“උඹව බැඳලා බෝතලයක දාලා මුහුද මැදට ගිහින් දානවා”

“උඹව බැඳලා බෝතලයක දාලා මුහුද මැදට ගිහින් දානවා”

මිනිසා නිතරම සිතා සිටින්නේ තමන්ගේ සිතුම් පැතුම් හා ක්‍රියාකාරකම් නිවැරදිය සාධාරණය කියාය. එවැනි පුද්ගලයා හැම දෙයක්ම සිතන්නේ තමන්ගේ වාසියටය. ආධ්‍යාත්මය දියුණු කර නොගත් පුද්ගලයන් මැරෙන්නේ ද ඒ සිතුම් පැතුම් පොඳි බැඳ ගෙනය. මෝහය මුලික වූ ලෝකයක් ද්වේෂයත් නිසා එවැන්නෝ මරණයෙන් මතු අනිවාර්යයෙන් ම දුගතිගාමීව උපදිති. එසේ ම පෙර භවයේ තමන් සමඟ ජීවත් වූ ඥාති මිත්‍රාදීන්ට කරදර හිරිහැර කරති.

සපුගස්කන්දේ සුධර්මා හතළිස් පස් හැවිරිදි ගෘහණියකි. ආරියපාල ඇගේ දෙවැනි කසාදයේ ස්වාමි පුරුෂයාය. මේ දෙදෙනාට දරුවන් නැත. සුනන්දා නිතර රාත්‍රියට හීනෙන් බියට පත් වී අවදිවන්නට වුවාය. ශරීරයේ වේදනාවන්ගෙන් නිතර පෙළෙන්නට වුවාය. කෑම අරුචිය නිසා සිරුරද වැහැරී ඇත. ඇගේ සැමියා ආරියපාල එළවළු ගෙනැවිත් තොග වශයෙන් වෙළඳාම් කරයි. මෑතක සිට ඔහුගේ වෙළඳ ව්‍යාපාර බිඳ වැටී ඇත තිබුණු ලොරි රථ ද විකුණා දමාය. බිරිඳගේ අසනීපය හා වෙළඳ ව්‍යාපාර කඩා වැටීම නිසා ඔහුගේ මනස අවුල් වී ඇත.

සුධර්මාගේ අසනීප තත්ත්වයට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් ඇයට කිසිදු සුවයක් ලැබී නැත. ඊට අමතරව යන්ත්‍රමන්ත්‍ර වත් පිළිවෙත් කළත් එයින් ද සහනයක් ලැබී නැත. බැරිම තැන “මාංචු” පත්‍රයේ පළවන “භූත ආත්ම” විශේෂාංගයේ සඳහන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන ආරියපාලත් සුධර්මාත් ගියහ.

එහිදී ආධ්‍යාත්මීය උපදේශකතුමා මුණ ගැසුණු ඔවුහු තමන්ට එළැඹ ඇති දුක් කරදර පැහැදිලි කළහ. ගවේෂකවරයා ඔවුන් දෙදෙනා පරීක්ෂා කරමින් ශක්ති කිරණ එල්ල කරන විට ආරියපාල සිහිසුන්ව ඇද වැටුණේය. ඔවුන්ට අමනුෂ්‍ය දෝෂයක් ඇතැයි නිගමනය කළ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

ඒ අනුව ඔවුන් දෙදෙනා බෝධි පුජා අවසන් කොට නැවත ප්‍රතිකාර පිණිස පැමිණියහ. එදින ආරියපාලගේ ශරීරයට භූතාත්මයක් ආවේශ වී හු කියන්නටත් රෞද්‍ර ලෙස හැසිරෙන්නටත් පටන් ගත්තේය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා දඟලන්නේ?”

“මම සුමනදාස” භූතාත්මය කීවේය.

“කවුද සුමනදාස කියන්නේ?” ගවේෂකවරයා විමසුවේය.

“සුධර්මාගේ කලින් මිනිහා”

“මොනවා වෙලා ද මැරුණේ?”

“අසනීප වෙලා”

“ඇයි මේ අයට කරදර කරන්නේ?”

“මම මේ මඟුªලට කැමැති නෑ.”

“මොන මඟුªලට ද?”

“සුධර්මා මේ මිනිහව කසාද බැන්දට.”

ගවේෂකවරයා සුධර්මාගෙන් සුමනදාස ගැන විස්තර විමසීය.

තමන්ගේ මව්පියන් විසින් කතා කරන ලද යෝජනාවකින් සුමනාදාස සමඟ විවාහ වූ බවත්, සුමනදාස හරිහමන් රැකියාවක් නොකළ නිසා මව්පියන්ගෙන් තමන්ට දායදයට ලැබුණු ලක්ෂ ගණනක මුදල වරින්වර ඔහු තම බැංකු පොතෙන් ලබා ගෙන සුරාවටත් රේස් දැමීමටත් යොදවා විනාශ කළ බවත්, එසේ මුදල් ලබා නොදුන්නොත් තමන්ට පහර දී රණ්ඩු කරන බවත් අවසානයේ සුමනදාස අධික සුරාපානය නිසාම ඉන්ද්‍රිය දුර්වල වී රෝගාතුරව මියගිය බවත් ඉන් පසු තමන් මේ ආරියපාල සමඟ විවාහ වූ බවත් ඇය ගවේෂකවරයා හමුවේ කියන්නට වුවාය.

සුධර්මා මෙසේ පවසන විට ආරියපාලට ආවිශ්ඨව සිටි පේ‍්‍රතයා “වහපිය කට. වහපියට කට.” යැයි කියමින් සුධර්මාට තර්ජනය කරන්නට විය.

ගවේෂකවරයා වේවැළ පෙන්වා පේ‍්‍රතයාගේ දැඟලීම පාලනය කළේය.

“තමුන්ගේ ම වරදින් ලෙඩ වෙලා මැරිලා ඇයි මේ අයට හිරිහැර කරන්නේ?” ඉන් අනතුරුව ගවේෂකරවයා භූතාත්මයෙන් ඇසීය.

“මූ මේකිව කසාද බැඳගෙන මට හිරිහැර කළා.”

“මොකක්ද ඒ කතාව?” “මම මැරුණාට මේකිව දාලා ගියේ නෑ. මේකි ළඟට වෙලයි හිටියේ මූ ඇදුරු පරපුරක එකෙක්. මූ මන්තර දන්නවා. මූ රස්සාවට එළවළු වෙළඳාම් කළේ ඇදුරුකම් කළේ නෑ. ඒ වුණාට මන්තර සාත්තරේ දන්නවා. මම කරදර බාධා කරන කොට මූ මන්තර බලෙන් මේකිව මගෙන් ගලවා ගෙන කසාද බැඳ ගත්තා. ඊට පස්සේ මම මුගේ ව්‍යාපාර කඩා කප්පල් කළා. මුගේ ඔළුව අවුල් කළා. ඒ නිසා මුට ආයෙත් මන්තර ගුරුකම් කරන්න බැරි වුණා. ඊළඟට මම මේකිවත් ලෙඩ කළා.”

“ඒ මොකටද?”

“මේකිව අරගෙන යන්න.”

“කොහොමද අරගෙන යන්නේ”

“මරලා අරගෙන යන්නේ.”

“තමුන් ජීවත්ව ඉන්දැද්දී බිව්වා මිසක් ආගමක් දහමක් ගැන ඉගෙන ගත්තේ නැහැ. මේ සුධර්මා මැරෙන කොට එයා ජීවිතේ කළ කුසල කර්මයක් මරණාසන්න මොහොතෙ සිහියට නැගුණාම එයා දිව්‍ය ලෝකයක උපදිවි. නමුත් තමුන් පේ‍්‍රතයෙක්. ඒ නිසා තමුන්ට සුධර්මාව අරගෙන යන්න ලැබෙන්නේ නැහැ.”

“මට ඕවා තේරෙන්නේ නැහැ.”

ඉන් පසුව ගවේෂකවරයා මේ පේ‍්‍රතයාට උත්තර දෙන්නැයි සුධර්මාට කීවේය. සුධර්මා තම පවුල් ජීවිතයටත් ශරීර සෞඛ්‍යටත් හානි කරන මේ පේ‍්‍රතයා අමතා තම වේදනාව ප්‍රකාශ කළාය.

“තමුසෙ මොකක්ද ඕයි මේ කරන පාප කර්මය”

“එහෙම කියන්න එපා ඔයා මගේ” පේ‍්‍රතයා සුධර්මාට කීවේය.

“ඔව්. මම තමුසෙගේ වෙලා කසාද බැඳලා ආවා තමයි. මගේ දෙමවිපියෝ තමුසෙට රැවටිලා මාව තමුසෙට දුන්නා. තමුසෙ මොනවද කළේ? හරි හැටි රස්සාවක් කළාද? මගේ දැවැද්දෙන් මොනවද කළේ? සුදු කෙළියා. රේස් දැම්මා. අරක්කු බිව්වා. තමුසෙ ළඟ ආදරයක් කරුණාවක් තිබුණ ද? අන්තිමේ බීලම මළා. ඊට පස්සේ මම අසරණ වුණාම මට මේ මහත්තයා දෙවියෙක් වගේ පිහිට වුණා. උඹ මැරිලත් කරදර කරන්නට පටන් ගත්තා. කරපු පාප කර්ම මදිවාට පෙරේතයෙක් වෙලත් අපට දුක් කරදර කරලා තවත් පව් කරනවා. අපට අපේ පාඩුවේ ජීවත් වෙන්න දිපන්. නැත්තම් උඹව බැඳලා බෝතලක හිර කරලා කොන්කී‍්‍රට් දාලා මුහුද මැදට ගිහින් දානවා අවුරුදු ලක්ෂ ගණනක් දුක් විඳපං කියලා.”

ඇය පේ‍්‍රතාත්මයට තදින්ම කීවාය.

ඉන් පසුව ගවේෂකවරයා යළි පේ‍්‍රතයා ඇමතීය.

“මේ සුධර්මා කියපු ටික ඇහුණා නේද? අපි දානයක් දීලා පින් අනුමෝදන් කරවන්නම්. සිද්ධස්ථානයකට ගිහින් පිනට දහමට හිත යොමු කරනවද? නැත්තම් අර කිව්වා වගේ මුහුදු මැදට යනවද?”

“මට මගේ වරද තේරුණා මහත්මයා. මම සුධර්මා කියන එක අහන්නම්. මම ආයේත් එයාට කරදර කරන්නේ නැහැ. මම හොඳ තැනකට යන්න කැමතියි.”

පේ‍්‍රතයා ගවේෂකවරයාට කීවේය.

ගමේ පන්සලට හීල් දානයක් දී සුමනදාසට පින් අනුමෝදන් කොට සුදුමල් වට්ටියක් රැගෙන අනුරාධපුරයට යන්න සුදානම් වී එන්නැයි ගවේෂකවරයා සුධර්මාට උපදෙස් දුන්නේය.

ගවේෂකවරයා කී පරිදි පන්සලට හීල් දානයක් පිරි නමා පේ‍්‍රතයාට පින් අනුමෝදන් කොට ඔවුහු නැවත පැමිණියහ. පේ‍්‍රතයා සුදු මල් වට්ිටියට සම්බන්ධ කළ ගවේෂකවරයා එය ඔවුන් අතේම අනුරාධපුරයට යැවීය.

මතුගම මහින්ද විජේතිලක