ඉන් අනතුරුව සිද්ධිය ඇසින් දුටු අමාලි දුව ගෙනුත් මිත්තණියගෙනුත් තවදුරටත් ප්‍රශ්න කළේ විල්බට්ට පහර දුන් තිදෙනා කවුදැයි දැන ගන්නටය.

ඇය තාත්තට පහර දීමට පැමිණි තිදෙනාගේ නම් පොලිසියට කීවාය.

පසුදා උදෑසන යළි නිලධාරිහූ සිද්ධිය වූ ස්ථානයට ගියහ. ඒ වනවිටත් අමාලිත් මිත්තණියත් දණ්ඩගමුව ඔය අසළට වී සිටියේ විල්බට් ගේ සිරුරවත් දැක ගැනීමේ අදහසින් දණ්ඩගමුව ඔය අසල රැඳී සිටියහ.

පැය කිහිපයක් ගත වෙද්දී විල්බට්ගේ හිස යාන්තමින් ඔයෙන් උඩට මතු විය. ඒ බව ඉස්සෙල්ලාම දුටුවේ ද අමාලිය.

“කිරි අම්මේ.... අන්න තාත්තාගේ.....”

ටිකෙන් ටික විල්බට්ගේ හිස වතුරෙන් ඉහළට එද්දී ස්ථානාධිපතිවරයා වහා කිමිදුම්කරුවන් එතැනට යවමින් වතුරෙන් ඉහළට මතු වී ඇත්තේ ඔයට දැමූ විල්බට් දැයි විමසා බැලිය. ඉන් අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිසිය කටයුතු කළේය. ඒ අනුව වැඩබලන මහේස්ත්‍රාත් මාධව අධිකාරි මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණි අතර ඔහු ඉදිරියේ විල්බට්ගේ සිරුර ගොඩගැනීම සිදු විය. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විල්බට්ගේ සිරුර කුලියාපිටිය මූලික රෝහලට යැවුයේ ඉන් පසුවය.

කුලියාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර ඔහුගේ නිගමනය වූයේ විල්බට් ගේ මරණය දියේ ගිලීමෙන් සිදු වූවක් බවය. මරණකරුගේ හිස මුදුනේ මොට ආයුධයකින් පහර දීම් හා පැලීම් ද වම් ඇස අසළ තැලීම් තුවාල ඇති බව ද වෛද්‍ය වාර්තාවේ සඳහන් විය.

පරීක්ෂණ වලින් අනතුරුව විල්බට්ගේ සිරුර ඔහුගේ බිරියට බාර දීමට කටයුතු කළ නිලධාරින් ඉන් පසුව හඹා ගියේ විල්බට් ඝාතනය කිරීමට පැමිණි තිදෙනා සොයාය. තිදෙනාගේ නම් පොලිසිය සතුව තිබීම නිසා ඔවුන්ට නිවෙස්වල රැඳී සිටීමට නොහැකි විය. පොලිසිය තමන් පසුපස හඹා එන බව දත් සැකකරුවන් තිදෙනා ඉන් දින කිහිපයකට පසු නීතිඥයන් මාර්ගයෙන් පොලිසියට බාර විය.

පසුව ඔවුන් වෙන් වෙන් කොට ප්‍රශ්න කිරීම් ඇරඹීය. එහිදී ඔවුන් කීවේ තමා විල්බට්ගේ ඝාතනයට සම්බන්ධ නැති බවය. සිද්ධිය වන දා තමන් කුලියාපිටියේ නොසිටි බවත් ඔවුන් දිව්ර දිව්රා කීහ. ඒත් අපරාධ විමර්ශන නිලධාරින්ගේ තියුණු ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන්ට දිගින් දිගටම බොරු කීමට නොහැකි විය. අවසානයේ ඔවූහු ඇත්ත වැමැරූහ.

ඒ අනුව ඔවුන් කීවේ මෙහි ප්‍රධාන සැකකරුගේ නැගණියට මියගිය විල්බට් කිසියම් හිංසනයක් කිරීම නිසා ඒ ගැන විමසන්නට විල්බට්ගේ නිවෙසට ගිය බවත් එහිදී ඇති වූ බහින් බස් වීම මත ඇති වූ කෝපයට හිස්වැසුමකින් පහර දුන් බවත්ය.

ඔහුගේ ප්‍රකාශය මත පහර දීමට උපයෝගි කරගත් හෙල්මටය ඔහුගේම නිවසේ තිබී සොයා ගැනීමට පොලීසියට හැකි විය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා බන්ධනාගාර ගත කෙරිණ. කුරුණෑගල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති එඩ්මන්ඩ් මහේන්ද්‍ර කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල කඩුපිටිය යන නිලධාරීන්ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ජාලිය හීන්කෙන්දගේ මෙහෙයවීමෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක අජිත් පි‍්‍රයන්තගේ උපදෙසින් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඩී.බී.එම්. සෝමසිරි හැරිසන් ප්‍රමුඛ උප පොලිස් පරීක්ෂක තිලාන්, සැරයන්වරුන් වන ධර්මසිරි (29269) ජිනදාස (21377) ඥනරත්න (49120) හා කොස්තාපල්වරුන් වන රණසිංහ (49754) ජයකොඩි (49111) ත් අපරාධ පරීක්ෂණාගාර අංශයේ උප පොලිස් පරීක්ෂක සිරිසෝම සැරයන් පත්ම කුමාර (19051) පි‍්‍රයන්ත (49051) හා කොස්තාපල් සුනිල් (29541) යන නිලධාරිහු මේ විමර්ශන වලට එක්ව සිටියහ.

කීර්ති මෙන්ඩිස්

පින්තූර ඩබ්ලිව්. රණසිංහ (කුලියාපිටිය විශේෂ)