පද්මන් මැරුණේ වෙඩි තියල ද ? වෙඩි තියාගෙන ද ?

පද්මන් මැරුණේ වෙඩි තියල ද ? වෙඩි තියාගෙන ද ?

නිවෙසේ දොරකඩ පිල මත ලේ විලක් මැද වැටී සිටියදී පසුගියදා පානදුර මහ රෝහලට ඇතුළු කරන විටත් මියගොස් සිටි දිලීප පද්මන් නමැති විසිනව හැවිරිදි එක්දරු පියාගේ මරණයේ අබිරහස පසුගිය පුන් පොහෝදා ඔහුගේ දේහය භූමිදාන කරන විටත් විසඳි නොතිබිණ

බිරියත් ළදරු පාසල් වියේ පසුවන පුතුත් සමඟ ජීවත් වූ දිලීප වෘත්තියෙන් කුලී කැබ් රථ රියදුරෙකි. තමාටම අයත් කාර් රථයෙන් කුලී ගමන් බිමන් වල නියැලුණු දිලීප පද්මන් මොරටුමුල්ල පොලිස් වැයික්කියේ කටුබැද්දේ සුදර්මාරාම මාවතේ පදිංචිව සිටියේය.

මොරටුමුල්ලේ බොහෝ දෙනකු සමඟ සහයෝගයෙන් ජීවත් වූ පද්මන් ඒ ප්‍රේදශයේ අයකු නොවු අතර ඔහු මොරටුමුල්ලේ පදිංචියට ආවේ විවාහයෙන් පසුවය. එතැන් පටන් නාගරික ජීවිතයට හුරුවුවත් පද්මන් බෙලිඅත්ත ප්‍රදේශයේ අයෙකි.

ඔහුගේ ඥාති සහෝදරයකු පද්මන් සොයා මොරටුමුල්ලට ආවේ ඔය අතරය.

පද්මන් සමඟ කතා බස් කරමින් එදා දවස පුරාම ඔහු ද පද්මන්ලා සමඟ එකට විසීය. පද්මන්ගේ සිඟිති පුතු වෙනුවෙන් මුහුදු වෙරළේ කළ සංචාරයකටත් මොහු එක්විය. එදිනම සන්ධ්‍යාවේ පද්මන් සහ මොහු මත්වතුර බෝතලයක් හිස් කරන්නට පටන් ගත්තේ ද ඒ හිතවත්කම නිසාය.

නිවෙසේ වූ සාමකාමී වාතාවරණය කඩා ඉහිරෙන්නේ මේ මත්වතුර සාදයත් සමඟය.

බිරිය සහ දරුවා ගෙතුළට යවා දොරකඩ පිලට ගොඩ වූ පද්මන් හා මිතුරා බෝතලය හිස් කිරීම ආරම්භ කළහ. බෝතලයෙන් මඳක් හිස්වෙද්දී හිටි හැටියේම එල්ලවූ වෙඩි ප්‍රහාරයත් සමඟ සියල්ලම වෙනස් විය.

වෙඩි හඬට ගෙතුළ සිට දොරකඩට පැමිණි පද්මන්ගේ බිරිය ඇතුළු පිරිස දකින්නේ ඇස් අදහාගත නොහැකි දර්ශනයකි. එතෙක් සතුටෙන් කාලය ගත කළ පද්මන් ලේ පෙරාගෙන එතැනම වැටි සිටින දුටු ඇය ලතෝනි දෙමින් කැගැසුවාය.

හිසින් ලේ ගලන තුවාල සහිතව රෝහල් ගත කරනවිටත් පද්මන්ට කිසිවක් කියන්නට තරම් හොඳ සිහි කල්පනාවක් නොවීය. ඒ නිසා එතැන සිටි මිතුරා ඒ සිද්ධිය විස්තර කරන ආකාරය හැරෙන්නට පද්මන්ට වෙඩි තැබී අබිරහස සම්බන්ධයෙන් වෙනත් ඇසින් දුටුවකු නොවිය. එහෙත් පද්මන්ගේ මිතුරා මේ වන විටත් ඒ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන්නා වන හෙයින් ඔහු කියනා ආකාරයෙන්ම මේ සිද්ධිමාලාව පිළිගැනීම ගැටලු පවතී.

මේ සම්බන්ධයෙන් කැපී පෙනෙන තවත් සිද්ධියක් වන්නේ පද්මන්ගේ ඥාති මිතුරා කියන කාරණයක් සහ පද්මන්ගේ බිරිය පොලිසියට ලබාදුන් කට උත්තරයත් එකිනෙකට වෙනස් වීමය. ඒ පද්මන් වෙඩි වැදී ස්ථානයේම බිම වැටී තිබියදී පොලිසියට හමුවූ ගිනි අවිය සම්බන්ධයෙනි.

පද්මන්ගේ මිතුරා කියන්නේ එය පද්මන් සතුව තිබු බවකි. එහෙත් පද්මන්ගේ බිරිය තම සැමියා සතුව එවැන්නක් නොතිබු බව කියයි. ඒ අනුව බලනවිට පද්මන්ගේ හිස පසාරුකළ ගිනි අවිය පද්මන් සහ ඔහුගේ මිතුරා අතරට පැමිණියේ කෙසේද යන්නත් තවමත් අබිරහසකි.

“අපි දෙන්නා කිසිම අවුලක් නැතිව අඩියක් ගහලා කතාබහක හිටියේ. ඒ අතරේ පද්මන්මයි ඔය ආයුදේ මට පෙන්නුවේ. එයා ඒක මට පෙන්වලා මේක වැඩකරන්නේ නැති එකක් කියලා කිව්වා. මමත් එතකොට ඒක දිහා හොඳට බලලා එච්චර ගණන් නොගෙන නොගෙන හිටියා. කොහොමත් ඒවා කරදරකාර ආයුද නිසා මගේ ඒ පැත්තට කැමැත්තක් තිබුණෙත් නැහැ. පද්මන් ඒ ආයුදේ අතේ තියන් ඉන්න එකටත් මං කැමැති වුණේ නැහැ. එතකොටම පද්මන් ඒ වැඩ නොකරනවයි. කිව්ව ආයුදේ එයාගේ ඔළුවට තියාගෙන කොකා ගස්සවා ගත්තා වගේ මට පෙනුණේ. එතකොටම ඒක ඩෝං ගාලා පත්තු වුණා. ඒත් එක්කම පද්මන් ඇදගෙන වැටුණා. පද්මන්ගේ ඔළුවෙන් ලේ ගැලුවා....”

රක්ෂණ සමාගමක සේවයකුවන පද්මන්ගේ මිතුරා කියන්නේ එවන් කතාවකි. ටී - 56 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ මෙම තුවක්කුව පද්මන් අතට ලැබුණේ කෙසේ දැයි කියන්නට ඔහුද නොදනී. පද්මන්ගේ බිරියත් මින් පෙර එය පද්මන් ළඟ තිබෙනු නොදුටුවේ නම් පද්මන් සහ සැකකරු පමණක් සිටි බව කියන එතැනට කිසියම් තුන්වැන්නකු පැමිණියේද? මේ ගිනි අවිය පද්මන්ගේ අතට පත් කළේ තුන්වැනි පාර්ශ්වයක් ද? එසේත් නොවේ නම් බිරියට නොපෙනේනට පද්මන් මේ අවිය ගෙවත්තේම හෝ ඉන් පිටත කොහේ හෝ සඟවා තිබුණාද? මිතුරාට එය සැඟවූ තැනකින් පෙන්වා එය අක්‍රිය බව අඟවන්නට උත්සාහ කරද්දී එය පත්තු වුයේද? එසේත් නැතිනම් පද්මන් සහ ඥාතියා පමණක් මේ ගිනි අවිය සම්බන්ධයෙන් දැන සිටි යටගිය රහස් තිබේද? මේ සියල්ල පොලිස් පරීක්ෂණ වලදී පැන නඟින ගැටලුය.

මේ අන්දමට හිසට වෙඩි වැදී මියචිය පද්මන්ගේ මරණය දෙස විවිධාකාර පැතිකඩ වලින් බැලිය හැකිය. එහෙත් අවසානයේ තිබෙනු ඇත්තේ එකම එක සත්‍යයකි. එය අනාවරණය කරගනු පිණිස ගල්කිස්ස භාර පොලිස් ප්‍රධානින්ගේ අධීක්ෂණය යටතේ මොරටුමුල්ල පොලිසිය විමර්ශන පවත්වමින් සිටියි.

සැබැවින්ම පද්මන් තමන්ම ගිනි අවිය අක්‍රිය බව පෙන්වන්නට බීමතින් එය හිසට ළංකර කොකා ගැස්වීද? එසේත් නැතිනම් හිතවත් විශ්වාසවන්ත මිතුරා අතට ගිනි අවිය ලබාදී එය පරීක්ෂා කරවුයේද? මේ අන්දමට නුල් බෝලයක් තරමට පටලැවිලි සහගත බව බැලු බැල්මට පෙනෙන 29 හැවිරිදි දිලීප පද්මන්ගේ මරණයේ අබිරහස වැඩි කල් නොයවා පොලිසිය විසඳනු ඇතැයි අපේක්ෂාව බව පද්මන්ගේ ඥාතිහු ද අප සමඟ පැවසුහ.

ගල්කිස්ස කොට්ඨාශ භාර පොලිස් අධිකාරි චන්දන අතුකෝරළගේ අධීක්ෂණය යටතේ මොරටුමුල්ල බාර සහකාර පොලිස් අධිකාරි ඩබ්.ටී.තිලකරත්නගේ උපදෙස් මත මොරටුමුල්ල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ගුණතිලක ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අමිල සහ උප පරීක්ෂක තෝමස් ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරති.

- නුවන් මහේෂ් ජයවික්‍රම