දුර දිග ගිය විහිළුව නිසා එල්ලුම් ගස් ගිය මිතුරා

 දුර දිග ගිය විහිළුව නිසා එල්ලුම් ගස් ගිය මිතුරා

ගජ මිතුරන් පස මිතුරන් වන්නේ ද පස මිතුරන් ගජ මිතුරන් බවට පත්වන්නේ ද එකිනෙකා ඇසුරු කිරීමේදී ඇතිවන යම් යම් සිද්ධීන් මුල් කරගෙනය.

සමීපව ඇසුරු කරන මිතුරා නිතර නිතර තමන්ට උසුළු විසුළු කරමින් සමාජය හමුවේ සමච්චලයට ලක් කිරීමට කටයුතු කරන්නේ නම් ඉවසීමේ සීමාව ඉක්ම වූ පසු ගන්නා තීන්දු තීරණ යහපත් වන්නේ නැත. එවන් සමහර අවස්ථාවලදී ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවීම වැලැක්විය නොහැකිය.

එවැනි ශෝචනීය සිදුවීමක් හලාවත පොලිස් කොට්ඨාශයේ කොස්වත්ත පොලිස් වසමේ මොරකැලේ ප්‍රදේශයෙන් වාර්තා වූයේ මෑතකදී නොව, මීට වසර 07 කට පමණ පෙර එනම් 2010 වර්ෂයේ අගෝස්තු මස 08 වැනිදාය.

එදින මිතුරන් දෙදෙනකු අතර ඇති වූ උසුළු විසුළු කිරීමක් දුර දිග ගොස් කෝපයට පත් එක් මිතුරකු විසින් සමීපව ඇසුරු කළ මිතුරා කඩුවකින් කපා කොටා ඝාතනය කළේය.

ඝාතනයට ලක් වූයේ හාරඹගේ සමන් කුමාර නමැති තිදරු පියෙකි. ඔහු එවකට තිස්තුන් වියේ පසුවිය..

මෙම ඝාතනය සිදු කළ ඇල්පේනෙරිලාගේ නිශාන්ත ජයලත් නමැති අය එක් දරු පියෙකි. ඔහු ඝාතනයට ලක් වූ සමන් කුමාර හා සම වයසේය.

සමන් කුමාරගේ ගම මොරකැලේය. ඔහු සහෝදරයන් තිදෙනෙකුගේ හා සහෝදරියක් සිටින පවුලේ තුන්වැන්නාය. විවිධ අගහිඟකම් මැද ජිවත් වූ ඔවුන්ට පාසල් දිවිය සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි වූයේ නැත. පාසල් ගමන අතරමඟ කඩා කප්පල් කරගත් සමන් කුමාර කුලී වැඩ කරමින් ජිවත් වීමේ පසුබිම සකස් කරගත්තේය. සමන් කුමාර දක්ෂ එල්ලේ ක්‍රීඩකයෙකි. එලෙසම ඔහු එම ක්‍රීඩාවට දැඩි ලෙස ඇලුම් කළේය. විවේකයක් ලද සෑම අවස්ථාවකම මොරකැලේ ක්‍රීඩාපිටියේ එල්ලේ සෙල්ලම් කළේය. කල් ගත වෙද්දී එල්ලේ ක්‍රීඩාව ඔහුගේ ජීවිතයේ එක් අංගයක් බවට පත් විය.

ගමේ කොලු ගැටව් එකතු කරගෙන එල්ලේ කණ්ඩායමක් සාදා ගත් අතර ඔහු එහි නායකත්වය දැරුවේය. ක්‍රීඩා කරන සෑම එල්ලේ තරගයක්ම වාගේ ජයග්‍රහණය කිරීමට ඔහු පෙරමුණ ගෙන කටයුතු කළේය.

මේ අතරතුර එල්ලේ ක්‍රීඩා තරගයක් නැරඹීමට පැමිණි තරුණියක දැන හඳුනාගත් සමන් කුමාර ඇය සමඟ පේ‍්‍රම සබඳතාවක් ගොඩනගා ගත්තේය. අනතුරුව ඇය සහකාරිය කරගත් සමන් කුමාර නිදහසේ පවුල් ජීවිතය ගෙන ගියේය. කාලයාගේ ඇවෑමෙන් සමන් කුමාර පිරිමි දරුවන් කීපදෙනෙකුගේ පියකු බවට පත් විය. පවුලේ බර වැඩිවත්ම යහමින් මුදල් හම්බ කිරීම උදෙසා නීති විරෝධි ක්‍රියා වලට යොමු වූ සමන් කුමාර කසිප්පු පෙරීම ප්‍රධාන ආදායම් මාර්ගය කර ගත්තේය. ඉන් වැඩි වැඩියෙන් සාක්කුවට සල්ලි ඒමත් සමඟම ජාවාරම ගජරාමෙට පවත්වා ගෙන යාමට ඔහු කටයුතු කළේය. මේ අතර කොස්වත්ත පොලිස් පොතේ ද ඉඳහිට මොහු පිළිබඳ ලියැවුණත් පොලිසියේ ඇස් වසා විවිධ ක්‍රමෝපායන් භාවිත කරමින් ඔහු ජාවාරම කරගෙන ගියේය.

මේ අතර මොරකැලේ ගමේ පදිංචි වෘත්තියෙන් පොල් කඩන්නකු වූ නිශාන්ත ජයලත් නමැත්තා සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන ගිය අතර ඔහු ද නීති විරෝධි ක්‍රියාවල නිරතවන්නෙකි. කසිප්පු පෙරීම, හොර මැරකම් කිරීම ඔහුගේ ආදායම් මාර්ග යි. සමන් කුමාර මොහු පෙර සිට දැන හැඳිනගෙන සිටියත් සමීප ඇසුරක් පවත්වාගෙන ගියේ සමන් කුමාර ද නීති විරෝධි ක්‍රියාවල යෙදීමත් සමඟය. නිශාන්ත ජයලත් ද විවිධ සමාජ විරෝධි ක්‍රියා සිදු කිරීම හේතුවෙන් හිරේ විලංගුවේ වැටුණු අයෙකි.

මේ අයුරින් නීති විරෝධි ක්‍රියා සිදු කරමින් පවත්වා ගෙන ගිය දෙදෙනාගේ ඇසුර ගහට පොත්ත මෙන් බද්ධ විය. සමන්ට නිශාන්තත් නිශාන්තට සමනුත් නැතිවම බැරි විය. ඉඩ ලද සෑම අවස්ථාවකම දෙදෙනා එකතු වී මත්පැන් පානය කර විනෝද වීම ද පුරුද්දක් කර ගත්හ.

සමන් කුමාර කාට හෝ විහිළුවක් කර සතුටු වන චරිතයකි. නිශාන්ත ගජ මිතුරා වුවත් ඔහුට ද විහිළු කර සතුටු වන අවස්ථා එමටය. එහෙත් ඇතැම් විහිළු නිශාන්තට දිරවූයේ නැත. තැනක් නොතැනක් නොබලා සමන් කුමාර කරන විහිළු හේතුවෙන් දෙදෙනා බහින් බස් වී රණ්ඩු අවස්ථා ද එමටය. ඇතැම් අවස්ථාවල තොලකට ගෑවුණ වෙලාවට විහිළුව කෙලවර වන්නේ ගුටි බැට හුවමාරුවකින්ය. එම අවස්ථා වලදී යහළුවන් මැදි වී දෙදෙනා සමතයකට පත් කළ වාර අනන්තය.

2010 වසරේ අගෝස්තු මස 08 වැනි දින මොරකැලේ ක්‍රීඩා පිටියේ එල්ලේ තරගයක් පැවැත්විණි. ඉන් සමන් කුමාර ඇතුළු කණ්ඩායම ජයග්‍රහණය කළේය. ජයග්‍රහණය සැමරීම සඳහා සාදයක් පැවැත්වීමට ඔවුන් එදින ක්‍රීඩාපිටියම තෝරා ගත්තේය. ක්‍රීඩාපිටිය කෙළවරේ මොරකැලේ විදුහල ආසන්නයේ ස්ථානයක් තෝරාගෙන රාත්‍රී 7.00 ට පමණ ජයපැන් බීමට සමන් කුමාර ඇතුළු පිරිස තීරණය කළහ.

විවිධ වර්ගයේ මත්පැන් සාදයට එක් වන්නට පටන් ගත්තේ එකිනෙකාට වැඩි වීමත් සමඟය. අවට නිවෙස්වල පැවති ආලෝකයෙන් සාදය පැවැති ස්ථානයේ අඳුර යාන්තමට මැකී ගොස් තිබිණි. එබැවින් එහි වූයේ යාන්තමට එකිනෙකා හඳුනා ගැනීමට හැකි අඩු ආලෝකයකි. ගීත ගායනා කරමින් පාටිය ජයට යන අතරතුර සමන් කුමාර නිශාන්තට වෙනදා මෙන් විහිළු කරන්නට පටන් ගත්තේය. නිතරම වාගේ සමන් කුමාර කකරන අනවශ්‍ය විහිළු හේතුවෙන් රතු කට්ට පැන තිබූ නිශාන්ත එදින පාටියට පැමිණ තිබුණේ කඩුවක් ද රැගෙනය. ඒ එදින තමා අපහසුතාවට පත් කළොත් මිතුරා මරා දමන චේතනාවෙන්ය. ඔහු කාටත් හොරා අසල පඳුරක කඩුව සඟවා තැබුවේය.

සුපුරුදු පරිදි සමන් කුමාර විහිළුව පටන් ගත්තේය. එතැන සිටි යහළුවන්ගේ ඉල්ලීම වුණේ “අනේ මචං ඕක නවත්වපං අපි සතුටු වෙමු.” කියාය.

එහෙත් සමන් කුමාර ඔවුන්ගේ වදන් තඹ දොයිතුවකටවත් මායිම් නොකර සුපුරුදු ලෙස නිශාන්තට විහිළු කළේය. නිශාන්තගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියේය. “උඹ හැමදාම මට විහිළු කරනවා.ඒවා අදින් ඉවරයි මල්ලී” නිශාන්ත කීවේය. “උඹ මොනව කරන්න ද මට” සමන් කුමාර තවත් නොරිස්සෙන අයුරින් විහිළුවක් කර තදින් සිනාසීය. ක්ෂණිකව නැගිටගත් නිශාන්ත අසල පඳුරක් යට සඟවා තිබූ කඩුව රැගෙන සමන් ගේ උරපතු දෙකට කොටාගෙන කොටාගෙන ගියේය. එල්ල වූ කඩු පහර වලින් බරපතළ තුවාල ලැබූ සමන් කුමාර කෑගසන්නට විය. එහෙත් ඒ වනවිට තරහෙන් වියරු වැටී සිටි ශාන්ත දිගින් දිගටම සමන් කුමාර වෙත කඩු පහර එල්ල කළේය. බියට පත් යහළුවෝ සී සී කඩ දුව ගියහ.

ඒ අතරතුර කොස්වත්ත පොලිසියට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබුණි. රිසීවරය එසවූයේ එදින රාත්‍රී රාජකාරියේ නිරතව සිටි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජේ.එම්. එස්. ජයනාත්ය. “සර් මොරකැලේ පිට්ටනියේ ගෝරියක්. එක් කෙනෙක් කඩුවකින් කපලා.” ඇමතුම දුන් අය පැවසුවේ එවැන්නකි.

උප පොලිස් පරීක්ෂක ජයනාත් කණ්ඩායමක් ද රැගෙන සිද්ධිය වූ ස්ථානය බලා පිටත් විය. ඒ වනවිට වේලාව රාත්‍රී 9.00 ට ආසන්නය.

කී‍්‍රඩා පිටියේ විශාල පිරිසක් එක් රොක් වී සිටියහ. සමන් කුමාර ගේ සිරුර ලෙයින් තෙත් වී හිස පහතට කඩා වැටී ඇත. අවට පිරිස සමඟ එක්ව පොලිසිය ඔහු රෝහල වෙත රැගෙන ගියද ඒ වනවිටත් ඔහුගේ අවසන් හුස්ම පොද වාතලයට මුසු වී අවසන්ය.

පොලිස් නිලධාරින් සිද්ධිය වූ ස්ථානය දැඩි විමර්ශනයට ලක් කොට සැකපිට කීප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම මත සිද්ධියට සම්බන්ධ සැකකරු වූ නිශාන්ත ජයලත් පසු දින අත්අඩංගුවට ගත්තේය.

සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඉන් අනතුරුව නඩු විභාගය හලාවත මහාධිකරණයේ පැවැත් වු අතර දීර්ඝ නඩු විභාගයකින් පසු සාක්ෂි විමසා හලාවත මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර අමල් රණරාජා මහතා විසින් ඉකුත් 27 දින පුද්ගල ඝාතනයක් සිදු කිරීමේ වරදට නිශාන්ත ජයලත්ට මරණීය දණ්ඩනය නියම කළේය.

මිහිර විජේසේකර

මාරවිල සමූහ