'ලණු කෑල්ලකින් බෙල්ල ගැට ගහලා ඇදගෙන ගිහින් ළිඳට දැම්මා'

'ලණු කෑල්ලකින් බෙල්ල ගැට ගහලා ඇදගෙන ගිහින් ළිඳට දැම්මා'

“අජන්ත කෝ ? පෙරේදා රෑ වැඩ ඉවරවෙලා ගියාට පස්සේ තවම ආපහු වැඩට ආවේ නෑ. මම මේ ආවේ මොකද කියල බලන්න.”

පසුගිය මස අට වැනිදා සවස වැලිඔය පොලිස් වසමේ මායාවැව ප්‍රදේශයට පැමිණි මොනරවැව ප්‍රදේශයේ තේ කඩයක් කරගෙන යන පුද්ගලයකු එලෙස විමසීමක් කළේය.

අජන්ත ඔහුගේ තේ කඩයේ කොත්තු ලෑල්ලක් දමාගෙන දිනපතාම සවසට කොත්තු ගහන පුද්ගලයාය.

අජන්තගේ ඥාති සහෝදරයකු ද නිවෙස අසල පදිංචිව සිටින අතර මුදලාලි ඔහු හමු වී අජන්ත ගේ නොපැමිණීම පිළිබඳ දන්වා සිටියේය. “මම නම් දන්නේ නෑ. මුදලාලි ළඟ නේ වැඩ කරන්නේ” ඥාති සොයුරු ජයලත් මුලින්ම පැවසුවේ එලෙසිනි.

අජන්තගේ මුල් ගම ගල්නෑව හේමාගමයි. ඔහු.... මායාවැව ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබුණේ මීට වසර කිහිපයකට පෙරය. ඒ.... විවාහය අතහැර දමාය. දහතුන් හැවිරිදි වියේ පසුවන දියණියක ද සිටින මුත් මොහු මෙලෙස මායාවැව ට පැමිණ තිබුණේ ඇය ගැන ද සිතා නොබලමිනි.

මොහු ගමේ පෙනෙන්නට නොසිටි බව ජයලත්ට ද මතක් වුණේ මුදලාලි කළ දැනුම් දීමට පසුවය. අනතුරුව ඔහු ගල්නෑවේ සිටින අජන්තගේ නැගණියක වන ශ්‍යාමලීට දුරකථන ඇමතුමක් දී අජන්ත ගමේ ආවා දැයි විමසා සිටියේය. ඇයගෙන් ලැබුණු පිළිතුර වුයේ “මෙහේ නම් ආවේ නෑ” යන්නයි.

“අජන්ත දැන් දවස් දෙක තුනක ඉඳලා ගෙදර නෑ. මුදලාලිත් හොයාගෙන ආවේ වැඩටත් ගිහින් නැති නිසා. අපි හොයලා බලලා පණිවිඩයක් දෙන්නම්”

ශ්‍යාමලීට එලෙස පැවසු ජයලත් අජන්ත සෙවීම සඳහා වහ වහා පියවර ගත්තේය.

අජන්තගේ අතුරුදන් වීම පිළිබඳ ජයලත් ගමේ හිතමිතුරන් සමඟ කතා බහ කරන්නට විය.

“මල්ලී ලෑස්ති වෙන්න කෝ පොලිසි යන්න.”

එලෙස ඉදිරිපත් වුයේ වැඩිහිටියෙකි. අටවැනිදා සවස වැලිඔය පොලිසියට යන ජයලත් අජන්තගේ අතුරුදන්වීම ගැන පැමිණිල්ලක් සටහන් කළේය.

පොලිසිය පරීක්ෂණ සඳහා පැමිණි අතර ඔවුන්ගේ මුල් අදහස වුයේ අජන්ත අනියම් ඇසුරක පැටලී සිට ඇය හා ප්‍රදේශයෙන් පලා යන්නට ඇති බවය.

පොලිසියට එවැන්නක් උපකල්පනය කිරීමට කරුණු ලැබී තිබිණි. ඒ.... අජන්ත සිය නිවෙස ඉදිරිපිට නිවෙසේ පදිංචි පවුලේ බිරිය සමඟ අනියම් ඇසුරක් පත්වාගෙන යන බවට ගම්මුන්ගෙන් තොරතුරු ලැබී තිබීමය.

එලෙසම අජන්ත අතුරුදන් වීමෙන් අනතුරුව එම නිවෙස ද වසා දමා තිබු අතර බිරිය සහ දරුවන් ඊට දින කිහිපයකට පෙර සිටම දකින්නට නොසිටීම ද එවැනි සැකයකට තවත් හේතුවක් විය.

මෙලෙස පොලිසියට තොරතුරු සැපයු ජයලත් ඇතුලු ගමේ පිරිස් එදින සවස් වරුවේ අජන්ත සෙවීමේ සෝදිසි මෙහෙයුමක් දියත් කළේය.

අජන්තගේ අතුරුදන් වීමත්, ඉදිරිපස නිවෙසේ අය ද අතුරුදන් වීමත් අතර යම් සම්බන්ධයක් ඇතැයි ජයලත් ඇතුලු පිරිසට වැටහී තිබිණි. එබැවින්... ඔවුන් ගේ අවධානය යොමු වුයේ එම ගෙවත්ත දෙසටය.

එය.... වගා ඉඩමකි. කෙසෙල් පඳුරු වැටකොලු වැල් ඇතුලු වගා වලින් සමන්විත ඉඩම පිටුපසට ගිය පිරිසට එහි යම් අමුත්තක් සිදුව තිබෙනු දක්නට ලැබිණි. ඒ.... වැටකොලු වැල් යැවීම සඳහා පේලියට සිටවා තිබු ඉපල් වලින් කිහිපයක් ගලවා ඇදගෙන ගොස් තිබීමය.

ජයලත් මල්ලි. මෙතන තිබුණ අතු අතන දාලා.”

සෝදිසි මෙහෙයුමට එක්ව සිටි අයකු ජයලත් අමතා ඉදිරිපස වු ස්ථානයක් පෙන්විය. එම ස්ථානයට ගිය පිරිස ඉපල් ඉවත් කළේය. එවිට දක්නට ලැබුණේ පස් කපා දමා ඇති අයුරකි. පසුව ගමේ අය ද එක්කරගෙන උදැල්ලකින් එම ස්ථානය හාරා බැලීමට ජයලත් කටයුතු කළේය. එලෙස ටිකක් හාරාගෙන යද්දී යමක් මතු වනු දක්නට ලැබිණි. එය සතකුගේ කොටසක් යැයි සිතුව ද විවර වූ ස්ථානයෙන් හමා ආ මිනී කුණුගඳ හේතුවෙන් මෙහෙයුමේ යෙදී සිටි පිරිසට මේ අජන්ත ගේ මළ සිරුර දැයි යන සැකය මතුවිය. එබැවින් ඔවුහු දුරකථන ඇමතුක් දී මෙම තොරතුර පොලිසියට දන්වා සිටියහ.

තොරතුර ලද වහාම පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළේය. රාත්‍රිය උදා වී තිබු නිසා එම ස්ථානය අපරාධ ස්ථානයක් ලෙස නම් කොට පටි ඇද ආරක්ෂාව සලසා පරීක්ෂණ පසු දිනට කල් තැබීය.

ඊට පසු දින එනම් සැප්තැම්බර් මස නව වැනිදා මළ සිරුර ගොඩ ගැනීම සිදුකළ අතර මුලතිව් මහේස්ත්‍රාත් වරයා ඇතුලු නිලධාරීන් ඒ සඳහා එක්ව සිටියහ.

එය පාවිච්චියෙන් අතහැර දැමු කුඩා ප්‍රමාණයේ වගා ළිඳකි. වළ පාදාගෙන යද්දී දක්නට ලැබුණේ මළ සිරුර කෙලින් සිටවා පස් දමා වසා ඇති බවයි. මළ සිරුරේ ගෙළට ළණු පොටක් දමා තිබු අතර හිස ද බරපතල ලෙස තුවාල වී තිබිණි. සිරුර හඳුනාගත නොහැකි තරමට විරූපී වී නරක්ව තිබු අතර ජයලත් විසින් මේ අජන්ත බව හඳුනාගත්තේ හැඳසිටි කලිසමෙන් සහ ඉණට දමා තිබු බඳ පටියෙනි.

ගොඩගත් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කළ අතර මළ සිරුර හමු වූ ගෙවත්ත මෙන්ම එහි දොර ජනේල වසා දමා තිබු නිවෙස ද මහේස්ත්‍රාත් වරයා ගේ සෝදිසියට ලක්විය.

මෙම නිවෙසේ ගෙබිම පස් දමා තලා ඇතත් සිමෙන්ති හෝ ගොම මැටි හෝ ගල්වා නැත. සාලයේ පොළොවේ පස් හුරා ඇති බවක් දක්නට ලැබිණි. ඒ අනුව අජන්ත ඝාතනය මෙම නිවෙසේ දී කෙරෙන්නට ඇති බව තහවුරු විය. ඒ... මළ සිරුර ගොඩගත් වලේ තිබී අජන්ත හැඳසිටි කමිසය හමුවීමත් එහි සුරන ලද පස් කොටස් ඔතා තිබීමත් නිසාය.

පස් සුරා තිබු ස්ථානය අසල පාවහන් යුගලයක් තිබී හමුවිය. ඒ අජන්තගේ පාවහන් බව ඥාතීන් විසින් හඳුනාගනු ලැබීය. ඒ අසල ලණු පොටක් ද විය. එය අජන්තගේ ගෙලෙහි ගැටගසා තිබු ලණු කැබැල්ලේ ඉතිරි කොටස බව ද හඳුනා ගැනීමට පරීක්ෂණ කණ්ඩායමට හැකිවිය.

මෙම පරීක්ෂණ සිදුකෙරෙන අවස්ථාව දැක බලා ගැනීම සඳහා ප්‍රදේශ වාසීන් විශාල සංඛ්‍යාවක් ගෙවත්ත වඩා එක් රොක්ව සිටි අතර දන්නා තොරතුරු පරීක්ෂණ කණ්ඩායමට හෙළිකිරීමට ද ඔවුහු ඉදිරිපත් ව සිටියහ.

ඒ හේතුවෙන් පරීක්ෂණ සැලසුම් කර ගැනීමට පොලිසියට පහසු විය.

“දැන් දවස් දෙක තුනකට කලින් උදේම මේ ගෙදර හිටපු පේ‍්‍රමසිරි ත්‍රිවිල් එකක් ගෙන්නගෙන ඇඳුම් බෑග් වගයකුත් දාගෙන කලබලෙන් වගේ යනවා මම දැක්කා.”

එලෙස ඇසින් දුටු සාක්ෂි ලැබෙද්දී තවත් අයකු ඉදිරිපත් වුයේ ප්‍රේමසිරි එදින උදේ ඇතාවැටුණු වැව ට ගියේ තමාගේ ත්‍රිරෝද රථයෙන් බව කියමිනි.

“එදා උදේම මට පේ‍්‍රමසිරි අයියා කෝල් එකක් දීලා ඇතා වැටුණ වැවට යන්න තියෙනවා එන්න කියලා කිව්වා. මම ත්‍රිවිල් එක අරගෙන ගේ ළඟට යද්දී ගෙයි දොර ජනේල වහලා. මම වට පිට බලද්දී කෙසෙල් පඳුරක් අස්සේ හැංගිලා ඉඳලා පේ‍්‍රමසිරි අයියා ත්‍රිවිල් එක ළඟට දුවලා ආවා.”

“ඒ ආවේ වට පිට බල බල බයෙන් වගේ. එහෙම ඇවිත් ආපහු ගිහින් පාර අයිනට වෙන්න තිබුණ කෙසෙල් පඳුරක් අස්සේ තිබිලා බෑග් දෙකක් අරගෙන ඇවිත් ත්‍රිවිල් එකට නැගලා යමු කිව්වා.”

“පේ‍්‍රමසිරි අයියගේ හැසිරීම අමුතුයි. බයවෙලා වගේ. මම ඇහුවා. ඇයි කලබලෙන් මොකද හදිස්සියක් ද කියලා. ඒ පාර පේ‍්‍රමසිරි අයියා කිව්වා තාත්තගේ දානේ ඒකයි හදිසියේ යන්නේ කියලා.”

අජන්ත මරා පැරණි ළිඳට දමා ප්‍රදේශය හැර පලාගිය පේ‍්‍රමසිරි පිළිබඳ එලෙස තොරතුරු හෙළිවෙද්දී පොලිසිය ඔහු සොයා සෝදිසි මෙහෙයුම් දියත් කළේය. මොහු සිටින ස්ථාන පිළිබඳ තොරතුරු ලබා දීමට ද කිහිප දෙනකු ඉදිරිපත් වූ අතර මුලින්ම දැනගන්නට ලැබුණේ මොහු පුත්තලමේ සිටින බවටය.

පුත්තලම, සෙම්බැක්කේ ප්‍රදේශයේ සිටින බවට ලැබුණු තොරුතුරු වලට අනුව එහි ගිය පොලිස් කණ්ඩායමක් දින පහක් තිස්සේ සෙවිම් වල නිරත වුවද ඔහු හමුවුයේ නැත.

බලාපොරොත්තු සුන් වූ පොලිස් කණ්ඩායම යළි වැලිඔය පොලිසියට ගිය අතර ඉන් අනතුරුව තොරතුරක් ලැබුණේ අම්පාර, පරගහකැලේ ප්‍රදේශයේ සිටින බවටය. එහෙත්... පසුව දැනගන්නට ලැබුණේ මොහු ඔක්කම්පිටිය, වැල්ලවාය තංගල්ල ආදී ප්‍රදේශවල සැරිසරමින් සිටින බවයි.

මොහුගේ උපන්ගම වැල්ලවායයි. එබැවින් අනිවාර්යයෙන්ම මොහු වැල්ලවායේ සිටිය හැකි බවට තීරණය කළ පොලිසිය ඉන් අනතුරුව ගියේ වැල්ලවායටය.

වැල්ලවායට ගොස් රහසිගතව තොරතුරු සොයා යද්දී දැනගන්නට ලැබුණේ මොහු දිනපතාම උදේට බුලත් විට මිලදී ගැනීම සඳහා ඇතිලිවැව හන්දියේ කඩපෙළ වෙත පැමිණෙන බවය.

ඒ අනුව වැල්ලවායට ගොස් සිටි පොලිස් කණ්ඩායම ඇතිලිවැව හන්දියට ගොස් රැකවල්ලා ගෙන සිටිය දී පේ‍්‍රමසිරි පැමිණෙනු දක්නට ලැබිණි.

පොලිස් කණ්ඩායම මොහු වටකොට දෑත්වලට මාංචු දැමු අතර ඔහු නිශ්ශබ්දවම සිටියේය. ඒ..... තමාගේ දෑත්වලට කොයි මොහොතක හෝ මාංචූ වැටෙන බව හෙතෙම දැන සිටි නිසාය.

මෙලෙස අත්අඩංගුවට පත් වූ පේ‍්‍රමසිරි හතළිස් එක් හැවිරිදි දෙදරු පියෙකි. වෘත්තියෙන් ගොවියකු වූ ඔහු මායා වැව ප්‍රදේශයේ පදිංචිව සිටියේ බිරිය හා දරුදෙදෙනා ද සමඟය.

අජන්ත ඝාතනය පිළිබඳ පොලිසිය කළ ප්‍රශ්න කිරීම් වල දී පේ‍්‍රමසිරි පවසා සිටියේ අජන්තගෙන් බේරී සිටීමට බැරිම වූ තැන මෙලෙස ඔහු මරා දැමීමට සිදු වූ බවයි.

“එදා හවස මම ගෙදර ඉන්දෙද්දී යකඩ පට්ටමකුත් අරගෙන අඡන්ත අපේ ගෙදරට ආවා. ඒ වෙද්දී මගේ පවුලයි ළමයි දෙන්නයි ගෙදර සිටියේ නෑ. එයාලව මම අයියලාගේ ගෙදර යවලයි තිබුණේ.”

“අජන්ත යකඩ පට්ටම අරගෙන ඇවිත් මට ගහන්න ගියා. මම ඒක උදුරලා අරගෙන මිනිහගේ ඔලුවට ගැහුවා. ඒ විදියට පාරවල් දෙක තුනක් ගහද්දී මිනිහා ලේ පෙරාගෙන බිම වැටුණා.”

“දැන් මොනවද කරන්නේ කියලා මම කල්පනා කළා. වත්ත පහළ අතඇරලා දාපු ළිඳට දාලා වහලා දාන්න මම හිතුවා.

වතුර නැති කලෙට වතුර ගන්න ළිඳ ඇතුලේ මැද පුංචියට වළක් කපලා තිබුණා. ඒකේ පස් ගොඩවෙලා තිබුණේ. ඒකේ පස් ටිකක් අයින් කළා. ගෙයි තිබුණ ළණුවකින් කැල්ලක් කපලා අජන්තගේ බෙල්ලට දාලා ගැටගහලා ළිඳ ළඟට මිනිය ඇදගෙන ගියා. ගිහින් මිනිය හිටගෙන ඉන්න විදියට ළිඳට දැම්මා.”

“ඊට කලින් මම අජන්ත ඇඳගෙන හිටපු ෂර්ට් එක ගලවලා ගත්තා. මිනිහගේ ඔලුවෙන් ගලලා ගිය ලේ ගෙයි බිම පස්වලට උරාගෙන තිබුණා. මම ඒවා උදැල්ලෙන් හුරලා මිනිහගේ ෂර්ට් එකට දාලා ඔතලා ළිඳට දැම්මා. පස්සේ මිනිය හිටගෙන ඉන්න විදියට ළණුවෙන් අල්ලගෙන පස් දාලා වැහුවා.”

“වත්තේ වැටකොලු වැල් වලට ගහලා තිබුණ ඉපල් ටිකකුයි, වත්තේ තිබුණ ගස් ඉනි වගයකුයි ගෙනැත් වළ උඩින් දාලා මම ගෙට ගියා. ගිහින් රෑ ගෙදරට වෙලා හිටියා. පහුවෙනිදා උදේ මම ඇතාවැටුණු වැව යන්න ඕන කියලා අඳුරන ත්‍රිවිල් එකක් ගෙන්න ගත්තා. ගෙන්නගෙන ඇතා වැටුණු වැව ගිහින් පස්සේ වැල්ලවායට ගියා. මම පොලිසියට බාර වෙන්නයි හිටියේ. ඒත්.... එහෙම හිත හිත ඉන්දෙද්දී තමයි සර්ලා ඇවිත් මාව අල්ල ගත්තේ.”

වැලිඔය පොලිස් වසමේ ජනකපුර, මායා වැව ප්‍රදේශයේ පදිංචිව සිටි ටී. චමින්ද ජයලත් නොහොත් අජන්ත නැමැති අය ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් සපුතන්ත්‍රි පතිරණගේ පේ‍්‍රමසිරි යන අය එලෙස පාපොච්චාරණය කළේය.

පාර දෙපැත්තේ මුහුණට මුහුණලා පිහිටි නිවෙස් දෙකේ පදිංචිව සිටි අජන්ත සහ පේ‍්‍රමසිරි මෙලෙස ගහමරා ගන්නා තරමට විරසක වීමට හේතුව ද පොලිස් පරීක්ෂණ වලදී හෙළි විය. එලෙසම අසල් වැසියන් ද ඒ හේතු සාධක දැන සිටි අතර ගල්නැවේ පදිංචිව සිටින අජන්තගේ පවුලේ ළඟම ඥාතීන් ද ඒ තොරතුරු දැන සිටියහ.

මේ කෝන්තරයට හේතුව පේ‍්‍රමසිරි ගේ බිරිය අජන්ත සමඟ පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධයයි. අසල්වැසියාගේ බිරිය සිය පරිහරණයට අරගත් අජන්ත ඇයගේ සැමියාට එනම් පේ‍්‍රමසිරිට අඩම්තේට්ටම් කිරීමට මෙන්ම අපහාස කිරීමට ද පෙළඹ සිට ඇත.

සමහර අවස්ථා වල දී පේ‍්‍රමසිරි ගේ නිවෙසට යන අජන්ත පේ‍්‍රමසිරිගේ බිරිය සිය නිවෙසට රැගෙන යන්නේ පේ‍්‍රමසිරිට පහර දී ගේ ඇතුලේ සිරකර නිවෙසේ දොර ජනේල ද වසා අගුලු දමාය.

මෙලෙස.... බිරියගේ ද සහායෙන් අජන්ත තමාට එල්ල කරන පීඩනය හමුවේ දැඩිලෙස සිත්වේදනාවට පත්ව සිටි පේ‍්‍රමසිරි සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටියේය.

මෙම ගැටුම් හේතුවෙන් පේ‍්‍රමසිරිගේ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වලට පවා බාධා ඇතිවිය. එපමණක් නොව පේ‍්‍රමසිරිට වැඩිපුරම සිත්වේදනා ගෙන දුන්නේ අජන්ත කරන අපහාස වලටය.

සිද්ධියට දින කිහිපයකට පෙර පේ‍්‍රමසිරි බිරිය සහ දරුවන් සමඟ නිවෙසින් පිටව යන්නේ මළ ගෙදරක යන බව කියමිනි. මළ ගමට සහභාගී වීමෙන් අනතුරුව පේ‍්‍රමසිරි නිවෙසට පැමිණිය ද බිරිය හා දරුවන් පැමිණ තිබුණේ නැත.

ඇය නිවෙසේ නොමැති බව දැනගත් අජන්ත දැඩි ලෙස කෝපයට පත්වන්නට ඇත. කොත්තු කඩේ කොත්තු ගසා නිවෙස බලා එන අතරතුරේ මත්පැනින් ද සප්පායම් වූ ඔහු යකඩ පට්ටමක් ද රැගෙන පේ‍්‍රමසිරි ගේ නිවෙසට ඇතුලු වන්නේ වෙනදා මෙන් පේ‍්‍රමසිරිට හයිකාරකම් පෙන්වීම සඳහාය.

එහෙත්.... පේ‍්‍රමසිරි ඒ වන විට සිටියේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය මානසිකත්වයකිනි. බිරියත් දරුවනුත් නිවෙසේ නොවු බැවින් එදින පේ‍්‍රමසිරි අජන්තට නිසි පිළිතුරු ලබා දීමට කටයුතු කළේය. එනම්.... කාලයක සිට තමාට කරදර දුන් පුද්ගලයා එලොවටම යවා හෙතෙම සැනසුම් සුසුමක් හෙලුවේය.

මුලතිව් කොට්ඨාසය භාර පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත, සහකාර පොලිස් අධිකාරී ධ් සී.කේ රත්නායක යන නිලධාරීන්ගේ උපදෙස් මත වැලිඔය පොලිසියේ ස්ථානාධිපති ඩී.එම්. පී. දිසානායක ප්‍රමුඛ අපරාධ අංශයේ ස්ථානාධිපති පියසිරි ඇතුලු සැරයන් වරුන් වන 24245 - ආනන්ද, 32798 ගුණරත්න කොස්තාපල් වරුන් වන 33592 වසන්ත, 21504 ධම්මික, 74631 සෙනරත් පරීක්ෂණ සඳහා එක්වුහ.

තක්ෂිලා ජයසේකර