මිනීමැරුමකින් අවසන් වූ ප්‍රියසාදය

මිනීමැරුමකින් අවසන් වූ ප්‍රියසාදය

32 හැවිරිදි වියේ පසු වූ නමුත් මීට වසර කිහිපයකට පෙර සිදු වූ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් රෝහණට චෝදනා එල්ල වී තිබිණි. ප‍‍්‍රදේශයේ අවමඟුල් නිවසකදී තරුණයකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද රෝහණ පළමු විත්තිකරු බවට පත්කළ නඩුවක් මේ වනවිටත් කුලියාපිටිය පළාත්බද මහාධිකරණය හමුවේ විභාගවෙමින් තිබේ. ඊට අමතරව ප‍‍්‍රදේශයේ සිදු වූ තවත් ආරවුල් සහ අඩදබර ගණනාවකටද රෝහණගේ නම ගෑවී තිබූ අතර දැනට සතියකට පමණ පෙරදීත් රෝහණ විසින් තරුණයෙකුට පහර දී ඇති බවට පොලිස් පොත්වල පැමිණිල්ලක් ද ලියැවී තිබිණි. එවැනි ප‍‍්‍රතිරූපයක් ගොඩනඟාගෙන තිබූ නමුත් රෝහණ විසින් කළ ඇතැම් ක‍ි‍්‍රයාවන් ද ගම්වාසීහු සිත යටින් අගය කරන්නට වුහ. මත්කුඩු, ගංජා ඇතුලු නීති විරෝධී මත්ද්‍රව්‍ය වලට දැඩි ලෙස එරෙහි වූ රෝහණ ඒවා ජාවාරම් කළ අය සහ ඒවා භාවිතා කළ අය පොලිසියට අල්ලාදෙන්නට එළිපිටම ක‍ි‍්‍රයාකළේය. එබැවින් කඹුරාපොළ ගම්මු රෝහණ සමඟ යාළුමිත‍‍්‍රකම් පවත්වාගෙන ගියේ සුදු කළු මුසු චරිතයකට දක්වන සැලකිල්ලද සමඟිනි.

පසුගිය 23 වැනිදා කඹුරාපොළ ගමට විශේෂ දිනයක් වූයේ එදින ගමේ තරුණයෙකුගේ උපන් දිනයක් යෙදී තිබීම හේතුවෙනි. ඒ නිමිති කරගනිමින් සිය හිත මිතුරන් නිවසට කැඳවා රාත‍ී‍්‍ර සාදයක් පවත්වන්නට අදාල තරුණයා විසින් කටයුතු කර තිබිණි. ගමේ සුවිශේෂි චරිතයක් වූ රෝහණටද උපන්දින සාදය සඳහා ඇරැයුම් කර තිබිණි. රස මසවුලෙන් පමණක් නොව මත් වතුරෙන්ද සාදයට අඩුවක් නොකරන්නට උපන්දින සැමැරුම හිමි තරුණයා වගබලා ගත්තේය. අපහාස, උපහාස, විහිළු තහළු සහ ආගිය කතා මැද බෝතලය දෙක හිස්වද්දී කාගේත් පදම වෙනස් විණි. මේසවල වාඩි වී සිටියවුණ්ගේ හිස් බමන මතින් කරකැවෙද්දී ඊට සමගාමීව සාදයේ සාමකාමී බවද ටික ටික දුරස්වන්නට විය. මත්වතුර සාදයට වාඩි වී සිටි කඹුරාපොළ ගමේම පදිංචිකරුවෙකු වන ශාන්ත සහ රෝහණ අතර වචන හුවමාරුවක් කඩු කිණිසිවලටත් වඩා එහාට මෙහාට විසි වූ නමුත් ගුටි කෙළියක් සදහා ඉඩ නොතැබූ සාදයට පැමිණි පිරිස රෝහණ සහ අනෙක් පුද්ගලයා දෙපසට කරන්නට උත්සුක වුයේ ප්‍රශ්නයක් ඇති නොවන පරිද්දෙනි. ඒත් ප්‍රශ්නය දුරදිග ගොස් තිබිණි.

‘‘මම තෝව හෙට එළිවෙනකොට බාවනවා.’’

රෝහණ ශාන්ත වෙත ඇඟිල්ල දිගු කරමින් ගුගුරන්නට වුයේ ඒ නිසාය. තත්ත්වය නරක අතට හැරෙන්නට යන බව වටහාගත් සාදයේ සිටි අයෙකු ශාන්තගේ පුත‍‍්‍රයෙකුට දුරකථනයෙන් අමතා එහි ගෙන්වාගත්තේ ගැටුම සමථයකට පත්කිරීමේ අරමුණ ඇතිවය. සාදය පැවැති නිවසට පැමිණි ශාන්තගේ පුත‍‍්‍රයා සිය පියා ත‍ි‍්‍රරෝද රථයකට නංවා ගෙන නිවස වෙත ගෙනගියේ සාදයේ සිටි අයට අස්වැසිල්ලක් ගෙනදෙමිනි.

අනතුරුව සාදය යළි ඇරඹුණු නමුත් එහි සතුට වැඩි වේලාවක් පැවතුණේ නැත. නිවස වෙත ගිය ශාන්ත කඩුවකුත් අතේ දරාගෙන ආපසු සාදය වෙත පැමිණ තිබුණේ මහා ඛේදවාචකයකට මග පාදමිනි. හෙට එළිවන්නට පෙර මරා දමන බවට රෝහණ විසින් කළ තර්ජනය ඇතැම්විට ශාන්තගේ සිත තුළ හොල්මන් කරමින් තිබෙන්නට ඇත. කඩුව අමෝරාගෙන මත් වතුර සාදය වෙත කඩා පැන්න ශාන්ත, මත්වතුර වීදුරුවක් අත දරාගෙන සිටි රෝහණගේ හිස වෙත කඩුව පහත් කළේ විදුලි වේගයෙනි. රෝහණගේ මුහුණ දෙපලු කරමින් කඩු පහර හිස් කබල දක්වා කිඳාබසිද්දී රෝහණ මේස පුටු සහ මත්පැන් බෝතල් පෙරළාගෙන බිම ඇද වැටුණි. බිම වැටුණු රෝහණ වෙත තවත් කඩු පහර කිහිපයක්ම එල්ල කළ ශාන්ත ලේ පෙරෙන කඩුවත් කර මත තබාගෙන එතැනින් පිටත්වූයේ සාදයේ සිටියවුන් බිය වද්දමිනි.

කඹුරාපොළ ගම්මානය තුළ එවැනි ඛේදවාචකයක් සිදුවන බව හාංකවිසියක් හෝ නොදැන සිටි කුලියාපිටිය පොලිසියට අනුයුක්ත සැරයන්වරුන් වන සෙනරත් සහ දයාරත්න වැටලීමක් වෙනුවෙන් යාබද ගම්මානය වූ එලතලව වෙත ගොස් ආපසු එමින් සිටියේ මේ අවස්ථාවේදීය.

පොලිස් නිලධාරින්ගේ ගමන්මග වැටී තිබුණේ කඹුරාපොළ ගම්මානය හරහාය. ලේ වැගිරෙන කඩුවක් අතැතිව තමන් ඉදිරියෙන් ඇවිද යමින් සිටින ශාන්ත පොලිස් නිලධාරින් විසින් දකින්නේ ඔවුන් ගමන්ගත් යතුරුපැදියේ එළියේ ආධාරයෙනි. තම රාජකාරි ගිනි අවි සූදානම් කරගත් පොලිස් නිලධාරින් දෙපළ ශාන්ත යන මග හරස් කර යතුරු පැදිය නවතා අත තිබූ කඩුව පිළිබඳව ඔහුගෙන් විමසන්නට වුහ. තවත් සඟවන්නට දෙයක් නැති බව වටහාගත් නිසාදෝ ඔහු පොලිස් නිලධාරින් හමුවේ සියල්ල දිගහරින්නට විය. ශාන්ත විසින් හෙළිකළ තොරතුරු අනුව කුලියාපිටිය පොලිසිය වෙත අදාල අපරාධය පිළිබඳව දැනුම්දුන් සැරයන් දෙපළ පැමිණිල්ලක් ලියැවෙන්නටත් පෙරම රෝහණගේ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්වූහ.

මත්පැන් සාදය පැවැති ස්ථානයේම රෝහණ මියගොස් සිටියේ මුහුණට සිදුව තිබූ දරුණු කැපුම් තුවාල සහිතවය. රෝහණ මෙලොව හැරගොස් තිබුණේ ඔහුගේ දරු දෙදෙනාත්, බිරිඳත් පමණක් නොව තමන්ට දාව උපදින්නට පෙරුම් පුරමින් සිටි තවත් ජීවිතයක්ද හැර දමමිනි.

කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල කඩුපිටිය සහ සහකාර පොලිස් අධිකාරි ජාලිය හීන්කෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත කුලියාපිටිය මූලස්ථාන ප‍‍්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප‍ි‍්‍රයන්ත මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක තිස්ස බණ්ඩාර, පොලිස් සැරයන් ධර්මසිරි (29269) සහ පොලිස් කොස්තාපල් රණසිංහ (49754) යන නිලධාරිහු රෝහණගේ ඝාතනය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

(ලිපියට යොදාගෙන ඇත්තේ සත්‍ය නම් ගම් ය.)

කුරුණෑගල අතිරේක

බණ්ඩාර රත්නායක.