අමතක කළ අතීතය

අමතක කළ අතීතය

පසුගිය සතියේ පැවති නත්තල් සාදය මට කිසිදා අමතක නොවන්නකි. ඇය මට හමුවුණේ එදාය. සාදයට පැමිණි කෙල්ලන් කිහිපදෙනා අතරින් මා නෙත නතරවුණේ ඇය ළඟය. වරින් වර අපේ දෑස් එකට හමුවිණි. සිතින් ද අපි ළං වුයෙමු. ඒත් ඇය කාගේ කවුදැයි නොදැනීම නිසා ඇය හා වචනයක් දෙකක් කතා කිරීමට මා සිත තුළ තිබුණේ බියකි. ඇයට ද එසේ වන්නට ඇත. අවසානයේ මගේ ජංගම දුරකථනයේ අංකය ඇය අත තැබුවේ වෙන කරන්නට දෙයක් නොතිබු බැවිනි.

සාදයට ඇය පැමිණ සිටියේ ඇගේම සොහොයුරියක් සමඟය. ඇය ඥාති සොයුරියක් වන්නට ඇතැයි මම සිතුවෙමි. ඊට හේතුව වුයේ ඔවුන් දෙදෙනාම එකටම විනෝද වෙමින් සිටි නිසාය. ඇය හා කතා කිරීමට මා කිසියම් බියක් දැක්වුයේ ද ඒ නිසාය.

කළු පැහැති ඇඳුම ඇගේ සිරුරට ගෙන දුන්නේ කදිම හැඩයකි. දැල්වුණු පාට පාට විදුලි ධාරා මුහුණට වැටෙද්දී ඇගේ ලස්සන තවත් වැඩියෙන් පෙනිණ. මා ඇය දෙසම බලා සිටියේ ඒ නිසාය. අපේ නෙත් එකිනෙක ගැටුණේ ඉන් පසුවය. දෙනෙත්වලින් අපි බොහෝ දේ කීවෙමු.

සාදය අවසානයේ පැවති වේග රිද්ම ගායනයට අපි සැවොම නැටවෙමු. ඇයද පැමිණි සොහොයුරිය සමඟ තාලයට පද ඇල්ලුවේ මුව පුරා සිනහ නඟමිනි. කෙසේ හෝ ඒ අතරතුර මගේ දුරකථන අංකය ඇය අත තැබිමට මට හැකිවිය. පසුදාම මගේ දුරකථනයට ඇය ඇමතුමක් දුන්නාය. මුළු ජීවිතයම ජයගත්තා සේ මට දැනුණේ එවිටය.

“එදා මගේත් එක්ක හිටියෙ මගේම අක්කා”

“ඒත් මම හිතුවා ඔයාගේ කවුරු හරි ඥාතියෙක් වෙන්න ඇති කියලා. ඒකයි ඉතින් කතා කරන්නවත් බැරි වුණේ.”

ඇය එදා සිදුවීම යළි මතකයට ගෙන ආවාය.

“ඒ වුණාට අපි කතා කළානේ.”

“ඒ ....කොහොමද?“

“ඇයි අපි ඇස්වලින් කතා කළේ”

මා එසේ කියද්දී ඇය ඊට ප්‍රතිචාර දැක්වුයේ සිනහවකිනි.

“මට නම් ඒ නත්තල් පාටිය ජිවිතේටවත් අමතක වෙන එකක් නැහැ.”

“ඇයි ඒ...”

“ඔයාව මට හම්බවුණේ ඒ පාටිය නිසානේ.”

“මටත් එහෙමයි.”

ඇය එසේ කියද්දී මට දැනුණේ සතුටකි. ඇය ළඟට යන්නට ඇත්නම් යැයි මට සිතිණි. එදා අපි බොහෝ දේ කතා කළෙමු.

“මට ඉන්න එකම අක්කා එයා විතරයි. අක්කට ඉන්නෙත් මම විතරයි. අපි සහෝදරියෝ වුණාට හොඳම යාළුවෝ වගේ. එයාගේ හැම රහසක්ම මම දන්නවා. මගෙත් සේරම එයා දන්නවා.”

ඇය කියන සියල්ල මම අසා සිටියෙමි. මට අවශ්‍ය වුයේ ඇය ගැන තොරුතුර ටිකක් දැන ගැනීම පමණි.

“ඔයාලගෙ ගෙවල්”

“අපි නවගමුවේ”

“ආ.... ඒ කියන්නේ මේ ළඟනේ....”

වේලාව ගෙවී යන බවක් මට නොතේරුණි. ඇයට ද එසේ වන්නට ඇත.

“හැබැයි එදා පාටියේ හිටිය ලස්සනම කෙල්ල ඔයා”

“අනේ බොරු ඇයි මගේ අක්කා එයා ලස්සන නැද්ද”

“නෑ එයත් ලස්සනයි. ඔයා ඇඳලා හිටිය කළු ඇඳුමට ඔයා එයාට වඩා ලස්සනයි.”

“අනේ තෑන්ක්ස්”

“ඉතිං.... ඉතිං....”

එදායින් පසුව මගේ ජංගම දුරකථනයට ඇය කතා වාර ගණන බොහෝය. එවපු ඉර්ඉ පණිවුඩ ඉමහත්ය. ඒ සියල්ලටම මම පිළිතුරු දුන්නෙමි. දින කිහිපයක් ගතවෙද්දී අපි දුරකථනනය ඔස්සේ පෙමින් වෙළුණෙමු. මහ රෑ වනතුරු අපි කතා බස් කළෙමු.

“අපි කොච්චර සතුටින් හිටියත් ඔයා කවදා හරි මම නිසා දුක් වෙනවා.”

ඇය දිනක් මට එලෙස කීවේ මා තුළ කිසියම් තුතුහලයක් ඇති කරමිනි.

“මට තේරුණේ නැහැ ඔයා කියපු දේ”

“මම ඒක පස්සෙ කියන්නම්”

“නැහැ. එහෙම එපා දැන්ම කියන්න”

“ඒක කිව්වොත් ඔයා මාව දාලා යයි.”

ඇය කියන්නට යන කිසිවක් මට නොතේරිණි.

ඇය කියන්නට උත්සාහ කරන්නේ කුමක්ද? මම ඒ බව පුන පුනා ඇගෙන් ඇසුවෙමි.

“මගේ කතාව ඇහැව්වොත් ඔයාට මාව එපා වෙනවා.“

“ඇයි එහෙම කියන්නේ මට ඔයා එපා වෙන්නේ නැහැ කවදාවත්.”

“අද ඔයා එහෙම කිව්වාට කවදා හරි ඔයාට මාව එපා වෙනවා.”

“ඉතින් මට කෙළින් කියන්න.”

“නෑ මම වෙන දවසක කියන්ම්”

“නැහැ එහෙම බැහැ. දැන්ම කියන්න ඕන. නැත්තම් මම ඔයාට ආයෙත් කතා කරන්නේ නැහැ”

මම තරහක් ඇතිකරගනිමින් කීවෙමි. ඇය ඊට පිළිතුරක් නොදී මොහොතක් නිහඬව සිටියාය. ගතවුයේ තත්පර ගණනකි. ඇය ඉකි ගසන හඬ මට ඇසිණි.

“ඇයි ඔයා අඬන්නේ”

ඇගෙන් ඊට පිළිතුරක් නැත. ඉකි ගැසීම වේගවත් වෙයි. මේ කිසිත් මට නොතේරේ.

“ඔයා මට කියන්න හදන දේ කියන්න.”

මා එවරනම් කිවේ තරහිනි. නිහඬතාවය බිඳිමින් ඇය යළි කටහඬ අවදි කළාය.

“ඔයා මට ආදරෙයි ද?”

“ඔව්”

“මාව විශ්වාස කරනවද?”

“ඔව්”

“එහෙනම් ඔයාට මාව එපා වෙන්නේ නැහැයි කියන්න”

“නැහැ..... සත්තකින්ම නැහැ.”

ඉකි ගසන හඬ අතරින් ඇය මට මෙසේ කීවාය.

“මම ජිවිතේ විනාශ කර ගත්ත කෙල්ලක්”

“ඒ කිව්වේ”

“ඔයා හිතන විදිහෙ කෙල්ලක් නම් නෙවෙයි මම”

“මට තේරෙන්නේ නැහැ ඔයා කියන දෙ.් මට කෙලින් කියන්න”

“ඇයි දෙවියනේ තේරෙන්නේ නැද්ද? මම මීට කලින්....”

ඇය කියන්නට යන්නේ කුමක්දැයි මට වැටහුණේ එවිටය.

“හරි දැන් මොකක්ද ප්‍රශ්නේ....? ඔයා මොකටද අඬන්නේ?”

“එහෙම කෙල්ලෙක්ට කැමති වෙන්නේ කවුද?”

“ඒකනම් ඇත්ත. එහෙම කැමති පිරිමියෙක් ඉන්නවානම් ඒකා...”

මා කිවේ ඇගේ හිත පාරන අදහසින් නොවේ.

“ඒකනේ මම කිව්වේ”

“ඒ කිව්වේ?”

“ඒක අහපු ගමන් ඔයාට මාව එපා වෙනවා කියලා.”

“පිස්සු කෙල්ල එහෙම පිරිමියෙක් නෙමෙයි මම... ඔයා මට සිද්ධ වුණ දේ කෙළින් කිව ගැන මට සතුටුයි. මම ඔයාව ජිවිතේටවත් අමතක කරන්නේ නැහැ.”

“ඔය ඇත්තම ද?”

“ඔව් සත්තකින්ම”

“සිදු වූ අකරතැබ්බය ඇගෙන් නොවිමසන්නට බව මම තීරණය කර සිටියෙමි. ඒත් ඇය ඒ කතාව මට කියන්නට පටන් ගත්තාය.

“මට ඔය පරණ දේවල් දැනගෙන වැඩක් නැහැ. දැන් ඒවා සිද්ධ වෙලා ඉවරයිනේ.”

“ඔව්”

“එච්චරයි අපි අතිතය අමතක කරමු.”

ඒ වුණාට ඒක දැනගන්න අයිතියක් ඔයාට තියෙනවා. ඒ කතාව කියන එක මගෙන් යුතුකමක්.”

උසස් පෙළ හැදැරීමෙන් පසුව ඇය නර්තනය ඉගෙන ගැනීම සඳහා නැටුම් පංතියකට ගියාය. නැටුම් භාර ගුරුතුමා ඇයට නැටුම් උගන්වන්නට ගත් වෙහෙස අපමණය. එහි ප්‍රතිඵලය වුයේ ඔහු අතින් ඇය අනාථ වීමයි.

“මට බබෙක් හම්බවෙන්න ආවා. එතකොට තමයි ගෙදර අය දැනගත්තේ. ඉන් පස්සේ පොලිසි ගියා. අපිට ඒ මිනිහත් එක්ක හැප්පෙන්න තරම් හයියක් තිබුණෙ නැහැ. පොලිසියේ ඔක්කොම මිනිහ හඳුනගෙන හිටියා. අන්තිමට මට වන්දියක් දෙන්න පොරොන්දු වුණා.”

“එතකොට ලැබෙන්න හිටිය දරුවා”

“දරුවා නැති කළා.”

“ඒ මිනිහා බැඳපු කෙනෙක් ද?”

“ඔව් දුවලා දෙන්නෙක් ඉන්නවා. ඊට අමතරව පන්තියට එන ගැහැනු ළමයි එක්කත් සම්බන්ධකම් තියාගෙන ඉන්නේ.”

“ඊට පස්සේ”

“අපි ගෙවල් විකුණලා නවගමුවේ පදිංචියට ආවා... එදායින් පස්සෙ තමයි මගේ ආරක්ෂාවට මම යන හැමතැනම මගේ අක්කත් මගේ පස්සෙන් එන්නේ.”

ජිවිතය අකාලයේ විනශාකර ගත්තද බැලු බැල්මට ඇය එවන් එකියක් ලෙස සිතිය නොහැක. ඒ ඇය තාමත් තරුණ පෙනුමකින් සිටින නිසාය. ගිනිදැල්ලෙන් බැට කෑ ඇය දැන් කනාමැදිරි එළියටත් බිය ය.

“මම ඔයා ගැන අපේ අක්කට කිව්වා.”

පසුගිය ඉරිදා මට හමුවුණු ඇය ඒ බව මහත් සතුටකින් කිවාය.

“ඉතිං අක්කා මොකද කිව්වේ”

“දවසක් අපේ ගෙදර ඇවිත් යන්න එන්න කිව්වා.”

“ආ... මම එන්නම්. ඔයා කියන්න මම ඕනෑ දවසක එන්නම්”

මා එසේ කියද්දී ඇය මා දෙස බලා සිටියේ පුදුමයෙනි.

“ඔයා ඔය ඇත්තම ද කියන්නේ?”

“ඔව් ඇයි?”

“මට මෙහෙම දෙයක් වෙලත් ඔයාට...”

“මම කිව්වනේ පරණ ඒවායින් මට වැඩක් නැහැ කියලා.”

“ඒ වුණාට ...”

“ඒ කියන්නේ”

“ඔයාගේ අම්මා නංගි මොනව හිතයිද?”

“අම්මවත් නංගිවත් නෙමෙයි ඔයාව කසාද බඳින්නේ මම නේ.”

“මේ බව දැනගෙන එයාලා එපා කිව්වොත්”

“ඔයා බොළඳ වෙන්න එපා. එයාලා මොනව කිව්වත් මම ඔයාව බඳිනවා.”

“සත්තකින්ම”

“ඔව්”

ඇගේ දෙනෙත් වලින් කඩාහැලෙන සතුටු කඳුළු මගේ උරහිස තෙත් කරන්නට සමත් විණි. ඇය කිසියම් සතුටකින් සිටින බව මට හැඟේ. ඒ මා උරහිසට තුරුලු වෙමිනි. මම ඇගේ මුහුණ දෙස බැලුවෙමි. ආදරය මෙන්ම ආයාචනාමත්ක දෑස් මා ඉදිරියේ කුමක් දෝ කියාපායී. මම දෑස් වසා ගත්තෙමි. අපි අපේම ලෝකයේ මොහොතකට තනි වුණෙමු.

කීර්ති මෙන්ඩිස්