සාතම්මගේ වත්තේ සුගත් මැරුවේ පරණ ආරවුල නිසාද?

සාතම්මගේ වත්තේ සුගත් මැරුවේ පරණ ආරවුල නිසාද?

ඔරුගොඩවත්ත - සාතම්මගෙ වත්තේ විසූ “ශාන්ත පුතා” මැරුවාට ග්‍රැන්ඩ්පාස් පොලිසිය පසුගියදා අත්අඩංගුවට ගත්තේ ඒ වත්තේම පදිංචි තවත් ශාන්ත කෙනෙකි. “ශාන්ත පුතා” කීවත් මියගොස් ඇත්තේ වීබද්ද ආරච්චලාගේ සුගත් නමැති විසිහත් හැවිරිදි අවිවාහක තරුණයෙකි.

සුගත් පවුලේ මද්දුමයාය. අත්අඩංගුවට පත් සැකකාර ශාන්ත ද එවැන්නෙකි. පවුල් දෙකක වුවත් මේ දෙදෙනා අතර එක හා සමානකම් ද බොහොමයකි.

මියගිය සුගත් සහ සැකකාර ශාන්ත එකම පවුලේ අක්ක මලෝ දෙදෙනාගේ පුත්තුය. පුංචි සන්ධියේ සිටම මේ දෙදෙනාම හැදී වැඩි පාසල් ගියෙත් එකටය කරදඬු උස් මහත් විමෙන් පසු කොළඹ මැනිං වෙළෙඳපොළේ රැකියා කළ මේ දෙදෙනාට විරසකව තිබුණේ කෙනෙක් අනෙකා කොන් කරන්නේය කියමින් ඇති කරගත් පුංචි අමනාපකමක් නිසාය.

අමනාපකම එකිනෙකා මරාගන්න තරමට දුරදිග ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස මීට වසර දෙකකට කලින් දිනයක සුගත් ශාන්තට සහ ඔහුගේ සොහොයුරකුට මන්නයකින් පහර දී තුවාල සිදු කර ඇත. ඒ සිද්ධියෙන් තුවාල ලත් ශාන්ත ද කලක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබීය.

කොහොමටත් නාහෙට නාහන චරිත විදියට සාතම්මගෙ වත්තේ විසූ බොහෝ අය මේ දෙදෙනා හැඳින් වුවත් මොවුන් දෙදෙනාට දෙදෙනා ඒ සිද්ධියෙන් පසුව ටික කලක් සමාදානව විසුහ. එකම පරම්පරාවක සොහොයුරන් නිසා දෙදෙනාම පරණ කෝන්තර අත්හැර දමන්නට ඇතැයි සිතා සාතම්මගේ වත්තේ හුඟ දෙනකුත් සතුටු වූහ.

එහෙත් මොවුන් තම මල් වයසේ ජීවිත වැඩකට නැති කාරණයක් නිසා අඳුරුකර ගත්තේ කිසිවකු නොසිතූ මොහොතකය. ඒ සම්බන්ධයෙන් අපට අදහස් දක්වමින් මියගිය සුගත් සහ සැකකරු පිළිබඳ හොඳින්ම දන්නා පිරිස හෙළිකළේ මෙවැන්නකි. කොහොමටත් දුරදිග නොබලා වැඩ කරන්නකු වන සැකකාර ශාන්ත ඒ වත්තේම සමහරුන්ගේ උසිගැන්වීම නිසා මෙවැනි තත්ත්වයකට පත්වන්නට ඇති බව සමහරු කීහ.

පසුගිය ඔක්තෝම්බර් පළමු වැනිදා උදෑසන මැනිං මාර්කට්ටුවේ වැඩට ගොස් දහවල්වන විට වැඩ නිමකොට නිවෙසට පැමිණි සුගත් නින්දට ගොස් ඇත. එලෙස නින්දේ සිටි සුගත් සොයා පැමිණි සැකකරු බර ආයුධයකින් සුගත්ට ඇන තිබුණි.

සැකකරු එවේලේ මේ අපරාධයට පෙළඹී ඇත්තේ ඔහුටත් සොහොයුරටත් මීට වසර දෙකකට පෙර සුගත් තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධිය සිහිවීමෙන් නිසා විය හැකිය. උදර ප්‍රදේශයට සැකකරු එල්ල කළ පිහි ඇනුමේ බරපතලකම නිසා ඒ මොහොතේ පටන්ම සුගත් පසු වී ඇත්තේ ජීවිතයත් මරණයත් අතර සටනකය. අසල්වාසීන් සහ ඥාතින් එක්ව සුගත් කොළඹ ජාතික රෝහලට ඇතුළු කරන්නට කටයුතු කළත් මාර්ග අවහිරතා ආදිය නිසා සුදත් රෝහලට ගෙන යාමට ඊටත් සෑහෙන වේලාවක් ගතවිය. ඒ බාධක මැදින් ගොස් තුවාලකරු ජාතික රෝහලට ඇතුළු කළත් ඒ පිරිසට සුගත්ගේ පණ බේරන්නට නොහැකි වී ඇත.

එල්ල කර තිබුණේ එකම එක පිහිපහරක් වුවත් ඉන් වකුගඩු හානි වීම නිසා සුගත්ගේ මරණය ඉක්මන් වී තිබිණි. මෙම ඝාතනය පිළිබඳ තොරතුරු රෝහල් පොලීසිය හරහා දැනුවත් වූ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වහා පරීක්ෂණ ආරම්භ කර ඇත. ඒ අනුව පොලිසියට සැකකරු හඳුනාගැනීමට එතරම් දුෂ්කර නොවු බව කියයි. එහෙත් මුලින් මුලින් පොලිසිය මඟ හරින බවක් පෙණුනද සැකකරු අත්අඩංගුවට ගැනීම පොලිසියට අපහසු දෙයක් නොවීය. සැකකරු කොටුකරගන්නා විටත් ඔහු බාරවන්නට පොලිසියට පැමිණෙමින් සිටි බව ඔහු නිලධාරීන් හමුවේ පවසා ඇත.

“මැරිච්ච ශාන්ත මීට අවුරුදු දෙක හමාරකට විතර කලින් ඇවිත් මටයි අපේ මල්ලිටයි කෙටුවා. ඒ සිද්ධිය නිසා තවමත් මල්ලිගේ අතක් හරියට වැඩ කරන්නේ නැහැ. ඒ සිද්ධිය මතක් වෙලා ගිහින් තමයි මම මිනිහට කෙටුවේ සර්...”

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු කර තිබුණේ එවැනි පාපොච්චාරණයකි. අපරාධය සිදුකළ දිනම පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනු සැකකරු කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

කොළඹ අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අමරරත්න මහතා ඝාතනය වූ සුගත්ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විය.

එහිදී සුගත් ගේ මරණය අධික රුධිර වහනය හේතුවෙන් සිදුවුවක් බවට තීරණය කෙරිණ.

සුගත් ඝාතනයට යොදාගත් බවට සැකකෙරෙන තියුණු ආයුධය සැකකරු විසින් ඔවුන් ජීවත්වන සාතම්මගෙ වත්තේම නිවෙසක වහලයක් මතට වීසිකර තිබියදී ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් ගුණතිලකගේ නියෝගය මත කොළඹ උතුර ධ් පොලිස් බල ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි රසල් ද සොයිසා සහ කොළඹ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ළිහිණිකුල සමඟ උප පරීක්ෂක වීරවර්ධන කොස්තාපල්වරුවන 59724 ගාමිණී, 84017 ජයසුරිය, 27034 රුවන්ජීව ආදිහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන වල නිරතව සිටිති.

පොලිස් පරීක්ෂණ ඇසුරෙනි

නුවන් මහේෂ් ජයවික්‍රම