මල්ශාලා හිමිකරු ඝාතනයට මස්සිනා රිමාන්ඩ්

මල්ශාලා හිමිකරු ඝාතනයට මස්සිනා රිමාන්ඩ්

උපුල් නිල්මිණි ආරියරත්න පොලිස් අධිකාරී කළුතර කොට්ඨාඹයදිනය - ඔක්තෝබර් මාසයේ 07 වැනිදාය. වේලාව දහවල් 12.45 ට පමණ විය. පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ 119 අංශයට ඇමතුමක් ලැබුණි.

“සර් පපඩම් කඩේ හංදියේදී එක් කෙනෙකුට දෙන්නෙක් පොරෝ වලින් කොටනවා.”

ඒ අනුව ක්‍රියාත්මක වූ දකුණු කළුතර පොලිසියේ නිලධාරින් එම ස්ථානයට යනවිට පපඩම් කඩය ඉදිරිපිට තාර පාරේ පෙනෙන්නට තිබුණේ මිය ගිය අයෙකුගේ මල සිරුරක්, පෙරලී ගිය යතුරු පැදියක් සහ වර්ග දෙකක සෙරෙප්පු දෙකක් පමණි.

මියගොස් සිටියේ මයුර පටබැඳිගේ උපුල් මංජුල පෙරේරා නම් වූ 43 හැවිරිදි දෙදරු පියෙකි.

ඔහු කළුතර කොළඹ රෝහල අසල පිහිටි ලයනල් මල් ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂකවරයාය. තම පියාට අයත් වූ ව්‍යාපාරය බොහෝ මහන්සියෙන් දියුණුව කරගෙන ගිය ඔහු කවුරුත් හැඳින්වූයේ “මංජු” යන නමිනි. ඔහු කළුතර හා ඒ අවට ප්‍රදේශය තුළ කවුරුත් දන්නා හඳුනන චරිතයක් විය.

සිද්ධිය වූ දින දහවල් “මංජු” තම යතුරු පැදියෙන් යමින් සිටියේ තම නිවෙස ඉදිරිපිට සවි කරන ගේට්ටුව සඳහා අවශ්‍ය උපාංග කීපයක් ගෙන යාම සඳහාය.

මේ අතර කළුතර දූව පන්සල පාරේ පපඩම් කඩේ හංදියේ “මරුටි” වර්ගයේ මෝටර් රථය නවතාගෙන සිටි දෙදෙනෙකු ඔහු එනතුරු බලා සිටියහ.

මංජු යතුරු පැදියෙන් එනු දුටු ඔවුන් දෙදෙනා එකවර කඩා පැන කොටේරිවලින් මංජුට පහර දෙන්නට වුහ. බිම ඇද වැටුණු “මංජු” ලේ විලක් මැද අවසන් ගමන් ගියේ ඉන් අනතුරුවය.

කළුතර හා අවට පෙදෙස්වල සිය දහස් ගණනකට අවසන් ගමන් යාම සඳහා තම අවමංගල්‍ය සේවාව තුළින් සේවා සැපයු මංජු එසේ අවසන් ගමන් යද්දී සැකකරුවන් එම මෝටර් රථයෙන්ම පලා ගොස් තිබුණි.

කළුතර වැඩ බලන මහේස්ත්‍රාත් වජීර ලක්ෂමන් උඩුරුප්පුලි මහතා සිද්ධිය වූ ස්ථානය සහ මළ සිරුර නිරීක්ෂණය කොට පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කළේය.

ඒ අනුව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනි එල්.බී.එම්. ප්‍රනාන්දු මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා වාර්තා කොට තිබුණේ තියුණු ආයුධයකින් පහරදීමෙන් සුසුම්නාව පස් පොළකින් කැපී ඇති බවත් ඒ අනුව මෙම මරණය සිදුවී ඇති බවත්ය.

මෙම සිද්ධියට අදාල ඇසින් දුටු සාක්ෂි අනුව පොලිසියේ සැකය යොමු වුයේ මංජුගේම මස්සිනා වෙතය.

ගුරුවරියක් වූ මංජුගේ නැගණිය විවාහ වී සිටියේ හමුදාවෙන් ඉවත් වූ අයෙකු වන ඔහු සමඟය. ඔහු ද කුඩා දරුවෙකුගේ පියෙකි.

මංජුත් මස්සිනාත් අතර පසුගිය කාලය තුළ වරින් වර අඩ දබර ඇති වූ අතර ඒවා පිළිබඳව පැමිණිලි පොලිසියටද ගලා ආවේය. දේපල පිළිබඳ ප්‍රශ්න ඇතුළු තවත් කාරණා රැසක් මෙම ගැටුම්වලට මුල් විය.

පසුගිය මාසයේ දිනක “මංජු” තම වෑන් රථයෙන් ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් මෝටර් රථයේ ගමන් කළ මස්සිනා එහි සිට කඩුවක් වනමින් මංජුට තර්ජනය කළේය.

මංජුද තම මල් ශාලාවේ සේවය කරන කීප දෙනෙකු සමඟ ලුුහුබැඳ ගොස් කළුතර නගරයේදී ඔහු අල්ලාගෙන කඩුව උදුරාගෙන ඇති අතර එහිදී මස්සිනාගේ අත්වලට තුවාල සිදුවී තිබුණි.

ඉන්පසු “මංජු” දකුණු කළුතර පොලිසියට පැමිණ උදුරා ගත් කඩුව පොලිසියට භාර දී පැමිණිල්ලක් ද කර තිබුණි. පොලිසිය මේ පිළිබඳව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු වාර්තා කර ඇත.

දිගින් දිගටම මස්සිනාලා අතර ඇති වු ආරවුල කෙළවර වුයේ ඉකුත් 07 වනදාය. “මංජු” මහ මඟ ඝාතනයට ලක්වීමත් සමඟය. විමර්ශන ආරම්භ කළ පොලිසියට දැනගන්නට ලැබුණේ ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවය. ඉන් අනතුරුව පසුව පොලිසිය ඝාතකයන් පසුපස පන්නද්දී කොළඹ අධිකරණයේ සේවය කරන නීතිඥයෙකු සමඟ දකුණු කළුතර පොලිසියට ආ මස්සිනා සහ ඔහුගේ රියදුරා පොලිසියට භාර විය.

මෙම ප්‍රධාන සැකකරුට මෝටර් රථ පැදවීමට නොහැකි අතර තම බිරිඳට අයත් “මරුටි” මෝටර් රථයෙන් ඔහු ගමන් බිමන් ගියේ දෙවන සැකකරුව රියැදුරු ලෙස යොදා ගනිමිනි.

සැකකරුවන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ප්‍රධාන සැකකරුගේ බාප්පා කෙනෙකුට අයත් තෙබුවන ප්‍රදේශයේ නිවසක් අසල නතර කර තිබු මෝටර් රථයද, ඒ අසල දර මඩුවක සඟවා තිබු කෙටේරි දෙක ද සොයා ගැනීමට පොලිසියට හැකිවිය.

කෙටේරියෙන් වූ කැපුම් තුවාලවලට අමතරව මිය ගිය මංජුගේ සිරුරේ සිදුරු කීපයක් විය. කෙටේරිවල තලයට විරුද්ධ පැත්තේ ඇති “උල්” වලින් ඇනිම එසේ සිදුරු ඇතිකිරීමට හේතු වී තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව “මංජුගේ” දේහය නිදහස් කෙරුණු අතර ඊළඟ කාර්යය වුයේ අවසන් කටයුතු සඳහා දේහය සුදානම් කිරීමයි.

එහෙත් මළ සිරුරු සිය දහස් ගණනක් සකස් කර පළපුරුදුකම් ඇති මල් ශාලාවේ සේවකයෝ තම ස්වාමියාගේ දේහය සකස් කිරීම ප්‍රතික්ෂේප කළහ. ඒ තම ස්වාමියාත් සමඟ තරහකින් නොව ඔහුට තිබු ආදරය නිසාමය. ඒ අනුව අවසන් කටයුතු සඳහා දේහය සකස් කිරීමට කොළඹ ප්‍රදේශයේ මල් ශාලාවකට ගෙන ඒමට සිදුවිය.

සැකකරුවන් දෙදෙනා කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝම්බර් මස 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

කිමිදෙන්නට යන මිනිහා තම දිය තල අල්ලා ගන්නට දෙන්නේ තම මස්සිනාට බව අපේ ජන වහරේ නිදන් ගත වූ කතාවක් තිබේ. ඒ කෙනෙකුට තම මස්සිනා එපමණටම විශ්වාසවන්ත වූ පුද්ගලයා බැවිනි. මේ මම නිදන්ගත ජනකතාවට අභියෝග කළ කතා වස්තුවක් නොවන්නේද?

දහස් සංඛ්‍යාත ජනතාවකගේ සෝ සුසුම් මැද “මංජු” ඉකුත් 11 වනදා සවස කළුතර නගරය මැදින් අවසන් ගමන් ගියේ හෙළිකෝප්ටර් යානාවකින් ඉහළ අහසේ සිට හෙළූ මල් වරුසන් ද සමඟය.

කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රත්මල් කොඩිතුවක්කු, කළුතර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න, සහකාර පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර, පොලිස් පරීක්ෂක සමින්ද අමරසේකර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලක්ෂිත වීරසිංහ, උප පොලිස් පරීක්ෂක බුද්ධික නලීන්, පොලිස් පරීක්ෂක චන්න අමරසේකර , සැරයන් වන්නිආරච්චි (30273) පොලිස් කොස්තාපල්වරුන් වන සුරංග (35953), සමන් (46226) අමරනාත් (64407) හා රුක්ෂාන් (90456) යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සටහන හා ඡායාරූප

කළුතර මධ්‍යම සමූහ