ඝාතන සැලසුම අතේ පත්තු වුණු හැටි

ඝාතන සැලසුම අතේ පත්තු වුණු හැටි

අපරාධයක් සිදුකර කිසිවෙකුටත් සැඟව සිටිය නොහැකි යැයි කතාවක් තිබේ. ඒ නිසා දවසකින් දෙකකින් නැත්නම් මාස අවුරුදු ගණනකින් හෝ අපරාධකරු නීතියේ රැහැනින් බැඳෙනු ඇත. එසේ නොවුණහොත් සොබා දහමින් හෝ ඔහුට දඬුවම් ලැබෙනු නියතය. එසේම අපරාධයක් සිදු කර බැටලු හමක් පොරවාගෙන අහිංසකයකු ලෙස සිටීමට උත්සාහ කළ ද වැඩි කලක් එසේ සිටින්නට කිසිවෙකුටත් ඉඩ ලැබෙන්නේ නැත.

මෙයද එවැනිම කතාවකි.

ඇල්පිටිය පොලිස් කොට්ඨාශයේ ඌරගස්මන්හංදිය පොලිස් වසමට අයත් මිරිස්වත්ත කොබෙයිදූව ප්‍රදේශයේ පදිංචිව සිටි එම්.ඩබ්ලිව් අනුලා මංගලිකා එක් දරු මවක් වූවාය.

යොවුන් වියේදීම ඇතිකර ගත් පේ‍්‍රම සම්බන්ධතාවක් මත ඇය විවාහ වූයේ පොලිස් නිලධාරියකු සමඟය. මේ විවාහයෙන් ඇයට පුතෙකු ලැබුණාය. එහෙත් ඔවුන් නොසිතූ ලෙස කෙටි කලකින් ඔවුන්ගේ විවාහය දෙදරා ගියේය. ඇයගෙන් වෙන්ව ගිය ඔහු වෙනත් විවාහයක් කර ගත්තේය. එහෙත් මසකට දෙකකට වරක් ඔහු මොවුන්ගේ දුක සැප බලා යන්නට පැමිණියේය. ඒ නිසාම දෙදෙනා අතර සුපුරුදු සෙනෙහස හැර වෛරයක් තරහක් තිබුණේ නැත.

පුතාගේ වයස අවුරුදු දහයක් පමණ වෙද්දී රුවන්වැල්ලේ පදිංචිව සිටි සිය වැඩිමහල් සොහොයුරියගේ නිවසේ පුතා නතර කළ අනුලා සොහොයුරියගේ ආධාරයෙන් පුතා මුදුගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කර ගත්තාය. ඉන්පසු සිය ආර්ථිකය සකසා ගන්නට සිතූ අනුලා විදේශ ගත වුවාය. වසර කිහිපයක් ලෙබනන් හි ගෘහ සේවිකාවක් ලෙස රැකියාව කළ ඇය ආපසු පැමිණ කටුවත්ත ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයට ගිය අතර ඒ අතරතුර ඇය නිවෙසක් ද තනා ගත්තාය.

හය දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ ඇය සිය මවද තමන් ළඟට ගත්තේ තිබූ සෙනෙහස නිසාමය. අවුරුදු 80 ක් පමණ වූ මව හදිසියේ රෝගාතුර වීම නිසා මව රැකබලා ගැනීමට අවශ්‍ය බැවින් අනුලා රැකියාවෙන් ඉවත්ව ගෙදර නතර වූවාය. මේ වනවිට ඇගේ පුතා පාසල් අධ්‍යාපනය නිම කොට නිවෙසට වී රැකියාවක් අපේක්ෂාවෙන් සිටි බැවින් ඇය පුතුට රැකියාවක් සොයා ගන්නට ද මහත් වෙහෙසක් ගත්තාය. ඒ සඳහා ඇගේ පිහිටට ආවේ සිය වැඩිමහල් සොහොයුරාගේ දියණිය හා විවාහ වී සිටි අකිලය. ඇගේ පවුලට හිතවත්ව ඉතා සමීපව ඇසුරු කළ අකිල ඔහු සේවය කළ හොරණ සෙරමික් ආයතනයේම අනුලාගේ පුතාට රැකියාවක් ලබා දුන්නේය.

ඔය අතරතුර සේවය කරද්දී වූ අනතුරකින් අතට සිදු වූ ආබාධයක් නිසා අකිලට නිවාඩු දමා ගෙදර සිටින්නට සිදුවිය. අකිලගේ නිවෙස පිහිටා තිබුණේ අනුලාගේ නිවසේ සිට තරමක දුරිනි. මේ නිසා නැන්දාගේ දුක සැප සොයා බලන්නට අකිල නිතර මේ නිවසට යෑම් ඒම් කළේය.

ඒ 2012 ජනවාරි මස පස්වැනිදාය. අකිල එදා රාත්‍රී 9 ට පමණ නැන්දාගේ නිවසට ආවේය.

අකිලගේ වචන වලින්ම කියනවා නම් එම සිදුවීම මෙසේය.

“සිද්ධිය වෙච්ච දවසේ රෑ 9 ට විතර මං නැන්දලාගේ ගෙදරට ඇවිත් කතා කර කර ඉඳල නැන්දගෙන් වතුර වීදුරුවකුත් ඉල්ලගෙන බීලයි ගෙදර ගියේ. මං පිටවෙලා යනවත් එක්කම නැන්දා දොර වහලා ලයිට් නිවනවත් මං දැක්කා.”

“නැන්දලගෙ තාත්තගෙ තාත්තට අයිති ඉඩම් කෑල්ලක් ඉඳුරුව පැත්තේ තියෙනවා. ඒක කීයක් හරි අරගෙන ආච්චිට කියල ලියවල දෙන්න කියල කවුද දෙන්නෙක් ඇවිත් නැන්දට කියලා තියෙනවා. ඊට පස්සේ ඒ අය එදා දවල් කෝල් එකක් දීලත් නැන්දට කියලා තියෙනවා සල්ලි කීයක් හරි අරගෙන ආච්චිගෙ ඇඟිලි අත්සන ගහල දෙන්න කියල. ඒකට එයාල එන්නද කියලත් අහල තියෙනවා. නැන්ද මේ ගැන මට කිව්වා. මේක වටින ඉඩමක් ද දන්නෙ නැහැ මෙච්චර ඉල්ලලා බල කරන්නෙ. මේකෙ විස්තර හොයන්න අපි යමු කියලත් නැන්දා කිව්වා. මං එදා රෑ ආවෙ නැන්දත් එක්ක ඒ ගැන කතා කරන්න. නැන්දා කිව්ව වටින ඉඩමක් නම් අපි ලක්ෂ තුන හතරක් ඉල්ලමු කියල. ඊට පස්සෙ නැන්දා ෆෝන් එකෙන් මට පෙන්නුවා ඒ අය කතා කරපු නොම්මරය. නැන්දා මට කිව්වෙ එයගෙ පුතා විදියට කතා කරල මේ ගැන දැනගන්න කියල. මං ඒ අංකයත් මගේ ෆෝන් එකේ සේව් කරගෙන තමයි එදා රෑ ගෙදර ගියේ. ඊට පස්සෙ රෑ. 12.30 ට විතර තමයි නැන්දට කරදරයක් කියල පණිවුඩය ලැබුණෙ. මං එවලේම ළඟපාත ගෙවල් වලටත් කතා කරවලා මේ මිනීමරුවා කොයි පැත්තට ද ගියෙ කියල බලන්න උත්සාහ කළා. සමහර ගෙවල්වල අය එළියට බහින්නත් බය වුණා මේ සිද්ධිය අහලා.”

කෙසේ නමුත් එදින අනුලා මංගලිකා සිය වයස්ගත මවත් සමඟ නිවසේ නිදා සිටියදී රාත්‍රී 12 ට පමණ ඇයගේ සිරුර පසාරු කරගෙන යන සේ පිහි පහරවල් අටක් එල්ල කර ඝාතකයා පලාගොස් තිබුණි. අසල්වැසියන් හා ඥාතීන් එක්ව එවලේම ඇය නාගොඩ රෝහලට රැගෙන ගියත් ඇය මිය ගොස් තිබුණාය.

මේ අබිරහස් මරණය පිළිබඳ දැනගන්නට කිසිදු සාක්ෂියක් ඝාතකයා ඉතිරි කර ගොස් තිබුණේ නැත.

පිහි කොපුවක් වැනි දෙයක් දමා ගොස් තිබුණ ද එදින පැවති වරුසාව නිසා පොලිස් සුනඛයන්ටද ඉව සොයා ගැනීමට නොහැකි විය. මේ නිසාම මෙම ඝාතකයා කවුදැයි සෙවීම දවසින් දවස කල් ගියේය.

මේ අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සතිස් ගමගේ මහතාගේ අධීක්ෂණයෙන් ගාල්ල පොලිස් ස්ථානයේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ චින්තක පනාවල ඇතුළු නිලධාරීන්ට ෙමි පරීක්ෂණ කටයුතු භාර වූයේ ඉන් පසුවය.

අවසන් වරට මේ නිවෙසට ගිය පුද්ගලයා අකිලය. පොලිසියට සහාය වූයේද ඔහුය. අනුලාගේ අවමංගල්‍ය කටයුතු වලදී වැඩියෙන්ම වෙහෙස මහන්සි වී කටයුතු කළේද ඔහුය. මේ නිසා ඔහු ගැන කිසිවකු සැකයක් ඇති කර ගත්තේ ද නැත. එහෙත් මේ පොලිස් කණ්ඩායම තොරතුරු සොයා ගෙන යද්දී අකිල ගැන ද සැකයක් ඇති විය. ඒ නිසා ඔහුගේ ජංගම දුරකථනයෙන් ලබාගත් පණිවුඩ, ලැබුණ පණිවුඩ හා ඒවාට සම්බන්ධ දුරකථන අංක සොයා ගනිමින් විද්‍යාත්මක හා නවීන උපක්‍රම භාවිත කරමින් නිලධාරිහු තොරතුරු එක් රැස් කළහ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ බවට සැක කරන සේපාල නමැති අයකු අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. දිගින් දිගටම ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී පොලිසියට මංගලිකා ඝාතනයේ සුලමුල සොයා ගන්නට පොලිස් කණ්ඩායමට හැකි විය.

අකිලත්, සේපාලත් සේවය කළේ එකම ආයතනයකය. සේපාල යුද හමුදාවෙන් පලා ආ අයෙකි. දෙදෙනා මෙය සැලසුම් කළේ අනුලා මරා දමන්නට නොව ඇය සතුව තිබූ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා රන් භාණ්ඩ පැහැර ගන්නටය. ඒ අනුව එදා රෑ අකිල නැන්දලාගේ ගෙදර ආවේ සේපාල සමඟය. නැන්දා හා කතා කරමින් සිටින අතර අකිල නැන්දාගෙන් වතුර ඉල්ලීය. වතුර වීදුරුවක් ගෙන එන්නට නැන්දා ගෙතුළට ගිය ඇසිල්ලෙන් එතෙක් එළියේ සැඟව සිටි සේපාල නිවසේ ඉදිරිපස කාමරයට රිංගා සැඟවුණේය. අකිල ගෙදරින් නික්ම යාමෙන් පසු අනුලා නිදාගන්නට කාමරයට ගියාය. විදුලි බල්බය දල්වාගෙන නින්දට යාම ඇය පුරුද්දක් ලෙස කරගෙන ගියාය. සැඟව සිටි සේපාල රාත්‍රී 12.00 ට පමණ දැල්ව තිබූ විදුලි බුබුල නිවා දමන්නට ගියේ ගෙදර ඇති රන් ආභරණ ටික පැහැරගෙන යන්නට හැකි යැයි සිතූ නිසාය. එහෙත් ඒ සමඟම අවදිවුණු අනුලා කෑගසන්නට වූවාය. ඉන් බියට පත් වූ සේපාල එය නතර කරන්නට නොහැකි වූ තැන එතෙක් ඉනේ සඟවාගෙන සිටි පිහිය අනුලාගේ සිරුර පසාරු කරගෙන යන ලෙස යැව්වේ ඇගේ හඬ නිහඬ කරන්නටය. වැඩේ වැරදුණ බව සේපාලට වැටහුණේ නිදා සිටි අනුලාගේ මවද කෑගසමින් අවදි වීම නිසාය. සේපාල පිටුපස දොර ඇරගෙන එළියට පැන්නේ ඉන් පසුවය. ඔහු ජංගම දුරකථනයෙන් කතා කොට සිදු වූ ඇබැද්දිය අකිලට කීවේය.

“එහෙනම් වැඩේ පත්තුවෙන්න කලින් උඹ පාරට ගිහින් තුනේ බස් එකේ ගෙදර පලයං”

එසේ කියූ අකිලට නැන්දාට වූ ඇබැද්දිය ගැන ආරංචිය එසැණින් ලැබුණේය. වහා එහි දිව ගිය අකිල ඥාතීන්ගේ උදව් ඇතිව අනුලා රෝහලට පිටත් කර යැවීය. සිදු වූ දෙයින් අසල්වාසීහු ද බියටපත්ව සිටියහ. මේ අතරතුර අනුලා සතුව තිබූ සියලු රන් ආභරණ එකතු කරගත් අකිල ඒවා ගෙදරට ගෙන ගොස් සඟවා තබන්නට සමත් විය.

සේපාලගෙන් සියලු විස්තර දැනගත් පොලිසිය අකිල මිරිස්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගතතේය. ඒ වනවිට අකිල බේරුවල හා අළුත්ගම ප්‍රදේශයේ කඩ කිහිපයකට උකස් තබා තිබූ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා රන් භාණ්ඩ ද පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට ගිය බිහිසුණු අපරාධයක සුලමුල මෙසේ හෙළි කරගන්නට හැකි වූයේ පොලිසියේ උනන්දුව හා උත්සාහය නිසාය.

කොතරම් සූක්ෂම ලෙස සැලසුම් කර මෙම අපරාධය සිදු කළ ද අපරාධයක් කර කිසිදා සැඟව සිටිය නොහැකි බව මින් වටහා ගත යුතුය.

අයි.එම්.වි.සි. ගුණසේකර

ඇල්පිටිය සමුහ