ලක්ෂ විස්සක් ගන්න දළ පූට්ටුවා මරලා

ලක්ෂ විස්සක් ගන්න දළ පූට්ටුවා මරලා

එම මරණයට ප්‍රදේශවාසීන් තුළ විශාල කම්පනයක් ඇති විය. එම දුක තුනී වෙද්දී ගල්ගමුවේ දළ පුට්ටුවාගේ දළ යුගල සමඟ පොල්පිතිගමදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔවුන් තුළ තිබු කනස්සල්ල තවත් ඇතිවන්නට වුයේ අන්ධ දළපුට්ටුවාට ඔවුන් බෙහෙවින් ආදරය කළ නිසාය.

දළ පූට්ටුවා මරා දමා ඇතැයි සැක කළ බළධාරීහු දින ගණනාවකට පසු ඝාතනය කර දෙදළ කපා දැමූ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර කහල්ල පල්ලෙකැලේ , මොරගොල්ලාගම සොරොව් වැව ප්‍රදේශයේ දීසොයාගත්හ . වෙඩි වැදීමෙන් පසු ඇදවැටුණු හස්තියාගේ සිරුරේ කොටස් වළ දැමීමකින් තොරව ඔහේ තැබීමට මේ තිරිසනුන් විසින් ක්‍රියා කොට තිබිණි .වනයේ දිරාපත් වෙමින් තිබූ ඇත් සිරුරේ පිටුපස වම් පාදයට වෙඩි වැදී පෙර ප්‍රතිකාර කළ සළකුණු දළ පූට්ටුවාගේ සිරුර හඳුනා ගැනීමට සලකුනක් විය.

එවැනි වෙඩි ප්‍රහාරයකින් වම් පාදයේ සිදුවූ තුවාලයක් නිසා කලක සිටි පීඩා විඳී අතර වයස අවුරුදු 40 ක්‌ පමණ වන මෙම සත්ත්වයාට දඩයක්‌කරුවන් විසින් සිදුකළ වෙඩි තැබීමක්‌ නිසා උගේ දෙනෙත් ද අන්ධ වී ගියේය .

ගල්ගමුව දළ පූට්ටුවා ගේ මළ සිරුර සහ කොටස් හමුවීමත් සමඟ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්නට විය. ගල්ගමුව දළ පූට්ටුවා ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සෞඛ්‍ය) තාරක ප්‍රසාද් සහ වයඹ වනජීවී කලාපයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ යන මහත්වරු විසිනි .

මෙම වෛද්‍යවරුන් දෙදෙනා ම ගල්ගමුවේ දළ පූට්ටුවා හොඳීන් හඳුනන වෛද්‍යවරුන් දෙදෙනෙකි. මීට වසර ගණනාවක සිට කහල්ල පල්ලෙකැලේ ප්‍රදේශයේදීත් කලාවැව ප්‍රදේශයේදීත් කැකිරාව ප්‍රදේශයේදීත් ගල්ගමුව ප්‍රදේශයේදීත් අවස්ථා ගණනාවක් ඇතාට ජීවිතය දීමට මෙම වෛද්‍යවරුන් දෙදෙනා ප්‍රමුඛ කණ්ඩායම ක්‍රියා කළ ආකාරය අප දුටුවෙමු.

ගල්ගමුවේ දළ පූට්ටුවා පිළිබඳ කවුරුන් කෙසේ කීවත් සීත කාමරවල සිට මෙම ඇතා පිළිබඳව කිඹුල් කඳුළු හෙළන සමහර බලධාරීන්ට වඩා මෙම වෛද්‍යවරුන් ඇතුළු පශු වෛද්‍ය කණ්ඩායම් මෙම ඇතා පිළිබද හොඳාකාරවම දැනුවත්ව සිටීම සතුටට කරුණකි.එමෙන්ම ඔවුන්ගේ නිරන්තර ආදරයට පත් වූ මෙම ඇතා ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් තම රාජකාරියට ඔබ්බෙන් ගොස් ක්‍රියා කළ අවස්ථා අප දැක තිබිණි.

කෙසේ වෙතත් පශු වෛද්‍ය තාරක ප්‍රසාද් සහ වෛද්‍ය චන්දන ජයසිංහ යන මහත්වරුන් මෙම කුණුවී දෝර ගලමින් සිටි ඇතාගේ මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ දැඩි සිත් වේදනාවක් ද සහිතවය .හිසට වෙඩි වැදීම නිසා බිම ඇදවැටුණු ඇතාගේ දළ යුගල යාන්ත්‍රික කියත් ආධාරයෙන් කපා වෙන්කර ඇති බව පරීක්ෂණවලදී හෙළිවිය. දළ පූට්ටුවා මියයන්නට පෙර අමානුෂික අන්දමින් දළ ගලවා ඇති බවට ද වෛද්‍යවරු සැක කරන්නට වූහ.

මෙම හස්තියා මීට සති දෙකක හෝ සති හතරක පමණ කාලයක් තුළ ඝාතනය කරන්නට ඇති බවට වෛද්‍යවරු සැක පළ කරති. මෙම හස්තියා වෙඩි පහරකින් ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණවලදී තහවුරු වීම විශේෂත්වයකි. එනම් කුණුවී ගිය ඇතාගේ හිස තුළ තිබී ඊයම් බෝල දහසයක් සොයාගැනීමට හැකි වීමනිසාය. හිසට එල්ල වූ වෙඩි පහරකින් මෙම සද්දන්තයාගේ මොළයට බරපතළ හානි සිදු වීම මරණයට හේතුව බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබේ.

දැනටමත් මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පරීක්ෂණ පැවැත්වීම නිසා අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබාදීමට හැකියාවක් ඇතැයි ප්‍රදේශවාසීන්ගේ බලාපොරොත්තුවයි. කෙසේ වෙතත් වයඹ වනජීවී කාර්යාලය දළ පූට්ටුවා පිළිබඳ මීට පෙර අවධානය යොමු කළේ නම් මෙවැනි හානියක් සිදු නොවන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

2011 වසරේ ලොවම කැළඹීමට පත් කරමින් මෙම දළ පූට්ටුවා කරළියට පැමිණියේ කැකිරාව නගර මධ්‍යයේදී ය. එනම් වාහන විස්සකට වැඩි ප්‍රමාණයකට ද නිවාස කිහිපයකට ද අලාභ හානි කරමින් මහ දවාලේ නගර මධ්‍යයේ සැරිසැරීම හේතුවෙනි. ඒ නිසා කෝපයට පත් ප්‍රදේශවාසීන් මෙම ඇතා ඝාතනය කිරීමට සූදානම් වන අයුරු දැක ගැනීමට ලැබිණි. එහෙත් අවසානයේ දී වෛද්‍යවරුන් හා වනජීවී නිලධාරීන් පැමිණ ජනතාවට කියා සිටියේ වාහන වලට පහර දුන් සතාගේ ඇස් දෙකම නොපෙනෙන බවය. සතාගේ ගමන් රටාව වෙනස් වී ඇත්තේ හිසට යම්කිසි පුද්ගලයකු හිසට වෙඩි තැබීම නිසා බවද ඔවුහු පෙන්වා දුන්හ. ඇතාට බැනවැදුණු බොහෝ දෙනා තමන්ගේ වාහන කුඩුපට්ටම් වී තිබියදීත් ඇතාට අනුකම්පා කිරීමට තරම් කාරුණික වූහ.මෙම ඇතාගේ දළ යුගලයට එදා සිටම කෙල හලමින් සිටි පුද්ගලයන් අතර චීවරධාරියෙකු ද සිටින බව 2011 වසරේ් අනාවරණය විය.එමෙන්ම වන ජීවී දෙපාර්තමේන්තුවේ වයඹ කලාප කාර්යාලයේ ඉහළ නිළධාරියෙකු ගේ සහය ඇතිව ග්‍රාම නිලධාරීවරුන් දේශපාලඥ රැකවලුන් ඇතුළු තවත් කිහිප දෙනෙකු මෙම සතා කෙරේ වසර ගණනාවක සිට මාන බලමින් සිටි බව අනාවරණයවිණි. අවසානයේදී සිය ඇස් දෙක පමණක් නොව ජීවිතයද දන්දීමට ගල්ගමුවේ දළ පූට්ටුවා ට සිදු විය.

දළ පූට්ටුවා ඝාතනය කර ඇති බව මුළු රටම දැන ගත්තේ පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් උගේ දළ යුගල හා ගජමුතු 6 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමත් සමගය. එම සිද්ධිය රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරයවීමත් සමඟ ජ්‍යෙෂ්ඨ පරිසරවේදියකු කිවේ එම දළ යුගල ගල්ගමුවේ දළ පුට්ටුවාගේ බවය. පොලීසිය මෙම සැකකරුවන් අල්ලා ගත්තේ එම දළ හා ගජමුතු රුපියල් ලක්ෂ 20 කට විකුණන්නට ඇති බවට ලද තොරතුරක් නිසාය. ව්‍යාපාරිකයන් සේ වෙස්වලාගෙන ගොස් එයට සම්බන්ධ පුද්ගලයා මුණ ගැසී ගනුදෙනුව ද කතා බස් කොට වෙනත් දිනයක ඒවා මිල දී ගැනීමට පැමිණෙන බව කියමින් නිලධාරින් ඔවුන් අත් අඩංගුවට ගන්නේ පොල්පිතිගම ප්‍රදේශයෙනි. ඒ අනුව ඇත් දළ යුගළ රුපියල් ලක්ෂ 12 ටත් ගජමුතු 6 රුපියල් ලක්ෂ 8 කටත් මිලදී ගැනීමේ ගනුදෙනුව අවසානයේ ව්‍යපාරිකයන් සේ ගිය පොලිස් නිලධාරීන් සමග ගනුදෙනුව සිදුවෙද්දි එතැනට කඩාවැදුණු සෙසු නිලධාරීන් දළ පුට්ටුවාගේ දළ යුගළ හා ගජමුතු සිය භාරයට ගත්තේ සැකකරුවන් දෙදෙනාද සමඟය. මුළු රටම කැළඹූ දළ පූට්ටුුවාගේ ඝාතනය අනාවරණය වන්නේ ඉන් පසුවය.

කාංචන කුමාර සිගිරිය විශේෂ

ඡායාරූප ගල්ගමුවේ ක්‍රිෂාන්