ජෙනට්ගේ ඝාතකයා මාස 18කට පසු මාට්ටු

ජෙනට්ගේ ඝාතකයා මාස 18කට පසු මාට්ටු

අවිස්සාවෙල්ල,පහළ කොස්ගම ප්‍රදේශයේ කුඩා ව්‍යාපාරික ආයතනයක් පවත්වා ගෙන ගිය ජෙනට් අක්කා කා සමඟත් සුහදව කටයුතු කළ කාන්තාවකි. දරුවන් දෙදෙනෙකුගේ මවක් වූ ඇය ස්වාමියා සමඟ සතුටින් ජීවත් වූවාය.කාලය මෙසේ ගෙවී යද්දී 2016 වර්ෂයේ මැයි මස 31 වන දින සවස ප්‍රදේශයේ පැතිරී ගිය ආරංචිය කාගේත් හද සසල කළ පුවතක් විය.

“කවුද ජෙනට් අක්කට ඇසිඩ් ගහලා”

එකිනෙකා එසේ කියමින් ජෙනට් අක්කාගේ ව්‍යාපාරික ආයතනය දෙසට දිව එන්නට වූහ. ඒ වනවිටත් ජෙනට් අක්කා අවිස්සාවේල්ල මූලික රෝහලට රැගෙන ගොස් තිබිණි. සිද්ධිය සැළ වූ වහාම කොස්ගම පොලීසිය මේ පිළිබඳව පරික්ෂණ ආරම්භ කර තිබුණේ සිද්ධියට වග කිවයුත්තා නීතියේ රැහැනට කොටු කර ගැනිම සඳහාය.

අවිස්සාවේල්ල රෝහලෙන් කොළඹ ජාතික රෝහලට යැවූ ජෙනට් අක්කා බරපතල පිලිස්සුම් තුවාල සහිත ව ජීවිතයත් මරණයත් අතර සටනක නියැලිනි. එහෙත් දෛවය ඊට හරස් වෙමින් සිද්ධිය වී දින හතරකට පසුව ඇය මෙලොව හැර ගියේ කා තුළත් සංවේගයක් මවමිණි.

මෙසේ මිය ගියේ කරුණානායක පතිරාජ මුදලිගේ ජෙනට් දිනුෂා නමැති හතළිස් තුන් හැවිරිදි කාන්තාවකි. ජෙනට් ගේ මරණය පිළිබඳ විමර්ශනයක් ඇරඹු පොලිසියට ඇය සමඟ ඉතා කුලුපගව කටයුතු කළ පුද්ගලයකු ගැන සැකයක් ගෙන දුන්නේය. මේ පිළිබඳව පරික්ෂණ පැවැත්වුවද අදාල සැකකාර පුද්ගලයා ඒ වනවිටත් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට පොලිසියට තොරතුරු ලැබිණි. සැකකරු පිළිබඳ කිසිම තොරතුරක් නොමැති වීම පරික්ෂණවලට ද කිසියම් බාධාවක් ගෙනදුනී.

කාලය මෙසේ වසර එක හමාරක් පමණ ගෙවී ගියේ සැකකරු ගැන කිසිදු හෝඩුවාවක් නොලබමිනි. මේ අතරතුර අවිස්සාවේල්ල පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය සඳහා කොට්ඨාශ බාර පොලිස් අධිකාරි උපුල් චන්දන මහතා පැමිණියේය. ඔහු පොලිසියේ පොත්පත් විමර්ශනය කරද්දී වසර එක හමාරක් පුරා විසඳා නැතිව තිබු ජෙනට්ගේ ඝාතනය ගැන කරුණු දැකගත හැකිවිය. ඒ පිළිබඳ අදාළ නිලධාරින් ගෙන් කරුණු විමසු හෙතෙම ඉන් අනතුරුව ජෙනට්ගේ ඝාතනයට සම්බන්ධ අපරාධකරු ඇල්ලිමට නොවිසදුණු අපරාධ විමර්ශනය කිරීමේ ඒකකයට පැවරීය. පසුව සැකකරුට අයත් දුරකථන අංකයේ වාර්තා ලබාගැනීමෙන් පසු මාසයක් පුරා තොරතුර එක් රැස් කිරිමෙන් අනතුරුව ඔහු හෙට්ටිපොළදි කොටුකර ගැනීමට නිලධාරින්ට හැකිවිය.

සිද්ධියට සම්බන්ධ සැකකරු වූ සුමිත් ධම්මික නමැත්තෙකි. ඔහු පදිංචිව සිට ඇත්තේ අවිස්සාවේල්ල,නාපාවල,ගැටහැත්ත ප්‍රදේශයේය. කුඩා කලදී ඔහුගේ මව හා පියා මිය ගොස් තිබිණි. පසුව එම ප්‍රදේශයේම ලොකු අම්මා කෙනෙකු ළඟ හැදී වැඩුණු ඔහු කොළඹ ප්‍රදේශවයේ කුලී වැඩ, විවිධ රැකියා කරමින් ජීවත් වි ඇත. ඉන් අනතුරුව ගමට පැමිණි ඔහු පැරණි කාසි එකතු කිරීමේ ව්‍යාපාරයක් පටන් ගන්නා අතර එම ව්‍යාපාරයේ දී කොස්ගම ප්‍රදේශයේ පදිංචි ජෙනට් නමැති කාන්තාව හඳුනා ගැනීමට ඔහුට හැකිවිණි. ඇය සමඟ හිතවත් වන සුමිත් තමන්ට රැකියාවක් සොයා දෙන ලෙස ජෙනට්ගෙන් ඉල්ලා සිටින්නට විය. ඒ අනුව ඇය හිතවතකුගේ මාර්ගයෙන් ඔහුට පුගොඩ ප්‍රදේශයේ ගොවිපලක රැකියාවක් සොයා දුන්නය.

කාලය මෙසේ ගෙවී යද්දී ජෙනට් හා සුමිත් අතර දැඩි හිතවත් කමක් ඇති වී මුදල් හුවමාරු ද සිදුවිණි. ඒ වනවිට ජෙනට් ගේ ව්‍යාපාරයද බංකොලොත් තත්ත්වයට පත්වී තිබිණි. ඒ වන විට සුමිත්ගෙන් ලක්ෂ දෙකක මුදලක් ද ජෙනට් ද ලබා ගෙන තිබුණාය. වරින් වර එම මුදල් සුමිත් ඉල්ලා සිටිය ද ජෙනට් එම මුදල ඔහුට ලබා දී තිබුණේ නැත.

මේ නිසා දෙදෙනා අතර ගැටලු ඇති වු අතර ජෙනට් කෙරෙහි වෛරයක් ද සුනිල් ගේ සිතේ පැළපදියම් විය. ජෙනට් ඝාතනය කිරීමට සුමිත් තීරණය කරන්නේ ඒ නිසාය. ඒ අනුව නාපාවල,ගැටහැත්ත ප්‍රදේශයේ වෙළඳසැලකින් ඇසිඩ් මිල දී ගත් ඔහු නියමිත දිනය උදාවන තෙක් බලා සිටියේය.

2016 මැයි මස 31 වන දින ජෙනට් ව්‍යාපාරය පවත්වා ගෙන ගිය පහළ කොස්ගම ප්‍රදේශයට සුමිත් යන විටත් හතර අතින් කළුවර වැටී වී තිබුණි. ව්‍යාපාරික ස්ථානය වැසීමට ජෙනට් සුදානම් වුවාය. ව්‍යාපාරික ස්ථානයේ කිසිවකු නොවීම ඊට හේතුව විය. තමා නියමිත වෙලාවට පැමිණි ඇති බව සිතූ සුමිත් එකවර පැන ගෙන ආ ඇසිඩ් ජෙනට්ගේ හිස මත වත් කරන්නට විය. ජෙනට් කෑගසමින් බිම ඇද වැටුණාය. ඒ සමඟම පැමිණි මෝටර් සයිකලයට නැගගත් සුමිත් එතැනින් පලාගියේ සිද්ධිය කාගේ හෝ නෙත ගැටෙන්නට කලින්ය. පොලිසිය තමාව සොයයි යන බිය ඇතිකරගත් ඔහු නිවෙසින් පලා ගොස් පරකඩුව ප්‍රදේශයේ ගල් මෝලක සේවය කරන්නට විය. නමුත් සිදුකළ වැරද්දට කොයි මොහොතේ හෝ පොලිසියට කොටුවන බව දත් සුමිත් කොළඹ රැකියාව කරන කාලයේ හඳුනාගත් තිස්සමහාරාමයේ බංදුල නමැති අයෙකුගේ නිවසට ගියේ ඊට විසඳුමක් ලෙසය.

ටික කලක් ගතවෙද්දී දෙදරු මවක් වූ බංදුලගේ බිරිය සමඟ ද අනියම් සබඳතාවයක් ඇතිකර ගැනීමට ඔහු සමත්විය. අවසානයේ සුමිත්ගේ බසට අවතන වන බංදුලගේ බිරිය දරු දෙදෙනාද රැගෙන සුමිත් සමඟ පලා යන්නේ බංදුලට පොරො පහරක් ද එල්ල කරමින්ය. ඉන් තුවාල ලබන බංදුල පසුව සුවපත් වුවද සුමිත්ට එරෙහිව පහර දීමේ නඩුවක් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරන්නට විය.

බංදුලගේ බිරිය හා දරුවන් සමඟ ටික කලක් හලාවත හා වනාතවිල්ලුව ප්‍රදේශ වල ගත කරනු සුමිත් කුලියාපිටිය, මූණමල්දෙණිය ප්‍රදේශයේ කුකුල් ගොවිපලකට පැමිණ එහි හිමිකරුට හිතවත් වී එහි සේවයට එක්වන්නේ ඉන් පසුවය. ගොවිපල ආසන්නයේ නිවෙසක බංදුලගේ බිරිය හා දරු දෙදෙනා සමඟ කාලය ගත කළ ද ඔහු නිතරම සිටියේ සැකයෙන්ය. එම නිසා ඔහු නම වෙනස්කර ව්‍යාජ හැඳුනුම්පතක් ද සකස් කර ගත්තේය. ඒ පොලිසියට හසුවෙතැයි යන සැකය නිසාය. ඔහුගේ ඊලග ඉලක්කය වූයේ මෙරටින් පලා යාමය.

මේ සියල්ල බොඳ වී යන්නේ සීතාවක කොට්ඨාසයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් ඔහු එම නිවසේ දි අත්ඩංගුවට ගැනීමත් සමඟය. කුලියාපිටිය, මූණමල්දෙනිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ඔහු අවිස්සවේල්ල පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සියල්ල හෙළිකරගන්නා නිලධාරින් ඔහු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් ගතකරනු ලැබීය. ඒ සිද්ධිය වී වසර එකහමාරකට පසුවය.

සීතාවක කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ කීවේය.

“තමන් නොදන්නා පුද්ගලයන් සේවයට ගැනීමේ දී සොයා බලා කටයුතු කළයුතු වෙනවා. මෙම සැකකරුත් කුලියාපිටිය, මූණමල්දෙණිය ප්‍රදේශයේ කුකුළු ගොවිපලට සේවයට ගෙන ඇත්තේ කිසිම සොයා බැලීමකින් තොරවයි. ඔහු සිටියේ්ත් ව්‍යාජ හැඳුනුම්පතකින්. ඔහු විදේශ ගතවීමට සැලසුම් කර තිබියදී තමයි අපිට කොටුකරගන්න පුළුවන් වුණේ. නැත්තම් කවදාවත් අල්ලගන්න ලැබෙන්නේ නැහැ. සමහර විට ඔහු විදේශ ගත වීමට පෙර තවත් අපරාධයක් සිදු කිරීමට පවා ඉඩ තිබුණා. අපි නීතියේ රැහැනට හසුකර ගැනීම නිසා එම අවස්ථාව වැලකී ගියා වෙන්න පුලුවන්. එම නිසා තමන් නන්නාඳුනන පුද්ගලයන් සේවය ගැනීමේ දී පුළුල්ව සොයා බලා කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා."

සීතාවක කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් මත සීතාවක කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති එස් ඒ ආර් සමරනායක,උප පොලිස් පරික්ෂක ඒ එස් විජේතුංග, කොස්තාපල්වරුන් (42108) වනිගසේකර, (33933) චමින්ද,කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපති එච් වයි එල් සමරකෝන්, කොස්තාපල් (68069) රූපසිංහ යන මහත්වරු මේ පිළිබඳ කරන ලද පරීක්ෂණ වලට එක්වුහ.

(පොලිස් පරික්ෂණ ඇසුරින් සකස් කෙරුනි)

ඩබ්ලිව්. රෝහණ බුලත්කොහුපිටිය සමූහ