ජෙසිකාගේ මාරයා අවුරුදු 17 ක කොල්ලෙක්

ජෙසිකාගේ මාරයා අවුරුදු 17 ක කොල්ලෙක්

ජෙසිකා චූටි කෙල්ලක්. වයස අවුරුදු 10 යි. හැමදාම පාසල් යන්නේ යාළුවො ටිකක් එක්ක එකතු වෙලයි. මේ චූටි කෙල්ලො ටික එකට එකතු වෙන්නේ චෙල්සියා උද්‍යානයේ දීයි. ජෙසිකා පදිංචි වෙලා සිටියෙ ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ වෙස්ට්මිනිස්ටර් ප්‍රදේශයේ. නිවසේ සිට නිවාස පේළි තුනකට එපිටින් තමයි චෙල්සියා උද්‍යානය පිහිටා තියෙන්නෙ. එතැන සිට ඔවුන් ඉගෙනගන්නා විට් ප්‍රාථමික පාසලට දුර සැතපුමක් පමණ වෙනවා.

මේ පුංචි කෙල්ලො රෑන සමනල්ලු වගේ ලස්සනට ඇඳගෙන කිරිල්ලියෝ වගේ කිචිබිචි ගගා කියවමින් දිනපතා පාසල් යනවා. පසුගිය ඔක්තෝම්බර් 05 වැනිදාත් ජෙසිකා මිතුරියො එක්ක පාසල් යන්න නිවෙසින් පිටත් වුණේ උදෑසන 8.30 ට විතර.

මේ දැරිය වෙස්ට්මිනිස්ටර් නිවෙසේ ජීවත්වෙන්නේ ඇගේ මව සාරා සමඟයි. ඇගේ පියා ඉන්නේ විසුරි පළාතෙයි. සාරා ගේ ආච්චිත් ඉන්නේ ඔවුන් පදිංචි පළාතෙමයි. සාරා ගෙ අම්මා රාත්‍රී වැඩ මුරයක සේවා කරන්නියක්. ඈ රෑ වැඩ මුරය දාට උදෑසන ඇවිත් චුටි දියණිය පාසල් යන්න පිටත් කර හැර මුළු දවසම නිදා ගන්නවා. ඒක එයාගේ පුරුද්දක්.

එදාත් ජෙසිකා පාසල් යන්න පිටත් වුණා. “බායි මමී” මවට හාද්දක් දුන් ජෙසිකා පිටේ පාසල් බෑගයත් එල්ලාගෙන දිව ගියේ මිතුරියන්ට එකතු වෙන්නයි. දියණිය යන දෙස බලා සිටි සාරාත් ගෙදර දොර වසා දමා ඇඳට වැටුණා. මිතුරියන් හමුවෙන්න චෙල්සියා උද්‍යානයට යන්න පිටත් වුණත් එදා ජෙසිකා ආවේ නැහැ. මිතුරියෝ ඇය එනතුරු මඳක් බලාසිට පාසලට ගියා.

“අද ජෙසිකා කෝ?” පාසල ආරම්භ වූ පසු ජෙසිකා ගැන විමසුවේ පන්තිභාර ගුරුතුමියයි. “එයා අද ආවේ නැහැ. අපි බලන් ඉඳලා ආවා” මිතුරියක් පිළිතුරු දුන්නා.

දැරියක් පාසලට නොදන්වා නොපැමිණිවිට ඒ ගැන මවුපියන්ගෙන් විමසීම ඒ පාසලේ සිරිතකි. පාසල් බලධාරින් ජෙසිකා ගේ මවට දුරකථන ඇමතුමක් ගනිද්දී වෙලාව පෙ.ව. 10.30 ට විතර ඇති. “ට්‍රිං ට්‍රිං ට්‍රිං” ජෙසිකා ගේ ගෙදර දුරකථනය හැඬවුණත් පිළිතුරු නැහැ. ඒ වෙනුවට මද වේලාවකින් “පණිවුඩයක් ඇත්නම් තබන්න” යන හඬ පටයකින් කියැවුණා. පාසල් බලධාරින් ද “වොයිස් මේල්” මඟින් සාරාගේ දුරකථනයට පණිවුඩයක් තැබුවා. දවස පුරාම වෙහෙසව සිටි සාරා දිගටම නිදා සිට අවදිවෙද්දී වේලාව පස්වරු හතරයි. පාසලේ පණිවුඩය ඇයට ලැබුණේ එවිටයි. ඇය වහාම වෙස්ට්මිනිස්ටර් පොලිසිය ඇමතුවා.

“මගේ චූටි දුව අද පාසලට ගිහින් නැහැ. පාසලින් තැබූ පණිවුඩය ලැබුණේ දැනුයි.” බියපත් ව සිටි සාරා හඬමින් පොලිසියට විස්තර කළා.

වෙස්ට්මිනිස්ටර් පොලිසියෙන් ඒ තොරතුර කොලරාඩෝ අපරාධ පරීක්ෂණ කාර්යාංශයට දැනුම් දී අවශ්‍ය උපදෙස් ගැනීමට තවත් පැය කිහිපයක් පමා වුණා. අවසානයේ කොලරාඩෝ පොලිස් පරීක්ෂණ කාර්යාංශය “ඇම්බර් ඇලර්ට්” නම් වූ මහජනනයා දැනුම්වත් කිරිමේ හදිසි පණිවුඩය නිකුත් කරද්දී දැරිය අතුරුදන් වී පැය පහක් ගත වී හමාරයි.

“ඇම්බර් ඇලර්ට්” නිවේදනය ඇසූ කොලරාඩෝ ප්‍රාන්තවාසීන් වහාම ක්‍රියාත්මක වුණා. ජෙසිකා සෙවීමට සහාය දීමට ඔවුන් පොලිස් ස්ථාන කරා එක්රොක් වුණේ තමන්ගේ නැති වූ දරුවකු සොයන්නාක් මෙන් කැපවීමෙනුයි. පොලිසිය ද අනුගමනය කරමින් ඔවුන් ජෙසිකා සොයන්න පටන් ගත්තා.

මුලදී ඔවුන් ජෙසිකා සොයා මෙහෙයුම් කළේ ඇගේ නිවෙසේ අවට ප්‍රදේශයේ හා පාසල අවට ප්‍රදේශයේයි. ඉන්පසු මුළු වෙස්ට්මිනිස්ටර් පළාතේ සහ අසල්වාසී රොක් ක්‍රීක් ප්‍රදේශයේත් මෙහෙයුම් ව්‍යාප්ත කළා. මේ වෙද්දී ජෙසිකා අතුරුදන් වී දෙදිනක් ගත වෙලා.

ඔක්තෝම්බර් 08 වැනිදා ජෙසිකා සොයා අවට ප්‍රදේශය පීරද්දී ඇගේ පාසල් බෑගය සොයා ගත්තා. ඇය පදිංචි පළාතට ආසන්න කැලෑ රොදක තිබී ඇගේ පොත් බෑගය සොයා ගැනීමත් සමඟ පොලිසිය සිය විමර්ශන තවත් දැඩි කළා. මේ අතර දී රූපවාහිනිය ඉදිරියේ පෙනී සිටි ජෙසිකා ගේ මව හා පියා හැඬූ කඳුළින් සිය දියණිය නිරුපද්‍රිතව තමන් වෙත ගැනීමට උපකාර වන ලෙස මහජනතාවගෙන් ආයාචනා කළා. ඒහෙත්, ඒ සියලු ප්‍රාර්ථනා හා ආයාචනා නිශ්ඵල කරමින් ජෙසිකා ගේ මළ සිරුර හමු වුණේ ඇය අතුරුදන් වී හරියටම දින හයකට පසුවයි. ඝාතනය කළ දැරියගේ සිරුරු කොටස් ඇය පදිංචි ප්‍රදේශයෙන් සැතපුම් හතක් එපිටින් වූ කෙට්නර් ලේක් ප්‍රදේශයේ මහා මාර්ගයක් අද්දර දමා ගොස් තිබුණා.

මේ සොයා ගැනීමත් සමඟ පොලිසිය පත් වුණේ මහත් අසීරුතාවයකටයි. දැරියගේ ඝාතකයන් සෙවීම පොලිසියේ මීළඟ අරමුණ වුණා. ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතුව පොලිසිය සැකසහිත කරුණු ඔස්සේ පරීක්ෂණ තීව්‍ර කළා. ජෙසිකා දැරිය ඝාතනය කර තිබුණේ ඇය අපහරණයට ලක් කිරීමෙන් අනතුරුවයි. මේ නිසා පොලිසිය මීළඟට කළේ ළමා හා කාන්තා ලිංගික අපචාර සඳහා චෝදනාවට ලක් වූවන් පිරික්සීමයි.

මැයි මාසයේ දී 22 හැවිරිදි තරුණියක වූ රොමේන් පැහැර ගෙන යෑමට තැත් කිරීමක් ගැන පොලිස් පොතේ තොරතුරු සටහන් වී තිබීමක් ගැන නිලධාරින්ගේ අවධානයට ලක් වූණේ මේ අතර වාරයේදීයි.

ඒ සිදුවීම වුණේ ඒ අසාන්න කෙට්නර් ලේක් ප්‍රදේශයේයි. රොමේන් එදා උදෑසන ව්‍යායාම සඳහා දුවමින් සිටියා.

“කවුදෝ කෙනෙක් මගේ පිටුපසින් විත් මගේ මුහුණට රසායන ද්‍රව්‍ය පෙඟවූ ලේන්සුවක් ඇල්ලුවා. ඒත් මං ඔහුගෙන් බේරී දිව ගියා.”යනුවෙන් රොමේන් තමා මුහුණ දුන් බියකරු අත්දැකීම පොලිසියට විස්තර කලා.

තමා නතර කර ගැනීමට තැත් කළ පුද්ගලයා ගේ හැඩරුව රොමේන් අපූරුවට විස්තර කළා.

“ඔහු වයස අවුරුදු 18 -30 ක් අතර වගේ කෙනෙක් උස අඩි 5 ක් 6 ක් විතර ඇති. කොණ්ඩෙ දුඹුරු පාටයි.”

රොමේන් කළ විස්තරත් අනුව ජෙසිකා අතුරුදන්වීම හා මේ අතර කිසියම් සමානත්වයක් ඇතැයි පොලිසිය සැක කළා. ඒ සමඟ පොලිසිය කළේ වෙස්ට්මිනිස්ටර් පළාත පුරා ජනතාව දැනුම්වත් කරමින් තමන් සතු තොරතුරුවලට අදාළ සැක කටයුතු පුද්ගලයන් ගැන විමසිල්ලෙන් සිටින ලෙස පැවසීමයි.

මේ දැනුම්වත් කිරිමේ සාර්ථක ප්‍රතිඵලයක් ඉන් දින කිහිපයකට පසු ලැබුණා. ජෙසිකා ගේ සිරුර හමු වූ ස්ථානයේ සිට සැතපුමක් පමණ එපිටින් තඹ පැහැති හිසකේ වගයක් පොලිසිය සොයා ගත්තා. පොලිසියට එය ප්‍රබල සාක්කියක් වූවා. ඉනුත් දින කිහිපයකට පසු ඒ අසල ප්‍රදේශයක තිබී ලී කුරුසයක් ද හමු වුණා. දිගින් අඟල් එකහමාරක් හා පළලින් අඟලක් පමණ වූ එල්ලාගෙන තිබුණක් බවට සලකුණු තිබුණා.

පරීක්ෂකයන් සැක කළේ මේ ලී කුරුසය ඝාතකයාගේ බවයි. එය ඝාතකයා සොයා ගැනීමට බොහෝ ඉවහල් විය හැකි බවට ඔවුන් විශ්වාසය පළ කළා. ඒ සමඟම පරීක්ෂකයන් කළේ ලී කුරුසයේ සේයා මාධ්‍ය වෙත නිකුත් කර ඒ හරහා මහජන අවධානයට ලක් කිරීමයි.

මේ අතරවාරයේ පොලිසියට යම්කිසි පුද්ගලයකු පිළිබඳ තොරතුරක් ලැබුණා. ඒ ලද තොරතුර ඔස්සේ පොලිසිය ගියේ කෙට්නර් ලේක් ප්‍රදේශයටයි. කෙම්නර් ලේක් යනු ජෙසිකා ගේ සිරුර හමු වූ ප්‍රදේශයයි. එහි නිවෙසක වෙසෙන තරුණයකු ජෙසිකා ගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු ඔස්ටින් නමැත්තෙකි. දාහත් හැවිරිදි තරුණයකු වූ ඔහු ඒ නිවෙසේ ජීවත් වුයේ සිය මව සමඟයි. අත්අඩංගුවට පත් වෙද්දී නිහඬව සිටියත් පොලිසිය පසුව දිගින් දිගටම ඔස්ටින්ගේ නිවෙස සෝදිසි කරද්දී ජෙසිකාගේ අතුරුදන් වීම හා ඇගේ ඝාතනය ගැන ඔහු සියල්ල පාපොච්චාරණය කළා. ඔස්ටින් ඒ සමඟම ජෙසිකා ගේ සිරුරේ සමහර කොටස් ඇති තැන් ගැන ද පොලිසියට හෙළිකළා. මේ සාක්කි හා ඩී.එන්.ඒ සාක්කි අනුව පොලිසිය ජෙසිකා ගේ අතුරුදන් වීම හා ඝාතනය සම්බන්ධයෙන් ඔස්ටින්ට විරුද්ධව නඩු පැවරුවා.

ඇත්තෙන්ම එදා උදෑසන ජෙසිකා ට සිදු වූ දේ ඕනෑම ගැහැනු ළමයකුට සිදුවිය හැකිව තිබුණා. ඔස්ටින් අත්අඩංගුවට පත් වුණත් එවන් ලිංගික අපරාධකරුවන් සමාජයේ තවත් සිටිය හැකි බවත් පොලිසිය අවධාරණය කළා.

ඔස්ටින් අත්අඩංගුවට ගත් පසු පොලිසිය ඒ බව ජෙසිකා ගේ දෙමවුපියයන් ඇතුළු පවුලේ අයට දැනුම් දුන්නා. මේ අත්අඩංගුවට ගැනීම නිසා තරුණ දරුවන් සිටින පළාතේ පවුල් බොහොමයක වැඩිහිටියන් සැනසුම් සුසුම් හෙළුවා.

“ජෙසිකා ගේ ඝාතකයා කවුදැයි හඳුනාගන්නා තුරු අපට අපේ දරුවන් සෙල්ලම් කිරීමටවත් එළියට යවන්න බියක් තිබුණා. මේ ආරංචිය ලැබුණු පසු අපට සැනසීමක් ලැබුණා.” යැයි ජෙසිකා ගේ අසල්වාසීන් පවසනවා.

කොලරාඩෝ පොලිස් ප්‍රධානියා මෙහිදී නිලධාරින්ට හා අසල්වැසියන්ට ස්තූති කළේ ඝාතකයා සොයා ගැනීමට ඔවුන් දැක්වූ උනන්දුව හා කළ උදව් වෙනුවෙනුයි.

ලද සාක්කි මත පොලිසිය ඔස්ටින්ට විරුද්ධව කරුණු 17 ක් උඩ නඩු පැවරුවා. මිනීමැරීම, හිතාමතා පැහැරගෙන යෑම, සොරකම් කිරීම, අපහරණයට ලක් කිරීම සහ හිංසනය වැනි කරුණු ගණනාවක් ඊට ඇතුළත්ය. ඊටත් අමතරව උදෑසන ව්‍යායාම කරමින් සිටි රොමේන් පැහැරගෙන යෑමට තැත් කිරීමට සහ අපහරණයට තැත් කිරීමට යන චෝදනාත් ඔහුට විරුද්ධව එල්ල වෙනවා.

ඔස්ටින් 17 හැවිරිදි තරුණයකු වුවත් ඔහු කළ අපරාධ නිසා අධිකරණය ඔහු වැඩිහිටියකු ලෙස සලකා චෝදනා විභාග කිරීමට තීරණය කළා.

මේ නඩු විභාගයේ මූලික සාක්කි විභාගය පසුගිය දා පැවැත්වෙද්දී ජෙසිකා ගේ ඥාතීන් ඒ සඳහා සහභාගි වූණේ දම් පැහැති ඇඳුමින් සැරසී ගෙනයි. හේතුව ජෙසිකා වඩාත්ම කැමති පැහැය දම්පාට වීමයි. ජෙසිකා ගේ ඝාතනය ගැන මූලික නඩු විභාගය එසේ යද්දී පසුගිය රැස් වූ වෙස්ට්මිනිස්ර් නගර සභාව ජෙසිකා සිය මිතුරියන් හා එක් වීමට හුරුව සිටි චෙල්සියා උද්‍යානය ඇයට ගරු කිරීමක් වශයෙන් ජෙසිකා අනුස්මරණ උද්‍යානය ලෙසින් නම් කිරීමට තීරණය කළා.

සේමාලි කැල්ලපත