“සුදූ ව කරේ තියාගෙන ගිහින් ගල් තලාවෙන් පහළට දැම්මා”

“සුදූ ව කරේ තියාගෙන ගිහින් ගල් තලාවෙන් පහළට දැම්මා”

තම දරුවන් පිළිබඳ දැඩි අවධානය යොමු කරන ලෙස විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කොතෙක් දෙමව්පියන්ගෙන් ඉල්ලීම් කළත් බොහොමයක් මාපියන් ඒ ගැන එතරම් සැළකිල්ලක් නොදක්වන බව බොහෝවිට පෙනෙන්නට තිබේ. දරුවන් අපයෝජනයට ලක් කිරීම් හිංසා පීඩා කිරීම් මෙන්ම ඝාතනය කිරිම් වැනි දේ නිතර නිතර අසන්නට ලැබුණත් සමහර දෙමව්පියන් ඉන් පාඩමක් ඉගෙන ගන්නා බවක් පෙනෙන්නට නොතිබේ. එළෙසම සමහරක් දෙමාපියන් ගැහැනු දරුවන් ගැන දැඩි සැළකිල්ල යොමු කළත් පිරිමි දරුවන් ගැන එතරම් උනන්දුවක් නොදක්වන බවද පෙනේ.

මව්පියන්ගේ එතරම් සැළකිල්ලක් සෙවීමක් බැලීමක් නැති තැන අයාලේ ගිය සොහාන් ලක්මාල්ට අත් වුයේ ද මෙවන් ඉරණමකි. වයස ඉක්ම වූ වැඩිහිටියකු විසින් සොහාන් ඝාතනය වීමේ අනුවේදනීය කතාවට පාදක වන්නේ ද දෙමව්පියන්ගේ සොයා නොබැලීම නිසා බව පොලිසියේ අදහසයි.

සමන් දෙවි පහසින් පෙවෙන කඳු වළල්ලෙන් සදිසි කරදන ගල්කඩුව ගම්මානයේ ගැමියන් තේ වගාවෙන් සහ අනෙකුත් වගාවලින් ලැබෙන ආදායමෙන් දවස සරිකරගන්නා අහිංසකයන් ලෙස කාගේත් හිත් නොරිදවා ජීවත් වුයේ සමඟියෙන් සමාදානයෙනි. කුලී වැඩ කරමින් ජිවත් වූ මලවි ආරච්චිගේ සාමාවතිගේත් රංජීත්ගේත් පවුල ද එවැන්නකි. කනුග්ගල්ල පාරේ කඳු ගැටයක් උඩ පිහිටි මොවුන්ගේ පුංචි කැදැල්ලේ හුරතලා වුයේ සොහාන් පුතුය. ඔවුනට විවාහක දියණියක හා රැකියාව කරන දියණියක හා පුතෙකුද සිටි. වැඩිමහල් සහෝදරයාගේත් සහෝදරියන්ගෙත් මෙන්ම අම්මා තාත්තාගේත් ආදරය නොඅඩුව ලබමින් සිටි සොහාන් ඉගෙනුම ලැබුවේ කරදන ශ්‍රී ජිනරතන විද්‍යාලයේ නව වන ශ්‍රේණියේය. ඔහු පාසල් ගියේ බයිසිකලයෙනි.

සොහාන් ටිකක් හිතුවක්කාර දරුවෙකි. පාසල් යන වයසේ වුවත් පවුලේ අනෙක් සහෝදරයන් මෙන් නොව සතියට දවසක් හෝ පාසලට යාමද සිදු නොකරයි. මව හා පියා කුලි වැඩට යාමත් සමඟ ඔහු ගම පුරා කරක් ගසයි. දන්නා කියන හඳුනන අයගේ ගෙවල් වල කාලය ගත කරයි. සමහරදාට දින දෙක තුනක්වත් ගෙදර නොඇවිත් එම නිවෙස් වල රැය පහන් කරයි. ගමේ මළ ගෙදරක් හෝ මඟුල් ගෙයක් වුවහොත් එහි දින කිහිපයක්ම රැඳෙමින් කාලය ගත කරයි.

මෙලෙස කාලය ගත කරමින් නිදැල්ලේ හැසිරෙන සොහාන් ඉකුත් ඔක්තෝබර් විසි හතර වනදා ගෙදරින් ගියද යළි නිවෙසට නොපැමිණීම මාපියන් එතරම් ගණනකට නොගත්තේ කොහේ ගියත් දින දෙක තුනකින් ගෙදර එන බව දන්නා නිසාවෙනි.

24,25,26 දින දින ගණන් ගෙවී ගියද සොහාන් ගේ නොපැමිනීම ගැන සැකයක් නොසිතු දෙමව්පියන් ද හිතුවේ කොයි මොහාතක හෝ ඔහු එන බව පමණි. එහෙත් ඔවුන් බලාපොරොත්තු වූ පරිදි සොහාන් ගෙදර නොපැමිණීම නිසා ඇති වූ සැකයක් මත සොහාන්ගේ මව සාමාවතී තිස් එක් වනදා කිරිඇල්ල පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා සිටියේ විසිහතර වනදා ගෙදරින් ගිය පුතා දින හතක් ගියද නොපැමිණි බවයි.

“වෙනදාට ඔහොම ගෙදරින් ගිහින් දවස් දෙක තුනකට පස්සේ ගෙදර එනවා.”

සාමාවතී පොලිසියට පැමිණිලි කරමින් කීවාය. ඇය තම පුතුගේ අතුරුදන්වීම පිළිබඳ වැඩිදුරටත් පවසන්නේ මෙවැන්නකි.

“පසුගිය 24 වනදා මම දුම්බර මානානෙ අපේ අක්කලගේ ගෙදර යන්න යටිපහුව හන්දියේ බස් එක එනකම් ඉන්නකොට පුතා කඩේ ළඟට ඇවිල්ලා බයිසිකලේ පැච් එක දාගන්න කියලා රුපියල් පනහක් ඉල්ල ගත්තා.“

එලෙස මුදල් ඉල්ලා ගෙදර ගිය සොහාන් ගෙදරින් නැවත පිටව ගොස් ඇත්තේ වෙනත් ඇඳුමක් ඇඳගෙනය. අක්කා සතු ජංගම දුරකථය ද රැගෙනය.

“මම අක්කලාගේ ගෙදර ගියාට පස්සේ ගෙදරට කතා කළේ නැහැ එහෙට සිග්නල් නැති නිසා. මම ආපහු ගෙදර ආවේ 28 වෙනිදා. ඒ රංජීත්ගේ ලොකු අම්මලගෙ ගෙදර දානේ හින්දයි. දානේ තිබුණේ තිස් වනදා 29 වනදා රෑ අපි ගියා දානේ තිබුණු සුරංග පුතාලගේ ගෙදර. අපේ පුතායි සුරංග පුතායි ඉගෙන ගන්නේ එක පන්තියේ. අපේ පුතා සුරංග පුතාට කියලා තියෙනවා. එයා බැලුම් මාමත් එක්ක ඉංගිරියෙ යනවා කියලා. 29 වනදා උදේ පහළ ගෙදර පුතාට කෝල් කරලා කියලා තියෙනවා මාමා එක්ක බැලුම් බිස්නස් කරනවා. ඒකෙන් රුපියල් 5000ක් මට දෙනවා කියලා. ඒ සල්ලි අරන් චාජරේකුත් අරගෙන හවස තුන හමාරේ බස් එකේ ගෙදර එනවා කියලා දානේ ගෙදර යන්න.”

“එයා දුවගේ තිස් දාහක් විතර වටින ෆෝන් එකත් අරගෙනයි ගිහින් තිබුණේ. අපි බලාගෙන හිටියා 29 එයි කියලා. ඒ බස් එකේ ආවේ නැති වුණාට අපි කෝල් කලා. නැතිවුණාම අපි හොයන්න ගත්තා. ඉස්කොලේ මිස් කෙනෙක් දැකලා තියෙනවා 125 ඉංගිරිය පිටකොටුව බස් එකේ ඇවිත් මහරගමින් බැහැලා යනවා. තිස් එක් වැනිදා අපි ඉංගිරියේ සෙල්ලම් බඩු විකුණන වෙළෙන්දා ගිහින් හෙව්වා. ඒත් තොරතුරක් ලැබුණේ නැහැ.”

“අනේ ලබන අවුරුද්දේ දිග කලිසම් අඳින්න ඕන කිව්වා. අලුත් සපත්තු දෙකකුත් අරන් ඕන කිව්වා. මාස හයක් නැහැ ඉස්කෝලේ යන්න බයිසිකලේ අරන් දීලා.”

ඇගේ කතාව පොලිස් පොතේ සටහන් කරගත් නිලධාරියා සොහාන්ගේ අතුරුදන්වීම පිළිබඳ ඉහළ නිලධාරින් දැනුවත් කරන්නට කටයුතු කළේය.

ඒ අනුව සොහාන් ලක්මාල් ගේ අතුරුදන් වීම පිළිබඳ කිරිඇල්ල පොලිසිය සොයා බලන්නේ ඉන් පසුවය. සහකාර පොලිස් අධිකාරවරයාගේ උපදෙස් මත වැඩ බලන ස්ථානධිපති ගුණසේන මහතා ඇතුළු කණ්ඩායමක් සොහාන් ඇසුරු කළ පුද්ගලයන් මෙන්ම ඔහුගේ පාසලේ මිතුරන් හා ගුරුවරුන්ගෙන් පවා විමසීමක් කළේ සොහාන් කොහේ ගියාද යන්න දැන ගැනීම සඳහා තොරතුරක් දැනගන්නටය.

ඒ අනුව සොහාන්ගේ පාසල් මිතුරෙකු පවසා ඇත්තේ ඔහු අවසන් වරට පාසල් පැමිණියදා ඔහු අතේ බැලුම් නලා හතරක් තිබු බවය.

“මම එක නලාවක් එයාගෙන් ඉල්ලුවා. ඒත් එයා දුන්නේ නැහැ. ඕනනම් පිඹලා දෙන්න කිව්වා. මම ඇහැව්වා කොහෙන්ද ගත්තේ කියලා. එයා එතකොට කිව්වා පොළෙන් ගත්තේ කියලා.”

පාසල් මිතුරා පොලිස් නිලධාරින් හමුවේ පවසන්නට විය. නලා හතරක්ම ඔහු අතේ තිබිම නිලධාරින්ට ප්‍රශ්නයක් ගෙන දුන්නේය. නලා හතරක් මිල දී ගැනීමට හැකියාවක් ඔහුට නැත. එසේ නම් ඒවා කවුරු හෝ මොහුට දිය යුතුය. නැතහොත් හොරකම් කළ යුතුය.

ඒ සැකය මත කරුණු විමසද්දී පාසලේම ගුරුවරියක නිලධාරින්ට කීවේ මීට දින තුනකට උඩ දී සොහාන් තවත් පුද්ගලයකු සමඟ ඉංගිරිය පිටකොටුව බස් රියක පැමිණ මහරගමින් බැසගත් බවය. මෙය පොලිසියට තවත් ගැටළුවක් විය. එසේ නම් සොහාන්ගේ මවද කියන පරිදි ඉංගිරියේ බැලුම් වෙළෙන්ඳා සොහාන් ගැන තොරතුරක් දැනගත යුත බව පොලිසිය සිතුවේය.

පොලිසිය ඊළඟට ගියේ කිරිඇල්ල පොළටය. එහි සිටින බැලුම් විකුණන වෙළෙන්දන් කවුදැයි සොයා ගිය නිලධාරින්ට එවැන්නකු හමුවිය.

“අනේ සර් මම දැන් ඒ බිස්නස් එක නතර කරලා ගොඩාක් කල්. හැබැයි ඉංගිිරියේ ඉඳලා පොළට එන වෙළෙන්දෙක් එනවා.මිනිහා නම් නලා බැලුම් විකුණනවා.”

ඔහුගේ ප්‍රකාශය මත ඉංගිරියේ වෙළෙන්දා කවුදැයි හොයන්නට පොලිසියට සිදුවිය. නිලධාරින් ඉංගිරියට ගියේ වෙළෙන්දා සොයාගෙනය. ඔහු සොයාගැනීමට පොලිසියට එතරම් ප්‍රශ්නයක් වුයේ නැත.

“කෝ සොහන්” ඔහු ඉංගිරිය නගරයේදී පොලිසියට කොටුවිය.

පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළේය. ඔහු මුලින් කීවේ තමා එවැන්නෙක් ගැන නොදන්නා බවය.

“ඒ ළමයා උඹත් එක්ක ඉංගිරියේ ඉඳලා තියෙනවා.බොරු කියන්න එපා.”

නිලධාරින් තවත් නොයෙකුත් දෑ ඔහුට කියමින් ප්‍රශ්න කරන්නට විය.

“එයා මගෙත් එක්ක හිටියා තමයි සර්. ඒත් දවස් හතරකට කලින් ගෙදර ගියා.”

“බොරු කියන්න එපා මිනිහො. ඒ ළමයා ගෙදර ගිහින් නැහැ. ඇත්ත කියපන් උඹ මොනවද ඒ ළමයට කළේ. කොහේද ළමයා ඉන්නේ.”

එනපොට හොඳ නැති බව තේරුම් ගත් වෙළෙන්දා ඉන් පසු මෙසේ කීවේය.

“එයා මගේ ළඟ ඉන්නවා. යමු සර් මම පෙන්වන්නම්.”

අවසානයේ එසේ කී ඔහු නිලධාරින් කැඳවාගෙන ගියේ සොහාන් පෙන්නන්ටය. ඒත් නිලධාරින්ට සොහාන් හමුවුයේ නැත.

“මම බොරුවක් සර් කිව්වේ. සොහාන්ට මී මැස්මොරය හැදුණා. එයාට සිහිය ආවේ නැහැ. පස්සේ මම එයා ගලෙන් පහළට දැම්මා.”

ඔහුගේ කතාවෙඩ් නිලධාරින් හොල්මන් වුයේ්ය.

“කොහාටද දැම්මේ. දාපු තැන අපිට පෙන්නපන්.”

ඉන්පසු ඔහු නිලධාරින් සමඟ ගියේ කරදන මීයන කොළතැන්න වත්තටය. එය ඉතා පාළු ප්‍රදේශයක් විය. කිරිඇල්ල - රත්නපුරය ප්‍රධාන මාර්ගයේ ගොස් මඩල හන්දියෙන් කරඳන පාරේ කිලෝමීටර් හතරක් පමණ ගිය තැන පහළගම හන්දියෙන් කිරිල්ලවල පාරේ තවත් කිලෝමීටර දෙකක් විතර යද්දී කන්ද සහිත වත්ත හමුවේ. බැලුම් වෙළෙන්දා කියන්නේ එතැන තියෙන ගල් පර්වතයකින් පහළට සොහාන් දැමු බවය.

නිලධාරින් ඊළඟට සිදුවුයේ ගලෙන් පහළ ප්‍රපාතයට බැසීමය. නලා වෙළෙන්දාද කැටුව අඩි පනහක් පමණ පහළ ප්‍රපාතයට බැසගත් නිලධාරින්ට සොහාන් ගේ සිරුර සොයාගත හැකිවිය. සිරුර ඒ වන විටත් නරක් වෙමින් තිබිණි. මියගොස් සිටි සොහාන්ගේ සිරුර අසලට ගිය නිලධාරින් ඊළඟට කළේ ඒ බව ඉහළ නිලධාරින්ට පැවසීමය.

සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මේ සම්බන්ධයෙන් කොට්ඨාශ පොලිස් අධිකාරිවරයා දැනුම්වත් කිරිම සමඟින් සොකො නිලධාරින්ද එතැනට පැමිණියේය. සොකො නිලධාරින්ට ඒ අසල තිබි තොප්පියක් ද හිසකෙස් කිහිපයක් ද සොයාගැනීමට හැකිවිය. ඒවා බැලුම් වෙළෙන්දාගේ බවට පොලිසිය සැක කළේය.

පසුව සිද්ධිය පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් ඉෂානි තේනබදු මහත්මිය සහ රත්නපුර මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිද්ධිය වු ස්ථානයට පැමිණියහ. ඔවුන්ගේ පරීක්ෂාවෙන් පසු සොහාන්ගේ මෘත ශරීරය රත්නපුර රෝහලට ගෙන යන ලෙස උපදෙස් ලැබිණ. ඒ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහාය. එහිදී සොහාන්ගේ මළ සිරුර පිළිබඳව ලබාදුන්නේ විවෘත තීන්දුවකි. සොහාන්ගේ මරණයට හේතුව හෙළිදරව් කර ගැනීම සඳහා මෘත ශරීරයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝ්ග කළාය.

අත්අඩංගුවට ගත් වෙළෙන්දා පොලිසියට රැගෙන ගිය වැඩබලන ස්ථානාධිපතිවරයා ඔහුගෙන් දීර්ඝ ප්‍රකාශයක් ද සටහන් කරගත්තේය.

සැකකාර වෙළෙන්දා සොහාන් අමතා ඇත්තේ “සුදු” කියාය.

“මීට අවුරුද්දකට කලින් ඉස්කෝලේ ගම්මඩු උත්සවයක් තිබුණා. ඒකට වෙළෙඳාම් කරන්න මමත් ගියා. එතකොට තමයි එයාව හඳුනාගත්තේ. මට “සුදුව“ පාරේදි ටවුමෙදි පොළේදි හම්බ වෙනවා. එතකොට මම එයාට කීයක් හරි දෙනවා.

“විසි හය වෙනිදා ඉංගිරිය රබර් කඩය ළඟදි මට සුදුව හම්බ වුණා. මම ඇහුවා කොහේද යන්නේ කියලා. එයා කිව්වා උවමනාවකට ඉංගිරියේ ආවා කියලා. කෑම කෑවද කියලා ඇහැව්වම නැහැ කිව්වා. මම හෝටලයට ගිහින් එයාට කන්න අරන් දුන්නා. පස්සේ මම කිව්වා හඳපාන්ගොඩ යාළුවෙක් ඉන්නවා එහෙ යමුද කියලා. එයා ඒකට කැමති වුණා.”

එලෙස රැගෙන ගිය සොහාන් 26,27,28,29 යන දින ගතකර ඇත්තේද මේ වෙළෙන්දා සමඟය. සෙල්ලම් බඩු ගැනීම සඳහා දිනක් දෙදෙනාම මහරගමට ගොස් ඇත. තවත් දිනක පාදුක්ක අවිස්සාවේල්ල ප්‍රදේශවලට ද ගොස් තිබිණි. ඒ දිනවල සොහාන් සමඟ මොහු මිතුරන්ගේ නිවෙස්වල කාලය ගත කර තිබේ. අවසාන දින ඔවුන් වෙළෙන්දාගේ ඥාතියකුට අයත් කරදන තිප්පල හේනේ පාළු වත්තේ නිවෙසක රාත්‍රිය ගත කර ඇත. “එදා අපි නිදාගත්තා පහුවදා ඉංගිරියේ එන්නයි හිතාගෙන හිටියේ. ඒත් රෑ එකපාරට සුදුට අපස්මාරය හැදුණා. අත පය දරදඬු වුණා. දහඩිය දැම්මා. සිහිනැති වුණා. ඇඳගෙන හිටිය ඇඳුම් ඇඟට තදවුණා. මම බ්ලේඩ් තලයක් අරගෙන ඇඳුම් කපලා දැම්මා.”

“පැය භාගයක් විතර බැලුවා. සුදුට සිහිය ආවේ නැහැ. පස්සේ සුදුව කරේ තියාගෙන ගිහින් ගල් තලාවෙන් පහළට දැම්මා.”

සැකකරුගෙන් ප්‍රශ්න කළ පොලිසිය ඔහු පරීක්ෂා කරද්දිකලිසමේ සාක්කුවක දමාගෙන සිටි සිම්පතක් හමුවිය. එම සිම් පත කුමක්දැයි ඔහුගෙන් විමසද්දී එය සොහාන් විසින් නිවෙසින් රැගෙන එන ලද ජංගම දුරකථනයේ සිම් පත බවට අනාවරණය විය.

“ඒ ෆෝන් එක එයා මට දීලා හත්දාහක් ඉල්ලුවා. මම හාරදාහක් දෙන්නම් කිව්වම ඒක මට දුන්නා. පස්සේ මම ෆෝන් එක කුරණ යාළුවෙකුට වික්කා.”

සැකකාර වෙළෙන්දා පොලිසියට කියා සිටියේය. පසුව පොලිසිය එම ජංගම දුරකථනය දුන් පුද්ගලයා කැඳවා එය පොලිස් භාරයට ගත් අතර සොහාන් විසින් ලබාගත් පිංතුර අතර සැකකාර වෙළෙන්දාගේ ඡායාරූපයක් ද විය.

සැකකරු අවිවාහකයකු වන අතර ඔහු මීට කලින්ද ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් රත්නපුර පළාත්බද මහාධිකරණයේ නඩුවක් ඇති බවද පොලිසිය කියයි.

සැකකරු “රතනෙ” නමින් හඳුන්වන අයෙකි. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 17 දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරිණි.

සැකකරු බන්ධනාගාර ගත වුවද පොලිසිය හමුවේ ඇත්තේ තවත් ප්‍රශ්න ගණනාවකි. සොහාන් අපචාරයට ගොදුරු වී ඇත්ද සොහාන් ගල්තලාවෙන් පහළට දමා ඝාතනය කළේද. සොහාන්ට හැදුණයි කියන මීමැස්මොර රෝගය ඇත්තක්ද නැත්තම් සොහාන් මරා දැමීමෙන් පසු ගල්තලාවෙන් පහළට දැම්මාද යන්න සොයා ගැනීමට පොලිසිය විමර්ශන අරඹා තිබේ. මීට විසඳුම් සෙවිය හැක්කේ රස පරීක්ෂක විසින් දෙනු ලබන වාර්තාවෙන් පසුවය.

“පුතාට අවුරුදු එකහමාර කාලෙදි ෆිට් එක හැදෙනවා. අපි නාගොඩ ඉස්පිරිතාලෙට අරන් ගිහින් අවුරුදු තුනක් විතර බෙහෙත් කරලා සනීප කර ගත්තා. ඒත් දිගටම බෙහෙත් බොනවා. එයා යාළුවන්ගේ නැදැයින්ගේ ගෙවල් වල ගිහින් දවස් දෙක තුන නැවතිලා ඉඳලා එනවා. හැබැයි එහෙම යනකොට ඇඳුම් දෙක තුනක් එක්ක බෙහෙතුත් අරන් යනවා. ඒත් එදා කලබලේට ගිහින් තිබුණේ බෙහෙත් අරගෙන නෙමේ. මේ මිනිහා සල්ලි දෙනවා කිව්ව නිසා ඒකෙ ආසාවට වෙන්න ඇති යන්න ඇත්තේ.”

ඇගේ මවගේ එම ප්‍රකාශය මත යොහාන්ට එවන් රෝගයක් ඇති බවත් සොහාන්ට මීමැස්මොරය හැදුනු බවට සැකකරු කියන්නේ ඒ නිසා බවත් පොලිසියේ විශ්වාසය විය.

නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබු පහළොස් හැවිරිදි සොහාන් ලක්මාල්ට මෙවන් විපතක් ඇති වුයේ ඔහු ගැන දෙමාපියන් හරි හැටි සොයා නොබැලීම නිසාය. හරි හැටි සොයා බැලුවේ නම් සොහාන් තවමත් ජීවතුන් අතරය.

රත්නපුර කොට්ඨාශ බාර පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන හා රත්නපුර ඪඪඪ සහකාර පොලිස් අධිකාරි චන්ද්‍රසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත කිරිඇල්ල වැඩ බලන පොලිස් ස්ථානාධිපති ගුණසේන හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති විජේරත්න ප්‍රමුඛ සැරයන් වරුන් වූ සේනක (8263) හා කොස්තාපල් රත්නසේන (48707) නිලධාරිහු මේ පිළිබඳ විමර්ශනයට එක්වුහ.

කීර්ති මෙන්ඩිස්

විනිතා මානෙල් ගමගේ

හල්තොට සමුහ

එන්. ජී. රාජදොරේ

රත්නපුර විශේෂ