වසර දහතුනකට පෙර සිදු වූ අමරසිරි ඝාතනය තවමත් අබිරහසක්

වසර දහතුනකට පෙර සිදු වූ අමරසිරි ඝාතනය තවමත් අබිරහසක්

මේ ලෝකයේ ජීවත්වන කෙනෙකුගේ මරණය සිදුවන්නේ කෙසේදැයි කාටවත් කිව නොහැකිය. ආගමට අනුව නම් එය තමන්ගේ කර්මය අනුව සිදුවනවා විය හැකිය. කෙසේ නමුත් මරුවා කොයි මොහොතේ කෙලෙසක තමන් වෙත පැමිණෙනවාදැයි කිසිවෙකුටත් කලින් නිගමනය කළ නොහැකිය.

අප මේ කියන ව්‍යාපාරිකයා වෙත මරුවා ආවේ ඔහු කිසි ලෙසකින්වත් සිතූ මොහොතක නොවේ. තමන් පසු පස මරුවා එනු දැක ඉන් බේරී පලායන්නට ඔහු උත්සාහ කළද ඔහුට ඉන් බේරීමට නොහැකි විය.

අමරසිරි ඇල්පිටිය ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරියකයෙකි. ඇල්පිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක සාමාජිකයෙකු වූ ඔහු විවාහ වී සිටියේද තවත් එවැනිම වූ ව්‍යාපාරික පවුලක සාමාජිකාවක් සමඟය.

ඔහුගේ 50 වන උපන් දිනය යෙදී තිබුණේ 2004 වර්ෂයේ ඔක්තෝම්බර් මස 16 වැනිදාටය.

ඒ වෙනුවෙන් කිසිඳු විශේෂත්වයක් නොදැක් වූ ඔහු දවසේ ව්‍යාපාරික කටයුතු නිමාකොට රාත්‍රී 8.30ට පමණ සිය හිතවතෙකුගේ දියණියකගේ වැඩිවියට පත්වීමේ මංගල උත්සවයකට සහභාගීවීම සඳහා නිවසින් පිටත්ව ගියේය.

ඇල්පිටිය ගණේගොඩ, කැටපළ මංසන්ධියට තරමක් නුදුරින් පිහිටි සිය නිවෙසේ සිට තමන්ට අයත් මරුටි වර්ගයේ මෝටර් රථයේ නැගී ඕමත්ත දිගල පිහිටි මිතුරාගේ නිවෙසට යාමට පෙර ඔහු සිය නිවෙසේ ඉදිරිපස දොර වසා යතුරද අතට ගත්තේය. ඒ තමන් ආපසු පැමිණෙන විට සිය බිරිඳ හා දරුවන් නිදා සිටියහොත් ඔවුන් අවදි කරන්නේ නැතිව නිවෙසට ඇතුළු විමේ අදහසිනි.

රෑ සාදයට එක්ව සිටියේ හිතවතුන් පහළොවක විස්සක තරම් වූ සුළු පිරිසකි. ඔවුන් සමඟ කතා බස් කරමින් මධුවිතද යන්තමින් තොල ගෑ ඔහු කෑම කා ඉක්මනින් එතැනින් පිටත්ව ආවේ දියණියන් තමා එනතුරු නොනිදා බලාසිටින බව සිය මිතුරන්ට පවසමිනි.

ඒ වන විට බිරිඳ වූ අයිරාංගනී මාස එකොළහක් පමණ වූ බාලම දියණියට කිරිපොවමින් සිටි අතර අනෙක් දියණියෝ දෙදෙනා පාසල් කටයුතුවල නිතරව සිටියහ. නිවසේ සිටි සේවිකාව මුළුතැන්ගෙයි වැඩ අවසන් කරමින් සිටියාය.

මේ අතරතුර නිවසේ ජනේලයකින් කිසියම් සෙවනැල්ලක් දුටු දියණිය ඒ බැව් සිය මවට පවසා එළියේ ලයිට් දමන්නැයි පැවසුවාය. එහෙත් ඒ ගැන මව වැඩි සැලකිල්ලක් දැක්වුයේ ද නැත. තමන්ට තරහකාරයන් කවුරුවත් නැතැයි සැමියා ද නිතර නිතර පවසන නිසා එවැන්නක් ගැන හිතන්නට ඇයට වුවමනාවක් ද නොවීය.

මිතුරන්ගෙන් සමුගෙන නිවෙස බලා පිටත් වූ අමරසිරි රාත්‍රී 10.15ට පමණ වෙද්දී නිවෙසට පැමිණියේය.

කාරය ගරාජයට දමා ගේට්ටුවද වසා තමා අත වූ යතුර ගෙන ඉදිරිපස දොර විවර කොට ඔහු නිවසට ඇතුළුවීමට සුදානම් විය. ඒ සමඟම කිසිවකු තමන් පිටුපස සිටිතැයි ඔහුට දැනුණේය. කිසියම් අනතුරක සේයාවක් දුටු ඔහු ක්ෂයකින් නිවෙසට ඇතුළු වී දොර වසාගත්තේය. දොර වසනවත් සමඟ ඇසුණේ බිහිසුණු වෙඩි ශබ්දයකි. යතුරු කවුළුව ළඟින් වැදුණු වෙඩි පහර අමරසිරිට වැදුණේ නැත.

අමරසිරිගේ නිවෙසට ඇතුළු වීමේ දොර තිබුණේ දකුණු පසිනි. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වු විට කුඩා කෝරිඩෝවක් වැනි කොටසක් හමුවේ. ඉන් දකුණට හැරී නිවෙස තුළට යා යුතුය. එම කොරිඩෝවේ වම්පස හුළං කවුළු (ගී‍්‍රල්) රාශියකි.

වෙඩි හඬ ඇසෙනවත් සමඟම “මෙන්න හොරු ආවෝ” කියා කෑ ගසාගෙන ගේ තුළට දිවයන්නට ඔහු උත්සාහ කළද දෙවෙනි වෙඩි උණ්ඩය ඔහුට වඩා ඉක්මන් විය. දොර අසල වූ සුළං කවුළුවකින් ආ වෙඩි උණ්ඩ ඔහුගේ සිරුර පසාරු කරගෙන ගියේය. බිම වැටුණු ඔහු කෑගැසුවේය.

වෙඩි ශබ්දයත් සමඟ සැමියාගේ කෑ ගැසීමක් ඇසුණු අමරසිරිගේ බිරිඳ අයිරංගනී නිදිකරවමින් සිටි දියණිය ඇඳ යටට දමා ඉදිරියට ආවාය. ඇය එසේ දිව ආවේ කිසියම් විපතක් සිදුවන්නට යන බව දැන බියපත්වය. එහෙත් ඒ වන විට සියල්ල සිදුවී හමාරය. බිම වැටී කෑගසමින් සිටි සැමියා අත වූ ජංගම දුරකථනයන ගෙන ඇය සිය සහෝදරයන්ට මේ බව දැන්වු අතර ඒ වන විටත් පන අදිමින් සිටි සැමියාට වතුර බොන්නට දී හිස ද අත ගාමින්ඔහු අස්වසන්නට ද ඇය අමතක නොකළාය.

වහා එහි පැමිණි සහෝදරයන් වෙඩි වැදී සිටි අමරසිරි ඇල්පිටිය මුලික රෝහලට ඇතුළු කළ ද ඒ වන විටත් ඔහු මෙලොව හැරගොස් තිබුණේය.

වෙඩි පහර වලින් අක්මාව සහ වකුගඩුව විනාශ වී සිදුව තිබු අධික රුධිර වහනයෙන් ඔහු සිය පනස් වැනි උපන් දිනයදා සිය ජීවන ගමනින් ද සමුගෙන ගියේය.

සිය ආදරණීය බිරිඳ අයිරාංගනීත් වයස අවුරුදු පහළොවක්, දොළහක් හා මාස එකොළහක් වූ දැරියන් තිදෙනාත් අමරසිරිගේ මරණයත්සමඟ මෙලොව තනි වූහ.

මේ අබිරහස් මිනීමැරුමට හේතුව ඔහු ව්‍යාපාරික කේෂත්‍රයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ද එසේ නැත්තම් ඔහුගෙන් මුදල් කොල්ලාකෑමට පැමිණි හොර කණ්ඩායමක වැඩක් දැයි යන්න පොලිසියේ සැකයට භාජනය විය.

කෙසේ නමුත් මේ මිනීමැරුමද කාලයේ වැලිතලාවෙන් සැඟවී ගිය නොවිසඳුණු අපරාධයක් ලෙස පොලිස් පොතේ තවමත් සටහන්ව ඇත.

අයි.එම්.වී.සී. ගුණසේකර

ඇල්පිටිය සමූහ