ලඩියා කල්ලියේ සංඛ ඇතුළු 5 ක් වෙපන් එක්ක මාට්ටු

ලඩියා කල්ලියේ සංඛ ඇතුළු 5 ක් වෙපන් එක්ක මාට්ටු

ඔරුවල, එගොඩවත්ත ප්‍රදේශයේ නිවෙසක තරුණයන් කිහිප දෙනකු එක්ව කේරල ගංජා ජාවාරමක් කරගෙන යන බවට අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති වරයාට මීට සති කිහිපයකට පෙර තොරතුරක් ලැබිණි.

එම තොරතුර පිළිබඳ අවධානය යොමුකළ ස්ථානාධිපති වරයා මේ ජාවාරම සිදුකෙරෙන නිවෙස කාගේද, එහි පදිංචිව සිටින්නේ කවුරුන්දැයි සොයා බැලුවේය. එවිට දැනගන්නට ලැබුණේ පසුගිය අපේ‍්‍රල් මස විසි අට වැනිදා තලවතුගොඩ දී කපා කොටා ඝාතනය කළ ඉෂාර යන අයගේ නිවෙසේ මෙම ජාවාරම කෙරෙන බවයි. එලෙසම ඉෂාරගේ මල්ලී වන සංඛ යන අය මෙම ජාවාරම කරගෙන යන කල්ලියේ ප්‍රධානියා බවත් හෙළිවිය.

තොරතුරු සියල්ල එක්රැස් කරගැනීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් පසුගිය දිනෙක රාත්‍රියේ එම නිවෙස වැටලුවේය. එහෙත්... නිවෙස වසා තිබුණ අතර ගෙවත්ත පිටුපස කළු පැහැ ඉටි රෙදි වලින් සෑදු මඩුවක් තිබිණි.

පොලිස් කණ්ඩායම එම මඩුව වැටලු අතර එහි තරුණයන් පස්දෙනකු වුහ. ඔවුන් සිටියේ යමක් සකස් කරමිනි. එනම්... කේරල ගංජා පැකැට් කරමිනි. එම ඉටිරෙදි මඩුවේ විශාල ප්‍රමාණයේ කටවුට් එකක් එල්ලා තිබිණි. එය... ඉෂාරගේය.

කේරල ගංජා සමඟ තරුණයන් පස්දෙනා අත්අඩංගුවට ගත් අතර ඊට පසුදින මෙම වත්ත සම්පුර්ණයෙන්ම පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කළේය. ඒ... ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ තොරතුරු මතය. මෙම ගෙවත්තේ පැත්තක විශාල කුණු ගොඩකි. එය සෝදිසි කිරීම පොලිස් නිලධාරීන්ට කිසිසේත්ම කළ නොහැකිය. එබැවින්.... නගර සභාවෙන් ද කැඳවා මෙම කුණු ගොඩ පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කළේය.

එලෙස පරීක්ෂා කිරීමේදී කුණුගොඩ යට සඟවා තිබු කඩු පහක්, මන්නා පිහි දෙකක් මෙන්ම යතුරු පැදි අංක තහඩු දෙකක් ද හමුවිය.

ගෙවත්ත තව දුරටත් සෝදිසි කළ අතර ඉටිරෙදි මඩුව අසල වූ පරෙවි කුඩුව වෙත ද පොලිසියේ අවධානය යොමු විය. එය පරීක්ෂා කිරීමේදී 38 රිවෝල්වරයක් සහ එම උණ්ඩ දෙකක් ද නවීන පන්නයේ වටිනා ජංගම දුරකථනයක් ද හමුවිය.

“මේ ෆෝන් එක කාගෙද?”

“සර් ..... කොස්කඳවිල නයිට් කඩේ කැඩුවෙත් අපි. ඒ කඩේ මුදලාලිගේ මොබයිල් එක සර්.”

පොලිසියට සොයා ගැනීමට නොහැකි වූ සොරකමක් එලෙස හෙළි වෙද්දී පොලිසිය මොවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම ආරම්භ කළේය. ඒ... මොවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබාගැනීමෙන් අනතුරුවය.

සංඛගේ බිරියගේ නිවෙස ද පොලිසියේ සෝදිසියට ලක්විය. එම නිවෙසේ සඟවා තිබී පිස්තෝලයක් හමු වූ අතර පසුව එය සෙල්ලම් පිස්තෝලයක් බව හෙළිවිය. එලෙස කළ ප්‍රශ්න කිරීම් වලදී පසුගිය ජුනි මාසයේ දී ඔරුවල දී තරුණයකු කපා කොටා බරපතල තුවාල සිදුකිරීම, ඔරුවල සුපිරි වෙළෙඳසලකට පැන කඩු පෙන්වා මුදල් කොල්ලකෑම ,38 රිවෝල්වරය පෙන්වා වෛද්‍යවරයකු බිය කොට ඔහුගේ රන් මාලය කොල්ලකෑම ඇතුලු අපරාධ රැසක තොරතුරු හෙළි කර ගැනීමට පොලිසියට හැකිවිය.

මොවුන් තව දුරටත් පවසා සිටියේ අතුරුගිරියේ පාතාල කල්ලි නායක “ලඩියා” දැනට මෙරට නොමැති බැවින් ඔහුගේ කල්ලිය යළි ගොඩ නැංවීම සඳහා කටයුතු කරමින් සිටි බවත් සංඛ මෙම කල්ලියේ නායකයා වන අතර සියල්ලෝම ඔහු “බොස්” ලෙස අමතන බවත්ය.

“ලඩියා ඉන්දියාවේ ඉඳලා අපිට ගංජා එවනවා. අපි ඒවා විකුණලා සල්ලි ගන්නවා. අපි රොබරි දීලා ගන්න සල්ලියි ගංජා විකුණලා ගන්න සල්ලියි එකතු කරලා තව වෙපන් අරගෙන කල්ලිය හදාගන්න තමයි අපේ බලාපොරොත්තුව.”

“ඉෂාර මරපු උංගෙන් පලිගන්නත් අපිට වුවමනාව තියෙනවා. වෙපන් අරගෙන උංවත් මරලා ලඩියගේ කල්ලිය ආපහු ගොඩනංවන්න තමයි අපි ට්‍රයි කළේ.”

සංඛ ඇතුලු පිරිස එලෙස විස්තර කරන්නට වුහ. මෙම කල්ලිය අපරාධ සඳහා යොදාගත් යතුරුපැදි දෙකක් ද පොලිසිය විසින් සොයා ගත්තේය. ඉන් එකක් ජ්2 වර්ගයේ යතුරුපැදියක එය මෙම කල්ලියේ අංජු යන අයගේ නිවෙසේ සඟවා තිබියදී සොයාගත් අතර පල්සර් වර්ගයේ යතුරුපැදිය හමුවුයේ සංඛගේ නිවෙසිනි. එය මඩුවක සඟවා තිබු අතර කුණු ගොඩේ තිබී හමුවුයේ එම යතුරුපැදි දෙකේ අංක තහඩුය.

මෙම කල්ලිය සංඛගේ නිවෙස පිටුපස ඉදිකළ ඉටිරෙදි මඩුවේ සිට බොහෝ දේ සැලසුම් කර තිබිණ. එලෙසම දින පතාම වාගේ රාත්‍රිය උදාවෙද්දී මේ මඩුවට එකතුවන පිරිස ගංජා, කුඩු, මත්පෙති ආදිය පාවිච්චි කරන අතර මොවුන් අපරාධ සඳහා පිටත්වන්නේ ඉන් අනතුරවය.

“කර්ටන්කඩේ එක්කෙනාට කඩුවෙන් කෙටුවේ මම. පාරවල් හතක් විතර ගැහුවා. එදා....බයික් එක පැද්දේ මගේ යාලුවා. මම පිටිපස්සේ කඩුවක් අරගෙන ගිහින් ඔරුවල මිලේනියම්සිටි කැබ් සර්විස් එක ළඟදි තමයි කෙටුවේ.”

“අපි එයාට කෙටුවේ එයා සමයං කල්ලියට හිතවත් නිසා.”

අත්අඩංගුවට පත් මනෝජ් යන අය එලෙස ඝාතන තැතක තොරතුරු හෙළි කළේය.

පසුගිය ජුනි මාසයේ මෙම පහරදීම සිදු වුවද සැකකරුවන් අල්ලා ගැනීමට හෝ හඳුනාගැනීමට මෙතෙක් හැකිව තිබුණේ නැත. අත්අඩංගුවට පත් “බොස්” ගේ කල්ලිය ප්‍රශ්න කිරීම් වලදී ස්ව කැමැත්තෙන්ම මෙම සිද්ධිය හෙළිකර තිබිණි.

ඔරුවල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසලකට කඩු රැගෙන ඇතුලු වූ දෙදෙනකු එහි සේවකයන් බිය වද්දා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදල් පැහැරගෙන ගොස් තිබිණි. එම සිදුවීම වෙළෙඳසලේ සී.සී.ටී.වී. කැමරා වල ද රූගතව තිබු අතර එම කොල්ලය ද තමන් කළ බව සංඛ ඇතුලු කල්ලිය පිළිගත්තේය.

පනාගොඩ මුල්ලේගම පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුලුව 38 රිවෝල්වරය පෙන්වා බිය වද්දා වෛද්‍යවරයාගේ ගෙල බැඳී රන්මාලය කඩාගෙන ගියේ තමන් බව සංඛ හෙළි කර තිබිණි.

මෙම කල්ලිය සතුව ටී - 56 ගිනි අවියක් ද තිබී ඇති අතර එය මීට මාස කිහිපයකට පෙර දකුණු පාතාලයට ලබා දී ඇති බවට ද තොරතුරු හෙළි වී ඇත. එලෙසම සමයං මරා ඉන්දියාවට පැන ගිය ද අතුරුගිරිය පාතාල කල්ලි නායක ලඩියා වැඩ අතහැර නොමැති බව මොවුන් කළ පාපොච්චාරණ වල දී මනාව හෙළි විය.

රණාලේ සමයං මරා දැමුනේ පසුගිය පෙබරවාරි මස 28 වැනිදාය. ඉන් අනතුරුව අතුරුගිරිය හා අවට සැඟව සිටි අංගොඩ ලොක්කා, හා ලඩියා මෙරටින් පැනයන තුරුම සංඛලා බලය පතුරුවාගෙන සිටීමට උත්සාහ කළේය.

එහෙත්.... අපේ‍්‍රල් මස විසි අට වැනිදා සංඛගේ අයියා වන ඉෂාර කපා කොටා මරා දැමීමත් සමඟ සංඛ ස්ව කැමැත්තෙන්ම නිවාස අඩස්සියට පත්විය. ඒ... ඉෂාර මැරු කල්ලියේ ඉලක්කය වුයේ සංඛ බවටත්, සංඛ ඇතුලු එම පවුලේ පිරිමි සියල්ලෝම මරා දමන බවටත් ඉෂාර ගේ ඝාතකයන් ප්‍රචාරය කර තිබීම නිසාය. එම ඝාතනයට තලවතුගොඩ ප්‍රදේශයේ පදිිංචි පුද්ගලයන් දාසය දෙනකු පමණ සම්බන්ධව සිටියහ.ඝාතනයෙන් අනතුරුව සැකකරුවන් කිිහිප දෙනකුම ප්‍රදේශය හැර පලාගොස් තිබිණි. එබැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් වුයේ නැත. මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මාස තුනකටත් වැඩි කාලයක් ගතවිය.

ඒ... කාලයම සංඛ ගත කළේ නිවෙසට කොටුවෙලාය. සංඛ එළියට බැස්සේ ඉෂාර ඝාතනයේ අන්තිමයාත් පොලිසියට කොටුවීමෙන් අනතුරුවය.

“ලඩියා” කල්ලිය යළි ප්‍රතිසංවිධානය කිරීමට මුලිකත්වය ගත් සංඛ “බොස්” ලෙස හැඳින්වීමට සගයන් වගබලා ගත්තේය. “බොස්” ගේ මුලික අවශ්‍යතාව වී තිබුණේ හොරකම් කොල්ලකෑම් කොට මුදල් උපයාගෙන අවි මිල දී ගෙන අයියා මැරුවුන්ගෙන් පළිගැනීමය. ඊට අමතරව ලඩියා කල්ලිය කරගෙන ගිය ක්‍රියාකාරකම් වල යෙදෙමින් ප්‍රදේශයේ චන්ඩියා වීමටය.

දින හතක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කෙරුණු මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි. බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, නුගේගොඩ සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ, හෝමාගම සහකාර පොලිස් අධිකාරි කරුණරත්න යන නිලධාරින්ගේ උපදෙස් මත අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති උපුල් අලවත්ත ප්‍රමඛ අපරාධ අංශයේ ස්ථානාධිපති චන්ද්‍රසේකර දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පේ‍්‍රමලාල් කොස්තාපල් වරුන් වන 84898 හර්ෂ, 84179 දීලීප, 12976 බණ්ඩාර 12941 උමේෂ්, 35670 විජේරත්න පරීක්ෂණ සඳහා එක්ව සිටිති.

තක්ෂිලා ජයසේකර