අමිරිතා

අමිරිතා

සදාචාර සංස්කෘතියේ සළු පිළි කොයිතරම් පළන්දන්නට උත්සාහ කළත් ආසියාතික රටවල් මුහුණදෙන සමාජ ප්‍රශ්න බොහෝය. ගණිකා වෘත්තිය ඉන් ප්‍රබලතම සමාජ ප්‍රශ්නයකි. දකුණු ආසියාවේ පමණක් මිලියන තුනකට ආසන්න ගණිකාවන් පිරිසක් ජීවත්වන බව මේ පිළිබඳ කළ සමීක්ෂණයකදී හෙළි වී ඇත.

ළමයින් පිරිමින් කාන්තාවන්සේම ලිංගික විපරිතයන්ට ලක් වූ අයද මේ පිරිසට අයත් වන බව එම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. ඒ අතර ගණිකා වෘත්තියේ යෙදෙන යුවතියන්ට ඇත්තේ මහත් වූ ඉල්ලුමකි. ළාබාල වියේ පසුවන ඔවුන් අකමැත්තෙන් වුවත් ගණිකා වෘත්තියට ඇදගෙන යාම මෙම රවටල වෙසෙන සංවිධානාත්මක ජාවාරම් කරුවන් විසින් සිදු කරනු ලබන්නකි. එලෙස මෙම ව්‍යාපෘතියට එන මෙම යුවතියන් නිශ්චිත කාලයක් ජීවත්වන්නේ සුරඟනන් ලෙසටය. එහෙත් මෙවන් සුරඟනන් බොහෝ දෙනා අන්ත අසරණ පවුල්වල අයවෙති. කුල පීඩනය, ආර්ථික පීඩනය දරාගත නොහැකිව මහ මඟට පිලිපන් අයද කුලයෙන් නෙරපීමෙන් පසු අතවරයට ලක් වූ යුවතියෝද ඒ අතර වෙති. තවත් සමහර ළාබාල දැරියන් ඈත දුෂ්කර ගම්මානවල පදිංචි දෙමාපියන් රවටා පැහැරගෙන එනු ලැබු අයවෙති.

බිමට වැටුණු සුරඟනන් කෘතිය ඇසුරෙන් සැකසු එම ලිපි පෙළ ගණිකා මඩම් හා ලිංගික වෙළදාමේ නියුතු තැනැත්තන්ගෙන්ම ලබාගත් තොරතුරු මත සම්පාදනය වී තිබේ. මෙම කෘතිය ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 14 දෙනකු විසින් රචනා කරන ලද්දෙකි.

ලිංගික වෙළඳාම, ළමා ගණිකා වෘත්තිය, ගණිකා මඩම් සංස්කෘතිය ගැඹුරින් විමසා බලන්නට මේ කෘතිය උත්සාහ දරා ඇත. බොහෝ මාධ්‍යවේදීන් මෙවන් බියකරු ගුප්ත ලෝකයක සැරිසරන්නට බිය වන්නේ මත්ද්‍රව්‍ය, පාතාලය හා මැරකල්ලි මේ පිටුපස ක්‍රියාත්මක වීම නිසාය.

බිමට වැටුණු සුරඟනන් තුළින් ඔබ කියවන මේ අහිංසකාවියන් ගේ කතා අපේම සමහරක් සොයුරියන් ගේ කතා හා සමාන නොවන්නේද?

සමහර වෙලාවට ආකාසෙත් අපේ ජීවිතේ වගේ කියල මට හිතෙනවා. පැයක් දෙකක් කන්දක් අයිනකට එහෙමත් නැත්නම් මුහුදු වෙරළට වෙලා අහස දිහා බලාගෙන හිටියොත් මේ කාරණය තේරුම් ගන්න ලේසියි. ආකාසේ වගේම එක එක කාලෙට අපේ ජීවිතත් හැඩවෙනවා ලස්සන වෙනවා. සමහර කාලවලට අපේ ජීවිතේ ඔහේ ගලාගෙන යනවා අපිවත් දන්නේ නැහැ. අපිට මොනවද වෙලා තියෙන්නේ කියලා. අහසත් එහෙමයි. වලාකුළු පිරිලා පුළුන් කුට්ටියක් වගේ තිබුණු අහස එක පාරටම කළු වෙලා කිසිම හැඩක් නැතුව අපි දිහා බලාගෙන ඉන්නවා....

අම්රිතාගේ කතාවත් ඇත්තටම පාළු අහසක් වගේයි. ඒ අහස ආයේ කවදාවත් තරු පායලා වලාකුළු එක්රැස් වෙලා පාට ගැහෙන එකක් නැතිවේවි.

අම්රිතා ගොඩක් ලස්සන ගැහැනියක්. ඒත් මේ වගේ ලැඟුම්හලක එයාටත් දිවි ගෙවන්න සිද්ධ වෙලා. ජීවිතේ අපි ගොඩක් දෙනෙකුට වරදින දිවි ගමන එයාටත් වැරදිලා තිබුණා.

අම්රිතා උපත ලැබුවේ නවදිල්ලියට කිට්ටුව තිබුණ අශෝක්පුරම් වලට කිට්ටුව තිබෙන අපූරු ගම්මානයක. එයාගේ තාත්තා කොහු කර්මාන්තයක නියැලිලා හිටපු කෙනෙක්. අම්මයි නංගිල දෙන්නෙකුයි විතරයි ගෙදර හිටියේ...

“මම ඉස්කෝලේ යන්න එච්චර ආශා කළේ නැහැ. මට ඉගෙන ගන්න ගොඩක් අමාරු වුණා. ගණන් ,ඉංශ්‍රීසි මට තේරුණේම නැහැ. ඒ නිසා ඉස්කෝලේ යනවට වඩා අම්මට උදව් කරගෙන ඉන්න තමයි මම ගොඩක්ම උත්සාහ කළේ.”

අම්රිතා කියාගෙන යනවා. ඩිංග ඩිංග උස්මහත් වෙච්ච අම්රිතා ඉගෙනුම අතපසු වුවද රූ සපුවෙන් ඇය මුළු ගමේම හිටිය රූබර යුවතියන් සියළුදෙනාම පරාජයට පත් කළා.

“මාත් එක්ක යාළුවෙන්න ගොඩක් දෙනා උත්සාහ කළා. ඒ වුණාට මගේ හිත කාටවත් ලෙහෙසියෙන් ගන්න බැරි වුණා.... ඒත්.. දවසක් මගේ ජීවිතයේ භයානකම සිද්ධියක් ඇති වුණා... මම එදත් නංගිලත් එක්කල මීදා ගංගාවේ නාන්න ගියා. ඩිංග ඩිංග පීනලා ගිය මගේ කකුල එකපාරටම පණ නැති වෙලා ගියා. මාව ගිලෙන්න ගත්තා.. මම කෑ ගැහුවා මාව බේරගන්න කියලා.. නංගිලත් ඒ එක්කම මහ හයියෙන් කෑ ගැහැව්වා. බයටම මට කලන්තේ හැදීගෙන ආවා....

ඒ වෙලේ බෝට්ටුවක උන්නු කොල්ලෙක් ගඟට පැනලා ඉක්මනට මගේ දිහාවට පිහිනගෙන ආවා. එයා මගේ කොණ්ඩෙ අල්ල ගන්නව විතරයි මට මතක... ඊට පස්සේ ගං ඉවුරේදී තමයි මට සිහිය ආවේ. නංගිල දෙන්න අඬ අඬා මං ගාවම හිටියා. මම ඇස් දෙක ඇරලා වටපිට බැලූවම ඉස්සෙල්ලාම දැක්කේ එයාගේ මුහුණ?

“කාගේ මුහුණද?

මගේ මිත්‍රයා සුපුරුදු ප්‍රශ්න කිරිල්ල පටන් ගත්තා.”

“එයා අශෝක් කුමාර්.... එයා මගේ ජීවිතය බේර ගත්තා. එදා ඉඳලා මගේ මුළු ජීවිතයම එයාටම කැප වුණ එකක් කියලයි මම හිතුවේ... මගේ ජීවිතය බේර ගත්ත එයා එක්කල ආශ්‍රය කරනවට අපේ ගෙදරින් ඩිංගක්වත් කැමත්තක් තිබුණේ නැහැ. ඒත් අපි දෙන්නා අපේ ආදරය එයාලගෙන් හංග ගෙන ඉදිරියට අරගෙන ගියා.නංගිලව ගේන්න ඉස්කෝලෙට යන අතරෙදි, කුඹුරෙදි, වතුපිටිවල මමත් අශෝකුත් හමු වුණා. ජීවිතයේ ගොඩක්ම ලස්සන දවස් මම අශෝක් එක්කලා ගත කරනවා කියලා මට හිතුණා.”

ආදරයේ චමත්කාරය මිහිර අම්රිතා විඳින්නට පටන් ගත්තාය. නේක පැහැයෙන් දිලිහෙන සැඳෑ වලාකුළු සේම ඇගේ ජීවිතයත් ඒ යුගයේදී විචිත්‍රවත් විය. නුදුරු දිනෙක අශෝක්ගේ පුළුල් ළය මත තම හිස තබා සැතපෙන්නට ඇත්නම් කොපමණ අගේ දැයි ඇයට සිතිණි. කවුරුන් කෙලෙස විරුද්ධ වූවද තමන්ගේ එකම සැනසීම හා සුවය වූ අශෝක් තුරුළට යන්නට ඇය සිතා ගත්තාය.

ඇගේ ප්‍රාර්ථනය එලෙසම ඉටු විය. අශෝක් කුමාර් තම මිතුරකු වූ රාජන් ගේ නිවසට ඇය කැඳවාගෙන ගියේය. රාජන් ගේ නිවස පිහිටා තිබුණේ නවදිල්ලියට කිලෝමීටර හයකටත් වඩා දුරින් පිහිටි ශිවනගර් වලය. තම පියාට අයත් වූ වත්තක පාළු වී ගිය කුඩා නිවෙස රාජන් තම මිතුරා වූ අශෝක්ට ස්වකීය පාණිග්‍රහණය වෙනුවෙන් ලබා දුන්නේය. මේ පාළු නිවහන තම මිතුරාට ලබා දුන් ඔහු යළිත් පිටත්ව ගියේ ඔහු රැකියාව කරන කොචින් වලටය. කාලය හිරු සඳුට හොරා පිය මැන්නේ ඔය අතරය...

පේ‍්‍රමයේ රසය අම්රිතාත් අශෝකත් රිසි සේ විඳ ගත්හ. නගරයේ වෙළඳසලක සුළු සේවකයකු ලෙසට සේවය කළ අශෝක් තම බිරිඳට අවැසි දේත් ආහාරපානත් ලබා දෙන්නට කාසි සොයන්නට මහත් සේ වෙහෙස මහන්සි විය. මව්පියන්ගෙන් වෙන්ව ජිවත් වූ ඔවුන් දෙපලම උත්සාහ ගත්තේ රාජන් ලබාදුන් මේ පාළු නිවහනේ උරුමකර ගන්නටය. ඒ වනවිටත් අම්රිතා දෙමස් ගැබිනියකව හුන්නාය. තමන්ගේ පුංචි ලෝකයට එන දරු සිඟිත්තාගේ ලොව කොතරම් මිහිරිදැයි අනේක වර ඇය කල්පනා කළාය. අශෝක් කුමාර් ගේ සිතේ ද බොහෝ දේ ගොනුව තිබිණි. තමන්වත් අම්රිතා පිළිගන්නට එන දරු පැටවාගේ ලොවට සතුට කැන්දාගෙන එන්නට අවැසි දේ ගන්නට මිල මුදල් හොයන්නට. දිවා රෑ නොබලා ඔහු වෙළඳ සැලේ සේවය කළේය.

එහෙත් එක් දිනක රාත්‍රියේ අශෝක් කුමාර් පුංචි නිවහනට ආවේ ලේ වැකුණු මුහුණ අතින් අල්ලාගෙනය.

“අනේ දෙවියනේ ඔයාට මොකක්ද මේ වුණේ ඔයාව වාහනේකවත් හැප්පුණාද.... කියන්න...”

අම්රිතා බියට පත්ව කෑ ගැසුවාය. එහෙත් ඔවුනට පිහිටට එන්නට කවරෙකු හෝ සිටියේ නැත.

“අම්රිතා අපි කොහේහරි ඉක්මනට යන්න ඕන. නැත්නම් මට මොනව වුණත් ඔයාට ලොකු කරදරයක් වේවි... මම ලොකු කරදරයක වැටිලයි ඉන්නේ.” අශෝක් කුමාර් ගොත ගසමින් පැවසුවේය.

රාත්‍රී සේවා මුරය නිම වී ඉක්මනින් නිවසට එන්නට ත්‍රීවිලරයක් සොයා ගන්නට යාමේදී ත්‍රිවිල් රැඳවුම් පොළේ හුන් රියදුරන් අතර ඇති වූ ආරවුලකදී රියදුරන් තිදෙනකුට ඔහු පහර දී තිබිණි. එක් රියදුරෙකුගේ දත් දෙකක් ඔහුගේ පහරකින් බිඳී ගොස් තිබිණි. අනෙක් කණ්ඩායම ඔහු පසුපස එළවද්දී ලොරියක එල්ලුණු අශෝක් කුමාර් අනූ නවයෙන් දිවි ගලවා ගත්තේය.

අශෝක් කුමාරුත් අම්රිතාත් නිවෙසින් එළියට බැස්සා පමණි.

“ඒයි නැවතියං”

දිගු මන්නයක් අතැතිව හුන් මැරයෙක් අශෝක් කුමාර්ට කීවේය. ලේ ගලායන මුහුණේ වූ තුවාල සමඟින් ප්‍රචණ්ඩ මැරයන් සමඟ සටනට අවතීර්ණ වන්නට අශෝක් කුමාර් උත්සාහ ගත්තත් එහි ප්‍රතිඵලය වූයේ ඉතා ඉක්මනින්ම ඔහු පරාජයට පත් වීමය. දරුණු මන්නා පහර දෙකක් ඔහුගේ ගෙලට අතට හා උරහිසට වැදිණි, මැරයන්ගේ ඊළඟ ඉලක්කය වූයේ බියෙන් මිලිනව කිසිවක් කරකියා ගත නොහැකිව සිටින අම්රිතාය.

“වරෙල්ලා මේකිව අද අපි ගෙනියමු.”

මැරයන්ගේ එකම ඉල්ලීම වූයේ ඇයව ඔවුන්ගේ තිප්පොළ වෙතට රැගෙන යා යුතු බවය. මාරවේෂ වූ යක්ෂයන් බඳු වූ ඔවූහු මුව පොව්වකු මෙන් බියෙන් ගැහෙන අම්රිතාව ඔවුන්ගේ නොසන්සිඳෙන ආශාවන් සපුරා ගන්නට රැගෙන ගියහ.

ඇය ඔවුන්ගේ තිප්පොළේදී ඔවුන් ඉදිරියේ වැඳ වැටෙමින් තමන් ගැබිණියක් බවත් කාලි මාතාවන්ගේ, විෂ්ණු දෙවියන්ගේ නාමයෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා සිටියාය.

ඒ මෘග රැළ ඇගේ වදන් කනකට නොගත්හ.

“උන් සේරම එදා මාව බිල්ලට ගත්තා... උන් මහා පාදඩ මිනිස්සු.. දවස් ගාණකට පස්සේ මම කිව්වා මට ගෙදර යන්න ඕන කියලා. උන් කෑ ගහලා කිව්වා උඹ දැන් අපේ. අපිට ඕන දවසට තමයි අපි උඹව යවන්නේ කියලා. මට අශෝක් කුමාර් ගැන කිසිම දෙයක් දැන ගන්න ලැබුණේ නැහැ... එයා නොමැරී හිටියානං මාව කොහොමහරි හොයාගෙන එන බව මං දන්නවා. අනේ එ්ත් එයා මාව හොයාගෙන ආවේ නැහැ. අනිත් අතට එයා මාව කොහෙන් කියලා හොයා ගන්නද?”

අම්රිතා රෑ සමනලියක් වූයේ තමන්ගේ කුසෙහි දරු පැටියකු සිටියදීමය. දරුවා මෙලොව උපත ලැබුවත් මැරයන් ඒ සිඟිත්තා මෙලොව ඉපදුනාට පසුව රහසිගතවම සල්ලිකාරයෙකුට අලෙවි කොට තිබිණ. රෝහල තුළම මේ ගනුදෙනුව සිදූ වූ අතර නිලධාරින් අම්රිතාට කීවේ ඇයට උපන් දරුවා උපදින විටම මියගොස් සිටි බවය. එහෙත් එය අමූලික මුසාවක් බව ඇය අසල හුන් ගැබිනි මාතාවක් ඇයට පවසා තිබිණි.

“මට මේ ලෝකේ උරුම වුණේ දුක් කඳුළු වගේම වේදනාව විතරමයි. අශෝක් කුමාර් මාත් එක්කලා හිටියා නම් මට ගොඩක් ලස්සනට මගේම ලෝකයක ජීවත්වෙන්න තිබුණා. එයාගෙයි මගෙයි එකම සම්පත වෙච්ච දරු පැටියාත් දැන් මගේ ගාව නැහැ. අශෝකුත් නැහැ. දැන් මං ජීවත්වෙන්නේ මොකටද මට මැරෙන්න හිතෙනවා. ඒත් මරණය වුණත් අපි හිතන වෙලාවට බලාපොරොත්තු වන වෙලාවට අපි ගාවට කිට්ටු වෙන්නේ නැහැ.”

ඩබ්ලිව් ඒ. සරත්චන්ද්‍ර