සින්නම්මා මැරුණේ ජීවිතය ගැනකළකිරිලද ?

සින්නම්මා මැරුණේ ජීවිතය ගැනකළකිරිලද ?

බගවන්තලාව ප්‍රදේශයම දැඩි කම්පාවට පත්කරමින් ඉකුත් (08) දා බගවන්තලාව, “ටින්සින්”, තේ වතුයායේ අංක 03 කොටසේ වතු නිවසක තිබී කැපුම් තුවාල සහිතව සොයාගනු ලැබූ විශ්‍රාමික වතු කම්කරු කාන්තාවගේ මරණය සියදිවි නසා ගැනිමක්ද ? නැතිනම් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සොයා ගැනීම සඳහා බගවන්තලාව පොලීසිය මගින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙසේ අබිිරහස් ලෙස මියගොස් ඇත්තේ, පළනියාණ්ඩි සින්නම්මා නැමති හැටතුන් හැවිරිදි තිදරු කාන්තාවක් බව බගවන්තලාව පොලීසිය පවසයි.

මෙම කාන්තාව ඇගේ පුත්‍රයකුගේ නිවසේ වසර ගණනාවක් තිස්සේ ජීවත්ව ඇත්තේ දරු මුණුබුරන් හා ලේලිය සමග ඉතා සමගියෙනි. වතු කම්කරුවන් වන පුතා හා ලේලී වත්තේ සේවය සඳහා පිටත්ව යාමෙන් පසුව මුණුබුරු මිණිබිරියන්ගේ ආරක්ෂාවට නිවසේ වැඩිහිටියෙක් ලෙස සිට ඇත්තේද මෙම කාන්තාව පමණි.

දියවැඩියාව, රුධිර පීඩනය හා ඇස් පෙනීමේ දුර්වලතාවයන් නිසා සින්නම්මා වසර ගණනක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. කාලයක් තිස්සේ සුවයක් නොලබා පවතින රෝග නිසා තම මව නිතර රෝග ගැන පවසමින් නිවසේ සිටින අනිකුත් අයට තමන්කරදරයක් බවදකියමින් කණගාටුවට පත්වූ අවස්ථා ඇති බව සින්නම්මාගේ පුතා පවසයි. වතු නිවාස පේළියේ පදිංචි අසල්වැසියන් සමගද ඇය නිතර පවසා ඇත්තේ පවතින රෝගාබාධයන් නිසා ජීවත්විම පවා එපා වී ඇති බවය. එසේ පැවසු සෑම අවස්ථාවකම ඇගේ සිත සනසමින් ලෙඩ රෝග සුවකර ගැනීමට රෝහල් තිබෙන බවත්, කණගාටුවී කල්පනාකර තවත් ලෙඩ වීමට එය හේතුවක් නොකර ගන්නා ලෙස සින්නම්මාට නිරන්තර උපදෙස් ලබාදුන් බවත් අසල්වැසියෝ පවසති.ඇතම් දිනවල සින්නම්මා ඇගේ පුතා හා ලේලියට නොපවසන බව පවසමින් අසල්වැසි කාන්තාවන්ගෙන් අත කපා ගත්තොත් ඇය එකවර මැරෙයිද යන්න විමසා ඇති බවත් ඔවුහු කියති. ඇතැම් අවස්ථාවල රෝග පීඩාවන් නිසා වේදනාව ඉවසා දරා ගන්න බැරිව ජීවිතය එපාවී තිබෙන බව ඇය පැවසූ අවස්ථා කීපයක් ඇති බවත් අසල්වැසියන් පොලීසියට පවසා ඇත.

පළනියාණ්ඩි සින්නම්මා සිරිත් පරිදි තම නිදන කාමරය වෙත ඉතුත් (07) දා රාති‍්‍රයේම ගොස් ඇත්තේ නිවැසියන්ට කිසිදු වෙනසක් නොපෙන්වමිනි. (08) දා උදෑසණ වෙනදා මෙන් ලේලිය විසින් උදෑසන තේ රැගෙන තම නැන්දනියගේ කාමරය වෙත ගිය අවස්ථාවේ එක්වරම දිස්වූයේ ඇගේ දෑස් අදහාගත නොහැකි දසුනකි.වම් අතේ බරපතල කැපුම් තුවාල සහිතව ලේ විලක් මැද ඇඳ පාමුල වැටී සිටි තම නැන්දනිය දුටු ඇය මේ බව වහා නිවසේ සිටි සිය ස්වාමියා දැනුවත් කර තිබේ. තම මව මියගොස් ඇති බව දැනගත් පුතා බගවන්තලාව පොලීසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිළි කර තිබේ. වහා කි‍්‍රයාත්මක වූ බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති කේ.සී.ධර්මපි‍්‍රය මහතා පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ ටින්සින් වතුයායේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ. හැටන් පොලීසියේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ද කැඳවීමට කටයුතු කළ පොලිස්ථානාධිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. අනතුරුව හැටන් මහේස්ත්‍රාත් ෂරවණරාජා මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය(08) දා ප.ව. 02.00 ට පමණ සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර නාවලපිටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස පොලීසියට නියෝග කළේය. මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය (09) දා දහවල් සිදු කිරීමට නියමිතව තිබුණි.

අප මේ සම්බන්ධව බගවන්තලාව පොලිස්ථානාධිපති කේ.සී.ධර්මපි‍්‍රය මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා කියා සිටියේ, පොලීසිය මගින් කළ විමර්ෂණයේදී මෙම කාන්තාව අලුත් බ්ලේඩ් තලයක් වැනි දෙයකින් තම දකුණු අතින් වම් අතේ මැණික් කටුව ප්‍රදේශය කපාගෙන සියදිවි නසාගත්තාදැයි සැකයක් පවතින බවය. මිය ගිය කාන්තාව බ්ලේඩ් තලයක් පාවිච්චි කළ බවට ඇගේ දකුණු අතේ මාපට ඇඟිල්ලේ හා දබරඟිල්ලේද සුලු කැපුම් තුවාලවලින් තහවුරුවන බවද පැවසූ පොලිස්ථානාධිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරීක්ෂණයක් පවත්වන බවය.

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

මස්කෙළිය සමූහ