"අම්මගේ මරණය අපිට සැකයි"

"අම්මගේ මරණය අපිට සැකයි"

කුරුණෑගල, හැගව, මොරගොල්ල ජනපදයේ පදිංචි 48 හැවිරිදි ආර්. ඩබ්ලිව්. සෝමලතා 2017 මාර්තු මස 22 වැනිදා මෙරටින් පිටත් වී ගියේ සවුදි අරාබියේ රියාද් නුවර පිහිටි නිවසක ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කිරීමේ අරමුණ ඇතිවය. දෙදරු මවක් වූ ඇය සිය දරු දෙදෙනා උස්මහත් කරන්නට අපමණ දුක් ගැහැට වින්දාය. තරුණ විය දක්වා උස්මහත් කළ දරු දෙදෙනා විවාහ කරදීමෙන් පසුවත් සෝමලතා කල්පනා කළේ තමන්ගෙන් ඔවුන් වෙත ඉටුවිය යුතු තවත් යුතුකම් කිහිපයක් ඇති බවය. සෝමලතා සවුදි අරාබිය බලා යන්නේ ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් උපයාගැනීම සඳහාය.

සවුදියේ සිට වරින් වර තම දරුවන්ට දුරකථනයෙන් කතා කරන සෝමලතා අවසන්වරට ඇගේ පුත‍‍්‍රයා අමතා ඇත්තේ පසුගිය ජූනි මාසයේ මුල් සතියේදීය. එදින සිට ඇයගෙන් ඇමැතුමක් හෝ තොරතුරක් නොලැබීමෙන් කලබලයට පත් වූ ඇගේ දරුවන් ඇය ගැන හෝඩුවාවක් සොයාගැනීම පිණිස පිහිට පතන්නේ ඇයව විදේශගත කළ විදේශ රැකියා ඒජන්සියෙනි. ඒ අනුව අදාල රැකියා ඒජන්සියෙන් සෝමලතාගේ ඥාතීන් වෙත දැනුම් දෙන්නේ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඇය එරට රෝහලකදී මියගිය බවය.

ඉහෙන් බහින රෝගයක් නැතිව ලංකාවෙන් ගිය සෝමලතාට මිය යන්යට තරම් ඇති වූ දරුණු අසනීපය කුමක්දැයි ඇගේ ඥාතීන් විමතියට පත්වෙද්දී සෞදි අරාබියේ ශ‍ී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සෝමලතාගේ මළසිරුර මෙරටට එවන්නේ අගෝස්තු 11 වැනිදාය. මීගමුව රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව ඥාතීන් වෙත භාරදෙනු ලැබූ සෝමලතාගේ දේහය අගෝස්තු 13 දා ඇගේ නිවසට ගෙන ඒමෙන් අනතුරුව අඩෝරගොල්ලවත්ත පොදු සුසාන භූමියෙහි මිහිදන් කෙරිණි.

සෝමලතාගේ දේහය සමග මෙරටට එවා තිබූ ලියැකියවිලිවල පැවැති පරස්පරතාවය සහ මෘත දේහයේ තිබූ බව කියන තුවාල සහ සීරිම් ලකුණු හේතුවෙන් තම මවගේ මරණය සැක සහිත බව කියමින් මියගිය අයගේ දියණිය වන සංගීතා මිහිදුකුල මහත්මිය විසින් කුරුණෑගල මහේස්ත්‍රත‍්‍වරයා වෙත පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ මෙවැනි පසුබිමක් තිබියදීය. අදාල පැමිණිල්ල සමග ඉදිරිපත් කර තිබූ සාක්ෂි සලකා බැලූ කුරුණෑගල මහෙස්ත‍‍්‍රත්වරයා සෝමලතාගේ දේහය ගොඩගෙන නැවත ඒ පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට කුරුණෑගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත නියෝග කළේය. ඒ අනුව අඩෝරගොල්ලවත්ත පොදු සුසාන භූමියට පැමිණි කුරුණෑගල අතිරේක මහෙස්ත‍‍්‍රත් චාමර වික‍‍්‍රමනායක මහතා ඉදිරිපිටදී කුරුණෑගල අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් කණ්ඩායමක් විසින් සෝමලතා මහත්මියගේ මෘත දේහය පසුගිය 23 වැනිදා ගොඩ ගනු ලැබීය.

සෝමලතාගේ එකම දියණිය වන සංගීතා සිය මවගේ වියෝව ගැන මෙසේ කීවාය.

‘‘ මුලින්ම අම්මා රට යවපු ඒජන්සියෙන් අපිට ලියුමකින් දැනුම්දුන්නේ රෝගී තත්වයක් නිසා ඒ රටේ ඉස්පිරිතාලෙකදී අම්මා නැති වුණා කියලා. නමුත් මිනියත් එක්ක එවලා තිබුණු ලියැකියවිලිවලින් කියැවුණේ අම්මා බෙල්ලේ වැලදාගෙන මැරුණා කියලයි. මේ දෙකෙන් කොයි කතාවද අපි විශ්වාස කරන්නේ කියලා දැන් අපිට ප‍‍්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. අම්මාගේ මිනිය පුරාම තුවාල, සීරිම් ලකුණුයි ගොඩක් තියෙනවා. ඒ නිසා අම්මාට පහරදීමක් වෙලා තියෙනවා කියලා සාධාරණ සැකයක් අපිට තියෙනවා. මීගමුව ඉස්පිරිතාලෙන් අම්මගේ මිනිය ගැන මරණ පරීක්ෂණයක් කළත් ඒ පරීක්ෂණයේදී හෙළිවුණේ මොනවද කියලවත් මේ වෙනකම් අපිට දැනුම්දීමක් කරලා නැහැ. ඒ නිසා මගේ අම්මගේ මරණය ගැන මට සැකයක් තියෙනවා. ඒ ගැන නැවත පරීක්ෂණයක් කරලා අම්මගේ මරණය ගැන ඇත්ත නැත්ත එළිකරන්නයි අපිට උවමනා වුණේ .”

මියගිය කාන්තාවගේ වැඩිමහල් සොයුරෙකු වන එච්. ඩබ්ලිව්. රත්නායක මහතාද මෙසේ පැවැසීය.

‘‘ නංගිගේ මිනිය කටුනායකින් භාරගෙන ගෙදරට ගේනකම් සියලු වැඩකටයුතු වුණේ මගේ අතින්. ඒ අතරතුරදී කිහිප වතාවකදීම මිනිය සම්පූර්ණයෙන්ම දැකගන්න මට පුලුවන් වුණා. මිනිය පුරාම තුවාල කැලැල් සහ කැපීම් ලකුණු ගණනාවක් තියෙනවා. කකුල් දෙක එකට තියලා ලණු වලින් බැඳපු පාරවල් තියෙනවා. මුහුණ සහ නිකට තුවාලවෙලා තියෙනවා. මමත් එල්ලිලා මැරුණු මිනිස්සු ඕන තරම් දැකලා තියෙනවා. නමුත් ඒ කාගේවත් බෙල්ල හිරවෙලා තිබුණා මිස ඇඟ හැමතැනම තුවාල වෙලා තියෙනවා නම් මම දැක්කේ නැහැ. ඒ නිසා මගේ නංගි බෙල්ල වැලදාගෙන මැරුණා කියන එක නම් මම පිළිගන්නේ නැහැ. මගේ ඇස්දෙකින් දැක්ක දේවල් අනුව පහරදීමකින් තමයි මගේ නංගි මැරිලා තියෙන්නෙ කියලා මට සියයට සියයක්ම විශ්වාසයි. ඒ නිසා මේක හිතාමතා කරපු ඝාතනයක් කියලා තමයි අපි සියලුදෙනාම සැකකරන්නේ. නංගිගේ මරණය සම්බන්ධයෙන් මේ දක්වා වෙච්ච පරීක්ෂණ ගැනත් අපිට කිසිම විශ්වාසයක් නෑ. ඒ නිසයි අපි මේ මරණය ගැන නැවත පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලුවේ.”

ගොඩ ගැණුනු මෘත දේහය, යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සදහා කුරුණෑගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යවනු ලැබීය. අදාල පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරි මණ්ඩලයක් විසින් සිදුකිරීමට නියමිතව තිබේ. සෝමලතා මහත්මියගේ මෘත දේහය ගොඩට ගැනීම කුරුණෑගල අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් (ඉර්‍ණඛ්ර්‍ණ) විසින් පමණක් සිදුකළ අතර වළෙහි පස් ඉවත්කිරීමේ සිට මෘත දේහය ගොඩට ගැනීම දක්වා සියලු කාර්යයන් විශේෂිත ඇදුමකින් සැරසුණු අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින්ගේ අතින් සිදුවීම විශේෂත්වයකි. නිල ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරින්ට මෘත දේහය ගොඩගත් ස්ථානයට පැමිණීම තහනම් කර තිබූ අතර ජාත්‍යන්තර නියමයන්ට අනුගමනය කරමින් ශ‍ී‍්‍ර ලංකා පොලිසිය විසින් මෘත දේහයක් ගොඩට ගැණුනු පළමු අවස්ථාව මෙය වන බව කුරුණෑගල අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කසුන් විජේසේකර මහතා මාංචු වෙත පැවැසීය.

බණ්ඩාර රත්නායක කුරුණෑගල අතිරේක