බේබ් ගේබ්‍රියල් කෝ?

බේබ් ගේබ්‍රියල් කෝ?

එළිසබත් සහ ලොගාන් පෙම්වතුන් බවට පත්වූණේ වැඩි හැඳුනුම්කමක් නොමැතිවය.

එහෙත් එක්ව පවුල් කෑ ඔවුන් දෙදෙනා අතරට පුංචි ගේබ්‍රියල් ආවේ බලාපොරොත්තු නොවූ විලසින්.

ලොගාන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙකි. එළිසබත් දැඩි ලෙස මත්වතුර පානය කරන්නියක්. මෙවැනි මවුපිය යුවළකට දාවයි ගේබ්‍රියල් උපත ලැබුවේ.

ඔවුන් තිදෙනාම ජීවත් වුණේ ඇමෙරිකාවේ ටෙක්සාස් හී ටෙම්පේ ප්‍රදේශයේ වූ ජංගම නිවහනකයි. නිතර නිතර දෙදෙනා අතර අමනාපකම් වැඩි වෙද්දී එක ඟෙයි ජීවත්වීම දෙදෙනාටම එපා වුණා.

මෙහි ප්‍රතිඵලය වුණේ ලොගාන් සිය පෙම්වතිය හා දරුවා හැරදමා යෑමයි. එළිසබත් ඉන්පසු ගේබ්‍රියල් සමඟ ජීවත් වුණා. පෙම්වතිය එපා වුණත් ලොගාන් පුංචි ගේබ්‍රියල්ට ආදරෙයි. ඒ නිසා ඔහු වරින් වර ගේබ්‍රියල් බලන්න ආවා ගියා.

ඒ 2009 දෙසැම්බර් මාසේ මුල්කාලය. එළිසබත්ට තනියම ගේබ්‍රියල් හදාවඩා ගැනීම අසීරුයි. ඇගේ තීරණය වුණේ කවුරුහරි හොඳ කෙනෙකුට ගේබ්‍රියල් හදාගන්න දීමයි.

දරුවා බලන්න ආ දිනයක ඇය මේ ගැන ලොගාන්ටත් පැවසුවා. එහෙත්, ඔහු එයට දැඩි ලෙස විරුද්ධ වුණා.

“මගේ දරුවා කාටවත් හදාගන්න දෙන්න බැහැ. ඔයාට බැරි නම් මට දරුවා දෙන්න. මං දරුවා හදාගන්නම්”

මේ වෙද්දී පුංචි ගේබ්‍රියල් ට වයස යන්තම් මාස 08ක් විතර ඇති. දරුවාගේ භාරකාරත්වය ගැන දෙදෙනා අතර හබයක් පටන් ගත්තා.

කෙතරම් අපහසුතා තිබුණත් එළිසබත් කැමති වුණේ නැහැ ලෙගාන්ට දරුවා හදාගන්න දෙන්න. මේ ගැන දෙදෙනා අතර නිතරම ආරවුල් ඇතිවුණා. අන්තිමට දරුවාගේ භාරකාරත්වය පිළිබඳ ප්‍රශ්නය උසාවියටත් ගියා.

දෙසැම්බර් මාසයේ 09 වැනි දා එළිසබත්ට ඇය මීට පෙර එක් දිනක් පමණක් මුණ ගැසී තිබූ දෙදෙනෙක් මුණ ගැසුණා. ඒ ස්කොට්ස්ඩේල් හී පදිංචි ටැමී සහ ජැක් දෙදෙනායි.

ගේබ්‍රියල් ඉපදුණු අලුත එළිසබත්ට මේ යුවළ මුණගැසුණේ ගුවන් තොටුපොළේ යී. එදා දැන හැඳුනුම්කම් ඇතිකර ගත් ටැමී, එළිසබත් තමන්ගේ නම සඳහන් කාඩ්පතක් දෙන්නේ කවදා හෝ අවශ්‍ය වුවහොත් මුණගැසෙන ලෙස දන්වමින්. මේ හැඳුනුම්කම ඔස්සේ තමයි එළිසබෙත් එදා මේ දෙදෙනා මුණගැසුණේ.

ටැමී සහ ජැක් යුවළට දරුවන් නැහැ. එළිසබත්ට අවශ්‍ය වුණේ ගේබ්‍රියල් මේ දෙදෙනාට හදාවඩා ගැනීමට දීමටයි.

“බබා හදාගන්න දෙනවාට ලොගාන් කැමති නැහැ. ඒත් මට දරුවන් හදාගන්න අමාරුයි. ලොගාන්ට ගේබ්‍රියල් දෙන්නත් මට බැහැ.” එළිසබත් ඔවුන්ට එසේ පැවසුවා. දැන් ගේබ්‍රියල් හදාවඩා ගැනීමට දීමට එළිසබත් සිත හදාගෙන අවසන්. එළිසබත් මෙයට උපක්‍රමයක් යෙදුවා. ඇය ටෙම්පේ පොලිසියේ ලොගාන්ට විරුද්ධව පැමිණිල්ලක් පොලිස් පොතේ සටහන් කළා.

එළිසබත් ගේ ජීවන රටාව දැන් ලොගාන්ට හරිම ප්‍රහේලිකාවක්. ගේබ්‍රියල් ගේ ආරක්ෂාව ගැනත් ඔහුට දැන් ඇත්තේ බියක්. මේ නිසා ලොගාන් කළේ ගේබ්‍රියල් ගේ පූර්ණ භාරකත්වය ඉල්ලා උසාවි යෑමයි.

මව පියා දෙදෙනාම දරුවාගේ භාරකාරත්වය ඉල්ලද්දී විනිසුරු තීන්දුව දුන්නේ දෙදෙනාටම දරුවාගේ තාවකාලික භාරකාරත්වය හිමිවන අයුරිනුයි.

සතියේ ඉරිදා සිට බදාදා තෙක් දරුවාගේ භාරකාරත්වය ලැබුණේ ලොගාන්ටයි. ඉතිරි දිනවල දරුවා එළිසබත් ගේ භාරකාරත්වයට පත්වුණා.

එළිසබත්ගේ භාරකාරත්වයට පත්වුණු ගේබ්‍රියල් හදාවඩා ගැනීම ටැමී සහ ජැක්ට දෙන්න මේ අතරවාරයේ ඇය යළිත් උනන්දු වුණා. ලොගාන් ද නිතර දරුවා ගැන සොයා බැලීම ඇයට වදයක් වුණා. ඇය දිනක් යළිත් ස්කොට්ස්ඩේල් ගියේ ටැමී සහ ජැක් මුණ ගැසීමටයි. මේ ගමනට එළිසබත් ගේ සීයාත් සහභාගී වුණා. ඔවුන් මුණගැසුණේ පල්ලියක දීයි.

ටැමී සහ ජැක් පල්ලියට ආවේ කුඩා ගේබ්‍රියල් ද අරගෙනයි. මේ වෙද්දී එළිසබත් ටැමී ට දරුවාගේ තාවකාලික භාරකාරත්වය පවරලා. ටැමී දින දහයක් තිස්සේ ගේබ්‍රියල් හදාවඩාගෙන තිබුණා. පල්ලියේ දී ටැමී පුංචි ගේබ්‍රියල් එළිසබත්ගේ අතට දුන්නා.

ඔවුන්ගෙන් සමුගත් එළිසබත් එතැනින් සැන්ඇන්ටෝනියෝ බලා ගියේ සීයාගේ මොටර් රථයෙනුයි. එතැනින් ඇය දරුවා ද සමඟ පලා ගියා.

එළිසබත් ගේ ක්‍රියාව ගැන දැන් ලොගාන්ට කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බැහැ. ඔහු යළිත් ගේබ්‍රියල් සිටිනා දිහාවක් ගැන සොයා බැලුවා.

එළිසබත් වූටි පුතාත් රැගෙන ඇරිසෝනාවලින් පලාගොස් ඇති බව ඔහු දැන ගත්තා.

ඔහු වහාම මේ බව පොලිසියට දැනුම් දී උසාවියට පෙත්සමක් ඉදිරිපත් කළා. ඔහුට අවශ්‍ය වූයේ ගේබ්‍රියල් ගේ පූර්ණ භාරකාරත්වය ලබා ගන්නයි.

උසාවියේ මුල් නියෝගය අනුව මේ කාලය ඇතුළත ගේබ්‍රියල්ගේ භාරකාරත්වය හිමිවන්නේ එළිසබත්ටයි.

ගේබ්‍රියල් ගේ ආරක්ෂාව ගැන සෑහීමකට පත්විය නොහැකි බව දන්වා ලොගාන් පෙත්සමක් ඉදිරිපත් කළා. නීත්‍යානුකූලව පුතා ඔහු ළඟට ගන්නට තව දින පහක් තිබෙනවා. “එළිසබත් දරුවා සමඟ පැන ගිහින් සැඟවිලා. මෙයින් දරුවාට කරදරයක්

විය හැකියි. මට ඔහුගේ ආරක්ෂාව ගැන බයක් දැනෙනවා” ලොගාන් පැවැසුවා.

ඉන් පසු දින කීපයක් ගෙවී ගියේ එළිසබත් හෝ දරුවා ගැන කිසිම ආරංචියක් නැතිවයි. ලොගාන් පුංචි පුතා බාරගන්න දිනය එන තෙක් බලා සිටියේ නොඉවසිල්ලෙන්.

එදා උදා වුණා ලොගාන් පුංචි පුතා තමන් ළඟට ගෙන්වා ගන්න ලක ලෑස්ති වුණා. ඒ අතරවාරයේ දී ලොගාන් ගේ ජංගම දුරකථනයට එස්.එම්. එස් පණිවුඩයක් ලැබුණා. අනතුරක් හඟවන පණිවුඩයක් වූ ඉන් ලොගාන් බියට පත්වුණා.

“අපේ දරුවා මැරුණා.” මුලින්ම ලද පණිවුඩයෙන් කියැවුණේ එයයි. නමක් සඳහන් නොවුණත් එය එවා ඇත්තේ එළිසබත් බව වටහා ගැනීමට ලොගාන්ට අපහසු වූයේ නැහැ.

එතෙක් කෙටි පණිවුඩයක් ලෙස ආ සටහන ඉන්පසු දිගින් දිගට ලොගාන්ගේ ජංගම දුරකථන තිරයේ සටහන් වුණා.

“උඹට ආයෙත් ගේබ්‍රියල් දකින්න ලැබෙන්නේ නැහැ. මට ඒ ගැන විශ්වාසයි. උඹට මුළු ජීවිතයම දරුවා ගැන සිතමින් ගතකරන්න වේවි. උඹට කවදාවත් දරුවා සොයා ගන්න ලැබෙන එකක් නැහැ. මං දැනටත් මේ රටෙන් පිටවෙලා යන්න ගුවන් යානයක නැඟලයි ඉන්නේ. මං බේරිලා ගිය පසු මැරිච්ච ගේබ්‍රියල් ගේ නිල්පැහැ ගැන්වුණු සිරුර තියෙන

තැන හරියටම උඹට ඊ මේල් එකකින් දන්වනවා. උඹ වගේ බොරුකාරයින්ට උරුම මෙයයි.”

ඉන්පසු ලද එස්. එම්. එස් පණිවුඩවල එසේ සඳහන් වුණා. ලොගාන්ට මේ කිසිවක් අදහාගන්න බැහැ. ඔහු බයෙන් හා ශෝකනේ වැළපුණා.

“අයියෝ ! මගේ චූටි පුතා. ඒකි මගේ පුතා මරලා. මට මේක අදහගන්නත් බැහැ. ඇයි දෙයියනේ මෙහෙම වුණේ.”

ලොගාන් වැළපුණා. ලොගාන් ගේ මවුපියන් හා ඥාතීන් වහාම සිද්ධිය පොලිසියට දැනුම්

දුන්නා. එදිනම හවස් වෙද්දී ලොගාන් ගේ දුරකථනයට ඇමතුමක් ආවා. ඒ එළිසබත්ගෙන්. පොලිසියේ උපදෙස් පරිදි ලොගාන් ඒ ඇමතුම පටිගත කළා. ඉන් ඇය පැවැසුවේ ගේබ්‍රියල් මරා සිරුර කසළ බඳුනක දැමූ බවයි.

ඇය දරුවා මැරුවේ ලොගාන්ගෙන් පළිගැනීමට බවත්, ඔහු වෙනත් ගැහැනුන් හා ඇසුරු කිරීමේ වන්දිය එය බවත් ඇය පැවසුවා.

“උඹට ඕනේ කෙල්ලො එක්ක කතා කරන්නනේ, ඔන්න දැන් ඒකට වන්දි ගෙවපන්.” එළිසබත් පැවැසුවා.

“උඹ මගේ ජීවිතය විනාශ කළා.” එළිසබත් ඔහුට චෝදනා කළා.

“මං කිසිම දෙයක් විනාශ කළේ නැහැ.” එයට පිළිතුරු වශයෙන් ලොගාන් පැවැසුවා.

“ඇයි නැත්තේ ලොගාන්, උඹ මට මගේ දරුවා මරන්න කටයුතු යෙදුවා. දැන් අලුත් කෙල්ලක් හොයාගෙන අලුතෙන් දරුවෙක් හදාගනින්.”

ලොගාන් හා තිබූ වෛරය නිසාම එළිසබත් වියරුවෙන් මෙන් දුරකථනයෙන් ඔහුට බැන වැදුණු අතර ඒ සියල්ල පටිගත වුණා. ඉන්පසු පොලිසිය වහාම එළිසබත් හා ගේබ්‍රියල් සොයා විශාල මෙහෙයුමක් ආරම්භ කළා.

එළිසබත් ආගිය සෑම තැනකම තොරතුරු සොයමින් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරමින් පොලිසිය සෙවීම් බැලීම් කළත් දෙදෙනා ගේ කිසිම හෝඩුවාවක් ලැබුණේ නැහැ.

ඒ අතරම පොලිසිය ප්‍රදේශයේ කසළ බඳුන් පිරික්සන්න ගත්තේ එලිසබත් කී පරිදි දරුවාගේ සිරුර හෝ සොයා ගැනීමේ අදහසින්.

මෙලෙස සෙවීම් බැලීම් කරද්දී පොලිසිය අනාවරණය කර ගත්තේ එළිසබත් ටෙම්පේ සිට ටෙක්සාස් බලා ගොස් ඇත්තේ ගේබ්‍රියල් ද සමඟ බවයි. ඇය එහි හෝටලයක සතියක් පමණ නැවතී සිටි බවට ද තොරතුරු අනාවරණය වුණා.

ඉන්පසු ඇය ෆ්ලොරිඩා බලා යන බස් රියකට ගොඩවී තිබුණා. එහෙත්, ඒ දරුවා නොමැතිවයි. ඇය දරුවා ද සමඟ සිටිනු හෝටල් සේවකයන් අවසන් වරට දැක ඇත්තේ ගේබ්‍රියල් තම පියා වූ ලොගාන් ට බාරදීමට පෙර දිනයයි.

තමා ගේබ්‍රියල් මරා දැමූ බව කියමින් එළිසබත් ලොගාන්ගේ ජංගම දුරකථනයට පණිවුඩ එවා කතා කළේ ඊට පසු දිනයේයි.

සිද්ධිය පෙළ ගැස්වී ඇති ආකාරය විශ්ලේෂණය කළ පොලිසිය දරුවාට සැබවින්ම අනතුරක් වී ඇත්දැයි සිතා එළිසබත් සොයා කරන සෙවුම් බැලීම් වැඩි කළා. එහි ප්‍රතිඵලය වූයේ එළිසබත් මියාමි හිදී අත්අඩංගුවට ගැනීමයි.

ඉන්පසු පොලිසිය ඇය අවසන්වරට රැඳී සිටි ප්‍රදේශයේ කසළ බඳුන් හා ඒවා දමන ස්ථාන පරීක්ෂා කළේ ගේබ්‍රියල් පිළිබඳ තොරතුරක් සොයමිනුයි.

එහෙත් පොලිසියට කිසිවක් සොයාගත හැකිවූයේ නැහැ. පොලිස් අත්අඩංගුවට පත් එළිසබත් ලොගාන්ට කී කතාව වෙනස් කරමින් පොලිසියට පැවැසුවේ වෙනත් දෙයකි.

“මං ගේබ්‍රියල් හදාවඩාගන්න ටෙක්සාස්වල ජෝඩුවකට දුන්නා.”

එහෙත් ඇය ඒ යුවළගේ නම් ගම් සඳහන් කිරීම මුලදී ප්‍රතික්ෂේප කළා. එහෙත් පසුව පොලිසිය ටැමී සහ ජැක් සොයා ගනු ලැබුවා. පොලිසිය ඉන්පසු මේ තිදෙනාටම එරෙහිව අධිකරණයේ නඩු පැවරුවා.

ගේබ්‍රියල් පැහැර ගෙන යෑම සහ භාරකාරත්වය සඳහා උපාය යෙදීම යන වරද යටතේ එළිසබත්ට නඩු පවරනු ලැබුවා. ටැමී ට නඩු පැවරුණේ ගේබ්‍රියල් ඔහුගේ පියාගෙන් ඈත්කර භාරකාරත්වය ලබා ගැනීම සඳහා උසාවි වාර්තා ලබා ගත් බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම මතයි.

කූට ලේඛන සකස් කිරීම සහ භාරකාරත්වය සඳහා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ජැක් ට නඩු පැවරුණා. ඔවුන් කූට උසාවි ලේඛන සැකසීම සඳහා එළිසබත්ට මුදල් ගෙවා තිබුණා.

වරින්වර ඇසෙමින් පැවති මේ නඩුවේ අවසන් නඩු වාරය පැවැතියේ 2012 ඔක්තෝබර් මාසයේ දීයි.

එහිදී ප්‍රථමයෙන් අධිකරණය අත්අඩංගුවේ පසුවූ වසර තුනක කාලය යහපත් ලෙස ගතකිරීම ගැන එලිසබත්ට ප්‍රශංසා කළා. නීතිඥ දේශන අවසානයේ ජූරියේ තීර්ණයට එළැඹි විනිසකරු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට ප්‍රථම එළිසබත් විනිසුරු හමුවේ පෙනී සිටියේ ඉකිගසා හඬමිනුයි. ඇය තමා කළ කී දේ ගැන උසාවියෙන් සමාව ඉල්ලුව ද දිගින් දිගටම කියා සිටියේ තමා දරුවා හදාවඩා ගැනීමට යුවළකට දුන් බවයි.

“මට ඕනෑ වුණේ මා හැදී වැඩුණාට වඩා හොඳ යහපත් ජීවිතයක් මගේ පුතාට දෙන්නයි. ඒ ගැන කීමට මට වෙනත් දෙයක් ඇත්තේ නැහැ.” ඇය පැවැසුවා.

ජූරිය එළිසබත්ට එරෙහිව නඟා තිබූ බරපතළම චෝදනාව වූ දරුවා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණිය නොහැකි වූ අතර අවසන් තීන්දුව වූයේ වසර

පහමාරක සිර දඬුවමකින්. ඇය නිදහස ලැබූවත් සිවු වසරක පරිවාස කාලයක් තිබිය යුතුබව තීන්දුවේ සඳහන් වුණා. ඒ නඩු තීන්දුව අසා එළිසබත් උසාවිය හමුවේ හඬා වැළපුණා. එසේ වැළපෙමින් ඇය පැවැසුවේ අපූරු කතාවකි.

“මං හරිම නරක අම්මා කෙනෙක්. මේ දඬුවම ලිහිල් වැඩියි. මා හිතන්නේ මට වසර නවයහමාරක අවම සිරදඬුවමක් ලැබිය යුතුයි.” ඇය පැවැසුවා.

අධිකරණය එසේ ඇයට කෙටි කාලීන සිරදඬුවමක් පැමිණුවේ දුක් කම්කටොලින් පිරි ඇගේ ළමා කාලය සහ ඇගේ මානසික තත්ත්වය පිළිබඳ මනෝ වෛද්‍යවරයා දුන් වාර්තා ද සැලකිල්ලට ගෙනය.

පැමිණිල්ලේ නීතිඥයන් පැවැසුවේ ඇය ගේබ්‍රියල් සිටිනා තැනක් පවසන්නේ නම් අය පරිවාස බාරයට පත්කරන බවය.

“ගේබ්‍රියල් ජීවතුන් අතර සිටිනවා නම් දැන් ඔහුට වයස අවුරුදු තුනක් වෙනවා. එහෙත් ඔහු ගැන දන්නා එකම කෙනා එළිසබත් පමණයි” නීතිඥයා පැවැසුවා.

එයට පිළිතුර දන්නා එකම පුද්ගලයාත් ඇය පමණයි. ඇය පවසන ලෙස අප ඇයට ආයාචනා කරනවා.” ලොගාන්ගේ ඥාතීන්ගේ ඉල්ලීම එයයි.

මේ සිදුවීම ‘බේබි ගේබ්‍රියල් සිදුවීම’ ලෙසින් මුළු මහත් ඇමෙරිකාව පුරාම පසුගිය දා ආන්දෝලනයට ලක් වූයේ කවුරුත් පුදුමයට පත් කරමිනි.

සේමාලි කැල්ලපත