අම්මයි පුතයි මරා පවුම් 16 ක් ඉස්සු හිටපු කොටි සාමාජිකයා හා ත්‍රිවිලර් රියදුරා දැලේ

අම්මයි පුතයි මරා පවුම් 16 ක් ඉස්සු හිටපු කොටි සාමාජිකයා හා ත්‍රිවිලර් රියදුරා දැලේ

තිරිවන් මධුවන්ති පදිංචිව සිටියේ මඩකලපුව එරාවුර් මුරුගන් කෝවිල පාරේ සවුත්කඩේ ගම්මානයේය. ඇය විසි හය හැවිරිදිය. ඇය ජීවත් වුයේ දොළොස් හැවිරිදි පුතා මධුෂාන් ද සමඟය. ඇගේ සැමියා සිටියේ විදේශ ගතවය. මසකට වරක් ඔහු ගෙදර වියදමට මුදල් එව්වේය. ඒ නිසා ආර්ථික අපහසුතාවයකින් තොරව ඇය සිය පුතා සමඟ සතුටින් කාලය ගත කළ අතර සැමියා එවූ මුදල්වලින් රන් ආභරණ හා ගෙදරට අවශ්‍ය බඩු බාහිරාදියද මිලයට ගැනීමට ඇයට හැකි වුවාය.

කාලය මෙසේ ගෙවී ගියේය. රාමසාන් උත්සවය සැමරීමට ඇයට අවශ්‍ය විය. එහෙත් වෙනදා වියදමට එවන මුදල සැමියා ඇයට මෙවර එව්වේ නැත. රාමසන් උත්සවයට අවශ්‍ය බඩු ගන්නට අම්මාද ඇගෙන් අතමාරුවක් ඉල්ලා සිටියාය. ගෙදරට බඩු ගන්නටත් පුතාට ඇඳුම් ගන්නටත් මුදල් අවශ්‍යය. කරන්නට දෙයක් නැති තැන ඇය කනකර කිහිපයක් උගස් කරන්නට තීරණය කළාය. ඒ සැමියා මුදල් එවු පසු ඒවා බේරා ගැනීමේ අදහසින්ය. ඒ සඳහා එරාවුර් නගරයට යා යුතුය. සවුත්කඩේ ගම්මානයේ සිට එරාවුර් නගරයට කිලෝමීටර් තුනක් පමණ යා යුතුය. ඒ වෙනදාට ඇය නගරයට යන්නේ සිල්වෙස්ටර්ගේ ත්‍රිවිලරයෙන්ය. ඔහු පදිංචිව සිටින්නේ ද ඇගේ නිවෙසට මඳක් යාබදවය. ඒ නිසා ඇය ගමනක් බිමනක් ගියේ සිල්වෙස්ටර්ගේ ත්‍රිරෝද රථයෙනි.

ගෙදරින් පිටව යද්දී කනකර අභරණ ගෙලේ අතේ පැළඳගෙන යෑම ඇය පුරුද්දක් කරගෙන තිබුණාය. එදා ද ඇය නගරයට ගියේ රන් අභරණ පැළඳගෙනය. තව රන් ආභරණ දෙක තුනක් අතේ බෑගයේ දමා ගත්තේ උගස් කරන්නටය.

මධුවන්තිගේ මව සිල්ලර කඩයක් පවත්වාගෙන ගියාය. අම්මා ඇගෙන් මුදල් ඉල්ලා තිබුණේද රාමසාන්වලට විකුණගන්නට කඩයට අවශ්‍ය බඩු ටික ගන්නටය. සිල්වෙස්ටර් සමඟ ත්‍රිවිරයෙන් එරාවුර් නගරයට ගිය මධුවන්ති රන් බඩුද උගස් කොට මුදල් ගෙන යළි නිවෙසට ආවාය. පොරොන්දු වූ හයර් එකේ මුදල් දී සිල්වෙස්ටර් පිටත්කර යැව්වාය.

“කෝ අම්මේ මගේ ඇඳුම්”

නිවෙසට පැමිණි මධුවන්තිගෙන් පුතා ඇහැව්වේ රාමසාන් දවසට අඳින්නට අලුත් වේට්ටියක් ගෙන එන බවට ඇය ඔහුට පොරොන්දුව සිටි නිසාය. එහෙත් මධුවන්ති පුතාට වේට්ටියක් ගෙනාවේ නැත. ඒ එහි මිල අධික වූ නිසාය. මින් සිත් තැවුලට පත් පුංචි මධුෂාන් අම්මාත් සමඟ තරහ වී ඊට යාබද පදිංචි ලොකු අම්මාගේ නිවෙසට ගියේය.

රාත්‍රි කෑමද පිසූ මධුවන්ති පුතා කොයි මොහොතේ හෝ රෑට ගෙදරට එන බව දැනගෙන අවදියෙන් සිටියාය. ලොකු අම්මාගේ ගෙදරට ගියද මධුෂාන්ට අම්මා නැතිව සිටීමට නොහැකි විය. කළුවර වැටීගෙන එද්දී ඔහු යළි තනිව සිටින මවගේ ගෙදර ආවේය. ඒ ඔහුගේ ඉරණම් ගමන බව පුංචි මධුෂාන් කිසිවිටෙකත් නොසිතන්නට ඇත.

රාත්‍රී ආහාරය ද ගත් මව හා පුතු මදුරු දැලද ඇඳට එළාගෙන නින්දට ගියහ.

රාමසාන් උදාවිය. හතර වටින් එළිය වැටෙද්දී සවුත්කඩේ ගම්මානයේ පදිංචි වුවෝ රාමසාන් සමරන්නට ලක ලැස්ති වුහ. එහෙත් ලැබු ආරංචියකින් ඔවුහු අන්ද මන්ද වුහ.

“මධුවන්තියි පුතාවයි ගේ ඇතුළේ මරලා දාලා.”

සිද්ධියෙන් මුළු ගම්මානයම භීතියෙන් ඇළලී ගියේය. කවුරුත් මධුවන්තිගේ නිවෙසට දිව ආහ. රාමසාන් අසිරිය ගමෙන් පහව යන්නට විය. මධුවන්ති ගේ මව හා ඥාතින් අපරාධය දැක විලාප දෙන්නට වුහ.

සිද්ධිය එරාවුර් පොලිසියට සැළවිමත් සමඟ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් සවුත්කඩේ ගම්මානයට පැමිණි පරීක්ෂණ ආරම්භ කළේය. මධුවත්ති හා මධුෂාන් නිදි ඇඳේම මරා දමා තිබිණි. ඇඳට එළා තිබු මදුරු දැල ගලවා ඉවතට විසි කර ඇත. විමර්ශන ඇරැඹු පොලිසිය දුටුවේ වහලයේ උළු ගලවා ඇති බවය. ඒ අනුව ඝාතකයා හෝ ඝාතකයන් එතැනින් මධුවනිත්ගේ නිවෙසට ඇතුළුවන්නට ඇතැයි පොලිසිය සැක කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මධුවන්තිගේ මව ගෙන් හා සොහොයුරියන්ගෙන් ද පොලිසිය ප්‍රශ්න කළේය.ඒ මධුවන්ති මරා දැමීමට හේතු වූ කරුණු කාරණා සොයා ගන්නටය. එහිදී හෙළි වුයේ මධුවන්ති නිතරම රන් ආභරණ පළඳින බවත් ඇය සතුව පවුම් 35ක් පමණ රන් අභරණ ඇති බවත්ය. ඒ අතරතුර පොලිසියට දැන ගන්නට ලැබුණේ ඇය රන් අභරණ කිහිපයක් උගස් කොට මුදල් ද එදින නිවෙසට රැගෙන ආ බවය. ඒ අනුව පොලිසිය සැක කළේ රන් අභරණ හෝ මුදල් ලබාගැනීමේ චේතානාවෙන් කිසිවකු විසින් ඇය මරා දමන්නට ඇති බවය. ඇගේත් පුතුගේත් ඝාතනවලට වෙනත් කිසිදු හේතුවක් නැති බව පොලිසිය නිගමනය කළේය. ඝාතකයා මධුවන්ති සතුව තිබු රන් ආභරණ පැහැරගෙන ගියද ඇය එදිනෙදා වියදමට තබාගත් රුපියල් විසිදහසක් සහ ඇගේ ජංගම දුරකථනය බහා තිබු ටින් එක එලෙසම තිබුණේ ඝාතකයා එය නුදුටු නිසා වන්නට ඇතැයි පොලිසියේ සැකය විය.

සිද්ධිය උසස් පොලිස් නිලධාරින් වෙත දැනුම් දෙනු ලැබීය. නියෝජ්‍ය පොලිස්පති ජාගොඩ ආරච්චි කොට්ඨාස බාර පොලිස් අධිකාරි සමන් යටවර හා සහකාර පොලිස් අධිකාරි කීර්ති දයානන්දගේ උපදෙස් මත එරාවුර් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කළේය. ඒ අනුව සොකෝ නිලධාරිහු ඇඟිලි සලකුණු නිලධාරිහු හා නිලසුනඛයා ද සිද්ධිය වූ ස්ථානයට කැඳවනු ලැබුහ.

මෙම විමර්ශනයේදී සවුත්කඩේ වෙරළබඩ ගම්මානයට නුදුරු කැළෑවක තිබී ලේ තැවරුණු පොරොවක් සොයා ගැනීමට පොලීසියට හැකි විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශනය කළ එරාවුර් පොලිසිය සැකපිට කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළද ඔවුන්ගෙන් කිසිදු හෝඩුවාවක් ලබාගැනීමට පොලීසියට නොහැකි විය. අවසානයේ කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් යටවර මහතා විසින් මේ පිළිබඳ විමර්ශන මඩකලපුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ද පැවරිය. එහි ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස්පරීක්ෂක වහාබ් ඇතුළු නිලධාරීන් සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරඹුවේ එතැන් පටන්ය.

“ඉන් පස්සේ අපි තොරතුරු හෙව්වා. අපිට තොරතුරක් ලැබුණා පුෂ්පරාජන් කියලා කෙනෙක් ගැන. එයාගේ මස්සිනා රූබන්. එයාගේ නංගි තමයි පුෂ්පරාජන් බැඳලා ඉන්නේ. රූබන් බැඳලා ඉන්නේ ගමේ කාන්තාවක්. පුෂ්පරාජන්ගේ උපන්ගම කල්මුණේ කෝමාරි වල. යාපනේ ලොකු අම්මාගේ ගෙදර ඉඳන් තමයි ඉස්කෝලේ ගිහින් තිබුණේ. එයා අටේ පන්තියේදී එල්.ටී.ටීයට බැඳෙනවා. පස්සේ පුනරුථාපන වෙලා ඇවිල්ලා වෙනත් වරදකට හිරේ අවුරුදු හතක් ඉඳලා එළියට ඇවිත් කොඩිකාමම්වල කෙල්ලෙක් බැඳලා එහේ පදිංචි වෙනවා. ඒත් මිනිහා රූබන්ගේ ගෙදරට යනවා එනවා. රූබන් කරන්නේ මුහුදු රස්සාව. ඊට කලින් රූබන් වෙළෙඳාම් කළා. ඒකට බඩී ලොරියක් අරගෙන තිබුණා. පොල් බිස්නස් එකකින් රූබන්ට පාඩු වුණා. බඩී ලොරියට ෆිනෑන්ස් ගෙවා ගන්න අමාරු නිසා රූබන් ඒක පුෂ්පරාජන්ට දීලා තිබුණා. ෆිනෑන්ස් ගෙවා ගෙන කීයක් හරි හම්බ කර ගනින් කියලා. ඊට පස්සේ පුෂ්පරාජන් පොල් බිස්නස් එක පටන් ගත්තා. ඒ නිසා පුෂ්පරාජන් නිතරම යාපනයේ ඉඳලා එරාවුර් වල රූබන්ගේ ගෙදරට යනවා එනවා...”

අපිට ලැබුණු තොරතුර අනුව අපි පුෂ්පරාජන් හොයාගෙන ගියා.”

පොලිස් පරීක්ෂක වහාබ් ඝාතකයන් කොටු කර ගැනීමේ මෙහෙයුම ඇරැඹි ආකාරය විස්තර කළේ එළෙසය.

ඒ අනුව කොට්ඨාස විමර්ශන නිලධාරිහු පුෂ්පරාජන් සොයා යාපනයට ගියහ. ඒ අතරතුර ඔවුන්ට තවත් තොරතුරක් ලැබිණි. ඒ පුෂ්පරාජන් තල්අඩි බස් නැවතුමේ බසයක් එන තුරු සිටින බවය. වහා එතැනට ගිය නිලධාරින් පුෂ්පරාජන් කොටුකර ගත්තේ කිසිදු වෙහෙසකින් තොරවය.

පසුව මඩකලපුව කොට්ඨාශ අපරාධ විමර්ශනයට පුෂ්පරාජන් රැගෙන ආ නිලධාරින් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරිමේදී මධුවන්තිත් ඇගේ පුතු මධුෂානුත් මරා දැමීමේ සුලමුල අනාවරණය කරගැනීමට හැකි විය. ඔහුගේ ප්‍රකාශ මත මධුවන්ති සමඟ ගමන් බිමන් යන එරාවුර් සවුත්කඩේ පදිංචි සිල්වෙස්ටර් නමැති ත්‍රිරෝද රියැදුරා කොටුකර ගැනීමට පොලිසිය සමත් විය.

යාපනයේ කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි පුෂ්පරාජන් සිය මස්සිනා වූ රූබන් ගේ ගෙදරට යන එන විට සිල්වෙස්ටර් සමඟ කතා බස්කර ඇත. ආගිය තොරතුරු විමසමින් පුෂ්පරාජන් ඔහුට පවසා ඇත්තේ කුමන හෝ ක්‍රමයකින් මුදල් ටිකක් සොයාගත යුතු බවය. එහිදී පුෂ්පරාජන් සිල්වෙස්ටර්ගෙන් විමසා ඇත්තේ සවුත්කඩේ ගම්මානයේ අතමිට සරු පිරිමි නැති ගෙවල් ගැනය. එහිදී සිල්වෙස්ටර් ඔහුට එවැනි පුද්ගලයන් ගේ නම් කිහිපයක් පවසා ඇත. ඒ අතර මධුවන්ති ගැන ද සිල්වෙස්ටර් පුෂ්පරාජන්ට පවසා තිබේ.

“ඒකි ගාව රත්තරන් තියෙනවා. පාරේ යනකොටත් කනේ කරේ රත්තරන් දාගෙන යන්නේ. මිනිහා ඉන්නෙත් රට. මිනහා සල්ලි එවනවා. ඒකියි පුතයි විතරයි ගෙදර ඉන්නේ. ගමනක් යනකොට යන්නේ මාත් එක්ක විතරයි. උඹට ඕන නම් මට එකිගේ ගෙදර පෙන්නන්නම් ඒ ගෙදරට ගේමක් දෙන්න පුළුවන්”

සිල්වෙස්ටර් පුෂ්පරාජන්ට මධුවන්ති ගැන විස්තර පවසා ඔහු ද ත්‍රිවිලරයේ රැගෙන ගොස් මධුවන්තිගේ නිවෙසද පෙන්නා තිබේ. ඒ මධුවන්ති ඝාතනයට සතියකට පමණ කලින්ය.

ඒ අනුව මධුවන්තිගේ නිවෙසට ඇතුළු වී ඇය සතුව ඇති රන් අභරණ හා මුදල් පැහැර ගැනීමේ සැලසුම සකස් කරන්නේ පුෂ්පරාජන්ය. ඒ අනුව ඔහු කොඩිකාමම් සිට එරාවුර් එන්නේය. ඒ දහසය වනදාය එහිදී සිල්වෙස්ටර් හමුවන ඔහු මධුවන්ති ගේ නිවෙසට ඇතුළු වන ආකාරය ගැන සිල්වෙස්ටර්ගෙන් විමසන්නේය.

“ඒකි අදත් මගෙත් එක්ක එරාවුර් වලට ආවා. ඇවිත් රත්තරන් බඩු වගයක් උගස් කරලා සල්ලි ගත්තා. ඒ සල්ලිත් ගෙදර අල්මාරියේ ඇති”

සිල්වෙස්ටර් සිය මිතුරාට එදින උදෑසන මධුවන්ති සමඟ ගිය ගමන ගැනද කියන්න විය. මින් තවත් සතුටට පත්වුණු පුෂ්පරාජන්ගේ අදහස වුයේ ඒ මුදලද සොරා ගැනීමය. කතා බහ කරගත් පරිදි දාහත් වනදා රාත්‍රියේ මධුවන්ති ගේ නිවෙසට යාමට සිල්වෙස්ටර් ද කැමති විය. ඒ සොරාගන්නා ලද රන්බඩුවලින් කොටසක් ඔහුට දෙන පොරොන්දුව මතය.

දාහත් වනදා රාත්‍රිය උදාවිය. සිල්වෙස්ටර් සිය ත්‍රිරෝද රියෙන්ම ගොස් පුෂ්පරාජන්ව හමුවිය. පුෂ්පරාජන් ත්‍රිවිලරයට ගොඩවුයේ පොරොවක් හා ලණුවක් ද රැගෙනය.

“කළුවර පැත්තෙන් යමු නැත්තම් කවුරු හරි දකීවි”

පුෂ්පරාජන් අතරමඟදී සිල්වෙස්ටර්ට කීවේය. ඝන අඳුර ඔවුන්ට ගෙන ආවේ සතුටකි. හීන් සිරුවේ ඉදිරියට ඇදුණු ත්‍රිරෝද රිය මධුවන්තිගේ නිවෙස අසල නතර විය. රැහැයියන්ගේ ඝෝෂාව හැරෙන්නට වෙන කිසිදු ශබ්දයක් නොවිය. බොහොමයක් නිවෙස් වල විදුලි ලාම්පු නිවා දමා තිබිණි. සෑම නිවෙසකම දොරගුළු දමා ඇත. එක එක ළඟ ජනාවාස නොපවතින සවුත්කඩේ ගම්මානයට පිවිසෙන්නටත් ඉන් පිටවන්නටත් මං මාවත් බොහොමයක් ඇත.

පොරොව හා ලණුව අතට ගත් පුෂ්පරාජන් ත්‍රිවිලරයෙන් බැසගත්තේය.

“උඹ පිටිපස්සේ දොර ගාව ඉඳපන්. මම වහලෙන් ගේ ඇතුළට බහින්නම්.”

පුෂ්පරාජන් සිල්වෙස්ටර්ට කීවේය.

“හරි පරිස්සමින් පලයන්.”

සිල්වෙස්ටර්ගේ වචනයත් සමඟ හිතට හා ගතට ශක්තිය ගත් පුෂ්පරාජන් මධුවන්තිගේ නිවසේ වහල උඩට නැග උළු කැට කිහිපයක් අයින් කොට ලණුවේ ආධාරයෙන් ගෙය තුළට බැස්සේය.

සාලයට පිවිසි පුෂ්පරාජන් ගේ දෙනෙත් ඉන්පසු දිවගියේ මධුවන්ති කොහේද යන්න දැන ගැනීමටය. ඒ වන විටත් සිය දරුවා සමඟ නිදා සිටි ඇයට පුෂ්පරාජන්ගේ පැමිණීම කිසිලෙසකින්වත් ඇහුණේ නැත. මාරයාගේ හෝරාව එළැඹිණි. පුෂ්පරාජන් මධුවන්තිගේ කාමරයට ඇතුළු විය. හීන් සිරුවේ ඇය නිදා සිටි ඇඳ ළඟට ගිය ඔහු ඇය දෙස තීරණාත්මක බැල්මක් හෙළීය. ඇය මර නින්දේය. ඒ සැණින් පොරොව අතට ගත් පුෂ්පරාජන් කිසිදු හිතක් පපුවක් නැත්තකු සේ වැරෙන් පහරක් මධුවන්තිගේ හිසට එල්ල කළේය. ඇගෙන් නැගුණේ සිහින් කෙඳිරිලි හඬක් පමණි. දෙවෙනි පොරෝ පහර ඇය අසලම මුනින් අතට නිදා සිටි පුතාට එල්ල කෙරිණි. දෙදෙනාම නිදි ඇඳ මතම මරු වැළඳ ගත්හ.

සියල්ල හරිය. පුෂ්පරාජන් ගේ ඊළඟ අරමුණ වුයේ ඇය සතු රන් ආභරණ හා මුදල් සොරා ගැනීමය. නිවසේ සිටියවුන් ඝාතනය වීමත් සමඟ පුෂ්පරාජන් නිවෙස තුළ ඒ මේ අත ගියේය. අල්මාරිය දෙසට ගිය ඔහු එය විවර කොට එතැන තිබු රන් ආභරණ සියල්ල ගෙන සාක්කුවේ දමා ගත්තේය. ඉන් අනතුරුව නිවසේ පිටුපස දොර විවර කළ ඔහු පිටත සිටි සිල්වෙස්ටර්වද නිවෙස තුළට කැඳවා ගත්තේය. සිල්වෙස්ටර් ද ඒ මේ අත යමින් අතට හසු වූ දේ පැහැර ගත්තේය.

“වරෙන් යමු.”

පුෂ්පරාජන් ගේ අණට කීකරු වූ සිල්වෙස්ටර් ත්‍රිවිලරයට නැගි යළි එය පණ ගැනවීය.

“වැඩේ හරි.... මම මේවා ටික උගස් කරලා උඹේ කොටස දෙන්නම්.”

යන අතරතුර පුෂ්පරාජන් සිල්වෙස්ටර්ට කීවේය. පුෂ්පරාජන් ගේ නියමය පරිදි ලඳු කැලෑවකට ගෙනගිය පොරොව විසිකර දැමිය. ඉන්පසු සිල්වෙස්ටර් සිය ගෙදරට ගිය අතර පුෂ්පරාජන් මස්සිනා වූ රූබන්ගේ නිවෙසට ගියේය.

පසුදා පහන්විමටත් කලින් අවදි වූ පුෂ්පරාජන් මස්සිනාටද නොදන්වා පැහැරගත් රන්බඩුද සමඟ යාපනය කොඩිකාමම් බලා ගියේ මධුවන්ති ගේ ඝාතයනයට තමා කිසදා කොටු නොවෙනු ඇතැයි සිතාය.

ඒත් අපරාධයක් සිදුකොට කිසිදා සැඟව සිටිය නොහැකි බවට කියමනක් ඇත. එය යළි යළිත් සාක්ෂාත් කරමින් මධුවන්ති සහ ඇගේ පුතා ඝාතනය කළ ඝාතකයන් කොතරම් සැඟවෙන්නට හැදුවත් ඔවුන් කොටු කරගැනීමට පොලිසියට හැකිවිය.

ප්‍රශ්න කිරිම් හමුවේ ඔහු සියල්ල හෙළි කර සිටි අතර ඉන් අනතුරුව ත්‍රිවිලර් රියදුරු සිල්වෙස්ටර් එරාවුර් ගම්මානයේදීම පොලිසියට කොටු කර ගත හැකිවිය.

“මේ අයගෙන් අපි දිගින් දිගටම ප්‍රශ්න කළා. එතැනදි හෙළි වුණා. මරා දමන ලද කාන්තාවගේ ගෙදරින් රත්තරන් පවුම් දහසයක් කොල්ල කාලා කියලා. අපි තවත් ප්‍රශ්න කරද්දී ඒ රත්තරන් ටික යාපනයේ තැන් තුනකට උගස් කරලා රුපියල් පන් ලක්ෂ තිස්දහක් අරගෙන තිබුණා. ඒකෙන් එක්ලක්ෂ ගණනක් දීලා ලොරියේ ෆිනෑන්ස් ගෙවලා තිබුණා. උගස් කරපු රත්තරන් බඩු සේරම අපි සොයාගත්තා. සිල්වෙස්ටර් ළඟ තිබිලා මියගිය කාන්තාවට අයත් ලැප්ටොප් එකක් ඇතුළු තවත් භාණ්ඩ රැසක් හමුවුණා.“

සිද්ධිය පිළිබඳ විමර්ශනයක යෙදුණු පොලිස් පරීක්ෂක වහාබ් රන් බඩු හා ඝාතනයේ සුලමුල සොයාගත් ආකාරය විස්තර කරමින් කීවේය. රන් භාණ්ඩ උකස් කර මුදල් ලබාගත්තද ඉන් සතයක්වත් මිතුරා වූ සිල්වෙස්ටර්ට දීම ඔහුට හැකියාවක් ලැබුණේ නැත. ඒ ඊට කලින් පුෂ්පරාජන් පොලිසියට කොටුවීම නිසාය.

සැකකරුවන් දෙදෙනා එරාවුර් පොලිසියට බාර දීමෙන් අනතුරුව රඳවා ගැනීමේ නියෝග මත පැය 24ක් ප්‍රශ්න කරන්නට ද පොලිසියට හැකිවිය. ඉන්පසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කොට බන්ධනාගාර ගත කෙරිණ.

මඩකලපුව බාර නියෝජ්‍ය පොලිස්පති විමල් ජාගොඩ ආරච්චි හා මඩකලපුව කොට්ඨාශයබාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් යටවර යන මහත්වරුන්ගේ උපදෙස් මත මඩකලපුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අයි.ඩී.බී. විජේකොන් මහතාගේ මෙයෙවීම යටතේ පොලිස් පරීක්ෂක එම්. අයි. ඒ. වහාබ් හා සැරයන් රෝහණ (42997) හා කොස්තාපල්වරුන් වන තාහ (65042) යන නිලධාරිහු මේ පිළිබඳ විමර්ශන වලට එක්වුහ.

කීර්ති මෙන්ඩිස්