" අපරාධ නිවාරණ මෙහෙයුම් නිසා කොට්ඨාශයේ අපරාධ අවම වී තියෙනවා "

" අපරාධ නිවාරණ මෙහෙයුම් නිසා කොට්ඨාශයේ අපරාධ අවම වී තියෙනවා "

1982 දී උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස දෙපාර්තමේන්තුවට බැඳුණු කුමාරපේලි 1989 දී පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්වීම් ලැබුවේය. 2003 දී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වන ඔහු 2008 දී සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස්වීම් ලබන තෙක් නොයෙකුත් පොලිස් වසම් වල රාජකාරි කළේය.

කේ.ඒ.බී. සුරන්ජන් කුමාරපේලි
පොලිස් අධිකාරි - හලාවත කො
ට්ඨාශය

ඉන් පසුව වසර පහක්ම විශේෂ කාර්යාංශයේ බුද්ධි ඒකකයට අනුයුක්තව භාරදුර රාජකාරියක නිරත වූ ඔහු පොලිස් අධිකාරි තනතුරට පත් වූ වහාම බස්නාහිර බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේය. නිහතමානි අවංක නිලධාරියකු ලෙස දෙපාර්තමේන්තුව තුළ නමක් දිනා ඇති ඔහු මේ වනවිට හලාවත කොට්ඨාශ බාර පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කරයි. හලාවත කොට්ඨාශයේ අපරාධ විසඳීම පිළිබඳ අපි ඔහු සමඟ කළ කෙටි සාකච්ඡාවකි මේ.

 ඔබ වසමේ අපරාධ වාර්තාවීම ගැන කතා කළොත්?

“මගේ වසමේ ආන්දෝලාත්මක අපරාධ වාර්තාවීම් නැහැ. සංවිධානාත්මක අපරාධත් නැහැ. සමාන්‍ය සිදුවන අපරාධ විසඳිම අතිනුත් මගේ කොට්ඨාශයේ සියලුම පොලිස් ස්ථාන ඉහළ මට්ටමක ඉන්නවා.මුල් මාස නවය තුළ අපරාධ විසඳීමේ ප්‍රතිශතය දේපල මට්ටමින් 82%කුත් ශරීර මට්ටමින් 98 කුත් පවත්වාගෙන යන්න අපිට හැකිවෙලා තියෙනවා.”

 එවැනි තත්ත්වයකට එන්න මොනවද අරන් තියෙන පියවර?

“සාමාන්‍යයෙන් වසමක අපරාධ වාර්තාවීමට මත්කුඩු හා මත්ද්‍රව්‍ය බලපානවා. හෙරොයින් භාවිතා කරන පුද්ගලයන් ඒ සඳහා මුදල් හොයා ගන්න නොයෙකුත් අපරාධ සිදු කරනවා. උදාහරණයක් ලෙස ගෙදර තියෙන දේ පවා අම්මා තත්තා සතු දෑ පවා හොරකම් කරනවා. ඒ නිසා අපි දිගින් දිගටම හෙරොයින් ගංජා හා වෙනත් නිතී විරෝධි දෑ වැටලීම් සිදුකරනවා.”

”හලාවත කියන්නේ ජනාකීර්ණ නගරයක්. මෙහි ජිවත්වෙන්නේ ධීවර ජනතාවක් . එහෙමත් නැත්තම් ව්‍යාපාරිකයන් හලාවත නගරය හා ඒ අවට අපරාධ සිදුවීමක් වුණොත් ඒ අපරාධය සිදුකළේ කවුරුන්ද කුමන වාහනයකින් ද යන්න සොයාගැනීම සඳහා නගරයේ තියෙන ව්‍යාපාරික ආයතන හා වෙනත් ආයතනවල සී.සී.ටී.වී කැමරා පද්ධති මාර්ගය ආවරණය වන පරිදි සකසා ගැනීමට අපට හැකිවුණා. ඒ නිසා අපරාධයක යෙදුණු වාහනයක් හෝ පුද්ගලයකු ඉන් හඳුනාගත හැකිවෙනවා.ඒ වගේම හලාවත නගරයේ වෙළඳ සංගමය හා මුල්‍ය ආයතන විසින් මුළු නගරයම ආවරණය වන පරිදි නව කැමරා පද්ධතියක් සැකසීමේ ක්‍රම වේදයක් ගැනත් සාකච්ඡා කරමින් තියෙනවා. එවැනි කැමරා පද්ධතියක් තියෙනවා නම් අපරාධ සිදුකරනවත් අඩුයි. අපරාධයක් සිදුවුවහොත් විසඳීමටත් පහසු වෙනවා.”

අපරාධ විසඳීමට කලින් අපරාධ නිවාරණය නැත්තම් අපරාධයක් සිදුවීම වැළැක්වීම තමයි කළ යුත්තේ. මා යටතේ තියෙන පොලිස් ස්ථාන හතටම මම උපදෙස් දීලා තියෙනවා අපරාධ නිවාරණ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න.”

 එහි අරමුණ කුමක්ද?

“ප්‍රධානම අරමුණ තමයි අපරාධවලට සම්බන්ධ සියලුම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමත් වයඹ පළාතෙන්ම වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවය ලෙස 51%ක් අප කොට්ඨාශය පවත්වාගෙන යමින් තියෙනවා.”

 වසමක වරෙන්තුකරුවන් සිටිම අපරාධ වැඩිවීමට හේතුවක් ද?

“වරෙන්තුකරුවකු නිදැල්ලේ සිටීම අපරාධයක් සිදුකිරීමට ඇති ඉඩකඩ වැඩියි. ඔවුන් වරෙන්තු වෙලා ඉන්නේ අධිකරණය මඟහැරීම නිසයි. කිසියම් අපරාධයක් සිදුකළ පුද්ගලයකු අධිකරණය මඟ හරිනවානම් ඔහු අතින් තවත් අපරාධයක් සිදුවීමට ඇති ප්‍රවණතාවය වැඩියි. ඒ නිසා ඔහු අත්අඩංගුවට ගෙන අදාල අධිකරණයට ඉදිරිපත්කළ යුතුයි. පොලිස්පතිතුමාත් මේ සම්බන්ධයෙන් සෑම පොලිසියකට පැහැදිලි උපදෙස් දී තිබෙනවා. ගියවසරේ විවෘත වරෙන්තු හාරසිය ගණනක් මගේ කොට්ඨාශයේ තිබුණා. මේ අවුරුද්දේ එය 182 දක්වා අඩු කරගන්න අපිට හැකි වුණා. සමහරක් වරෙන්තුකරුවන් වසම් තුළ නැහැ. ඔවුන් සැඟව ඉන්නවා.”

 එලෙස සැඟවුණු පුද්ගලයන් කොටුකර ගත නොහැකිද?

“එවැනි වැටලීම් කළ හැකියි. මමත් එවැනි වැඩ පිළිවෙළක් කළා. පිට පළාත්වල බුද්ධි අංශවල නිලධාරින් උදව් කරගෙන වෙනත් පළාත්වල සැඟවිලා ඉන්න වරෙන්තුකරුවන් රැසක් ඉන් කොටු කරගත හැකි වුණා.”

 කලක් හලාවත මත්කුඩු හා හෙරෙන් පිටරට යාමේ සිද්ධින් වාර්තා වුණා.?

“අද ඒවා පාලනය වෙලා. මත්කුඩු, ගංජා නැතිවම නොවේ. බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවෙන් ගෙන එනවා. උදාහරණයක් ලෙස කේරල ගංජා හැඳින්විය හැකියි. ධීවර කර්මාන්තයට යොමුවුණු අය හුඟදෙනෙක් ඔය ගංජා සමඟ බැඳිලයි ඉන්නේ. ඔවුන් හුඟ දෙනෙක් ඒවා පාවිච්චි කරනවා.

සති මාස ගණන් මාළු ඇල්ලීම සඳහා දියඹට යන බහු දින යාත්‍රාවල සේවය කරන ධිවරයන් ඒ කාලයට හරියන්න ගංජා රැගෙන යනවා.”

බෝට්ටුවලින් වෙනත් රටවලට පලයාම නම් දැන් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඒවා පාලනය වෙලා. මිනිස්සු දැනුවත් වෙලා. එහෙම යන අනවසර යාත්‍රා පොලිසියට හෝ නාවික හමුදාවට අහුවෙනවා කියලා ඔවුන් දන්නවා. සමහර යාත්‍රා වෙනත් රටවල දී කොටුවෙනවා. සමහර යාත්‍රා ජීවිත ගණනාවක් සමඟ මුහුදු බත් වෙනවා. එහෙම යන යාත්‍රා ඒ රටවලට ඇතුළු කරගන්නේ නැහැ කියලා මිනිස්සු දන්නවා. ඒ නිසා දැන් එවැනි අනවසර ගමන් වැළකිලයි තියෙන්නේ.”

 වසමේ ළමා අපචාර ළමා අපයෝජන වාර්තාවීම් තියෙනවා නේද?

”මෙහෙ ජීවත්වන්නේ මුහුදුත් එක්ක සම්බන්ධ වුණු ජනතාවක්. ඔවුන්ට සමාජ අවබෝධය හුඟාක් අඩුයි. අධ්‍යාපන මට්ටමත් එහෙමයි.

කරුපනේ, මුතු පත්තිය, අඹකඳවිල, ආරච්චි කටුව ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඔවුන්ට ආවේනික වූ සංස්කෘතියක් භාෂාවක් තියෙන්නේ. කාලයක් තිස්සේ ඔවුන් ඒ සංස්කෘතියට ඇබ්බැහි වෙලා. ඒත් අද ඔවුන් සමාජ ප්‍රවනතාවයකට පැමිණෙමින් ඉන්නේ. අද ඒ පවුල්වල දරුවකු හෝ දෙදෙනෙකු හොඳ අධ්‍යාපනයක් ලබනවා. ඔවුන් කියනවා තම දෙමාපියන්ට මෙහෙම කරන එක වැරදියි. මේකයි හරි. මේවා කරන්න එපා කියලා. කාලයක් මෙහෙම වාර්තාවුණු අපයෝජන සිද්ධි බැලුවම පියා විසින් දියණිය දුෂණය කරනවා. බාප්පා මාමා දියණිය දුෂණය කරනවා අන්න ඒ වගේ නොදියුණු නුගත් හා නීතිය ගැන දැනුමක් නැති සංස්කෘතියක් මෙහෙ තිබුණා. දැන් ඒවා අඩුයි. හුඟාක් පවුල්වල දරුවන් අධ්‍යාපනය සඳහා යොමු වෙනවා. එදා තාත්තා මාළු අල්ලනවා, මුහුදු යනවානම් පුතාත් යන්නේ ඒ ආභාෂයට. තාත්තා මුහුදු ගිහින් එන්නේ මාසයකට දෙකකට වරක් පුතා ගේ අධ්‍යාපනය බලන්න තරම් නිසි අවබෝධයක් ඒ දෙමාපියන්ට නැහැ. ඒ නිසා දරුවා පවා කුඩා කලම ධීවර කර්මාන්තයට පවා යොමුවෙනවා. වැඩිදුර අධ්‍යාපනයක් හෝ පාසල් යාමක්වත් ඔවුන් කරන්නේ නැහැ.”

දංකොටුව වෙන්නප්පුව ආදී ප්‍රදේශවල බොහොමයක් දෙනා ජීවත් වෙන්නේ මැටි කර්මාන්තයෙන්. එහෙමත් නැත්තම් කොහු කර්මාන්තයෙන්. එවැනි ප්‍රදේශවල ඔවුන් ජීවත් වෙන්නේ කුඩා ගෙවල් වල එකට. ඒ නිසා ළමා අපචාර සිදුවීම් වැඩියි. ඔවුන්ගේ මාපියන් ගේ දුප්පත්කමත්, නුගත්කමත් නිසා දරුවනුත් පාසල් අධ්‍යාපනයට යොමු නොකොට බාල වයසේදීම කසාද බන්දලා දීලා කොහු හෝ මැටි කර්මාන්තයට යොමු කරගන්නවා. ඊට ප්‍රධාන හේතුව තමයි දාරිද්‍රතාවය. කොහු මැටි කර්මාන්තයේ අයිතිකරු වුණත් මේකට කැමතියි. මොකද තවත් පවුලක් තමන්ගේ කර්මාන්තයට එකතු වෙන නිසා. එවැනි පවුල් වලින් අපචාර සිදුවීම වාර්තා වීම් දක්නට තියෙනවා.

 ඔබ වසමේ එවැනි පාසල් නොයන ළමුන් සිටිනවාද?

“ඔව්. පාසල් නොයන ළමුන්, අනාරක්ෂිත ළමුන් අපයෝජනයට යොමුවුණු දරුවන් අපි හොයාගෙන තියෙනවා. එවැනි දරුවන් පාසල් යන තත්ත්වයට පත් කරන්නට අපිට හැකිවුණා. අනාරක්ෂිත ළමයි, එවැනි අනාරක්ෂිත තත්ත්වයෙන් මුදවා ගැනීමට ඔවුන්ගේ දෙමපියන්, වැඩිහිටියන් දැනුවත් කිරිම් කළා. පරිවාස නිලධාරින් මේ සඳහා යොමු කළා. අපයෝජනයට ලක් වු දරුවන් නැවතත් එවන් තත්ත්වයකට පත්වීමට ඇති ඉඩකඩ අහුරලා ඔවුන් සමාජයේ යහපත් පුරවැසියන් කරන්නට අවශ්‍ය කටයුතු දිගටම සිදුකරනවා.

මේ පළාත්වල හුඟාක් දෙම්ව්පියන් වැඩිහිටියන් අධ්‍යාපනය අඩු මට්ටමක ඉන්නේ. හලාවත පොලිස් කොට්ඨාශයේ දැදුරු ඔය පැරණි ජල ටැංකිය ගම්මානය. ඒ ගමේ පවුල් 40ක් ජීවත් වෙනවා මාළු කැපීම, හා මාළු කරවල කිරීම වැනි රැකියා තුළින්. ඔවුන්ගෙන් 85%ක් ගංජා කුඩුවලට පුරුදු වෙලා. හැම ගෙදරකම එක්කෙනෙක් දෙන්නෙක් පාසල් යන්නේ නැහැ. කොපමණ දැනුම්වත්වීම් කළත් ඔවුන් ජීවත්වෙන්නේ වෙනම සංස්කෘතික රටාවක හලාවත මාළු වෙළෙඳපොළට එන මාළු කැපීමෙන් මුදලක් උපයා ගැනීම තමයි ඔවුන්ගේ පියවරුන් ආදායම ලබන්නේ. ඒ මුදලත් ඔවුන් වියදම් කරන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වඩා ගංජා හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් සඳහායි.”

 ඔවුන් වෙනුවෙන් කළ හැක්කේ?

“දැනුම්වත් කිරිම් තුළින් සමාජගත කළ යුතුයි. ඔවුන් හෝ දරුවන් පාසල් අධ්‍යාපනය කරා යොමු කළ යුතු වෙනවා. අපි එවන් කර්තව්‍යයක යෙදී අවශ්‍ය එවැනි දරුවන් හඳුනාගෙන ඔවුන්ට පාසල් කටයුතු කිරීමට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය ලබා දී ඔවුන් පාසල් ගත කරලා තියෙනවා. කොට්ඨාශවල පරිවාස නිලධාරින්, ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුර්ව ළමා සංවර්ධන නිලධාරින් සම්බන්ධ කරගෙන දැනෙන විදිහට ප්‍රායෝගික ක්‍රියාදාමයන් සිදුකරලා මේ වන විට පාසල් නොයන හඳුනාගත් ළමයින්ගෙන් දරුවන් සියයකට ආසන්න පිරිසක් නිසි අධ්‍යපානයට යොමු කරලා තියෙනවා. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධාන අපට සහාය දෙනවා.”

කීර්ති මෙන්ඩිස්