වයසක රියදුරන්ට සුද්දෙ දාන කුඩ්ඩන්ගේ අලුත්ම ගේම

වයසක රියදුරන්ට සුද්දෙ දාන කුඩ්ඩන්ගේ අලුත්ම ගේම

අතමිට සරු වයසක උදවිය ඉලක්ක කරගනිමින් කුඩ්ඩන් පිරිසක් කලක් තිස්සේ කළ අමුතුම තාලයේ ජාවාරමක් හෙළිකර ගැනීමට පානදුර පොලීසියට පසුගියදා හැකිවිය.

බොරු මවාපෑම් සහ බියවැද්දීම් වලින් මුදල් ගැරීමක්වන මේ අපරාධය සම්බන්ධ පැමිණිලි කලක සිටම පානදුර අවටින් ඇසෙන්නට විය. මේ ගැන විමසිල්ලෙන් සිටි පානදුර භාර පොලිස් අධිකාරී මහේෂ් සේනානායක කොට්ඨාශයේ සියලු පොලිස් ස්ථාන ඒ පිළිබඳ දැනුවත් කළේය. ඒ සමඟම සිය පුද්ගලික ඔත්තුකරුවන්ට මේ සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවන ලෙසටත් අධිකාරිවරයා උපදෙස් දුන්නේය.

එහෙත් මේ සම්බන්ධයෙන් වූ ලොකුම ගැටලුව වුයේ ජාවාරම්කාර කල්ලියේ ගසා කෑම් වලට ලක් වූ බොහෝ දෙනකු ඒ පිළිබඳ පැමිණිලි කරන්නට පොලිසියට නොපැමිණීමය. නමුත් පානදුර උතුරු සහ දකුණු පොලිස් වැයික්කි දෙකෙහිදීම මේ ජාවාරමුන්ගේ ගසා කෑමට ලක් වූ සමහරුන් පොලිසියට කළේ එකම විදියේ විස්තර කිරීමකි.

“එකපාරමට ත්‍රිවිලර් එකක් ඇවිදින් මගේ වාහනේට අතින් ගහලා මඟ හරස්කරලා නැවැත්තුවා ඒකෙන් බැහැගෙන ඇවිත් මිනිහෙක් මට බැන්නා. මං එයාගේ ත්‍රිවිලර් එක වද්දාගෙන ඒක නොදැක්කා වගේ ආවයි කියලයි ඒ මිනිහා කිව්වේ. ඊට පස්සෙන් ඇවිත් තවත් ත්‍රිවිලර් එකකින් බැස්ස කෙනකුත් කියන්න ගත්තේ ඒ කතාව ඇත්ත. මමත් ඒ සිද්ධිය දැක්කා කියලයි...”

“ඉතින් මටත් කරකියා ගන්න දෙයක් නැති වුණා. ඊට පස්සේ එයාගේ ත්‍රිවිලර් එකේ හැප්පිච්ච තැනත් මට පෙන්නුවා. ඒක හදාගන්න ලොකු ගාණක් යයි කියලත් කිව්වා. ඒ ඇක්සිඩන්ට් එකෙන් වෙච්ච තුවාල කියලා අතකින් ලේ ගලන සීරිම් තුවාල වගයකුත් පෙන්නුවා.”

“තුවාලෙට නම් බෙහෙත් දාගන්නම් කිව්වා. ඒත් වාහනේ හදාගන්න ඕනමයි කිව්වා. ඉතින් අපි පොලිසි යමු කියලා මං කිව්වත් මිනිහා ඇහුවේ නැහැ. ඒවා කරදරයි වැඩේ ඇදි ඇදී යනවා කියලා මිනිහා මගෙන් සල්ලි ඉල්ලුවා. ඒ පාර කීයක් ඕනද ඇහුවාම රුපියල් හාර දාහක් දෙන්න කිව්වා. මම ඒ සල්ලි දුන්නා...එදා මගේ මොන්ටෝරෝ එක ත්‍රිවිලරයේ වැදුණා කියලා මට හිතන්නවත් බැහැ.”

පානදුර පොලිස් වසමේ වලාන වටරවුම , එළුවිල හන්දිය, කිඳෙල්පිටිය මහවිල හන්දිය ආදී ප්‍රදේශවලදීත් මේ ආකාරයටම අතමිට සරු තරමක් වයස්ගත තැනැත්තන්වම තෝරා බේරාගෙන මෙලෙස ඔවුන්ගෙන් මුදල් ගරා ගැනිමේ නිරතව තිබෙන බව පොලිසියට සැක පහළ විය.

පානදුරෙන් එපිට පිළියන්දල පොලිස් වසමේදීත් සැකකරුවන් මේ ආකාරයටම බොරු කරමින් මුදල් කඩා වඩාගත් සිද්ධි වාර්තා විය.

මේ අතරතුර ඒ පිළිබඳ සෙවිල්ලෙන් සිටින පොලිස් අධිකාරීවරයාට පසුගියදා පුද්ගලික ඔත්තුකරුවකුගෙන් ඇමතුමක් ලැබිණි.

“සර් සර්ලා හොයන විදියට වාහන හප්පලා සල්ලි ගරන සෙට් එකේ එකෙක් එළුවිල ඉන්නවා.”

මේ ඔත්තුවට ක්‍රියාත්මක වූ පොලිස් අධිකාරිවරයා ඔහුගේ සෘජු අධීක්ෂණය යටතේ වැටලීම් මෙහෙයවීය. ඒ අනුව පොලිසිය සැක කරුවකු කොටුකර ගත්තේ ත්‍රිරෝද රථයක් ද සමඟිනි.

දිගින් දිගටම පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ දී ඔහුට තව දුරටත් බොරු කියන්නට නොහැකි විය.

“ඔව් සර්. ඒත් මං තනියෙන් නෙමේ තව දෙන්නෙක් එක්කයි කළේ සර්..”

ඒ අනුව සැකකරුවන් කොටු කරගන්නට පානදුර පුරා සැරිසැරු පොලිසියට අනෙත් සැකකරු කොටුවුයේ හෙරොයින් ද සමඟය.

මේ ජාවාරම් වලින් ලද මුදලින් කුඩුත් රැගෙන ඒවා පානයට යමින් සිටියදී පොලිසියට කොටු වූ ඔහු මේ ජාවාමේ නිරත අනෙක් අය ගැන ද පොලිසියට තොරතුරු කීය. ඒ අනුව පානදුර දකුණු පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරි කණ්ඩායමට ඊට සම්බන්ධ සැකකරුවන් තිදෙනාම කොටුකර ගත හැකි විය. ඒ වනවිටත් මොවුන් මාසයකටත් වැඩි කාලයක් තිස්සේ රුපියල් ලක්ෂ ගණනක් මේ ආකාරයට මුදල් කඩාගෙන ඇති බව පොලිසිය කීය.

පානදුරත් පිළියන්දල දෙසටත් හැරුණු මේ සැකකරුවන් තව කලක් ගතවන විට තව තවත් දුර බැහැර ප්‍රදේශ වලදීත් මේ ජාවාරමේ නිරත වන්නට ඉඩ තිබිණ. එහෙත් ඊට කලින් ඔවුන්ව කොටුකර ගැනීම නිසා එය මැඩ පැවැත්වීමට පොලිසියට හැකිවිය.

“අපි කුඩු බොන්න සල්ලි හොයන්නයි සර් මේ වැඩේ කළේ. ඒ ලැබිච්ච සල්ලිවලිනුත් කුඩු බොන එකමයි කළේ. එක්කෙනෙක් ත්‍රිවිලර් එක පැද්දා. පස්සේ ගිය එක්කෙනා ලොකු ලොකු වාහනවල යන වයසක ලොක්කන්ට මොත්තෙ දැම්මා. එයාම තමයි අතේ කැපුම් තුවාල පාරගෙන ලේ පෙරාගෙන ගිහින් ගාණක් ගත්තේ....”

සැකකරුවන් පොලිසියට සියල්ල හෙළි කළේය. මේ ජාවාරමට යොදගත් ත්‍රිරෝද රථ දෙකින් එකක් සැකකරුවකුටම අයත් වුවකි. ඔහු අනතුරකට ලක් වී අතක් ආබාධයට පත්ව සිටියදී කුඩු උරන්නට හුරු වී සිටින තවත් මිතුරන් දෙදෙනකු හමු වූ බවත් එවිට කෙනෙක් කළ යෝජනාවක් අනුව තිදෙනාම එක්ව ත්‍රිරෝද රථ දෙකකින් මේ ජාවාරම කළ බවත් සැකකරුවන් හෙළිකර තිබිණ.

කුඩු උරන්නට හුරු වූ මේ තිදෙනාවම පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ කුඩු ළඟ තබාගැනීම සහ මේ ජාවාරමේ නිරත වූ චෝදනා යටතේය.

පානදුර භාර පොලිස් අධිකාරි මහේෂ් සේනානායකගේ සෘජු අධීක්ෂණය යටතේ පාණදුර ඪඪ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි විජේගුණවර්ධන ගේ උපදෙස් මත පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපති තුෂාර ද සිල්වා ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඩබ්.ඒ.ඒ. සම්පත් සමඟ සැරයන්වරුවන 59368 රංජීත්, 14247 රණසිංහ 10383 අනුර ද කොස්තාපල් 79335 තුෂාර ආදිහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන වල නිතර වුහ.

නුවන් මහේෂ් ජයවික්‍රම