“පහරදීමෙන් ප්‍රශ්න විසඳීම අනුමත කරන්නේ නැහැ”

“පහරදීමෙන් ප්‍රශ්න විසඳීම අනුමත කරන්නේ නැහැ”

එඩ්මන්ඩ් මහේන්ද්‍ර

නියෝජ්‍ය පොලිස්පති

කුරුණෑගල දිසාව

ගාල්ල රිච්මන්ඩ් මහ විද්‍යාලයෙන් සිප්සතර හදාරා 1979 වසරේ උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුව එක්වන ඔහු වසර හතරමාරක් හතරලියද්ද පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත් තවත් වසර හතර හමාරක් ගලගෙදර ස්ථානාධිපති වරයාලෙසත් රාජකාරි කරන්නේ භීෂණ පැවති කාලය තුළදීය. ඉන් අනතුරුව පේරාදෙණිය හා කටුගස්තොට බාර ස්ථානාධිපතිවරයා හා මහනුවර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස සේවය කරන ඔහු කන්කන්සතුරේ බාර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස උසස් වීම් ලබන්නේය. ත්‍රස්තවාදි ක්‍රියාකාරකම් පැවති සමයේ පේදුරුතුඩුව බාරව ක්‍රියාකරන ඔහු පොලිස් අධිකාරි තනතුරට උසස්වීම් ලැබ විශේෂ කාර්යාංශය බාරවත් ඉන් අනතුරුව කන්කසන්තුරේ කොට්ඨාශය, පානදුර කොට්ඨාසය, මාන්කුලම් කොට්ඨාශය බාරව ක්‍රියාකරන අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස උසස්වීම් ලබා කිලිනොච්චිය, නුවර එළිය හා මහනුවර කොට්ඨාශ බාර රාජකාරි කරන්නේ මහජන විශ්වාසය ද දිනා ගනිමින්ය. වසර 38ක සේවාකාලයකට හිමිකම් කියන ඔහු නියෝජ්‍ය පොලිස්පති ලෙස උසස්වීම් ලබා කුරුණෑගල දිසාව බාරව රාජකාරි කරන්නේය. සේවා කාලයේ අත්දැකීම් අළලා අප ඔහු හා කළ කෙටි සාකච්ඡාවකි මේ,

* වසර තිස් අටක සේවා කාලයක්. ආපසු හැරි බැලුවහොත් මොකද හිතන්නේ?

“ඇත්තටම සතුටුයි. අවංක රාජකාරියක් කළා කියලා හිතෙනවා. රාජාකාරි තෘප්තිමත්. මහජනයාට උපරීම කැපවීමෙන් සේවයක් කළා.”

* මහනුවර කොට්ඨාශ බාරව ඔබ ක්‍රියා කළා. දළදා පෙරහැර කිහිපයකටම ඔබ දායකත්වය දුන්නා?

“ඔව්. මම හිතන විදියට පෙරහරවල් කිහිපයකටම දායකත්වය ලබාදීලා තියෙනවා. මහනුවර කොට්ඨාශය බාරව රාජකාරි කරන්නට කලින් මහනුවර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස වසර හතරහමාරක් ක්‍රියාකළා. එතැන පෙරහර 5කටම දායකත්වය දුන්නා. වසර දෙකක් කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විදියට පෙරහර දෙකක් කළා. ඒ වගේම ධාතු ප්‍රදර්ශන කිහිපයක්ම කළා. ඒ සෑම දෙයක්ම කිසිදු අපහසුතාවයකින් කලබලයකින් තොරව සාමාකාමීව පැවැත් වුවා.”

“ඊට අමතරව මට මතකයි පසුගිය මැයි පොළපාලිය පැවැත්වුවේ මහනුවර ගැටඹේ. ඒකට වාහන 3000ක් විතර ආවා දිවයිනේ හතර දිග් භාගයෙන් බස් රථ විශාල සංඛ්‍යාවක්. මහජනතාව ඊට වඩා ආවා. නියම සැලස්මක් මත ඔය සියල්ල හැසිරෙව්වා. කිසිදු රථවාහන තදබදයක් හෝ සිදුවීමක් නොවී සියල්ල අවසන් වුණා.”

* සිදුවීමකින් තොරව රාජකාරියක් අවසන් කරන්නට පොලිස් නිලධාරියා සතුව කුමක්ද තිබිය යුත්තේ?

“ වසර තිස් අටක් මම දැනට රාජකාරි කරනවා. ඒ අතරින් මහනුවර විශේෂයි. මහනුවර දළදා මාළිගාව වැඳ පුදාගන්න එන බැතිමතුන් සංඛ්‍යාව දිනෙන් දිනම වැඩිවෙනවා. රාජ්‍යනායකයන් එනවා, ප්‍රභූවරු එනවා. ඒ හැමෝම ගැනම අවධානයක් තියෙන්න ඕන. පෙළපාලි වගේ විශාල රැස්වීම් පැවත්වෙනවා. නගරයේ වාහන තදබදයක් ඇතිවෙනවා. ඒ සියල්ල ගැනම අවධානයක් අදාල කොට්ඨාශය බාර නිලධාරියා සතුව තිබිය යුතුයි. ඒ සඳහා පළපුරුද්ද තියෙන්නම ඕන. සියල්ල සිදුවීමකින් තොරව අවශ්‍ය වන්නේ ඒ නිසයි.”

“අනෙක තමයි එවැනි අවස්ථාවලට මහනුවරට අමතරව දිවයිනේ හැම කොට්ඨාශයකින්ම විශේෂ රාජකාරි සඳහා නිලධාරින් පැමිණෙනවා. ඔවුන්ගේ සුබසාධන සොයා බැලිය යුතුයි. ඔවුන්ට නිසි උපදෙස් දිය යුතුයි. එතකොට ඒ නිලධාරින් විනයක් ඇතිව වැඩ කරනවා. විනය කඩකිරීමේ වාර්තා වන්නේ නැහැ. ඒ නිලධාරින් නිසියාකාරව හැසිරවීම පළපුරුදු සහිත නිලධාරියකුට හැකියි.”

* එහෙත් විනය ගැන කතා කරද්දී පොලිසියට බොහොමයක් චෝදනා එල්ල වෙනවා?

“ඒක තමයි අවබෝධයක් නැතිකම. හැම නිලධාරියෙකුට තමන් කරන රාජකාරිය ගැන අවබෝධයක් තියෙන්න ඕන. කොටින්ම කියනවානම් කරන “ජොබ්” එක ගැන ඔවුන් දැනගෙන ඉන්න ඕන. ඒක ගැන හරි අවබෝධයක් තියෙනවානම් විනය කඩ කිරීම් ඇති වෙන්නේ නැහැ.”

* වයඹ දිසාවේ අපරාධ විසඳීම හා අපරාධ වාර්තා වීම් කොහොමද?

“මම කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්වී තවමත් කෙටි කාලයයි. ඒත් රාජකාරි කළ හැම කොට්ඨාශයකම අපරාධ වාර්තාවීම් පාලනය කරගන්න මට හැකිවුණා. පොලිස්පතිතුමාගේ සංකල්පයට අනුව දේපල පිළිබඳ අපරාධ 75%ක් තිබිය යුතු වෙනවා. මම හිටිය හැම කොට්ඨාශයකම මට ඒ තත්ත්වය ගේන්න හැකිවුණා. ඒකට පහළ ශ්‍රේණිවල නිලධාරින් ලොකු දායකත්වය මට ලබා දුන්නා.”

* අපරාධ විසඳීම ඉහළ මට්ටමක පවත්වාගෙන යන්න අවශ්‍ය වන්නේ කුමක්ද?

“අපරාධ මර්ධනය කිරිම සඳහා නිලධාරින්ට නිසි උපදෙස් ලබාදිය යුතුයි. ඒ සඳහා ඔවුන් උනන්දු කළ යුතුයි. ඊට සමගාමිව සිදුකරන ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ තත්ත්වයට එන්න පුළුවන් වෙන්නේ.”

“අනෙක තමයි අපරාධ විසඳීමට වඩා අපරාධයක් වාර්තා වීම වළක්වා ගැනීමයි කළ යුත්තේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් අපරාධ වාර්තා වීම අඩු වෙනවා. සිද්ධ වුණාට පස්සේ විසඳන්න යනවට වඩා සිදුවීමක් නොවී පවත්වාගෙන යාම සඳහා හොඳම ක්‍රමය මම හිතන විදියට”

* ඒ සඳහා කළ යුත්තේ?

“මාර්ග බාධක, සෝදිසි කිරිම්, දිවා රෑ රාජකාරි, ක්ෂණික වැටලීම්, සැක සහිත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම්, සංචාරක ක්‍රම, ඔන්න ඔය වගේ විවිධ ක්‍රම වසමක් තුළ ක්‍රියාත්මක වෙනවා නම් අපරාධ වාර්තාවීම හුඟාක් දුරට අඩුයි.”

* සෑම අපරාධයක්ම විසඳිය හැකියි කියන මතය ඔබ විශ්වාස කරනවද?

“ඇත්තෙන්ම ඔව්. ඕනෑම අපරාධයක් විසඳන්න පුළුවන්. ඒ සඳහා නිලධාරියා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. පොලිසියට බැරිනම් රහස් පොලිසිය හරි ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. අද දියුණු තාක්ෂණ ක්‍රම වේද අපි සතුව තියෙනවා. ඒවා උපයෝගිකරගනිමින් අපරාධ රැසක් අනාවරණය කරගැනීමට හැකිවෙලා තියෙනවා. විසඳන්න බැරි දෙයක් නැහැ. අද තියෙන තාක්ෂණය අනුව අපරාධකාරයා දන්නේත් නැහැ තමන් ළඟට පොලිසිය එනතුරු”

* ඒ සඳහා නිලධාරියා සතුව තිබිය යුතු ගුණාංග මොනවද?

දැනුම, පළපුරුද්ද, දක්ෂකම වගේ ගුණාංග තියෙන්න ඕන.අපරාධයක් සිදු වූ වහාම ඒ පසුපස හඹාගෙන යාමට හැකියාවක් තිබිය යුතුයි. සාක්කි හා තොරතුරු ඔස්සේ විමර්ශනය කරලා අපරාධකරු නිතිය ඉදිරියට ගෙන ඒමට බුද්ධිමත්ව රාජකාරි කරන නිලධාරියාට හැකියි. ඒ සඳහා නවීන තාක්ෂණය බුද්ධි තොරතුරු මහජන සහාය, ඇතුළු නොයෙකුත් දේ ලබාගැනීමට නිලධාරියාට පුළුවන්.”

* මහජනය සහාය අත්‍යවශ්‍යමද?

“අපරාධයක් සිදු වූ සැනින් ඒ සඳහා විමර්ශන ඇරඹෙනවා. හෝඩුවාවක් නැති වූ විට නිලධාරියා මහජන සහය පතනවා. ඔවුන්ගෙන් තොරතුරු බලාපොරොත්තුවනවා. ඉස්සර කාලයේ වගේ නෙමෙයි අද එවැනි තොරතුරු ලැබෙනවා අඩුයි. ඊට හේතුව තමයි විශ්වාසයක් නැතිකම. ඒ නැතිවුණු විශ්වාසය ඇතිකරගැනීම සඳහා තමයි පොලිස්පතිතුමා විසින් ඔය “ගමට පොලිසිය” වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න උපදෙස් දීලා තියෙන්නේ. “

“මහජන විශ්වාසය පොලිසිය කෙරෙහි නැත්නම් නිසි රාජාකාරි කරන්න අමාරුයි. ඒ නිසා මහජනයාගේ විශ්වාසය දිනාගත යුතුමයි. එතකොටයි මහජනයා පොලිසියට සහය දක්වන්නේ.”

ඒ විශ්වාසය දිනාගන්න නම් ඒ නිලධාරියා අවංක කැපවීමකින් රාජකාරිය කළ යුතු වෙනවා. අනික තමයි මහජනයා දෙන තොරතුරේ රහස්‍ය භාවය රැකගැනීමට අදාල නිළධාරියා ක්‍රියාකළ යුතුවීම. එහෙම විශ්වාසයක් නැතිවුණොත් ඔවුන් කිසිදු වැදගත් තොරතුරක්වත් ලබා දෙන්නේ නැහැ. ඒ ඔවුන්ට වෙනත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන නිසා. මහජන සහයෝගය හා විශ්වාසය එකතුවුණාම තමයි පොලිසියට හරි ගමනක් යන්න පුළුවන් වෙන්නේ.”

* පසුගියදා පොලිස් පහරදීම් ගැන චෝදනා එල්ල වුණා ඒ ගැන ඔබ දරන්නේ කුමන මතයක්ද?

“පහරදීම මමත් අනුමත කරන්නේ නැහැ. නිලධාරියකුට විනයක් තියෙනවා. ඒවා උගන්වලා තියෙනවා. අනෙක පළපුරුද්ද තියෙනවා, ඉවසීම තියෙනවා එවැනි අයකු පුද්ගලයකුට පහර දෙන්න යන්නේ නැහැ දක්ෂතාවය මත බුද්ධිමත්ව එය පාලනය කර ගැනීමට නිලධාරියා දැනගත යුතුයි. පහරදීම මෙවන් සමාජයකට ඔබින්නේ නැහැ.”

* වසර තිස් අටක සේවා කාලයක් රාජකාරි කළ ඔබ පොලිස් දෙපාර්තමේන්තුවට බැඳෙන නවක නිලධාරියෙකුට දෙන උපදෙස මොකක්ද?

“අද පොලිසියට බැදෙන නිළධාරියට සිය රාජකාරියෙන් ඉදිරියට යන්න පුළුවන් ක්‍රම වේද ඕන තරම් තියෙනවා. පාඨමාලා විශාල ගණනක්, තියෙනවා. අපි පොලිසියට බැඳෙන කාළේ ඔහොම තිබුණේ නැහැ. නීතිය, අපරාධ, තාක්ෂණය වගේ විෂය මාලා අනුව සැකසුණු දේශීය හා විදේශීය පුහුණු පාඨමාලාවලට ඔවුන්ට සහභාගි විය හැකියි. අනෙක අද තාක්ෂණය උපරීමයෙන්ම තියෙනවා. මේවා උපකාරිකරගෙන අපරාධ විසඳීමට හැකියාව තියෙනවා. අපරාධ විසඳිම හෝ මර්ධනය තුළින් මහජනයාට සේවයක් කිරීම සඳහා හැම නිලධාරියකුම සිහි තබාගත යුත්තේ.”

කීර්ති මෙන්ඩිස්