"බිමට වැටුණු සුරඟනන්"

"බිමට වැටුණු සුරඟනන්"

මහේශ්වරී

සදාචාර සංස්කෘතියේ සළු පිළි කොයිතරම් පළන්දන්නට උත්සාහ කළත් ආසියාතික රටවල් මුහුණදෙන සමාජ ප්‍රශ්න බොහෝය. ගණිකා වෘත්තිය ඉන් ප්‍රබලතම සමාජ ප්‍රශ්නයකි. දකුණු ආසියාවේ පමණක් මිලියන තුනකට ආසන්න ගණිකාවන් පිරිසක් ජීවත්වන බව මේ පිළිබඳ කළ සමීක්ෂණයකදී හෙළි වී ඇත.

ළමයින් පිරිමින් කාන්තාවන්සේම ලිංගික විපරිතයන්ට ලක් වූ අයද මේ පිරිසට අයත් වන බව එම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. ඒ අතර ගණිකා වෘත්තියේ යෙදෙන යුවතියන්ට ඇත්තේ මහත් වූ ඉල්ලුමකි. ළාබාල වියේ පසුවන ඔවුන් අකමැත්තෙන් වුවත් ගණිකා වෘත්තියට ඇදගෙන යාම මෙම රවටල වෙසෙන සංවිධානාත්මක ජාවාරම් කරුවන් විසින් සිදු කරනු ලබන්නකි. එලෙස මෙම ව්‍යාපෘතියට එන මෙම යුවතියන් නිශ්චිත කාලයක් ජීවත්වන්නේ සුරඟනන් ලෙසටය. එහෙත් මෙවන් සුරඟනන් බොහෝ දෙනා අන්ත අසරණ පවුල්වල අයවෙති. කුල පීඩනය, ආර්ථික පීඩනය දරාගත නොහැකිව මහ මඟට පිලිපන් අයද කුලයෙන් නෙරපීමෙන් පසු අතවරයට ලක් වූ යුවතියෝද ඒ අතර වෙති. තවත් සමහර ළාබාල දැරියන් ඈත දුෂ්කර ගම්මානවල පදිංචි දෙමාපියන් රවටා පැහැරගෙන එනු ලැබු අයවෙති.

බිමට වැටුණු සුරඟනන් කෘතිය ඇසුරෙන් සැකසු එම ලිපි පෙළ ගණිකා මඩම් හා ලිංගික වෙළදාමේ නියුතු තැනැත්තන්ගෙන්ම ලබාගත් තොරතුරු මත සම්පාදනය වී තිබේ. මෙම කෘතිය ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 14 දෙනකු විසින් රචනා කරන ලද්දෙකි.

ලිංගික වෙළඳාම, ළමා ගණිකා වෘත්තිය, ගණිකා මඩම් සංස්කෘතිය ගැඹුරින් විමසා බලන්නට මේ කෘතිය උත්සාහ දරා ඇත. බොහෝ මාධ්‍යවේදීන් මෙවන් බියකරු ගුප්ත ලෝකයක සැරිසරන්නට බිය වන්නේ මත්ද්‍රව්‍ය, පාතාලය හා මැරකල්ලි මේ පිටුපස ක්‍රියාත්මක වීම නිසාය.

බිමට වැටුණු සුරඟනන් තුළින් ඔබ කියවන මේ අහිංසකාවියන් ගේ කතා අපේම සමහරක් සොයුරියන් ගේ කතා හා සමාන නොවන්නේද?

“මෙතැන හරිම අමුතු තැනක් වගේ”

මගේ සහායකයා මට කනට කරලා කිව්වා.

“ඇයි එහෙම කියන්නෙ“

මම එයාගෙන් ඇහුවා.

“පේන්නේ නැද්ද මෙතැන ඉන්න අයගෙන් 90% ක්ම ලොරි ඩ්‍රැයිවර්ලයි එයාලගේ ගෝල බාලයනුයි විතරයි.“

ඇත්තෙන්ම ඔහු කී කතාව නිවැරදිය. කර්නාටක සිට නවදිල්ලිය දක්වා දිවෙන මේ මාර්ගයේ රාත්‍රී නවාතැන් පොළවල් බොහෝය. එහෙත් පෙරියපට්ටනම් රියපොළ කාලාන්තරයක් තිස්සේම ට්‍රැක් රථ හා ලොරි රථ රියදුරන් අතර ප්‍රචලිතව පවතින්නා වූ ස්ථානයකි. මධුවිතවල රසටත් ප්‍රනීත ආහාරපාන මෙන්ම සිරුරම කුල්මත් කරගන්නට අවශ්‍ය ළාබාල අංගනාවන් ද එතැනින් ඉතා පහසුවෙන් මුදල් දී ලබා ගත හැකි විමත් මේ ප්‍රසිද්ධියට හේතුව වේ.

ජෙගදිශ්වරන් ගේ පිහිටෙන් පෙරියපට්ටනම් වල රියදුරන් හා ගෝල බාලයින් ගේ මනදොල සපුරන මහේශ්වරි ව මුණගැසෙන්නට එහිදී අපට හැකි විය.

මහේශ්වරි ළාබාල යුවතියකි. යාන්තම් අවුරුදු 21 ක් ඉක්ම වූ සෙයක් ඇගේ මුහුණෙන් පෙනේ. මගේ සගයා ද ඒ වයසේම වූ නිසා ඔහු සමඟින් වැඩියෙන් කතාබහට ඇය පි‍්‍රය කළාය.

“මහේශ්වරි ඔයා කොයිතරම් කාලයත් වෙනව ද මෙහාට ඇවිල්ලා.”

මගේ මිත්‍රයා ඇගෙන් විමසුවේය.

“තාම මාසයක්වත් නැහැ. දැන් හිතෙනවා මෙහෙට ආව එක මහා මෝඩකමක් කියලා. කලින් දන්නවනම් මෙහාට එන්නේ නැහැ.” ඇය අප හමුවේ කියන්නට වූවාය.

“ඔයා ගේ ගම මෙහේ නෙමෙයිද ? ඔයා මෙහෙට ආවේ කොහොමද? ඔයා කලින් කොහෙද හිටියේ.” මගේ සගයා ද ප්‍රශ්න වැලක් ඇය ඉදිරියේ තැබුවේ ඊට පිළිතුරු දෙමින්ය.

“ඒක දිග කතාවක් ඒත් ඒ කතාවෙන් ඔයාලට ඇති ප්‍රයෝජනේ මොකක්ද? ඔයාගේ ෆෝන් එකෙන් හරි අතේ තියෙන කැමරාවෙන් හරි ෆොටෝ ගන්න එහෙම හැදුවොත් මං ආපහු මගේ කාමරයට යනවා.”

ඇය අපට කොන්දේසියක් ඉදිරිපත් කළාය. ඉතා කරුණාවෙන් අපේ කතාවේ අරමුණු ඇයට කීවාට පසු ඇය සමඟින් දොඩමළු වන්නට අපිට හැකි වූයෙමු.

“මම උපන්නේ කර්ණාටකවල. මගේ තාත්තා ගොවියෙක්. ගෙදර හිටියේ නංගියි මල්ලියි මායි විතරයි. අම්මා අපිව බලාගෙන ගෙදර හිටියා. අපේ තාත්තා වැඩ කළේ සුකුමාරන් කියන ලොකු මුදලාලියකු ගේ වත්තේ. එයාගේ වත්ත සුද්ද කරල එළවළු වවලා වත්ත බලාගත්තේ තාත්තා... අපේ ගෙදර ආදායම ගොඩක් මදි. ඒ නිසා අම්මත් ගෙදරක කුලි වැඩ කළා. මම තමයි පවුලේ වැඩිමලා. අවුරුදු දාසය විතර වෙනකොට මටත් හිතුනා මොකක්හරි රස්සාවකට ගියොත් අඩුම ගානේ තෛපොංගල් වලට අම්මට තාත්තට වගේම නංගිටත් මල්ලිටත් ඇඳුම් ටිකක්වත් අරගන්න පුළුවන් නේද කියලා.“

“අපේ ගෙවල් ගාව හිටියා උමා කියලා නැන්දා කෙනෙක්. එයා තරුණකාලේ දේව දාසියක් වෙලා ඉඳලා තියෙනවා. එයා කිව්වා මහේශ්වරි උඹට මං නැටුම් පුරුදු කරන්නන් මමත් මගේ කෙල්ලනුත් කෝවිල්වලට ලොකු මිනිස්සුන් ගේ ගෙවල්වලට නටන්න යනවා. එහෙම ගියාම උඹටත් ලොකු ගාණක් හොයා ගන්න පුළුවන් කියලා.”

“ඉතින් මං උමා නැන්දගේ කීම අහළ නැටුම් පුරුදු වුණා. මාස තුනක් විතර යනකොට මම හොඳට නටන්න පුළුවන් වුණා. මං නැටුම් කණ්ඩායමක එක්කල නටන්න යනකොට දුර්ගාදේවි ට පූජාවක් තිබිබා. ඒ සේරම කළේ උමා නැන්දා...”

“මාස දෙකක් විතර මම උමා නැන්දගේ ළමයි එක්කලා නැටුම් නටන්න එක එක තැන්වලට ගියා. එහෙම ගියාට උමා නැන්දා මට රුපියල් පන්සීය දාහ දුන්නා. කොහොමටත් රුපියල් 5000 ක් විතර නැටුම් වලට ගිහිල්ලා මං හොයා ගත්තා.

“ඒ මුදල්වලින් නංගිට මල්ලිට වගේම අම්මට තාත්තටත් ඇඳුම් පැළඳුම් අරගෙන දෙන්න මට පුළුවන් වුණා.

එහෙම කාලේ ගත කරන කොට තමයි අශෝක් කුමාර් මාත් එක්ක යාළු වුණේ. එයා ගොඩක් හොඳ කෙනෙක්. සාප්පුවක ලියන මහත්තයෙක් විදියට තමයි වැඩ කළේ. අපි දෙන්නා කාටත් හොරා ආදරය කරන්න පටන් ගත්තා.”

“කොහොමහරි මට ඕන වුණේ ඉක්මනටම අශෝක් එක්ක එකතු වෙන්න. මං කෝවිලට ගිහිල්ලා දෙවියන්ට බාරවෙලා “විරුදම්” භාරයක් දකුණු අතේ ගැටගහ ගත්තා. අදටත් මේ තියෙන්නේ ඒ “විරුදම් නූල”.

“එතකොට අශෝක් කුමාර්ට මොකද වුණේ.“

මගේ මිත්‍රයා ඇගෙන් ඇහුවා.

“ඒක හරිම දුක කතාවක් මහත්තයා. නැටුම් කණ්ඩායමේ මාස 6 ක් විතර ගියාට පස්සේ කොයිම්බටෝර් වල තියෙන උත්සවයකට අපිට නටන්න යන්න වුණා. ඒ ගමනට

උමා නැන්දගේ මල්ලි කෙනෙක් වෙච්ච රෙංගනාදනුත් ආවා. කෙල්ලෝ හය දෙනයි උමා නැන්දයි රෙංගාදනුයි වයසක මාමා කෙනෙකුයි තමයි ගමන පිටත් වුණේ. එදා රූ තමයි මගේ ජීවිතේ කාලකන්නිම දවස... එදා දුර්ගාදේවිගේ පූජාවට බඩු ගන්න උමා නැන්දා අර මාමාවයි අනිත් කෙල්ලොන්වයි කෝවිලට අරගෙන ගියා. මට කිව්වා අනිත් ගෑනු ළමයින්ගේ නැටුම් ඇඳුම් පිළිවෙලට හදල තියන්න කියලා. ඒක එයාගේ සැලැස්මක් කියලා දන්නේ පස්සේ. කාමරේ මම ඇඳුම් හද හදා ඉන්නකොට රෙංගා මගේ ගාවට ආවා.

“උඹ අපේ ගමේ එකී, මමත් උඹේ ගමේ ..... නැටුම් කණ්ඩායමේම නැහැ උඹවගේ ලස්සන කෙල්ලෙක්. උඹව මං අයිතිකර ගන්නවා... එහෙම කියපු රෙංගා මාව බදා ගත්තා. මං කෑ ගහන්න හැදුවත් ඒකා මගේ කට මිරිකලා අල්ල ගත්තා...

ඒ කාලකන්නි දවසේ රෙංගනාදන් මගේ ජීවිතය විනාශ කරලා දැම්මා.. “උඹ ඔහොම අඬ අඬා ඉන්න එපා. නැන්දයි අනෙක් කෙල්ලොයි ආවට වෙනසක් පෙන්නන්න එපා.“

රෙංගා කාමරෙන් පිටවෙලා යන ගමන් කිව්වා.

උමා නැන්දත් අනෙක් කෙල්ලොත් ආපහු ආවේ පැය හතරකට විතර පස්සේ. මම උමා නැන්දගේ කාමරේට ගිහිල්ලා සිද්ධ වෙච්ච දේ කිව්වා... උමා නැන්දා පුදුම කතාවක් කිව්වා. “මහේශ්වරී උඹ වගේම කෙල්ලෝ කී දෙනෙක් ඉන්නවද ඔතැන ඔය විදිහටම සිද්ධ වෙච්ච... අපි ඉපදිලාම ඉන්නේ දේවදාසියෝ විදියට දෙවියන්ට අවතේවකම් කරන්න. රෙංගා දෙවියන්ගේ දරුවෙක්. ඒ වගේම ඒකත් එක්ක යහනට වෙන්න උඹට පිනක් තියෙන්න ඕන.“

උමා නැන්දා කියාගෙන ගියා. මට හොඳටම තේරුණා මේක උමා නැන්දා සැලසුම් කරලම කරපු වැඩක් කියලා. මම එදා රෑ නැටුවේ නැහැ. පහුවෙනිදා මම ගෙදර ගිහිල්ලා සවස අශෝක් කුමාර් ව හම්බවුණා. මං මගේ හිත ගොඩක් දැඩිකර ගත්තා.

“අපේ අම්මල තීරණය කරල ඉවරයි මේ සතියේ මාව බන්දලා දෙන්න. තාත්තා හෙට තාලිය ගන්නත් අම්මලා එක්කල යනවා. මේ සම්බන්දේ නවත්වමු මට සමාවෙන්න. මේක මම ගත්තු තීරණයක් නෙවෙයි.“

මම අහක බලාගෙන කිව්වා.

“මොනවා ඔයාට පිස්සුද ඇයි මේ? මොකද ඔයාට වුණේ?“

එයා දිගටම අහගෙන ගියා.

“මට වඩා ඔයාට ගොඩක් ලස්සන නෝනා කෙනෙක් ලැබෙයි.“

මොනව කරන්නද අම්මල තාත්තල මේ කටයුත්ත තීන්දු කරල තියෙන්නේ මං පොඩිකාලේ ඉඳලමයි. ඒ වුණත් මහේශ්වරි....“

අශෝක් ඇස් දෙකේ කදුළු පුරෝගෙන මගේ මූණ දිහා බලාගෙන කිව්වා. කතා කරල වැඩක් නෑ අශෝක් ආයෙ අපි හම්බවෙන්නේ නෑ මම කිව්වා.

“උඹ මහා වංචාකාර වනචර ගෑනියෙක්”

තරහෙන් පිපිරි පිපිරි මට එහෙම කිව්ව අශෝක් කුමාර් මෝටර් බයිසිකලේ නැගල දුම්වලාවක් පිට කරගෙන ගියා.

එදා මට මුළු ලෝකේම එපා වුණා. ඇයි උමා නැන්දා මට මෙහෙම කළේ... මම එදා සවසම කර්නාටක යන්න පිටත් වුණා. කර්නාටක අම්මන් කෝවිලට. අපේ ගමේ ඉඳන් කිලෝමිටර් 60 ක් විතර එහෙට යන්න ඕන. අම්මන් කෝවිලේ හිටියා මං අදුනන පූසාරිකෙනෙක් එයාට කියලා රස්සාවක් හොයා ගන්නයි මට ඕන වුණේ. මං යනකොට සවස 7 ට විතර ඇති. මම මගේ කතාව ඔක්කොම පූසාරි ට කිව්වා.

“ඔයා එන්න මා එක්ක මම ඔයාව තැනක නවත්වන්නම්” පූසාරි කිව්වා.

“මේ ලෝකේ සාමිලා ගොඩක් හොඳයි. ඒත් මගේ කතාව අහපු පූසාරියා පූසාරි කෙනෙක් වගේ හිටියට ඌ මහා අධර්මිෂ්ඨ මිනිහෙක්. ඒකා මාව තවත් කරදරයකට ඇදල දැම්මා. මුළු දවසක්ම කාමරයක තියාගෙන හිටපු ඒකා මාව හෝටල්කාරයෙකුට විකුණුවා. මම එතැන ගොඩක් කල් හිටියා. එතැනදී තමයි මම මේ ජීවිතේට පුරුදු වුණේ. අද මම හොයන සල්ලි වලින් කොටසක් ගෙදරට යවනවා. මම එයාලට කියල තියෙන්නේ මම ෆැක්ටරියක වැඩ කරනවා කියලා. ඊට පස්සේ තමයි මම පෙරියපට්ටනම් වලට ආවේ.”

“ජීවිතේ ගැන මොනවද මහේශ්වරී හිතන්නේ....?“

“ජීවිතේ වාසනාවන්ත වෙන්නේ සල්ලි තියෙන අයගේ විතරයි මහත්තයා. සල්ලි නැති අපි වගේ අය මුළු ජීවිතෙන්ම ඒ පාපෙට වන්දි ගෙවනවා. දෙවියෝ අපිව මවලාම තියෙන්නේ දුක් විඳින්න.”

මමත් මගේ සගයාත් පාර දිහැ බැලුවා.... ඈත ලයිට් එළියක් කළුවරට හොඳින් පේනවා. ආයෙත් නොපෙනී යනවා. අඳුරට ආලෝකය වගේ ජීවිතේත් පාට කරන්නේ සල්ලිමද....?

ඩබ්ලිව්.ඒ.සරත්චන්ද්‍ර