“දුව තාත්තේ කියනකොට මම දුව ගාවට ඇදිලා එනවා”

“දුව තාත්තේ කියනකොට මම දුව ගාවට ඇදිලා එනවා”

ලෝකයේ බොහොමයක් සතුන් තම දරවන්ට ආහාර සපයා ගැනීමට තරම් හැකියාවක් ලද විට වෙන්ව ජීවත්වීම සඳහා ඔවුන් පන්නා දමයි. එහෙත් මිනිසා හෙවත් මනුෂ්‍ය මව්පියෝ දරුවන් පමණක් නොව දරුවන්ගේ දරුවන් ද අත් නොහැර බදා ගෙන සංසාරික ණය ගෙවති. තව තවත් මේ ණය ගනුදෙනුවේම යෙදෙති. මෙයින් බටහිර රටවලටත් වඩා ආසියාතික රටවල මව්පිය දූදරු සම්බන්ධතාව වැඩි බව පර්යේෂණවලදී හෙළි වී තිබේ. කෙසේ නමුත් කෙනෙකුගේ මරණාසාන්න මොහොතේ වැඩි ඇලීමක් ඇති මෙවැනි සමීපතමයෙකු සිහියට නැගුණහොත් සිතේ පවතින ඇල්ම හෙවත් ඇලිමේ ගතිය නිසා ඒ මරණයට පත්වන පුද්ගලයාගේ ප්‍රාණකාරයා (ආත්මය) ඔහු හෝ ඇය අසලම ප්‍රේතයෙකු වි උපත ලබයි. මෙවැනි අමනුෂ්‍යයන් තරහින් හෝ ආදරයෙන් සිටියත් ජීවත් වන පුද්ගලයාට එය අහිතකර වේ.

සමන්මලී ගම්පොළ ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි අවිවාහක තරුණියකි. ඇයට වයස අවුුරුදු පහේදී ඇගේ මව මිය ගියාය. ඉන්පසු ඇයට සමීපතම එකම ඥාතියා වූයේ ඇගේ පියා වන අමරපාලය. සමන්මලීට වයස අවුරුදු විසි පහේදී අමරපාල ද මිය ගියේය. දැන් නිතරම තමන් සමීපයේ යමෙකු ගැවසෙන බව ඇයට දැනේ. එහෙත් ඇගේ පියවි ඇසට ඒ බව නොපෙනේ. මේ නිසා රාත්‍රී හීනෙන් බියට පත්ව ඇය අවදි වේ. මේ හේතුව නිසා ඇයට නින්දක් ද නොවන අතර ඇය විවාහයකට ද උනන්දුවක් නැත.

මේ පිළිබඳ වෛද්‍ය ප්‍රතිකාර ගන්නට ගිය විට ඒ වෛද්‍යවරයා ඇය මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කළේය. ඒ මනෝ වෛද්‍යවරයා ඇයට ප්‍රතිකාර කරන්නට විය. මේ වනවිට ද ඇය එම ප්‍රතිකාර ලබමින් සිටී. එහෙත් එම ප්‍රතිකාරවලින් එතරම් සුවයක් නොලද බැවින් ඇය මිතුරියන් දෙදෙනෙකු සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන ගියේ එතැනින් වත් සුවයක් සහනයක් ලබා ගැනීමේ අදහසිනි. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී තමන් පත්ව ඇති තත්ත්වය ඇය හෙළිදරව් කළාය.

ගවේෂකවරයා සමන්මලීගේ රෝග පරීක්ෂාවේදී ඇය වෙවුලන්නට වූවාය. ඇයට භූත දෝෂයක් ඇති බව වටහා ගත් ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට පැමිණි දින පරීක්ෂාවේදී ඇය තුළින් භූතාත්මයක් අවදි වී ආවාය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.

“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?”

“මම මේ දුවගෙ තාත්තා”

“මොකක්ද නම?”

“පියදාස”

“ඇයි මේ දුවගේ ඇඟට වෙලා හිරිහැර කරන්නේ?”

“මම හිරිහැර කරන්නේ නෑ. මම ඉන්නේ දුවට ආදරේට, ආරක්ෂාවට”

“ඇයි දුවට විවාහයක් හරි යන්නේ නැත්තේ?”

“මම මේ දුවගේ එකම ළඟම ඥාතියා. දුවට අවුරුදු පහේදී අම්මා මළා. මම තමයි දුව රැකබලා ගත්තේ. මම කැමති නැහැ දුව ළඟට පිරිමි සමීප වෙනවාට. නෑදෑයෝ දුවට විවාහයක් කර දෙන්න උත්සාහ කරනවා. මම ඒවා වළක්වනවා.”

“ඔබ කොහොමද ඒ විවාහ වළක්වන්නේ?”

“දුව බලන්න කෙනෙක් ආවොත් එයාව දුවට එපා කරවනවා. එහෙම නැත්නම් ඒ එන පිරිමියාට දුවව එපා කරවනවා. එහෙම තමයි විවාහ වැළැක්කුවේ. මම දුවට ආදරෙයි. මම කැමති නැහැ විවාහ වෙලා දුව දුක් විඳිනවාට. දුව පිට මිනිස්සුන්ගෙන් පීඩා විඳිනවට.”

“ඔබ දැන් පියදාස නෙමෙයි. මේ දුවගෙ තාත්තා නෙවෙයි. ඔබ දැන් පේ‍්‍රතයෙක්. ඔබට අයිතියක් නැහැ දැන් මේ මනුෂ්‍ය දුවකට බලපෑම් කරන්න. ඔබ පෙර අකුසලයක විපාක වශයෙන් මැරෙන මොහොතේ දුව මතක් වි ඇති වුණු ලෝභ සහගත අකුසල් සිතේ විපාකය වශයෙන් පේ‍්‍රතයෙක් වෙලා ඉපදිලා දුක් විඳිනවා. ඒ මදිවාට ඔබට අයිති නැති කෙනෙකුට හිරිහැර බාධා කරලා තවත් අවුරුදු ලක්ෂ ගණනක් දුක් විඳින්න කර්ම රැස් කරනවා. කරුණාකරලා මේ දුවගෙ ශරීරයෙන් ඉවත් වෙලා යන්න හිතන්න.” ගවේෂකවරයා භූතාත්මයට පැහැදිලි කර දෙන්නට විය.

ඒ ගැන කල්පනා කරන්නට භූතාත්මයට සතියක් කල් දී සමන්මලී පියවි සිහියට පත් කළ ගවේෂකවරයා ඇයට අවශ්‍ය උපදෙස් දුන්නේය.

“ගමේ පන්සලට හීල් දානයක් පිරි නමා තාත්තාගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කරන්න. එදා ඉඳලා තවත් සතියක් බෝධි පූජා පවත්වන්න. ඒ බෝධි පූජාව අවසානයේ අර හීල් දානය මෙනෙහි කොට තාත්තාට පින් අනුමෝදන් කරන්න”

දානයෙන් පසු සතියක් බෝධි පූජා පවත්වා පියාට පින් අනුමෝදන් කළ සමන්මලී යළිත් ප්‍රතිකාර පිණිස පැමිණියාය. එදින ද ආවිශ්ට වූ සමන්මලී පපුව අල්ලාගෙන අඬන්නට වූවාය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“ඇයි මේ අඬන්නේ?”

“දුව දාලා යන්න දුකයි මහත්තයා.”

“ඔබ නිසා දුවගේ ජීවිතය අනතුරේ බව තවම වැටහුණේ නැද්ද?”

“වැටහුණා මහත්මයා. වැටහුණා.”

“මේ වන විටත් දුව මානසික රෝගයක් ඇතැයි කියලා දවසකට පෙති අටක් බොනවා. පෙති බීවාට මේ අසනීපය සුව වෙන්නේ නෑ. ඔබ දුවගෙ ශරීරයේ රැඳී සිටින තුරු මේ රෝග තත්ත්වය සනීප කරන්න බැහැ.” ගවේෂකවරයා භූතාත්මයට අවධාරණය කළේය. භූතාත්මය ඉවත්ව යෑමට කැමැත්ත පළ කළේය.

භූතාත්මය සමන්මලීගේ ශරීරයෙන් ඉවත් කළ ගවේෂකවරයා ඇයගෙන් නිවසේ තොරතුරු හා වටපිටාව පිළිබඳ ප්‍රශ්න කළේය.

ඒ අනුව නිවසේ සාලයේ ඇති මිය ගිය පියාගේ පින්තූරයට සුදු පැහැති මල් මාලයක් පළන්දන ලෙස ද උදේ හවස තෙරුවන්ට මල් පහන් පූජා පවත්වා සජ්ජායනා කිරීමට පිරිත් සුත්‍ර කීපයක් ද නියම කළේය. තවත් දෙසතියකින් නැවත පැමිණෙන ලෙස ද ගවේෂකවරයා කීවේය.

නියම කරන ලද පිළිවෙත් ඉටු කොට සමන්මලී දෙසතියකට පසු නැවත පැමිණියාය. එදින ද ඇය භූතාත්මය ආවිශ්ට වී පපුව අල්ලා ගෙන අඬන්නට විය. කලින් දිනයේ ඇගේ ශරීරයෙන් ඉවත්ව යන බවට පොරොන්දු වූ පියාගේ භූතාත්මය නැවත පැමිණ ඇති බව ගවේෂකවරයාට තේරුම් ගියේය. ගවේෂකවරයා වේවැළ අතට ගෙන භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය.

“තමුන් පිටවෙලා යන බවට පොරොන්දු වුණා නේද?”

“ඔව්”

”ඉතින් ආයෙත් ආවේ?”

ගවේෂකවරයා වේවැළ එල්ල කරන්නට සැරසුණේය.

“මහත්තයා ගහන්න නම් එපා. මගේ අතේ වරදක් නෑ. මහත්තයාට ලෙඩේ හොයා ගන්න බැරි වුණාට මට කරන්න දෙයක් නෑ.”

“ලෙඩේ භූත දෝෂයක්. ඒක මම දන්නවා.”

“ඒ වුණාට ලෙඩේ තියෙන තැන හොයා ගන්න බැරි වුණා. ඒ නිසයි මට යන්න බැරි වුණේ.”

“ඒ මොකද යන්න බැරි වුණේ?”

“මහත්තයා මේ දුවගේ කරේ තියෙන චේන් පොටේ පෙන්ඩන්ට් එක බලන්න. මගේ පින්තූරයක් ඒකේ යටි පැත්තේ තියෙනවා. මම ඉවත් වෙලා ගියත් දුව ගෙදර දී ඒ පින්තූරය බල බල “අනේ තාත්තේ ” කියනවා. එතකොට මම ආයෙත් දුව ගාවට ඇදිලා එනවා.”

ගවේෂකවරයා ඇගේ පෙන්ඩන්ට් එක ඉල්ලා ගෙන බැලීය. කාරණය ඇත්තය. ඒ පින්තූරය වහා ඉවත් කරන්නට ගවේෂකවරයා සමන්මලීට කීවේය. හිඟන්නන් දස දෙනෙකුට සතියක් පූරා ආහාර පිරිනමා පියාට පින් දී සුදුමල් වට්ටියක් ගෙන අනුරාධපුරයට යෑමට සූදනම් වී එන්නැයි ගවේෂකවරයා සමන්මලීට නියම කළේය.

ඊළඟ දිනයේ ඔවුන් පැමිණි විට සුදුමල් වට්ටියට භූතාත්මය සම්බන්ධ කොට ඔවුන් ලවාම අනුරාධපුරයට යැවීමට ගවේෂකවරයා කටයුතු කළේය.

මතුගම මහින්ද විජේතිලක