හුස්ම හිරකර මහලු මව මැරුවාට පිටින් ගමට පැමිණි තුන්දෙනෙක් රිමාන්ඩ්

හුස්ම හිරකර මහලු මව මැරුවාට පිටින් ගමට පැමිණි තුන්දෙනෙක් රිමාන්ඩ්

තඹුත්තේගම රාජාංගණය හංදියේ පදිංචිව සිටි ඩී.ඩී. ජේන් මෝනා මාතාව ගමේ බොහෝ අය හැඳින්වූයේ කංකානම් නැන්දා ලෙසය. වයෝවෘද්ධ ඇය අනූ එක් හැවිරිදිය. එච්.ඒ. සාර්ලිස් ඇගේ සැමියාය. ඔහුද මේ වනවිට ජීවතුන් අතර නැත. අසනීප තත්ත්වයෙන් ඔහු මිය ගොසින් ද දැන් වසර ගණනකි. ඔහු ද ගමේ අය හඳුන්වන්නේ කංකානම් මහත්තයා ලෙසින්ය. ඊට හේතුව වුයේ විශ්‍රාම යන්නට කලින්යෙන් ඔහු තඹුත්තේගම මාතෘ රෝහලේ ඖෂධ සංයෝජකයකු ලෙස සේවය කළ නිසාය.

ජේන් නෝනාට දූ දරුවන් දොළොස් දෙනකුගේ මවකි. ඉන් හතර දෙනෙකු දැනට ජීවතුන් අතර නැත. ඉතිරි සියල්ලෝම විවාහ වී වෙනම පදිංචිව සිටිති. සැමියාගේ වියෝවෙන් පසු ඔහුගේ විශ්‍රාම වැටුපට හිමිකම් කී ඇය කාටත් අතනොපා හුදකලාව සිය නිවසේ ජීවත් වුවාය.

ඇගේ නිවෙසට යාබඳව පාරෙන් එපිට ජේන් නෝනා මාතාවගේ පුතා වන අබේරත්න ජීවත් වෙයි. ඔහු දරු දෙදෙනකුගේ පියකු වන අතර රැකියාව වශයෙන් ගුරු වෘත්තියේ යෙදෙන්නේය. බිරිය ලියුකේමියා රෝගයට ගොදුරු වී මිය යාමත් සමඟ දරුවන් වෙනුවෙන් සිය ජිවිතය කැප කරමින් තවත් දරුවන්ගේ නැණස පාදා දෙන්නට ඔහු මහත් වෙහෙසක් දරයි. ඔහුගේ ලොකු දියණියට අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට සූදානමින් පසුවන අතර එකම පුතා හත වසරේ ඉගෙනුම ලබයි. ජේන් නෝනාගේ නිවෙසට මදක් ඈතින් ඇගේ වැඩිමහල් දියණියක් ජීවත් වෙන අතර මේ දරු දෙදෙනා ජේන් නෝනාගේ සුව දුක් බලමින් ඇයට කෑමට බීමට අවශ්‍ය දේ දිනපතා සැපයිම සිදු කරති.

දරුවන් දෙන කෑම වේලෙන් කුසගිනි නිවා ගන්නා ඇය රාත්‍රියට නින්දට යන්නේ දෙවියන් බුදුන් ඇදහිමෙන් අනතුරුවය. ඒ රේඩියෝවේ යන පිරිත්ද ශ්‍රවණය කරමිනි. වයස අවුරුදු 91 ක මවක් නිසා ඇයට තනිවම උයා පියා ගැනීමට හැකියාවක් නැත. ඒ නිසා උදේ කෑම වේල ගුරුවරයකු වූ අබේරත්න විසින් දෙනු ලබන අතර දිවා ආහාරය ඥාති පුතෙක් විසින් ඇය වෙත ලබා දේ. රාත්‍රී කෑම වේල අබේරත්නගේ සොහොයුරිය විසින් සපයනු ලබයි.

උදේට ගෙදරින් පිසෙන කෑම වේල බොහෝවිට ජේන් නෝනා වෙත ගෙන යනු ලබන්නේ අබේරත්නගේම පුතා අතිනි. එලෙස ගෙන යන කෑම වේල අතට ගන්නා ජේන් නෝනා ඉන් කටවල් දෙක තුනක් මුණුපුරාට කැවීම සිරිතක් කරගෙන තිබිණි. මුණුපුරා යළි සිය නිවෙසට යන්නේ ඉන් පසුවය. මෙය එදිනෙදා දින චර්යාවයි.

එදා සෙනසුරාදා දිනයකි. එදාට එතරම් කාර්ය බහුලත්වයක් නැති නිසාදෝ අබේරත්න හා දරුවන් අවදි වන්නේ මදක් ප්‍රමාද වීමෙනි. එහෙත් එදින දියණිය පන්ති ගෙන යා යුතුව තිබිණි. දියණිය ලක ලෑස්ති කරගත් අබේරත්න ටවුමට යන්නට සූදානම් වෙද්දී පුතා ද අබේරත්නගේ අක්කාගේ ගෙදර යාමට පිට විය. දියණිය නගරයේ පන්තියට ඇරල වූ ඔහු ගෙදරට අවශ්‍ය එළවළුත් ඉරිදා පුවත්පතත් මිලයට ගෙන යළි ගෙදර එද්දී පුතා ද නැන්දලාගේ ගෙදර සිට නිවෙසට පැමිණ සිටියේය.

“තාත්තේ නැන්දා කිරි බත් ටිකක් දුන්නා.” ගෙදර පැමිණි අබේරත්නට පුතා කීවේය.

“එහෙනම් ඕකෙන් ටිකක් ආච්චිටත් ගිහින් දෙන්න.”

පියාගේ කීම අනුව කිරිබත් කැබලි කිහිපයක් ද රැගෙන අබේරත්නගේ පුතා කෙලින්ම ගියේ ආච්චි අම්මාගේ නිවෙසටය. ගෙදර ඉදිරිපස දොර වසා ඇත.

“ආච්චි අම්මේ... ආච්චි අම්මේ...”

මුණපුරා මිත්තණිය අමතමින් දොරට ගැසීය. ඒත් මිත්තණියගේ කිසිදු සේයාවක් නැත. ආපසු හැරුණු ඔහු කෙලින්ම ගියේ ගෙදරටය.

“තාත්තේ.... ආච්චි අම්මා කතා කරන්නේ නැහැ.”

“ගෙදර නැහැ”

“ඔව්. මම කතා කළා කතා කළා. සද්දයක් වත් නැහැ.”

“ඇයි දොර ඇරලා නැත්ද?”

“නැහැ දොරත් වහලා.”

“මොකද දන්නේ නැහැ. යමු ගිහින් බලමු.”

අබේරත්න සිය මුණුපුරා ද සමඟ ජේන් නෝනාග් නිවෙසට පැමිණියේ ඉන් අනතුරුවය. ඉදිරිපස දොර වසා දමා ඇත. පසුපසද එසේම ඇතැයි අබේරත්න සිතුවේය. ඒ වෙනදාට අම්මා ඉදිරිපස හා පසුපස දොරවල් දෙකම වසා දමා නින්දට යන නිසාය. අබේරත්න ද දොරට ගසමින් මව ඇමතීය. ඒත් හා හුවක් නැත. ඇතුළෙන් වසා දැමු පසු දොර දෙකේම අගුල විවර කිරීමට නොහැකි බව දත් අබේරත්න ඊළඟට හැරුණේ ඒ අසළ තිබූ ජනෙල් කවුළුව වෙතය. ජනේලයේ ඇත්තේ සොයිබය පමණකි. එය හයියෙන් අදිද්දී ජනේලය විවර විය. ඉන් එබිකම් කළ අබේරත්න දුටුවේ පිටුපස දෙර විවර වී ඇති බව වහා පිටුපස දොරෙන් නිවෙසට ඇතුළු වූ අබේරත්න දුටුවේ අම්මා ඇදමත සිටිනා බවය.

“අම්මට අසනීපයක් වත්ද?”

එසේ සිතමින් අබේරත්න මව සිටි තැනට ලංවිය.

“අම්මේ ”

දුටු දෙයින් අබේරත්නට කෑ ගැසිණි. මවගේ මුහුණ වැසී යන සේ කොට්ටයක් තබා ඇත. තවදුරටත් හොඳින් බලද්දී ඔහු දුටුවේ මවගේ මුව හා අත් බැඳ ඇති බවය. කල යුතු දේ සිතාගන්නටත් ඔහුට හැකියාවක් නොතිබිණි. තැතිගත් ඔහු එතැනම තිබූ බිත්තියකට හේත්තු විය. ඉන්පසු නිවෙසින් පිටව පැමිණි ඔහු මේ බව ග්‍රාමසේවක වරයාට දැනුම් දුන්නේය. ග්‍රාම සේවකවරයා සිද්ධිය පොලිසියට දැන්වීය.

මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් සිද්ධිය වූ ස්ථානයට එන්නේ ඉන් අනතුරුවය. ඒ වනවිටත් රේඩියෝවේ පිරිත් ශ්‍රවණය වෙමින් තිබිණි. විදුලි බුබුළු දැල්වෙමින් පවතී. සිද්ධිය මුලින් දුටු අබේරත්න නිලධාරින්ට කරුණු කාරණා පැහැදිලි කළේය. ඒ වනවිට ජේන් නෝනා මරා දමා ඇති බව ගම පුරා පැතිර ගොස් තිබිණි. ඒ බව දැනගත් පිරිස් ඇයගේ නිවෙස වෙත ඇදී ආවේ “අනේ අපොයි” කියමින්ය.

සොකෝ නිලධාරින් ද එතැනට කැඳවුණු පසු විමර්ශන ආරම්භ කළ නිලධාරින්ට කිසියම් තොරතුරක් ලැබිණි. ඒ මරා දැමූ ජේන් නෝනා ට අයත් අත් බෑගයක් ඊට මීටර 300 කට පමණ දුරින් වූ නිවෙසක තිබෙන බවය. එම නිවසෙ හිමිකරු ආබාධිතයෙකි. පොලිසියට එතැනට ගොස් එම බෑගය නඩු භාණ්ඩ ලෙස සිය බාරයට ගත්තේය.

පසුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව තඹුත්තේගම වැඩබලන මහේස්ත්‍රාත් සංජීවනී රත්නායක මහත්මිය සිද්ධිය වූ තැනට පැමිණ මහේස්ත්‍රාත් පරික්ෂණ පැවැත්වූවාය. ඉන් අනතුරව ජේන් මෝනාගේ මෘත ශරීරය අනුරාධපුර ශික්ෂණ රෝහලට ගෙන යනු ලැබීය. අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.ඒ.. කරුණාතිලක මහතා විසින් පවත්වනු ලබන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඒ මහතා කීවේ ජේන්නෝනා මරා දමා ඇත්තේ හුස්ම හිර කිරීමෙන් බවය.

ඉන් අනතුරුව නිල සුනඛයා ද එතැනට කැඳවන ලදී. ජේන් නෝනාගේ අත් ගැට ගසා තිබූ රෙදි කඩ සුනඛයාට ඉව කිරීමට ඉඩ සැලැස්වූ අතර ඉව ලබාගත් සුනඛයා කෙලින්ම ගොස් නතර වූයේ ආබාධිත පුද්ගලයාගේ නිවෙසටය. පසුව පොලිසිය එම නිවෙස සෝදිසි කරද්දී අබාධිත පුද්ගලයා මුණ ගැසීමට පිටස්තරින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු නිවසේ සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය. පොලිසියට රැගෙන ගිය ඔවුන්ගෙන් ප්‍රශ්න කළද ඔවුන් ජේන් නෝනා ඝාතනයට සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළේ නැත. ඔවුන් පැවසුවේ හිතවත්කමට ආබාධිත මිතුරාගේ දුක සැප බලන්නට පැමිණි බවය.

මේ සම්බන්ධයෙන් ජේන්නෝනාගේ පුත් අබේරත්න මෙසේ අදහස් ප්‍රකාශ කළේය.

“අපි අම්මා ගැන නිතරම හොයනවා. එයා ආගමට දහමටත් ලැදියි. තාත්තා නැතිවුණාට පස්සේ තාත්තගේ පැන්ෂන් එකෙන් රුපියල් පනස්දාහක් හම්බ වුණා. ඒ සල්ලි වලින් කන්න හොඳ නැහැ කියලා පන්සලේ වැඩක් කරමු කියලා විහාරගේ හදන්න භාණ්ඩාගාරිකට කතා කරලා මුරගලකුයි සඳකඩ පහනකුයි රුපියල් තිස්පන්දාහක් දීලා අරන් දුන්නා. ඒ වගේම වෙහෙරගල බෞද්ධ මධ්‍යස්ථානයේ බුදු පිළිමය හදන්න උදව් කලා. අම්මා තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්. අම්මට මෙහෙම කළේ ඇයි ද තවමත් අපිට ප්‍රශ්නයක්.”

පොලිසිය ආබාධිත පුද්ගලයාගෙන් ද ප්‍රශ්න කලේය. ඔහු පොලිසියට කීවේ තමන් වේලාසනින් නින්දට යන බවත් ඉන්පසු ඔවුන් යන එන තැන් ගැන තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවත්ය.

මේ අතරතුර මොවුන්ගේ වත ගොත පිළිබඳ විමසීම සඳහා සැකකරුවන්ගේ ඇඟිලි සළකුණු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත යවනු ලැබීය. එහිදී අනාවරණය වී ඇත්තේ මොවුන් සොරකම්වලට සම්බන්ධ අය බවය. පසුව සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී ඔවුන්ව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී.

මියගිය ජේන් නෝනා සතුව මුදලක් ඇති බව සිතා පුද්ගලයකු හෝ පුද්ගලයන් දෙතුන් දෙනෙකු එම මුදල ලබා ගැනීම සඳහා ඇය ඝාතනය කරන්නට ඇති බව පොලිසියේ සැකයයි.

ඝාතකයා ඇගේ නිවසෙන් පලා යද්දී ඇය සතු අත් බෑගය ද රැගෙන යන්නට ඇති බවත් එය සෝදිසි කොට එහි තිබු යම් තිබූ මුදලක් රැගෙන එම බෑගය විසි කරන්නට ඇති බව පොලිසිය කියයි. පසුදා උදෑසන රැකියාව සඳහා යමින් සිටි අයකු විසිකරන ලද බෑගය එය අහුලා ආබාධිත පුද්ගලයාගේ නිවස ආසන්නයේ එල්ලන්නට ඇතැයි යන සැකයක් ද පොලිසිය සතුව පවතී.

කෙසේ වෙතත් මිය ගිය ජේන් නෝනාගේ රුධිර කොටස් හා සැකකරුවන්ගෙන් ලබාගත් රුධිර කොටස් ඩී.එන්.ඒ පරීක්ෂණ සඳහා යොමු කර තිබිණ.

අනුරාධපුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සඳුන්ගහවත්ත මහතාගේ අධීක්ෂණය මත තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරි පරාක්‍රම ඒකනායක මහතාගේ උපදෙසින් තඹුත්තේගම මූලස්ථාන පොලිස් පරික්ෂක සමන් පි‍්‍රයන්ත වැඩබලන පොලිස් ස්ථානාධිපති නියාස් අපරාධ විමර්ශන අංශය බාර ස්ථානාධිපති ඩී.එම්.එස්.බී දිසානායක ප්‍රමුඛ කොස්තාපල්වරුන් වූ ජයතිලක (5403) දුමින්ද (37781) හා ගයාන් (66694) ඇතුළු නිලධාරිහු මේ පිළිබඳ විමර්ශන වලට සහභාගි වූහ.

(පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය.)

කීර්ති මෙන්ඩිස්

පිංතුර සී.එම්.ආරියපාල

තඹුත්තේගම සමූහ