පළියට පළිය, ලෙයට ලෙය 'බණ්ඩා' මරන්න උදව් කළ 'මංජුලා' වෙඩි තබා ඝාතනය කරයි

පළියට පළිය, ලෙයට ලෙය 'බණ්ඩා' මරන්න උදව් කළ 'මංජුලා' වෙඩි තබා ඝාතනය කරයි

"බණ්ඩගේ මිනිය උස්සන්න කලින් ඕකිව ඉවරයක් කරල දාන්න ඕන."

"නෑ නෑ එහෙම කළොත් කිසි ගතියක් නැහැ. ගෑනියක් මරණ එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඔය ගෑනිට හිරේ ගිහින් මාස ගාණක් දුක් විඳලා, චාටර් වෙලා එළියට එන්න අරින්න. ඊට පස්සෙ ගේම දෙමු. හිරේ ගියාම තියෙන ආතල් එක දන්නවනේ. අද හෙට මරල දැම්මොත් ගෑනිට කරපු වැඩේට විඳින්න වෙන්නෙ නෑ"

අතුරුගිරිය මොරටුහේන පාරේ පදිංචිව සිටි දිසානායක වත්තේගමරාළලාගේ ට්‍රනිල් බණ්ඩාර ධර්මසිරි නොහොත් අතුරුගිරියේ බණ්ඩාගේ මළ ගමට පැමිණ සිටි අංගොඩ ලොක්කා සහ අතුරුගිරියේ ලඩියා කල්ලිවල සාමාජිකයන් අතර එලෙස කතාබහ සිදුව තිබිණි.

බණ්ඩා වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය ජනවාරි මස 17 වැනිදා සවස 6.05 ට පමණය. ඒ අතුරුගිරිය නගර මධ්‍යයේ පිහිටි "සයොනාරා" නම් වූ රූපලාවණ්‍යාගාරය තුළදීය. එම රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය වූයේ මංජුලා සඳුනි අබේරත්න නැමැති දෙදරු මවකි.

බණ්ඩා යනු අංගොඩ ලොක්කා නැමැති පාතාල කල්ලි නායකයාගේ ළඟම ගෝලයෙකි. අතුරුගිරියේ ලඩියා කල්ලියේ හොඳා කෙරුම්කාරයෙකි. මේ කල්ලි දෙකම ගජ මිතුරන්ය. බණ්ඩා මනුෂ්‍ය ඝාතන දෙකකට සැකපිට ඇතුළට ගොස් ඇප ලබා එලියට පැමිණ ගෙවී ගොස් තිබුණේ මාස අටක පමණ කාලයකි.

උඳුගොඩ පතිරන්නැහැලාගේ අරුණ උදයන්ත නොහොත් රණාලේ සමයං කඩුවෙල, රණාල ඇතුළු අවට ප්‍රදේශ පුරා ක්‍රියාත්මක පාතාල කල්ලියේ නායකයාය. අංගොඩ ලොක්කා හා ලඩියා කල්ලි දෙකේ පරම හතුරා වුයේ රණාලේ සමයං ය.

දෙපාර්ශවයේ උන් එකිනෙකා මරා ගනිමින් සිය කල්ලියේ ප්‍රබලත්වය පෙන්වීමටත් විරුද්ධ කල්ලියට අයත් බල ප්‍රදේශ පුරා ද බලය පතුරුවා ගැනීමටත් කල්ලි නායකයෝ කටයුතු කළහ. මෙලෙස බලය අල්ලා ගැනීමේ අභිලාෂය වූයේ කප්පම් ගැනීම, මත් ද්‍රව්‍ය ජාවාරම කරගෙන යාම වැනි පහසුවෙන් මුදල් හම්බ කිරීමේ ක්‍රමවේද දියුණු කර ගැනීමය.

බණ්ඩා වෙඩි තබා මරා දමන්නේ ද රණාලේ සමයංගේ අවශ්‍යතාව මතය. එනම් කල්ලි දෙක අතරේ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසටය.

බණ්ඩා ඝාතනයේ මූලික පරික්ෂණ අතුරුගිරිය පොලීසිය විසින් සිදු කළ අතර එම පරික්ෂණ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට (එස්.අයි.යූ) භාරදීමට නුගේගොඩ කොට්ඨාශය භාර උසස් පොලිස් නිලධාරින් කටයුතු කළේය.

එම ඒකකය සිදු කළ පරික්ෂණවලදී හෙළි වුයේ බණ්ඩා ඝාතනය කළුතර බන්ධනාගාරයේ සිට කළ සැලසුමක් බවයි. එලෙසම අවශ්‍ය සියලුම තොරතුරු සපයා දී ඇත්තේ රූපලාවණ්‍ය ශිල්පිනිය විසින් බව ද නවීන තාක්ෂණික ක්‍රම ඔස්සේ කළ පරික්ෂණ වලදී හෙළි වී තිබිණි.

ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තාවලින් මෙලෙස තොරතුරු හෙළි වෙද්දී බණ්ඩා ඝාතනයට සැක පිට ඒ වන විට අත් අඩංගුවට ගෙන සිටි පුද්ගලයන් තිදෙනාගේ කට උත්තරවලින් ද ඇය මේ ඝාතනයට ආධාර අනුබල දුන් බව හෙළි වී තිබිණි.

පොලීසියට මෙම තොරතුරු සොයා ගැනීමට දින කීපයක් ගත වුව ද ඇය බණ්ඩා ඝාතනයට සම්බන්ධ බව අංගොඩ ලොක්කා ඇතුළු කල්ලි විසින් සිද්ධිය වූ වහාම සොයා ගෙන තිබිණි.

බණ්ඩාගේ මළගමදා මංජුලා මරා දැමීමට මෙම කල්ලියේ එක් පිරිසක් යෝජනා කළේ එලෙස තොරතුරු සොයාගෙන තිබීම නිසාය.

ඒකකය සොයාගත් තොරතුරුවලට අනුව මංජුලා දෙවරක් කැඳවා කට උත්තර ලබා ගත්තේය. එහෙත් ඇය ඒ අවස්ථා දෙකේදීම පවසා සිටියේ තමා මෙම ඝාතනය පිළිබඳ කිසිවක් නොදන්නා බවයි.

මේ අතර පෙබරවාරි මස 28 වැනිදා උදේ කළුතර බන්ධනාගාර රථයට එල්ල වූ ප්‍රහාරයෙන් රණාලේ සමයං, අල්විස් වත්තේ පැටි මහත්තයා, කැළුම් ඇතුළු සමයං කල්ලියේ 5 දෙනකු ජීවිතක්ෂයට පත් වූහ.

මෙම ඝාතන සිදුවන විට බණ්ඩා ඝාතනයේ ප්‍රධාන සැකකරු එනම් රූපලාවණාගාරයට ගොස් බණ්ඩාගේ හිසට වෙඩි තැබූ ආමි අසංක නම් වූ සමයංගේ ළඟම ගෝලයකු ද ද අත් අඩංගුවට ගැනීමට මිරිහාන ඒකකයට හැකි වී තිබිණි. බණ්ඩා පමණක් නොව අංගොඩ රත්තරන් ද වෙඩි තබා ඝාතනය කළේ තමා බව හෙතෙම පාපොච්චාරණය කළේය. බණ්ඩාට වෙඩි තැබූ පිස්තෝලය ද ඔහු පදිංචිව සිටි නවගමුවේ මාපිටිගම ප්‍රදේශයේ පිහිටි සොහොන් භූමියක සඟවා තිබියදී සොයා ගැනීමට හැකි විය.

ඔහු බණ්ඩා ඝාතනයේ සියලු තතු හෙළි කළ අතර එම හෙළිදරව්වෙන් ද මංජුලා ඊට සෘජුවම සම්බන්ධ බව තහවුරු විය.

"බණ්ඩාගේ ගේමට අපි හතර දෙනෙක් සෙට් වුණා. දුලීප්, මද්දා, ගැරායි, මමයි ගේම ගැහුවේ. ඒත් බණ්ඩා ඉන්න තැන, වෙලාව ගැන අපට කිව්වේ ඇතුළේ ඉන්න පැටි මහත්තයා. වෙපන් එක එව්වෙත් එයාලා."

"එදා . . . . . (ජනවාරි 7) හවස පැටි මහත්තයා කෝල් කරලා කිව්වා දැන් වෙලාව හරි වැඩට බහින්න කියලා. මමයි මද්දයි කඩුවෙල ඉඳලා බයික් එකේ අතුරුගිරියට ගියා. අනිත් දෙන්න ති‍්‍රවිල් එකේ ආවා."

"අතුරගිරිය ඔරලෝසු කණුව ළඟින් බයික් එක ආපහු කඩුවෙල පැත්තට හරවලා සැලෝන් එක පහුකරගෙන ගිහින් ස්ටාට් එකේම තියලා අපි දෙන්නා සැලොන් එකට ගියා. බණ්ඩා ඇතුලේ ඉන්නවා මම දැක්කා. ඒත් ඇතුලෙයි පඩි පෙලෙයි කොල්ලො කීප දෙනෙක් හිටපු නිසා එක පාරටම වෙඩි තියන්න මට චකිතයක් ඇති වුණා."

"ඒක නිසා මම පහළට ගිහින් පැටි මහත්තයට කෝල් කරලා කිව්වා බණ්ඩා ඇතුලේ නැහැ කියලා. පැට්ටා කිව්වා ඒක වෙන්න බැහැ ඔහොම ඉඳපං කියලා. විනාඩියක් යන්න කලින් ආපහු කෝල් කරලා කිව්වා ෆේෂල් දාලා ඇස් වහලා ඉන්නේ බණ්ඩා, ගිහින් තියලා වරෙන් කියලා. ඊට පස්සේ මමයි මද්දයි උඩට ගියා. මද්දා දොර ළඟ නතර වුණා. මම මද්දට කිව්වා බලපං ඒ බණ්ඩම ද කියලා. මද්දා දොර ඇරලා බලලා කිව්වා බණ්ඩා තමයි කියලා."

"මම බණ්ඩ ළඟට ගිහින් උඹ . . . . . අහවලා ද (අසභ්‍ය වචනයක්) කියලා අහද්දී බණ්ඩා එක පාරටම ගැස්සුණා. ඒත් එක්කම මම ඔළුවට ෂොට් එක තිබ්බා. බණ්ඩා එතන ඉන්න බව හරියටම පැට්ටට කිව්වේ කවුද කියලා නම් මම දැනගෙන හිටියේ නැහැ. ඒ සැලෝන් එකේ අක්කාව ඊට කලින් මම කවදාවත් දැකලාවත් තිබුණේ නැහැ."

ආමි අසංක එසේ පවසා තිබුණු අතර මංජුලා පවසා තිබුණේ වෙනමම කතාවකි.

"මගේ ඉඩමක් විකුණන්න දාලා තියෙනවා. පහුගිය දවසක කොල්ලෙක් ඇවිත් ඉඩම ගැන කතා කරගන්න කියලා මගේ ෆෝන් නම්බර් එක ඉල්ලගෙන ගියා. ඔය අංකෙන් කතා කළේ ඉඩම ගැන අහන්න. "

සමයංගේ දුරකතනයෙන් ලැබී තිබුණ ඇමතුම් පිළිබඳ ඇය පවසා තිබුණේ ඒඑලෙසය.

ඝාතනය සිදු වූ 17 වැනිදා සමයංට උසාවි දිනයකි. ඔහු උදෙන්ම බන්ධනාගාරයෙන් පිට වන අතර ඊළඟට රූපලාවණ්‍ය ශිල්පිනිය හා කතාබහ කරන්නේ පැට්ටාය. කැළුම් ද ඒ අතරතුර කතාබහ කොට තිබිණි.

එදින උදේ සිට එක් අංකයකින් ඇයට ඇමතුම් දුන් පැට්ටා සවස තුනේ සිට බණ්ඩා ඝාතනය කරන තෙක් ඇමතුම් ගෙන තිබුණේ වෙනත් අංකයකිනි. එම සිම්පතින් පැට්ටා රූපලාවණ්‍ය ශිල්පිනියට මුල්ම ඇමතුම ලබා දෙන්නේ සවස දෙකහමාරටය. අවසන් ඇමතුම දෙන්නේ සවස හයයි දෙකටය. ඒ අතරතුර ඔහු ඇයට ලබා දුන් දුරකතන ඇමතුම් සංඛ්‍යාව දහයකි. ඒ කතා බහ අවසන් වන්නේ බණ්ඩාට වෙඩි තැබීමට විනාඩි දෙකකට පමණ පෙරය.

එලෙස පැය හතරක කාලයකදී එකම අංකයකින් ලැබුණු දුරකතන ඇමතුම් දහය පිළිබඳ ඇය පැවසුවේ මෙලෙසය.

"ඒ කතා කළේ කවුද කොහේ ඉඳල ද කියන්න මම දන්නේ නැහැ. ඒ මනුස්සයා කතා කළේ ෆේෂල් එකක් කර ගන්න වෙලාවක් ඉල්ලලා. එදා මට කෝල් කර කර ඇහුවේ ඒ ෆේෂල් එක ගැනයි, දැන් කට්ටිය ඉන්නවද කියලයි. බණ්ඩාර මල්ලි ගැන මුකුත් ඇහුවේ නැහැ. මම කිව්වෙත් නැහැ. අනික මම දන්නේ නැහැ ඒ කතා කළේ බන්ධනාගාරය ඇතුලෙන් කියලා. මම මේ සිද්ධිය ගැන කියන්න මුකුත්ම දන්නේ නැහැ."

ඒ මේ ඝාතන සැලසුමේ ප්‍රධානියා ලබා දුන් දුරකතන ඇමතුම් ගැන ඇය ලබා දුන් ප්‍රකාශයයි. එදා කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි කැළුම් රණාලේ සමයංගේ ළඟම ගෝලයකු මෙන්ම රූපලාවණ්‍ය ශිල්පිනියගේ ඥාතියකු ද වේ. ඔහු ද එදින ඇයට දුරකතන ඇමතුම් කිහිපයක් ලබා දී තිබිණි.

"කැළුම් කතා කළේ එයාගේ නංගිගේ වෙඩ්ං එක ගැන. නංගි රට ඉඳලයි ආවේ. මම දන්නේ නැහැ කැළුම් ඉන්නේ හිර ගෙදර කියලා. මම හිතුවේ නංගි රට ඉඳලා එනකොට කැළුමුත් එළියට ඇවිත් තමයි වෙඩිං එක ලෑස්ති කරනවා ඇත්තේ කියලා. මම දන්නේ නැහැ කැළුම් කතා කළේ හිරගෙදර ඉඳලා කියලා."

ඇය එලෙස මොනවා කීවද පොලීසිය ඇය අත් අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළේය. අනතුරුව ඇය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.

මීට මාස පහකට පමණ පෙර ඇයට ඇප ලැබුණු අතර එළියට පැමිණීමෙන් පසු ඇය සිය සැමියා සිටින නිවෙසේ කල් ගෙවීමට ගොස් තිබුණේ නැත. ඊට එක හේතුවක් වූයේ ඇයට ජීවිත තර්ජන තිබීමය.

බණ්ඩා මරා ඇතුලට ගිය ආමි අසංක ඇතුලේ සිට සිය සගයන් මෙහෙයවා ඇයට ආරක්ෂාව සැපයූ අතර ඇය නඩු වාර සඳහා අධිකරණයට පැමිණියේ ද මේ බොඩිගාඩ්ලා සමඟය. ඇය නිවෙසින් බැහැරව නොයෙක් තැන්වල කල් ගෙවමින් ජිවිතය ආරක්ෂා කර ගැනීමට දැඩි උත්සාහයක යෙදුනාය.

ඒ අතර ඇය සිය ජීවන වෘත්තීය වන රූපලාවණ්‍ය කටයුතුවලද යෙදී තිබිණි. එහෙත් රූපලාවන්‍යාගාරය ගෝලයන්ට පවරා ඇය පැත්තකට වී සිටින්නට ඇත්තේ ජිවිත ආරක්ෂාව උදෙසා විය යුතුය.

මේ වන විට බණ්ඩා ඝාතන සිද්ධිය මෙන්ම මංජුලා මරා දමන බවට එවකට ප්‍රදේශය පුරා පැතිර තිබූ කතා අතුරුගිරිය ඇතුළු අවට තතු දත් අයගේ මතකයෙන් ද බැහැරව ගොස් තිබිණි.

එහෙත් කාට මොනවා අමතක වුවත් පාතාලයන්ට පලිගැනීම් අමතක නොවන බව පසක් වූයේ පසුගිය 30 වැනිදා රාත්‍රියේ පැතිර ගිය ආරංචියකිනි. එම ආරංචිය වූයේ "රුක්මල්ගම ගෙදරදී මංජුලාට වෙඩි තියලා මරල දාලලු" යන්නයි.

නොවැම්බර් මස 30 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති මුදල් ආරවුලක් පිළිබඳ නඩුවකට ඇය පෙනී සිට ඇත. ඒ නඩුවට සහභාගිවීමට ඇය අධිකරණයට ගොස් තිබුණේ කොට්ටාව පොලිස් වසමේ රුක්මලේ ප්‍රදේශයේ පිහිටි සැමියාගේ නිවෙසේ සිටය.

සිරගතව සිට පැමිණ තැන් තැන්වල කල් යැවූ ඇය සැමියාගේ නිවෙසෙට ගොස් තිබුණේ මෙම සිද්ධියට සති දෙක තුනකට පමණ පෙරදී බව කියයි. ගෙවී ගිය කාලය පුරා ඇය මරණ බියෙන් කල් ගෙවා තිබූ අතර මීට සති දෙකකට පෙර අතුරුගිරිය පොලීසියට ගොස් ස්ථානාධිපතිවරයා හමු වී තමාට මරණ තර්ජන ඇති බව ඇය පවසා තිබිණී.

එහෙත් ඇය ඒ වන විට සැමියාගේ නිවෙසේ කල් ගෙවන බව විරුද්ධ කල්ලිය දැන නොසිටින්නට ඇත. ඔවුන් ඒ බව දැන ගන්නට ඇත්තේ එදින (30) නඩුව අවසන් කොට නිවෙසට යද්දී විය යුතුය. එම කල්ලිය ඒ බව දැනගන්නට ඇත්තේ ඇයට හොරා ඇය පසුපස හඹා ගොස් විය යුතු බව කාගෙත් සැකයයි.

රාත්‍රිය උදා විය. වේලාව අටහමාර පසුව තිබිණි. ඇයගේ සැමියා ඊට ටික වේලාවකට පෙර නිවෙසින් පිටතට ගොස් ඇති අතර දොරවල් වසාගෙන ඇය නිවෙසේ සිටියේ දරු දෙදෙනා, සැමියාගේ මව සහ පියා සමඟය. පියාත් බාල දරුවාත් සාලයේ රූපවාහිනිය නරඹමින් සිට ඇත.

ටික වෙලාවක් ගත වෙද්දී දොරට තට්ටු කරන හඬක් ඇසිණි. ඒ කවුරන්දැයි බැලීම සඳහා දොර විවර කළේ මංජුලාගේ නැන්දම්මාය. දොර අරිනවාත් සමඟම ෆුල්ෆේස් හෙල්මට් දමා ගත් එතරම් උස මහත නැති තරුණයන් දෙදෙනකු ගෙට පැන්නේ පිස්තෝල දෙකක් ද අතැතිවය.

ඒ වන විට ඉහළ මාලයේ සිටි මංජුලාට ද පහත මාලයෙන් කිසියම් නුහුරු ශබ්දයක් ඇසී තිබිණි. ඇය පඩි පෙළ බැසගෙන පහළට එන්නට ඇත්තේ පහළ සිදුවන්නේ කුමක්දැයි දැනගැනීම සඳහාය.

පහළට එන ඇය දුටුවේ තමාගේ මාරයා දෙපතුල අසලටම පැමිණ ඇති බවකි. ඇය නැන්දම්මාගේ සිරුරේ වෙලී ජිවිතය බේරා ගැනීමට උත්සාහ කළාය. එහෙත් පිස්තෝලකරුවන් ඇයට ඒ සඳහා කිසිම ඉඩක් ලබා දුන්නේ නැත.

එල්ල කළ පළමු වෙඩි පහරින් ඇය මුනින් අතට බිම පතිත වෙද්දී පිස්තෝලකරුවන් දෙදෙනා මාරුවෙන් මාරුවට ඇය වෙත තවත් වෙඩි පහර 13 ක් එල්ල කොට යන්නට ගියහ.

එදා . . . . . . ජනවාරි 19 වැනිදා බණ්ඩාගේ අවමඟුල් නිවෙසේදී අංගොඩ ලොක්කා, ලඩියා කල්ලි සාමාජිකයන් අතර වූ කසුකුසුව එලෙස යථාර්ථයක් බවට පත් වෙද්දී පාතාල කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස රූපලාවණ්‍ය ශිල්පිනියක ඝාතනය වූ බව අපරාධ ලොවේ ඉතිහාසයට මංජුලා ඝාතන සිද්ධිය එක් විය.

තක්ෂිලා ජයසේකර

ඡායාරූප - නිරෝෂ් බටේපොල