ඝාතකයා සොයාගන්න ඩී.එන්.ඒ. පරීක්ෂණ 22,000ක්

ඝාතකයා සොයාගන්න ඩී.එන්.ඒ. පරීක්ෂණ 22,000ක්

දහතුන් වියේ සිටි යාරා දැරියගේ ඝාතනය පිළිබඳ තොරතුරු සොයා ගැනීම සඳහා පැවැත්වූ ඩී.එන්.ඒ. පරීක්ෂණ නිසා ඉතාලියේ අපරාධ ඉතිහාසය නව මඟකට යොමු විය. එය ඉතාම සංකීර්ණ වුද කල්ගත වුද අපරාධ පරීක්ෂණයකි. එහෙත් අවසානයේ මෙම අපරාධය සිදුකළ තැනැත්තා අල්ලා ගැනීමට හැකිවීම ද වාර්තාගත සිදුවීමක් ලෙස දැක්විය හැකිය.

යාරා 2010 නොවැම්බර් 26 වැනිදා ඉතාලියේ මිලාන් නගරයට කිලෝමීටර් 45 පමණ ඈතින් බර්ගාමෝ ප්‍රදේශයේ පිහිටි ව්‍යායාම් මධ්‍යස්ථානයක ට ගොස් ජිම්නාස්ටික් පුහුණු වීම් වල නිරත වුවාය. පුහුණුවීම් නිමාකොට නිවසට යාම සඳහා ඇය සවස 6.44ට පමණ එතැනින් පිටව ගියාය. එහෙත් ඊට යාබදව පිහිටි ඇගේ නිවසට ඇය ගොස් නොතිබුණු අතර ඇයගේ ප්‍රමාදය ගැන සැකකළ පවුලේ උදවිය ඒ බව පොලිසියට දන්වා සිටියහ. ඒ සැණින් ඇය පිළිබඳ තොරතුරු සොයා දැවැන්ත පොලිස් මෙහෙයුමක් දියත් කළද ඔවුනට ඇය පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වූ අතර එම මෙහෙයුම දිගටම සිදුකරනු ලැබුවේ ස්වේච්ඡාවෙන් ඒ සඳහා ඉදිරිපත් වූ අති විශාල පිරිසකගේ ආධාරයෙන්ය.

ඊට මාස තුනකට පමණ පසු එනම් 2011 පෙබරවාරි 25 වැනිදා බොම්බාටා ඩී සොප්රා ප්‍රදේශයට සැතපුම් අටක් පමණ ඈතින් පිහිටි චික් නෝලො ඩිසෝලා ප්‍රදේශයේ වන ලැහැබක තිබි යාරාගේ මළ සිරුර සොයා ගැනීමට පොලිසියට හැකිවිය. ඇයගේ සිරුර පුරා උල් ආයුධයකින් සිදු කරන ලද තුවාල රැසක් දක්නට තිබු අතර ඇයගේ හිසේ විශාල කැපුම් තුවාලයක් ද විය. හිසට වැදී තිබු පහර නිසා ඇගේ මරණය සිදුවී ඇති බව විමර්ශන වලදී හෙළිවිය. එහෙත් ඇය දුෂණයට ලක් වූ බවක් අනාවරණය නොවීය.

මේ සම්බන්ධයෙන් සැකපිට පොලිසිය මොරොක්කෝ ජාතිකයකු අත්අඩංගුවට ගත්තද ඔහුගෙන් කිසිත් හෙළි නොවීම නිසා පසුව ඔහු නිදහස් කර හරින ලදී.

එහෙත් පරීක්ෂණ දිගටම සිදු වූ අතර මෙහිදී මුලිකත්වය ගෙන ක්‍රියා කළේ හිටපු පොලිස් කාන්තාවක් ලෙස කටයුතු කළ 45 හැවිරිදි ලැටීශීයා රැගේරි නමැත්තියකි.

කෝසා නෝස්ට්‍රා නමැති පාතාල සංවිධානයට එරෙහි ඇය විසින් ගනු ලැබු දැඩි පියවර නිසා ඇය මහේස්ත්‍රාත් පදවියට උසස්වීමක් ලබා තිබිණි. යාරා අතුරුදහන් වී පැය කිහිපයක් ගතවීමට පෙර ලැටීශීයා ඉතාම ඉක්මනින් මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් මෙන්ම හමුදා භටයන් ද යොමු කිරීමට සමත් වූවද යාරා පණ පිටින් සොයා ගන්නට ඔවුනට හැකිවූයේ නැත.

යාරාගේ මළසිරුර හමුවීමත් ඇයගේ ඇඳුමේ තිබු ඩී.එන්.ඒ. කොටස් නිසා පොලිස් පරීක්ෂණ වෙනතකට යොමුවිය. වෙනත් තොරතුරු කිසිවක් නොමැති නිසා ඩී.එන්.ඒ. ඔත්තුව ඔස්සේ ඝාතකයා සෙවීම ඇරැඹිණ.

යාරාගේ ඝාතනය කෙරේ ඉතාලියේ පැපරාසින්ගේ විශේෂ අවධානය යොමු වී තිබු අතර එම ප්‍රදේශය ඔවුන්ගේ වාස භූමියක් බවට පත් වී තිබිණ.

මේ අතර යාරාගේ මළසිරුර පිළිබඳ පරීක්ෂණ ඉතාලියේ සුප්‍රකට අධිකරණ වෛද්‍ය නිලධාරිනියක් වන මහාචාර්්‍ය ක්‍රිස්ටිනා කැටානියෝ විසින් පැවැත් වූ අතර එහිදී යාරාගේ ස්වාශ නාලයේ තිබි හුනු වර්ගයක් හා ලනු සෑදීම සඳහා ගනු ලබන හණ කොටස් සොයා ගැනීම නිසා ඝාතකයා ගොඩනැගිලි කර්මාන්තයට සම්බන්ධ අයෙකු බව පොලිසිය සැක කළේය. යාරාගේ ජංගම දුරකථන බැටරියේ සහ ඇයගේ අත් පළඳනාවේ ඇඟිලි අතර තිබී ඩී.එන්.ඒ. කොටස් සොයාගනු ලැබු නමුත් ඒවාට සමානත්වය දරණ අයෙකු පිළිබඳ සෙවීම අතිශයින් අපහසු කර්තව්‍යක් විය.

යාරාගේ යට ඇඳුමේ තිබි ඝාතකයාගේ යැයි සැක කරන ඩී.එන්.ඒ. කොටස් නිසා ඝාතනයට පෙර කිසියම් සිදුවීමක් සිදුවී ඇති බවත් එය වැදගත් සාක්ෂිකයක් බවට ද පිළිගැනිණ.

ඒ අනුව මුලින්ම යාරාගේ පවුලේ සාමාජිකයන්ගේ ඩී.එන්.ඒ. සාම්පල පරීක්ෂාව ලක් කරන ලදී.

ඉන් පසුව ඇයගේ මිතුරු මිතුරියන්, අසල් වැසියන්, ජීම් එකට සම්බන්ධ අයගේ ඩී.එන්.ඒ කොටස් 22,000 ක් පමණ ලබා ගනු ලැබු අතර රුගේරිගේ විශේෂ අවධානය යාරාගේ මළ සිරුර හමු වූ ස්ථානය නුදුරුව පිහිටි සමාජ ශාලාවක් වෙතද යොමුවිය. මෙම සමාජ ශාලාව මීට පෙර අපරාධ කිහිපයකටම සම්බන්ධ වී තිබීම නිසා සතියේ අග දිනවල එහි යන එන අයගේ ඩී.එන්.ඒ. සාම්පල ලබා ගැනීම ද රුගේරිගේ සහායක නිලධාරින් විසින් සිදුකරන ලදී.

එසේ ගනු ලැබු සාම්පල් වලින් එක් අයෙකුගේ ඩී.එන්.ඒ. යාරාගේ සිරුරෙන් ලබාගත් කොටස් වලට සමාන විම අති විශේෂ සොයා ගැනීමක් විය. ඔහු ඩැමියාගේ ශ්වෙරිනොති නමැත්තෙකි. එහෙත් මරණය සිදුවු අවස්ථාවේ ඔහු දකුණු ඇමෙරිකාවේ සංචාරයක නිතරව සිටිම නිසා ඝාතකයා ඔහු නොවන බව පිළි ගැනිණ.

මෙහිදී ඩැමියාගේ මව යාරාගේ නිවසේ සේවිකාවක් ලෙස කටයුතු කර තිබිීම නිසා රුගේරිගේ අවධානය එම සබඳතාවය ගැන ද යොමුවී තිබිණ. ඩී.එන්.ඒ. කොටස් ගැලපීම රුගේරිගේ සිත තුළ මහත් කුතුහලයක් ඇති කිරීමට සමත් වු නිසා වැඩිදුර පරීක්ෂණ ඒ ඔස්සේ ද සිදුවිය.

ඇය මුලින්ම කළේ ඩැමියානෝගේ පවුල් ඉතිහාසය පරීක්ෂාවට ලක් කිරීමයි. ඒ පිළිබඳව තොරතුරු සොයා ගැනීමට ඇයගේ සහායකයින්ට හැකි වු අතර ඩැමියෝනිගේ පියාට ගිසෙපි නමින් සොහොයුරකු සිටි බවත් ඔහුගේ ඩී.එන්.ඒ. කොටස් පරීක්ෂාවට ලක් කළ විට දැක ගත හැකි වුණේ ඩැමියොනිගේ හා යාරාගේ සිරුරේ තිබු ඩී.එන්.ඒ. සාම්පල වලට ඒවා සමානත්වයක් ඇති බවයි.

බොසෙට්ටි අත්අඩංගුවට ගෙන මෙහෙයුම දියත් කරමින් පර්යේෂණ කටයුතු මෙහෙය වූ ලැටිෂියා රුගේරි අවසන් කටයුතු සඳහා දේහය රැගෙන යමින් යාරා එහෙත් ගිසෙපි 1999 දී මියගොස් තිබු අතර ඝාතකයා ඔහුගේ පුත්‍රයෙකු බව පරීක්ෂකයින් විසින් හඳුනා ගන්නා ලදී.

ගිසෙපි ලෝරා පෝලි නමැති කාන්තාව සමඟ විවාහ වී සිටි අතර ඔවුනට පිරිමි දරුවන් දෙදෙනෙකු හා ගැහැනු දැරියක ්වූහ. පර්යේෂකයින් විසින් පිරිමි දරුවන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂා කළ නමුත් කිසිදු ගැලපීමක් නොමැති බව හෙළි විය. එහෙත් ඝාතකයා ගිසෙපිගේ දරුවකු බව ස්ථිර වශයෙන්ම සනාථ වී තිබීම නිසා ඊළඟට පර්යේෂකයින් ගේ අරමුණ වුයේ ගිසේපිගේ අයතා සබඳතා පිළිබඳ සෙවීමයි.

ගිසෙපි බස්රථ රියදුරෙකු ලෙස සේවය කරමින් සිටියදී එස්ටර් අර්සුහි නමැති කාන්තාවක් සමඟ සබඳතාවයක් පවත්වා තිබු අතර ඔවුනට ලැබුනු දරුවාට ඇයගේ විවාහක සැමියාගේ වාසගම දී තිබු බවද හෙළි විය. මැසීමෝ බොසෙට්ටි යනුවෙන් හඳුන්වනු දරුවාගේ නියම පියා ගිසෙපි ග්වෙරිනෝනි බවද අනාවරණය වු අතර ඒ අනුව යාරා ගේ ඝාතකයා මැසීමෝ බොසෙට්ටි බවට හෙළි කරගනු ලැබු නමුත් ඔහු අත්අඩංගුවට ගැනීම රුගෙරිට මුහුණ පෑමට සිදු වූ තවත් ප්‍රශ්නයක් විය.

වහාම ක්‍රියාත්මක වූ රුගේරි නගරයට ඇතුළු වන ස්ථාන වල මාගී බාධක තබා එහි එන රියදුරන් මත්පැන් බී ඇති ද යන්න පරීක්ෂාවට ලක් කරනු ලැබුවේ ඒ සඳහා යොදාගන්නා උපකරණයක් ආධාරයෙනි. එමඟින් ගනු ලබන කොටස්ද ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා යොමු කළ අතර එහි අවසන් ප්‍රතිඵලය වුයේ මැසිමෝ බොසෙට්ටි අත්අඩංගුවට ගැනීමට හැකිවීමයි.

බොසෙට්ටි ගොඩනැගිලි කර්මාන්තය සම්බන්ධව කටයුතු කළ දරුවන් තිදෙනෙකුගේ පියෙකුද විය. ඔහු යාරා ගේ නිවස පිහිටි ස්ථානයට නුදුරු මාපෙලෝ ගම්මානයේ ජිවත් වු අයෙකු විය.

අත්අඩංගුවට ගනු ලැබු පසු බොසෙට්ටිගේ මෝටර්රථයේ තිබි යාරාගේ ඝාතනයට සම්බන්ධ සාක්ෂි රැසක් සොයා ගත හැකි වු අතර බොසෙට්ටිගේ අත්අඩංගුවට ගැනීම වසර හතරක් තිස්සේ රුගේරි ඇතුළු පොලිස් නිලධාරින්ගේ දැඩි උත්සාහයක සාර්ථක නිමාවක් ලෙස සැලකේ.

“අපට යළි අපේ දරුවා ලැබෙන්නේ නැති වුවත් එය කරනු ලැබු අමානුෂික ඝාතකයා ගැන දැන ගැනීම අපට යම්කිසි සහනයක් ලබා දෙනවා.” යැයි යාරාගේ මැණියන් වන මොරා ගැම්බිරාසියෝ පැවසුවේ කඳුළු පිරී දෙනෙතින් යුතුවය.

බර්ගාමෝ උසාවිය මඟින් බොසෙට්ටිට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කරනු ලැබු අතර බ්‍රෙසියාවේ පවතින ඉහළ උසාවිය මගින් එම දඬුවම ස්ථිර කරන ලදී.

යාරාගේ ඝාතනය සම්බන්ධයෙන් පවත්වනු ලැබු ඩී.එන්.ඒ. පරීක්ෂණ උපයෝගී කරගෙන ඝාතකයා සෙවීමක් එසේම අයතා සබඳතාවයක් පිළිබඳ සොයා ගැනීමත් ඉතාලි අධිකරණ ඉතිහාසයේ අතිශයින් වැදගත් සිදුවීමක් ලෙස විශේෂයෙන් සඳහන් කළ හැකිය.

රෝහණ ආරියරත්න