ගිනි තබා අනියම් බිරිය මැරූ 'කුඩු සුජා' තවමත් නිදැල්ලේ

ගිනි තබා අනියම් බිරිය මැරූ 'කුඩු සුජා' තවමත් නිදැල්ලේ

ඌෂා ගිනිතබා මරාදැමූ බවට සැක කරන "කුඩු සුජා" තවමත් පොලිසියෙන් කට්ටි පනිමින් නිදැල්ලේ පසුවෙයි. මීගමුව පොලිස් වැයික්කියේ කුඩාපාඩුව - ලුවිස් පෙදෙසේ මේ දෙදෙනා එකට විසූ කුලී නිවෙසේදී මෙම ගිනි තැබීම සිදුව තිබුණේ පසුගිය මැයි මාසයේදීය.

ඌෂා මෙම අභාග්‍ය සම්පන්න ඉරණමට මුහුණ පෑවේ කලින් විවාහයෙන් උපන් පිරිමි දරුවාත් රැගෙන අනියම් පුරුෂයා වන සුජා සමඟ පවුල් කමින් සිටියදීය.

පසුගිය මැයි මස 31 වැනිදා උදෑසන 9.30 ට පමණ දෙදෙනා අතර ඇති වූ ආරවුලකින් පසුව සැකකාර සුජා මේ අමානුෂික ක්‍රියාවට පෙළඹී ඇති බව පොලිසිය කියයි. එය සිතාමතා සැලසුම් සහගතව කළ අපරාධයක් බවට මීගමුව පොලිසිය මේ වන විටත් හඳුනාගෙන තිබේ. ඒ අනුව ගිනි තබාගෙන ඌෂා සියදිවි හානි කරගත් බවට කුඩු සුජා පොලිසියට මවා පාන්නට තැත් කළ බොරුව දැන් හෙළි වී අවසන්ය.

විසිහත් හැවිරිදි සුබ්‍රමනියම් ඌෂා නන්දනී කුඩාපාඩුවේම පදිංචිකාරියකි. සැමියා ඇය හැර ගොසිනි. රැකියාවක නොයෙදුණු ඇය අට හැවිරිදි එකම පුතු ද සමඟ ඉතා දුෂ්කර වූ ජීවිතයක් ගෙවමින් සිටියදී සුජා සමඟ සම්බන්ධයක් ඇති කර ගත්තේ අනාගතය ගැන සිහින මවමිනි. තමන්ව සහ පුතුව හොඳින් බලා කියා ගනු ඇතැයි සිතා ඇය ඔහු හා දීග කන්නට වූවාය.

එහෙත් හෙරොයින් පානයට ඇබ්බැහිව සිටි 31 හැවිරිදි සුජාගෙන් ඌෂා බලාපොරොත්තු වූ පරිදි සතුටක් රැකවරණයක් ලැබුණේ නැත. ඒ වෙනුවට ඌෂාට සුජා සමඟ එක වහලක් යටට වූ දා පටන් ලැබී තිබුණේම ගුටි බැට සහ අඩන්තේට්ටම් පමණි. ඒ පිළිබඳ ඌෂා විරෝධය පළ කළ සෑම වතාවකදීම සුජා පෙරටත් වඩා රෞද්‍ර වෙමින් අතට හසුවන දෙයින් පහර දීම ඇයට ඉවසිය නොහැක්කක් විය. ස්ථීර රැකියාවක් නොකළ සුජා මොනවායින් හෝ උපයාගන්නා දෙයින් වැඩිම කොටසක් නැති නාස්ති කර දැමුයේ කුඩු උරන්නටය. මේ අපාගත ජීවිතයට වඩා ඊට කලින් දරු පැටියා සමඟ ගෙවූ අන්ත දුගී ජීවිතය හොඳ යැයි ඌෂාට සිතුණේ වරක් දෙවරක් නොවේ. ඒ මතයේ සිටිමින් සුජා තමන්ව අත්හැර දැමුවත් කම් නැතැයි සිතූ ඌෂා සිතට හයියක් ගත්තාය. කුඩුමතින් පැමිණ සුජා කරන අඩන්තේට්ටම් හමුවේ කැත්තට පොල්ල මෙන් සිට ඇය ඊට එරෙහිව එකට එක විරුද්ධව නැඟී සිටියාය.

දිගින් දිගටම දිග්ගැස්සුණු මේ පවුල් හබය අතරතුර පසුගිය උදෑසනක සුජා සිදු කරන්නේ මහ පොළොව නුහුලන අපරාධයකි. ඒ ඌෂාගේ පුතු කඩයට යවා ගෙන්වා ගෙන තිබූ භූමිතෙල් ගැලුමක් ඌෂා අතට දෙමින් එය සිරුරට හලාගෙන ඇයට ගිනි තබා ගැනීමට බල කිරීමයි.

කෙතරම් දුක් කම්කටොලු වින්දත් දරු පැටියා ලොකු මහත් කරගෙන ඔහුගේ දෑස් පෑදීමේ අපේක්ෂාවෙන් කල් ගෙවූ ඌෂාට එය කිසි ලෙසකින් කළ නොහැක්කක් විය.

එහෙත් වියරුවෙන් සිටි සැකකරුට එවේලේ සිත උණු වූයේ නැත. ජීවිත අයදින ඌෂාත් අම්මාට සිදු කරන්නට සූදානම් වන විපත දැක බියෙන් වෙව්ලන දරු පැටියා පිළිබඳවත් සිත උණු නොවූ මේ අධමයා බලා සිටියේ ඌෂා සියතින්ම ගිනි තබා ගන්නා මොහොත එළැඹෙන තුරුය.

නමුත් දරු පැටියා නිසා ඌෂාට ලෙහෙසියෙන් ජිවිතය අත් හරින්නට හැකි වූයේ නැත. එහෙත් මාරවේෂව ඌෂාට මරු පහර දෙමින් ගිනි තබා ගන්නා ලෙස බල කරන කුඩු සුජා ඉදිරියේ ඌෂා භූමිතෙල් ඇඟ වත්කර ගන්නේ වෙනත් කරන්නට දෙයක් නොමැති තැනය.

එවේලේ එකම ගිනි ගුලියක් වන රූමත් ඌෂා කරකුට්ටම් නොවී බේරෙන්නේ මේ බිහිසුණු ජවනිකාව දෑසින් දකින ඌෂාගේ පුතගේත් අසල්වැසියන්ගේත් කෑ කෝ ගැසීම නිසාය. ඒ මරහඬ දීමත් සමඟ කුඩාපාඩුවේ තැපැල් හල අසලට එක් රොක්වන ජනයා ඌෂාව වහා රෝහල්ගත කරන්නට කටයුතු කළහ. එහෙත් රෝහල් ගත කරන විටත් ජීවිතයත් මරණයත් අතර වේදනා විඳිමින් හුන් ඌෂාගේ ජීවිතය ගලවා ගැනීම වෛද්‍යවරුන්ටත් එතරම් ලෙහෙසි පහසු දෙයක් වූයේ නැත. මසක පමණ කාලයක් දැඩි පිලිස්සූම් තුවාල සහිතව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඌෂා රෝහලින් පිටව නිවෙසට පැමිණි පසුවත් මුහුණ දුන්නේ අන්ත වේදනාකාරී ජීවිතයකි.

මුළුතැන්ගෙට වැදී ළිප දල්වන්නට යද්දී ගිනි ඇවිළුණු බව කියමින් කුඩු සුජාව ගලවා ගත් ඌෂා මේ සිද්ධියෙන් පසුවත් සුජා තමාට වධ නොදී සිටිනු ඇතැයි සිතන්නට ඇත.

දැඩි පිලිස්සුම් තුවාල කැළැල් ඇතිව වධ වේදනා විඳිමින් වුවත් කුඩු සුජාගේ වැඩ කටයුතු කරදීමට ඇය වෙහෙසුණාය. එහෙත් ඒ කිසිවකටවත් උණුවන සිතක් අමානුෂික සුජා තුළ වූයේ නැත. කලින් විවාහ වූ සැමියා නිසා විනාශ නොවී ඉතිරි වූ ඌෂාගේ ජීවිතයේ ඉතිරි අඩත් බිලිගත් කුඩු සුජා කළ අපරාධය පොලිසියට කියන්නට ඌෂා තීරණය කළාය. ඒ අනුව ගිනි ඇවිළුණා නොව සුජා තර්ජනය කරමින් ගිනි තබා ගන්නට තමන්ට බල කළ සිද්ධිය මුළුමනින්ම පොලිසිය හමුවේ ඇය කීවේ සිද්ධිය වී මාසයකටත් වැඩි කාලයකටද පසුවය.

මේ පැමිණිල්ලත් සමඟ ක්‍රියාත්මක වූ මීගමුව මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මිනී මරන්නට තැත් කළ කුඩු සුජාව කොටු කර ගත්තේය. ඒ වනවිට ඌෂා යම්තාක් දුරට සුව වී සිටි හෙයින් සුජාට ටික කලෙකින් ඇප ලැබිණ.

එහෙත් මේ අපරාධය නැවත මිනීමැරුමක් ලෙසින් පොලිස් පොතේ ලියවෙන්නට වූයේ කවුරුත් නොසිතූ ලෙසය. ඒ සැකකාර කුඩු සුජාගේ බල කිරීම මත ගිනි තබාගත් ඌෂා නැවතත් ඒ පිලිස්සුම් තුවාල වල තත්ත්වය උත්සන්නවී මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය යාමත් සමඟය.

ඌෂා මිය යන්නේ ද මුලින් සිදු වූ පිලිස්සුම් තුවාල වල බරපතළකම නිසා බව හෙළි වීමත් සමඟ කලින් වතාවේ ඌෂාට ගිනි තබා ගැනීමට බල කරමින් මනුෂ්‍ය ඝාතනයක් කරන්නට තැත් කළ සුජාට එරෙහිව තිබුණු වරද මිනිමැරීම දක්වාම දුර දිග ගියේය. එවර ඇප මත සිටි සුජාව අත්අඩංගුවට ගැනීමට නියෝග ලැබීමත් සමඟ මීගමුව පොලිසියේ නිලධාරීන් කුඩාපාඩුව පීරන විටත් සුජා ඒ ප්‍රදේශයෙන් පැන ගොස් හමාරය. අද වනවිටත් මීගමුව හැර දමා කට්ටි පනිමින් සිටින කුඩු සුජාව අත්අඩංගුවට ගැනීමට මීගමුව මූලස්ථාන පොලිසියට හැකි වී නැත.

මෙවැනි අමානුෂික පුද්ගලයන් සමාජයේ නිදැල්ලේ සිටීම සමාජයට ඉමහත් හිරිහැරයකි. හොරොයින් පානයටත් ඇබ්බැහිව සිටින මේ සැකකරු මීටත් වඩා බිහිසුණු අපරාධවලට පෙළඹීමේ අවදානමක් ද ඇත.

මීගමුව භාර පොලිස් අධිකාරි අනුර සේනාරත්නගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි ලලිත් රෝහණගේ උපදෙස් මත මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ෆෙඩ්රික් උදයකුමාර වුඩ්ලර් ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ආනන්ද හේරත් සමඟ උප පරීක්ෂක දිසානායක ද සැරයන් 31748 හේරත් ද කොස්තාපල්වරුන් වන 42340 කරුණානායක, 33074 නානායක්කාර ආදීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වමින් සිටියහ.

නුවන් මහේෂ් ජයවික්‍රම