නිශාන්ත මැරූ ඝාතකයන් නිදැල්ලේ

නිශාන්ත මැරූ ඝාතකයන් නිදැල්ලේ

රද්දොළුගම බයිටාගේ ඝාතනයට සැක කෙරෙන ජොන්නා සහ එළුමල්ලී කොටු කරගැනීමට සීදුව පොලිසියට තවම හැකි වී නැත.

රද්දොළුගම නිසංසල මාවතේදී ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසුව ජොන්නාගේ පිහි ඇනුමට ලක් වූ බවට සැක කෙරෙන බයිටා නමින් රද්දොළුගම තරුණයන් හුඟ දෙනෙකු ආදරයට හැඳින් වූ මියගිය තරුණයා ජයවීර ආරච්චිගේ නිශාන්ත කුමාරය. 35 හැවිරිදි අවිවාහකයකු වන නිශාන්ත කුමාර වසර නවයක් කොරියා රටේ සේවයේ නියුතුව සිට මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි අයෙකි.

මෙරටට පැමිණීමෙන් අනතුරුව නිමි ඇඳුම් අලෙවි කිරීමේ ව්‍යාපාරයක හෙතෙම නිරතව සිටියේය. නිශාන්ත සහ සැකකරුවන් අතර ගැටුම ඇති වී තිබුණේ පසුගිය ඔක්තෝබරය අගදීය. නිසංසල මාවතේ නිශාන්තගේ නිවෙසට පෙනෙන මානයේදීම සිදු වූ ඒ සිද්ධියට නිශාන්තගේ මව වන හේමමාලි ද මැදිහත් වන්නේ පුුතා බේරා ගැනීමේ අදහසින්ය.

“එදා ඔක්තෝබර් 29වැනි ඉරිදා දවසක්. වෙලාව සවස හතරට විතර ඇති. අපේ ගෙදරට එන නිසංසල මාවතට සුදුපාට කාර් එකක් එනවා පෙනුණා. ඒ වාහනේ ආවේ කාලයක් තිස්සේම අපිත් එක්ක පාරට ආරවුල් තියෙන අල්ලපු ගෙදරට.“

“ඊට මිනිත්තු 45කට විතර පස්සේ නිශාන්ත පුතා සිගරැට් එකක් ගේන්න යනවා කියාගෙන පාර පැත්තට ගියා. ඒ වේලාවේම අල්ලපු ගෙදරට ඇවිත් තිබුණු කාර් එකත් ස්ටාර්ට් කරගෙන ඒ පාර පැත්තටම යනවා පෙනුණා. ටික වේලාවකින් ඒ පැත්තෙන් කෑකෝ ගහන සද්දයක් ඇහුණා. මං ඒ මොකද්ද කියලා දොරකඩට ගිහින් බැලුවා.”

“එතකොට පුතාට කවුද දෙන්නෙක් ගහනවා දැක්කා. එක්කෙනෙක් ගේ අතේ හෙල්මට් එකක් තිබුණා. එයා ඒකෙන් මගේ පුතාට ගැහුවා. මං මැදට පැනලා පුතාව අයින් කරගන්න හැදුවා. ඒ වෙලාවේ මටත් හෙල්මට් පහරවල් පහක් විතර වැදුණා. මං ඒ පාරවල් කාගෙනම පුතාව බේරගන්න හැදුවා. එතකොටම කෙනෙක් පිහියක් අරන් පිටිපස්සෙන් ඇවිත් පුතාට ඇන්නා....”

නිශාන්තට පිහියෙන් ඇන්න ආකාරය සියැසින් දුටු සාක්ෂිකාරියක වන ඔහුගේ මව සිද්ධිය විස්තර කරන්නේ එසේය.

මේ සිද්ධියෙන් පසුව බරපතල තත්ත්වයෙන් සීදුව සහ රාගම රෝහල්වලට ඇතුළත් කළ නිශාන්ත රාගම රෝහලේදී අන්තිම හුස්ම පිටකරන්නට කලින් පොලිසියට සිද්ධිය විස්තර කොට තිබිණි. නිශාන්තගේ මරණසන්න ප්‍රකාශයට අනුව ද ඔහුට පහරදී පිහි ඇනුම සිදු කළේ එළු මල්ලී සහ ජොන්නාය. එහෙත් ඒ මොහොතේ පටන්ම රද්දොළුගමේම පදිංචි මේ සැකකරුවන් දෙදෙනාම ගම හැර පලා ගොස් සිටියහ.

කලක සිට පාරට සම්බන්ධ ඉඩම් හබයක් අසල්වාසීන් සමඟ තිබු නමුත් ජොන්නා සහ එළු මල්ලි සමඟ මියගිය බයිටා ඇතිකරගත් ආරවුලට එය සම්බන්ධදැයි සොයාගැනීමට පොලිසිය තවමත් විමර්ශන සිදුකරගෙන යයි. එසේම මේ බහින් බස් වීම ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග යන විට සැකකරුවන් පැමිණි මෝටර් රථයේම තිබුණු පිහියකින් නිශාන්තට ඇනීම නිසා සැකකරුවන් සැලසුම් සහගතව මේ මිනීමැරුම සිදු කළේ ද යන්නත් විමර්ශන කණ්ඩායම්වල අවධානයට ලක්ව ඇත.

උදර ප්‍රදේශයට ඇනුණු පිහි පහරවල් වල බරපතලකම නිසා නිශාන්ත මරණයට පත් වූ බව හඳුනා ගනු ලැබුවේ පසුගියදා ඒ සම්බන්ධයෙන් රාගම රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදීය. මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය මත රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු පැවැත් වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදි තියුණු ආයුධයකින් ඇනීම හේතුවෙන් සිදු වූ තුවාල නිසා සිදුවුවක් බවට නිගමනය කෙරිණි.

ඒ අනුව මෙය මිනී මැරුමක බවට නිගමනය කරගත් නිශාන්තගේ මරණයට හේතු වූ ගැටුම සිදු වූ අපරාධ ස්ථානය මීගමුව අපරාධ ස්ථාන පරීක්ෂණගාරයේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කළ ද සැකකරුවන් අපරාධයට යොදාගත් තියුණු ආයුධය රැගෙන පලාගිය බවක් මිසෙක එම ආයුධය හෝ සැකකටයුතු කිසිවක් හමු වී නැත.

මින් පෙර ජොන්නා සහ එළු මල්ලී සමඟ මියගිය නිශාන්ත මේ ඉඩම් ආරවුල මුල්කරගෙන ගැටුම් ඇති කරගත් බව දැන ගැනීමට ද නැත. ටික කලෙකට කලින් අසල්වාසින් සමඟම නිවෙසට පැමිණෙන මඟ මුල්කොටගෙන පැවැති ආරවුලකදී ඊට අවහිරවන ගේට්ටුවක් නිශාන්ත කඩා දැමු බව කියන සිද්ධියට ද අසල්වාසීන් මිසෙක මේ සැකකරුවන් දෙදෙනා ගෑවී ඇති බවක් දැන ගැනීමට නැත. එයත් එසේ නම් ඇතැම් විට එවේලේ ඇති වූ බහින් බස් වීමක් මේ අන්දමට මිනීමැරුමකින් කෙළවර වුවා වන්නටත් පුළුවන. එහෙත් ඒ පිළිබඳ නිශ්චිතවම කිව නොහැක්කේ තවමත් පොලිස් විමර්ශන හරහා ඒ පිළිබඳ අනාවරණය වී නැති හෙයිනි.

මේ පිළිබඳ මියගිය නිශාන්තගේ මව වන හේමමාලි මහත්මියගෙන් අප කළ විමසීමේදී ඇය හෙළි කළේ පුතුගේ මරණයට වගකිවයුත්තන් තව ම නිදැල්ලේ සිටින බවය. පුතු කුඩා කාලයේදීම සැමියා මිය ගිය බවත් එතැන් පටන් අනන්ත දුක් විඳිමින් ලොකු මහත් කළ එකම දරුවාව දෑස් ඉදිරිපිටම මරා දැමු මේ අපරාධය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශන ද මන්දගාමී බව පෙනෙන බවත් ඇය වැඩිදුරටත් කියා සිටියි. තවත් කල් ගතවන්නට ඉඩ නොදී නීතියේ රැහැනට ඔවුන් කොටුකරගන්නා මෙන් පොලිස් ප්‍රධානින්ගෙන් ඉල්ලා සිටින බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

රද්දොළුගම භාර සහකාර පොලිස් අධිකාරි රිෆාඩ් මහතාගේ උපදෙස් මත සීදුව පොලිසියේ ස්ථානාධිපති බී.එම්. එම්. වික්‍රමසිංහ ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වීරතිලක සමඟ උප පරීක්ෂක විජේරත්න ද සැරයන් 41372 විමලසේන සහ කොස්තාපල්වරුවන 60302 මංජුල, 23186 ජයලත් ආදිහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වමින් සිටියහ.

නුවන් මහේෂ් ජයවික්‍රම