ලොකු වැඩ කරන පුංචි “මයිලෝ”

පොලිස් වැඩ්ඩෝ

ලොකු වැඩ කරන පුංචි “මයිලෝ”

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සිය ව්‍යාපාරය කරගෙන යාම උදෙසා නොකරන දෙයක් නැත. වර්ථමානය වන විට මෙරට පුරා කුඩු ජාවාරම කරගෙන යන ප්‍රධානම ක්‍රමය වී ඇත්තේ, “ඊසි කෑෂ්” ක්‍රමය බව පොලිස් පරීක්ෂණ වලදී ද අනාවරණය වී ඇත.

“ඊසි කෑෂ්” ක්‍රමයට මුදල් ලබා දුන් පසු යම් ස්ථානයක එම මුදලට සරිලන කුඩු ප්‍රමාණය සඟවන අතර අනතුරුව ඒ බව මුදල් ලබා දුන් අයට දන්වයි. ඔහුට තිබෙන්නේ කුඩු සැඟවූ බව කියන ස්ථානයෙන් ඒවා ලබා ගැනීමය. සීගිරියේ සිට හබරණ දක්වා “ඊසි කෑෂ්” ක්‍රමයට කෙරෙන කුඩු ජාවාරමක් පිළිබඳ තොරතුරක් පසුගියදා හබරණ පොලිසියේ බුද්ධි අංශයටම ලැබිණි.

ලද තොරතුරු වලට අනුව මෙම ජාවාරම වැටලීමට හබරණ පොලිසියේ බුද්ධි අංශය වැඩ පිළිවෙලක් දියත් කළේය. ඒ අනුව පොලිසිය මුලින්ම කළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුගේ ජංගම දුරකථන අංකය සොයා ගැනීමය. එම අංකය සොයාගෙන උපාය දූතයකු ලවා ඔහුට ඇමතුමක් දි රුපියල් තුන්දහසක කුඩු ලබාදෙන ලෙසට ඇනවුම් කළේය.

එම ජාවාරම්කරු කුඩු ඉල්ලූ පුද්ගලයාට දන්වා සිටියේ තමා ලබාදෙන ජංගම දුරකථන අංකයට රුපියල් තුන්දහස ඊසි කෑෂ් කරන ලෙසටය. රුපියල් තුන්දහසකට ලබාදෙන කුඩු ප්‍රමාණය මිලිග්‍රෑම් හතරකි.

උපාය දූතයා රුපියල් තුන්දහසක මුදල ඊසි කෑෂ් කළේය. ඉන් ස්වල්ප වේලාවකට පසු කුඩු ජාවාරම් කරුගෙන් උපාය දූතයාට දුරකථන ඇමතුමක් ලැබිණි. ඔහු ඇමතුම දී කුඩු සඟවන ස්ථානය පවසා තව පැය භාගයකින් පමණ එම ස්ථානයෙන් කුඩු ගන්නා ලෙස ද පවසා සිටියේය.

මෙලෙස කරන කුඩු ජාවාරම් ක්‍රමය හඳුන්වන්නේ “ඊසි කෑස් ලොකේෂන්” ක්‍රමය ලෙසටය. ජාවාරම්කරු කුඩු සඟවන ලොකේෂන් එක දැනගත්ත ද ඔහු එතැන සඟවා ගියහොත් මෙහෙයුම අසාර්ථකය. එබැවින් කුඩු රැගෙන යද්දී අතරමඟදී ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක් දියත් කළේය.

මෙම කුඩු ජාවාරම සිදුවන්නේ සීගිරියේ සිට හබරණ දක්වා ඇති කෙටි මාර්ගයක් ඔස්සේය. අලි ඇතුන් ඇතුලු වන සතුන්ගෙන් පවා ගහන මෙම මාර්ගයේ සෆාරි වාහන වැනි ඒවා හැරුණ කොට ගමන් කරන්නේ යතුරුපැදි වන අතර බොහෝවිට එම යතුරුපැදි අනවසර ජාවාරම් කරගෙන යන ඒවාය.

සීගිරියේ කුඩු ජාවාරම්කරු, කුඩු රැගෙන යතුරුපැදියකින් හබරණ බලා පිටත් වූ අතර ඒ වන විට හබරණ පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබිණි.

ඔහු පැමිණෙන දුෂ්කර මාර්ගයේ සීගිරිය ආසන්නයට පොලිස් කොස්තාපල් වරු දෙදෙනකු යතුරු පැදියකින් ගොස් රැකවල් ලාගෙන සිටි අතර එම මාර්ගය හබරණට අවතීර්ණ වන 26 කණුව අසල පොලිස් මාර්ග බාධකයක් ද යොදා තිබිණි. එම මාර්ගබාධකයට හබරණ මත්ද්‍රව්‍ය නිල සුනඛ මයිලෝ ද කැඳවා තිබිණි.

මෙම මෙහෙයුමට මයිලෝ එන්නේ අස්ගිරිය පොලිස් නිල සුනඛ මූලස්ථානයේ පැවැති මාසයක විශේෂ පුහුණුවකට සහභාගි වී ආපසු පැමිණ ගෙවී ගිය දෙවැනි දිනයේදීය. කොස්තාපල් (85927) ප්‍රදීප් බණ්ඩාර ලීලාරත්න මයිලෝ රැගෙන මාර්ග බාධකයට වී සිටියදී ඉතා වේගයෙන් යතුරු පැදියක් එනු නිරීක්ෂණය විය.

ඒ..... කුඩු අදින යතුරු පැදියයි. සීගිරිය ප්‍රදේශයෙන් එම යතුරුපැදිය අතුරු මාර්ගයට අවතීර්ණ වෙද්දී සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනා දැක ඒ පොලිසියෙන් විය යුතු යැයි ජාවාරම්කරුට සැක සිතී තිබිණි. එබැවින් ... ඔහු යතුරුපැදිය ඉතා වේගයෙන් ධාවනය කර ඇති අතර පොලිස් නිලධාරින් දෙදෙනා සිය යතුරුපැදියෙන් ජාවාරම්කරු පසුපස පන්නාගෙන ඇවිත් තිබිණි.

නිලධාරීන් දෙදෙනාගෙන් බේරීමට ජාවාරම්කරු වේගයෙන් යතුරුපැදිය පැදගෙන ආ අතර 26 කණුව අසල හදිසියේ යොදා තිබූ මාර්ග බාධකය දුටු ඔහුට තරු විසි විය.

යතුරුපැදිය මාර්ග බාධකයේ නතර කිරීමට ජාවාරම්කරුට සිදු විය. එහෙත් පොලිස් කණ්ඩායම ඔහු පරීක්ෂා කිරිමට වෙහෙසුනේ නැත. ඒ අවස්ථාව ලබා දුන්නෙන් මයිලෝට ය.

යතුරුපැදිකරුට යතුරුපැදියෙන් බසින ලෙස පවසා මයිලෝ ට යතුරුපැදිය ඉව කරන ලෙසට ප්‍රදීප් අණ දුන්නේය.

ඒ.... මෙවැනි ජාවාරම් කරුවන් මත්ද්‍රව්‍ය සඟවා තබන ස්ථාන සෙවිම පොලිස් නිලධාරින්ට දැඩි අපහසු කාර්යයක් වුවත් පුහුණුව ලද නිල සුනඛයකුට එය ඉතාම පහසු දෙයකි.යතුරු පැදිය අසලට ගිය මයිලෝ දෑත් වලින් ඉස්සී අසුනට ඉව කරන්නට විය. එහෙත්... මයිලෝ යතුරුපැදියේ අසුනට ටිකක් උස මදිය. ඒ මයිලෝ ඉංග්ලිෂ් ස්පි‍්‍රන්ජර් ස්පැනියර් වර්ගයට අයත් කුඩා සිරුරකින් හෙබි සත්ත්වයකු වන බැවිනි.

සිරුරින් කුඩා වුව ද රාජකාරියට ඉතා දක්ෂ මයිලෝ දෑත් වලින් ඉස්සී යතුරුපැදියේ අසුන හපමින් කටින් අදින්නට පටන් ගත්තේය.

ඒ අනුව ප්‍රදීප් ගේ අදහස වූයේ යතුරුපැදියේ අසුන යට මත්ද්‍රව්‍ය සඟවා තිබිය යුතු බවය. පසුව... එම අසුන උස්සා බලද්දී කඩදාසියක ඔතන ලද කුඩා බෝලයක් වැනි පාර්සලයක් හමු විය. එහි වූයේ බ්‍රවුන් ෂුගර් වර්ගයට අයත් හෙරොයින්ය.

එම පාර්සලයේ හෙරොයින් මිලිග්‍රෑම් හතළිහක් තිබිණි. එනම්... මෙම ජාවාරම්කරු පැමිණ තිබුණේ බාරගත් ඇනවුම් කිහිපයක්ම රැගෙනය. පොලිසිය මොහු අත්අඩංගුවට ගත් අතර මාස දෙකක කාලයකදී අත්අඩංගුවට ගත් පස්වන කුඩු ජාවාරම්කරු මොහුය.

මයිලෝ මත්ද්‍රව්‍ය හොඳින් හඳුනයි. කසිප්පු භාජනයක් දැක්කොත් නම් සමහර විට මයිලෝ ඉන් උගුරක් දෙකක් බොන්නට ද අකමැත්තක් නැත. එහෙත්.... මයිලෝ කුඩු ගහන්න ගංජා ගහන්න නම් කැමැත්තක් නැත. ඒවා හමු වුවහොත් හපා විනාශ කර දැමීම මයිලෝගේ ආශාවය.

කොළඹ ඉදිකිරීම් ස්ථානයක සේවය කරන හබරණ ප්‍රදේශයේ පදිංචි බාස්ලා දෙදෙනකු නිවාඩුවට ගමට එද්දී කේරල ගංජා රැගෙන එන බවට හබරණ පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

එම පුද්ගලයන් දෙදෙනා කොළඹින් බස් රථයට ගොඩ වූ වේලාව ද එම බස් රථයේ අංකය ද හබරණ පොලිසියට ලබා දීමට පෞද්ගලික ඔත්තුකරුවකු කටයුතු කර තිබිණි.

කොළඹ සිට පොළොන්නරුව බලා ධාවනය වන එම බස් රථය හබරණ බස් නැවතුමට ළඟා වෙද්දී වෙලාව අලුයම තුන හමාර පමණ වී තිබිණි. එම බස් නැවතුමේ ද පොලිස් කොස්තාපල් වරයකු යොදවා සිටි අතර මෙම පුද්ගලයන් දෙදෙනා බසයෙන් බැසගත් බව ඔහු ඉඳිකැත්තාව පාරේ යොදා තිබූ මාර්ග බාධකයට දැනුම් දුන්නේය.

බසයෙන් බැසගත් මේ දෙදෙනා නිවෙස් වෙත යන්නේ ඉඳිකැත්තාව මාර්ගය ඔස්සේය. මෙම කේරල ගංජා මෙහෙයුම සඳහා මයිලෝ ද කැඳවා තිබිණි.

බසයෙන් බැසගත් දෙදෙනා ගමන්මලු කරේ එල්ලාගෙන ඉදිරියට පැමිණේ. හදිසියේම යොදා ඇති මාර්ග බාධකය දුටු දෙදෙනා යම් තරමකට කලබලයට පත් වුවද ඒ බව නොපෙන්වා එම ස්ථානය පසුකර යාමට උත්සාහයක යෙදිණි.

මේ දෙදෙනා පරීක්ෂා කිරීම පැවරුනේ මයිලෝටය. මයිලෝ වැඩි දෙයක් කළේ නැත. කළේ දෙදෙනාගේම ගමන් මලු ඉව කොට ඒවා ඇද ඉරා දමන්නට උත්සාහ කිරීම පමණි. ප්‍රදීප් මයිලෝ පැත්තට ගත් අතර පොලිස් කණ්ඩායම දෙදෙනාගේ ගමන්මලු පරීක්ෂා කිරීමට පටන් ගත්තේය.

එක් අයකුගේ ගමන් මල්ලේ තිබී කේරල ගංජා ග්‍රෑම් හැත්තෑපහක් ද අනෙක් පුද්ගලයාගේ ගමන්මල්ලේ තිබී කේරල ගංජා ග්‍රෑම් පනස් හතරක් ද සොයා ගැනීමට පොලිසියට හැකි විය.

තක්ෂිලා ජයසේකර