හඳුනාගැනීමක් - හෝඩුවාවක් නැතිව තිබී පොලිසියේ දක්ෂකමින් සොයගත් ඝාතනය

ඒ ඉකුත් අගෝස්තු මස දහතුන් වනදාය. වේලාව උදෑසන නවයයි තිහට පමණ ඇත. 119 හදිසි ඇමතුම් අංශය හරහා මැදවච්චිය පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමකි. ඉන් කියැවුණේ මැදවච්චිය පොලිස් වසමට අයත් තඹලගොල්ලෑව වැව් තාවුලේ පුද්ගලයකු කපාකොටා මරා දමා

ඇති බවය.

මැදවච්චිය පොලිසියේ සිට මැදවච්චිය හොරොව්පතාන මාර්ගයේ කිලෝමීටර 18 ක් ගිය තැන හමුවන වේවැල්කැටිය හංදියෙන් දකුණට හැරී තවත් කිලෝමීටර එකහමාරක් පමණ ගිය තැන පාරේ වම් පැත්තේ තඹලගොල්ලෑව වැව පිහිටා තිබේ. සිද්ධිය සැලවීමත් සමඟ එතැනට ගිය මැදවච්චිය පොලිසියේ නිලධාරින්ට කපාකොටා මරා දමා තිබු පුද්ගලයා හමුවුයේ එම බැම්ම මත වැටී සිටියදීය.

ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරැඹි අතර පොලිසියේ මුල්ම උත්සාහය වුයේ මරා දැමු පුද්ගලයා කවුදැයි හඳුනාගැනිමය. වයස අවුරුදු හැටක් පමණ විය හැකි ඔහු ගැන කිසිදු හෝඩුවාවක් පොලිසියට දැන ගත නොහැකිවිම විමර්ශනවලට ගෙන ආවේ මහත් බාධයකි. එහෙත් මරා දැමු පුද්ගලයාගේ සිරුර ආසන්නයේ තිබී රෙදි බෑගයක් සොයාගැනීමට පොලිසියට හැකිවිය. ඉන් ද මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට පොලිසියට නොහැකිවිය.

පසුව සිද්ධිය වූ ස්ථානයට සොකෝ නිලධාරින් මෙන්ම ඇඟිලි සලකුණු නිලධාරින් ද කැඳවනු ලැබුහ. මැදවච්චිය පොලිසිය යටතේ සිටින “රිජා” නමැති නිල සුනඛයාද හෝඩුවාවක් අනාවරණය කර ගැනීම සඳහා සිද්ධිය වූ වැව් බැම්ම වෙත රැගෙනවිත් තිබු අතර ඉන් ද කිසිදු තොරතුරක් ලබාගැනීමට පොලිසියට නොහැකිවිය. පසුව මේ සම්බන්ධයෙන් ඕ/2705/17 යටතේ අධිකරණයට කරුණු වාර්තා කිරීම සිදුවිය.

වැඩබලන මහේස්ත්‍රාත් විසින් ස්ථානීය පරීක්ණය සිදුකිරිමත් අනතුරුව පොලිසියේ ඉල්ලීම පරිදි මියගිය අයගේ සිරුර පිළිබඳ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුයේ තියුණු ආයුධයකින් පහරදම හේතුවෙන් අධික ලෙස රුධිර වහනය වීමෙන් එම මරණය සිදු වී ඇති බවය. එහෙත් මියගිය පුද්ගලයා කවුදැයි හඳුනා ගැනීමට නොහැකි විමත් ඔහු තඹලගොල්ලෑව ප්‍රදේශයට පැමිණියේ කුමක් සඳහාද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් පොලිසිය වෙත නොලැබීමත් විමර්ශන වලට මහත් බාධාවක් ගෙන දුන්නද නිලධාරින් ඉන් පසුබට වුයේ නැත.

“අපිට මේ අපරාධය සම්බන්ධයෙන් කිසිම තොරතුරක් හෝඩුවාවක් තිබුණේ නැහැ. ප්‍රදේශවාසින්ගෙන් තොරතුරු ලබාගන්නට ගත් හැම උත්සාහයක්ම සාර්ථක වුණෙත් නැහැ. ප්‍රදේශවාසින් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැතිවීම තමයි මුලික ප්‍රශ්නය වුණේ”

මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිවරයා විමර්ශන වල මුල් තත්ත්වය අවධාරණය කරමින් එසේ පවසන්නට විය.

කිසිදු තොරතුරක් හෝඩුවාවක් නොමැති තැන ස්ථානාධිපතිවරයා තීරණය කළේ මේ සම්බන්ධ විමර්ශන සඳහා කණ්ඩායම් දෙකක් සැකසිය යුතු බවය.

“ඔය සිද්ධිය වුණු තැනට යන ප්‍රධාන මාර්ගයේ දෙපස ඉඳන් මීටර දෙසියයක් පමණ ආවරණය වන විදියට තියෙන හැම නිවෙසකටම අපි ඒ ටීම් දෙක දැම්මා. ඒ නිලධාරීන් ගිහින් මේ මැරුණු මනුස්සයා මැරෙන්නට කලින් ඒ ගෙවල් වලට ආවද නැත්තම් මේ මනුස්සයාව දැක්කද අන්න ඒ වගේ මේ මියගිය මනුස්සයා කවුද කියලා දැනගන්න විමර්ශනයක් කළා.“

“ඒකට හේතුවක් තිබුණා. ගමේ කිසියම් පුද්ගලයෙක් මේ මනුස්සයා ගැන තොරතුරක් දැනගෙන ඉන්න පුළුවන්. ඒ තොරතුර අපිට දුන්නොත් ඒ පුද්ගලයාට ගමෙන් තර්ජනයක් එල්ලවෙන්න පුළුවන් නිසා ඒ පුද්ගලයා බයට අපිට තොරුතුරු දෙන්නේ නැති බව අපි දැනගෙන හිටියා. අපි හැම ගෙයකටම ගිහින් තොරතුරු ඇහැව්වා. එතකොට කාටත් කියන්න බැහැ අහවලා අපිට තොරතුරු දුන්නා කියලා. අන්න එහෙමත් අපි මොකක් හරි හෝඩුවාවක් ගන්නයි උත්සාහ කළේ.”

ස්ථානාධිපතිවරයා පවසන්නේය. ඔහුගේ අවශ්‍යතාවය වුයේ කිසියම් පොටක් පාදාගැනීමය.

“ඔන්න ඔහොම විමර්ශන කරද්දී අපිට තොරතුරක් ලැබුණා දොළොස් වනදා රෑ හතයි තිහට විතර සිසිර කියන පුද්ගලයෙක්ගේ කඩය ලඟ මේ මියගිය මනුස්සයා හිටිය බවට.”

ලැබුණු තොරතුර පොලිසියට කිසියම් සතුටක් ගෙනදුන්නේය. සිසිර යනු කවුදැයි පොලිසිය සොයා ගත්තේ ඉන්පසුවය. ඔහුගේ කඩය පිහිටියේ වේවැල්කැටිය ප්‍රදේශයේය. මෙහිදී තොරතුරු දුන් පුද්ගලයා නිලධාරින්ට කීවේ ඒ මොහොතේ මිය ගිය පුද්ගලයා සමඟින් ඉන්දික හා කිරිබොන්නා යන දෙදෙනා කතා බස් කරමින් සිටිනු තමා දුටු බවය.

“කිරිබොන්නා“ යනු යහපත් චරිතයක් ඇත්තෙකු නොවිය. ඔහුට ඊට කලින්ද මිනිමැරුම් චෝදනාවක් එල්ල වී තිබිණ. සාක්කි වල අඩුපාඩුකම් නිසා ඔහුට එම නඩුවෙන් නිදහස් වීමට හැකිවිය. ඉන්පසු ඔහු ගමේ හැසිරුණේ කිසිවකුටත් බය නැති අයකු ලෙසය. කිරිබොන්නාගේ ක්‍රියා කලාපය හොඳින් දන්නා නිසා ගමේ බොහෝ කිරිබොන්නාට දැක්වූයේ බියකි. ඉන්දික කිරිබොන්නාගේ සොහොයුරියකගේ පුතෙකි.

පොලිසියට ලැබුණු තොරතුර මත ඊළඟට ප්‍රශ්න කළ යුත්තේ එහි සත්‍ය අසත්‍යතාවය දැනගැනීම සඳහා සිල්ලර කඩය පවත්වාගෙන යන සිසිරගෙන්ය. එහෙත් ඔහුට කිසියම් තර්ජනයක් එල්ල වෙතැයි යන සැකය මත සිසිර ළඟට ගොස් ප්‍රකාශයක් ලබා නොගත් නිලධාරින් ඔහු පොලිසියට කැඳවා ලැබුණු තොරතුරේ සත්‍ය භාවය විමසුවේය. එහිදි අනාවරණය වන්නේ මියගිය පුද්ගලයා ඊට පැය කිහිපයකට මත්තෙන් සිසිරගේ කඩය අසළට පැමිණි බවත්. ඔහු කඩය ළඟ සිටියදී කිරිබොන්නා හා ඉන්දිකඑතැනට පැමිණ කතාබස් කළ බවත්ය.

“මොකද අයිසේ මේ පැත්තේ”

කිරිබොන්නා එම නාඳුනන පුද්ගලයාගෙන් විමසා ඇත.

“මම මේ රස්සාවක් හොයාගන්න ආවා.”

“ආ ඇත්තද මමත් මේ වැඩ පළකට කෙනෙක් හොය හොයා ඉන්නේ”

කිරිබොන්නා නාඳුනන පුද්ගලයාට කියා ඇත. ඉන් අනතුරුව ඔහුට බනිස් ගෙඩි දෙකක් හා බීම බෝතලයක් ලබාදුන් කිරිබොන්නා තමා එනතුරු ඔහුට එතැන රැඳි සිටින ලෙස දන්වා යළි ඉන්දිකගේ මෝටර් සයිකලයකට ගොඩවිය.

“මම ගමනක් ගිහින් එනවා. එතකම් මෙතැන ඉන්න. කවුරුහරි ඇහැව්වොත් කිරිබොන්නා හම්බ වෙන්නයි ආවේ කියලා කියන්න.”

එසේ කී කිරිබොන්නා ඉන්දික සමඟ ගියේ මත්පැන් බොන්නටය. ඔවුහු ඊට කලින්ද මත්පැන් පානය කොට සිටියහ. පොලිසියට ලැබුණේ ඉහත තොරතුරු පමණි. ඒ අනුව පොලිසිය විශ්වාස කළේ මියගිය පුද්ගලයා ගැන කිසියම් දෙයක් ඉන්දික හෝ කිරිබොන්නා අනිවාර්යෙන්ම දැනගත යුතුබවය.ඒ අනුව පොලිසිය මොවුන්ගේ පසු හැසිරිම් සොයන්නට විය.

“තව දුරටත් කරුණු හොයද්දී අපිට දැනගන්න ලැබුණා. සිද්ධියෙන් පස්සෙ දවසේ උදේන්ම ඔය ඉන්දික කියන පුද්ගලයා රත්මල්ගහවැව පැත්තේ මෝටර් සයිකල් ගැරේජ් එකකට ගිහින් තියෙනවා කියලා. එතනට ගිහින් එතැන වැඩකරන මිනිහගෙනුත් අහන්නේ වත් නැතිව මෝටර් සයිකලේ සෝදගෙන තියෙනවා කියලා.“

“ඉන් පස්සේ එතැනින් බයික්එක කොහාටද ගියේ කියලා හොයලා බලනකොට දැනගන්න ලැබෙනවා.ඒක කහටගස්දිගිලිය පැත්තට ගියා කියලා.”

ඒ අනුවපොලිසියේ ඊළඟ උත්සාහය වුයේ ඉන්දිකගේ යතුරුපැදිය සොයාගැනීමය. ඒ අනුව කහටගස්දිගිිලිය ප්‍රදේශයේ පවත්වාගෙන යන සියලුම ගරාජ්වලට යන සිවිල් ඇඳුම්ලා ගත් නිලධාරිහු එවැනි බයිසිකලයක් එම ස්ථානවල ඇත්දැයි විමසා බැලුහ.

“ඔන්න ඔය අතරේ තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ කහටගස්දිගිලිය මහ පල්ලිය ඉස්සරහ තියෙන මෝටර් සයිකල් කඩයට ඉන්දික ඇවිල්ලා බයිසිකලේ වම් පැත්තේ හැඬල් එකයි කෑෂ්බාර් එකයි ෆුඩ් ට්‍රැක් එකයි හදාගෙන තියෙනවා කියලා. මෝටර් සයිකලේ වැටුණු නිසා ඇදවුණු හැඬල් එකේ ඇද ඇරගන්න තමයි ඉන්දික එතැනට ඇවිත් තිබුණේ. “

“එතැනදී ඉන්දික ඒ ගැරේජ් එකේ අයිතිකාරයාගෙන් අහනවලු. දන්නවද තඹලගොල්ලෑව වැවේ කවුද මරලා දාලා නේද? ඇයි ආරංචියක් නැද්ද කියලත් මිනිහා අහනවා.“

ඒ අනුව පොලිසියේ සැකය ඉන්දික දෙසට යොමුවන අතර ඔහු කොටුකර ගැනීමට කලින් යතුරු පැදියේ ඇද ඉවත් කළ ගරාජ් හිමිකරු හා සයිකලය සෝදාගෙන ගිය ගරාජය ඇතුළු පුද්ගලයන්ගේ සාක්කි සටහන් කර ගැනිම පොලිසිය විසින් සිදු කරනු ලැබීය. සියලු සාක්ෂි සටහන් කර ගැනිමෙන් අනතුරුව මැදවච්චිය නගරයේදී ඉන්දික සොයාගැනීමට පොලිසියට හැකිවිය.

“අපිට ඔයාගේ කට උත්තරයක් ගන්න ඕන. ඔය නැතිවුණු මනුස්සයා ගැන මොකක් හරි තොරතුරක් දන්නවානම් අපිට කියන්න.”

ඒ අනුව ඉන්දික පොලිසියට ප්‍රකාශයක් ලබාදෙන අතර එම ප්‍රකාශයේ මියගිය පුද්ගලයා හමුවීම හෝ ඔහු සමඟ කතාබස් කිරීමක් ගැන කිසිදු සඳහනක් නොවීය. ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඔහු මුදා හැරෙන අතර ඉන් පසු ස්ථානාධිපතිවරයාගේ උපදෙස්මත ලැබුණු සාක්කි හා ඔහුගේ ප්‍රකාශය අතර තියෙන පරස්පරතා නිසා ඔහුගෙන් දීර්ඝ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව සැකපිට අත්අඩංගුවට ගැනිමට පොලිසියට සිදුවිය.

“ඔය ප්‍රශ්න කිරීමේදිත් මිනිහා මුකුත් කියන්නේ නැහැ. පස්සේ අපි පෙන්නනවා තමන් 13වනදා උදේ මෝටර් සයිකලේ හෝදගන්න ගිය ආකාරයත් බයිසිකලේ පෙරලීම නිසා හැඬලයේ ඇද අරින්න කහට ගස් දිගිලියට ගිය හැටිත්. එතැනදි මෙයාට තවදුරටත් බොරු කියන්න බැරි වෙනවා.“

පොලිස් ප්‍රශ්න කිරිම් හමුවේ ඉන්දිකට ඇත්ත කියන්නට සිදුවිය. ඒ අනුව නාඳුනන පුද්ගලයා හමු වූ අවස්ථාවේ සිට ඔහු මරණයට පත්වන තුරු සිදු වූ සියලු සිදුවිම් ඔහු වමාරන්නේ කිරිබොන්නාට ඇති බිය නිසා තමාට එසේ කරන්නට සිදු වූ බවද කියමින්ය.

“එදා දොළොස්වැනිදා රෑ හතයි තිහට විතර අපි සිසිරගේ කඩේ ළඟට ඇවිත් අරක්කු බාගයක් බිව්වා. ඒ ඉන්න කොට ඔය වයසක මනුස්සයා බෑග් එකකුත් අරගෙන අපේ ළඟට ආවා. එතකොට කිරිබොන්නා එයාගෙන් ඇහැව්වා. කොහේද යන්නේ කියලා ඒ මනුස්සයා කිව්වා. වැඩක් හොයගෙනයි ආවේ කියලා. පස්සේ කඩේ ළඟට එක්කගෙන ඇවිත් කන්න දීලා පළතුරු බිම එකකුත් දිලා මගේ ගාව වැඩ තියෙනවා. අපි දෙන්න එනකම් මේතැන ඉන්න කියලා. අපි ගියා. පස්සේ කිරිබොන්නා ආයෙත් අරක්කු බිව්වා.”

එළෙස අරක්කු බීම නිසා කාලය ගෙවි යන බව කිරිබොන්නාගේ මතකයට ආවේ නැත කිරිබොන්නාගේ පැමිණිම ප්‍රමාද නිසා නාඳුනන පුද්ගලයා එතැනම තිබු සිමෙන්ති පඩිය මත නින්දට ගොස් තිබේ. පැයකට පමණ පසු කිරිබොන්නාට තමන් කළ කී දේ මතක් වී නැවතත් ඉන්දික සමඟ සිසිරගේ වෙළෙඳ සළ වෙත පැමිණ තිබේ. ඒ වනවිට නාඳුනන පුද්ගලයා මරනින්දේය. බිමතින් පැමිණි කිරිබොන්නා නිදා සිටි නාඳුනන පුද්ගලයා අවදි කර ඇත.

“ඒයි.. නැගිටිනවා.”

කිරිබොන්නා එසේ කියද්දී අන්දුන්කුන්දුව නින්දෙන් නැගිට ගත් නාඳුනන පුද්ගලයා පවසා ඇත්තේ තමා කිරිබොන්නා සොයා පැමිණි බවය. ඔහු එසේ කිවේ එකවර පිබිදිම නිසා කිරිබොන්නා හරිහැටි හැඳින ගැනිමට නොහැකිවය. එහෙත් බිමතින් සිටි කිරිබොන්නා සිතුවේ මොහු තමා සොයගෙන පැමිණ ඇත්තේ තමා කොටුකර ගැනීමට බවය.

“මිනිහා එකපාරට එහෙම කියන කොට කිරිබොන්නා හිතුවා මිට කලින් තිබුණු මිනිමැරුම් කේස් එකේ මොකක් හරි පටලැවිල්ලකට තමයි මේ වයසක මනුස්සයා එයාව හොයාගෙන ඇවිත් තියෙන්නේ කියලා. ඒ පාර කිරිබොන්නා මේ මනුස්සයාව මිනිහා නැවතිලා ඉන්න ගෙදරට එක්කගෙන යනවා. කිරිබොන්නා පදිංචි වෙලා ඉන්නේ සිසිරගේ කඩේ ඉඳන් මීටර 100ක් විතර දුරින්. ගිහින් අර මිනිහගෙන් අහනවා ඇත්ත කියපන් කවුද උඹට මාව හොයන්න කියලා කිව්වේ කියලා. ඒ ප්‍රශ්නයට අර වයසක මනුස්සයා උත්තර දෙන්නේ නැහැ නිහඬව ඉන්නවා.”

පස්සේ තවත් ප්‍රශ්න කරනවා ඒත් අර මනුස්සයා උත්තර දෙන්නේ නැහැ. ඒ පාර කිරිබොන්නා ඉන්දිකට කියනවා. වරෙන් මුව අරගෙන වැවට යමු කියලා.”

ගෙදර තිබු තියුණු කැත්තද අතට ගන්නා කිරිබොන්නා ඉන්දිකගේ බයිසිකලේට නාඳුනන පුද්ගලයාද නංවාගෙන ඔහු තඹලගොල්ලෑව වැව දෙසට රැගෙන යන්නේ ඉන් පසුවය. ඒ වන විට වේලාව රාත්‍රි එකොළහට ආසන්නය. තඹලාගොල්ලෑව වැව මත්තට සඳ පායා තිබිණි. එදින වැසි දවසක් බැවින් රාත්‍රිය කිසියම් සීතලකින් ද වෙලි තිබිණි. වැව් බැම්ම මත සයිකලය නතර කරන ලෙස ඉන්දිකට නියෝගයක් ලැබිණි. ඒ අනුව නාඳුනන පුද්ගලයා වැව් බැම්ම මතට රැගෙන යන කිරිබොන්නා ඔහුගෙන් නැවත ප්‍රශ්න කිරිම් අරඹන්නේය.

“ඇත්ත කියපන් කවුද උඹ එව්වේ මගේ ගැන හොයන්න.?”

“ඒත් නාඳුනන පුද්ගලයාට ඊට කිසිත් පිළිතුරක් දීමට නොහැකිය. ඒ එවැන්නකට ඔහු නොපැමිණි නිසාය. නිහඬතාවය නිසා තව තවත් කෝපයට පත් කිරිබොන්නා අවසානයේ නාඳුනන තැන්තාගේ සරම ගලවා ඉන් බෙල්ල හිරකරන්නට විය. ඒ සමඟ වාරු නැති ඔහු එතැනම ඇදගෙන වැටිණි. මාරයාගේ හෝරාව එළැඹිණි. කිරිබොන්නාගේ අතේ තිබු තියුණු කැත්ත නාඳුනන පුද්ගලයාගේ ගෙල හරහා එල්ල වන්නේ ඔය අතරය. ඒ කැති පහරින් ඔහු නිහඬවිය. මොහොතක් ඔහු දෙස බලා සිටින කිරිබොන්නා දකින්නේ වැටී සිටි ඔහුගේ පාදයක් සෙලවෙන අයුරුය. ඒ සමඟම එම පාදයට ද තවත් කැති පහරක් එල්ල විය. නාඳුනන පුද්ගලයා එතැනම අවසන් හුස්ම හෙළන්නේය.

“පස්සේ කිරිබොන්නා වැවට බැහැලා ලේ ගැවුණු අත් කකුල් සෝදගෙන ඉන්දික ගාවට ගිහින් කියනවා අරුව මම මැරුවා අපි යමු කියලා. එහෙම කියලා මෝටර් සයිකලයට නගිද්දීම ඉන්දිකගේ හිතේ තිබුණු ගැස්සිලට සයිකලයෙන් වැටෙනවා. අන්න එතැනදි තමයි හැඬල් එක ඇදවෙන්නේ සයිකලේ මඩ ගෑවෙන්නෙත්.”

නාඳුනන පුද්ගලයා මරාදැමූ කිරිබොන්නා ඉන්පසු ඉන්දික සමඟ ඔහුගේ ගෙදරට යන්නේ කිසිදු වචනයක් පිට නොකරන ලෙස කියමින්ය. ඉන්දිකගේ නිවෙසට ගිය ඔවුුන් මෝටර් සයිකලය කුස්සිය තුළට දමා කින්දට ගොස් තිබිණ. පසුදා පාන්දර වෙද්දි පිබිදෙන ඉන්දික සයිකලේ ද රැගෙන ගරාජ් සොයා ගන්නෙ කිරිබොන්නා සිය ගෙදර තනිකර දමාය.

ඉන්දික පෞද්ගලික බස් කොන්දොස්තර කෙනෙක් ලෙස සේවය කරන අයෙකි. එදා ඉරිදා දිනයක් බැවින් බස් රථයේ රියදුරා ඉන්දික සොයා නිවෙසට පැමිණෙන අතර පසුව දෙන්නම එකතු වී කසිප්පු ලිටරයක් හිස් කරන්නේ කිරිබොන්නාද එක්කාසු කරගෙනය.

නාඳුනන පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට කොටු වූ ඉන්දික මෙළෙස සියල්ල හෙළිකරද්දී කිරිබොන්නා ගමඅතහැර පලායන්නට මැදවච්චිය බස් නැවතුමේ රැඳි සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව ඔහුගෙන කළ ප්‍රශ්නකිරිමේදී ඝාතනයට උපයෝගිකරගත් තියුණු කැත්ත මෙන්ම ඝාතනය සිදු වු මොහොතේ ඔහු ඇඳ සිටි ඇඳුම් ද සොයාගැනීමට පොලිසියට හැකිවිය.

මිිනිස් ඝාතනයක සුලමුල අනාවරණය වී හමාරය. ඒත් මියගිය පුද්ගලයා කවුද යන්න මේ වනතුරු හඳුනා ගැනීමට කිසිඳු අයකුට හැකි වී නැත. එහෙත් මියගිය පුද්ගලයාගේ ඇඟිලි සටහන් අපරාධ කොට්ඨාශය වෙත යවා ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මියගිය අය කිසිදු අපරාධයකට සම්බන්ධ නැති බවය. එහෙත් මෘත ශරිරයේ ඡායාරූප ඕ.ජී.එන්. තාක්ෂණය ඔස්සේ දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට යවා ඇති අතර පොලිසිය එමඟින් බලාපොරොත්තු වන්නේ මියගිය පුද්ගලයා කාගේ කවුදැයි හඳුනාගන්නටය. ඒ අනුව ඔහු මැදවච්චියට ආවේ කුමක් සඳහා ද යන්න නිශ්චිතව දැනගත හැකිය.

උතුරු මැද දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සඳුන්ගහවත්ත මහතාගේ අධික්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි සේනක පී. ජයසිංහගේ මෙහෙයවිමෙන් මැදවච්චිය පොලිස් ස්ථානාධිපති චන්දන කන්දෙවත්ත ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති හේමන්ත ධර්මසිරි උපපොලිස් පරීක්ෂක රංජීත් බණ්ඩාර සැරයන් වරුන් වන කුමාරසිංහ (47406) විමල් (47383) කොස්තාපල්වරුවන් වන වීරසිංහ (60155 0 රෝහණ (61484) රුවන් (9238) පි‍්‍රයන්ත (14608) ගාමිණි (11967) හා සෙනෙවිරත්න (14895) යන නිලධාරිහු මෙම විමර්ශනයට එක්ව සිටිති.

කීර්ති මෙන්ඩිස්

ඡායාරූප

සී.එම්.ආරියපාල තඹුත්තේගම සමූහ