"බිමට වැටුණු සුරඟනන්"

"බිමට වැටුණු සුරඟනන්"

රාන්ග්පූර් හි “ජීවා” සදාචාර සංස්කෘතියේ සළු පිළි කොයිතරම් පළන්දන්නට උත්සාහ කළත් ආසියාතික රටවල් මුහුණදෙන සමාජ ප්‍රශ්න බොහෝය. ගණිකා වෘත්තිය ඉන් ප්‍රබලතම සමාජ ප්‍රශ්නයකි. දකුණු ආසියාවේ පමණක් මිලියන තුනකට ආසන්න ගණිකාවන් පිරිසක් ජීවත්වන බව මේ පිළිබඳ කළ සමීක්ෂණයකදී හෙළි වී ඇත.

ළමයින් පිරිමින් කාන්තාවන්සේම ලිංගික විපරිතයන්ට ලක් වූ අයද මේ පිරිසට අයත් වන බව එම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. ඒ අතර ගණිකා වෘත්තියේ යෙදෙන යුවතියන්ට ඇත්තේ මහත් වූ ඉල්ලුමකි. ළාබාල වියේ පසුවන ඔවුන් අකමැත්තෙන් වුවත් ගණිකා වෘත්තියට ඇදගෙන යාම මෙම රවටල වෙසෙන සංවිධානාත්මක ජාවාරම් කරුවන් විසින් සිදු කරනු ලබන්නකි. එලෙස මෙම ව්‍යාපෘතියට එන මෙම යුවතියන් නිශ්චිත කාලයක් ජීවත්වන්නේ සුරඟනන් ලෙසටය. එහෙත් මෙවන් සුරඟනන් බොහෝ දෙනා අන්ත අසරණ පවුල්වල අයවෙති. කුල පීඩනය, ආර්ථික පීඩනය දරාගත නොහැකිව මහ මඟට පිලිපන් අයද කුලයෙන් නෙරපීමෙන් පසු අතවරයට ලක් වූ යුවතියෝද ඒ අතර වෙති. තවත් සමහර ළාබාල දැරියන් ඈත දුෂ්කර ගම්මානවල පදිංචි දෙමාපියන් රවටා පැහැරගෙන එනු ලැබු අයවෙති.

බිමට වැටුණු සුරඟනන් කෘතිය ඇසුරෙන් සැකසු එම ලිපි පෙළ ගණිකා මඩම් හා ලිංගික වෙළදාමේ නියුතු තැනැත්තන්ගෙන්ම ලබාගත් තොරතුරු මත සම්පාදනය වී තිබේ. මෙම කෘතිය ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 14 දෙනකු විසින් රචනා කරන ලද්දෙකි.

ලිංගික වෙළඳාම, ළමා ගණිකා වෘත්තිය, ගණිකා මඩම් සංස්කෘතිය ගැඹුරින් විමසා බලන්නට මේ කෘතිය උත්සාහ දරා ඇත. බොහෝ මාධ්‍යවේදීන් මෙවන් බියකරු ගුප්ත ලෝකයක සැරිසරන්නට බිය වන්නේ මත්ද්‍රව්‍ය, පාතාලය හා මැරකල්ලි මේ පිටුපස ක්‍රියාත්මක වීම නිසාය.

බිමට වැටුණු සුරඟනන් තුළින් ඔබ කියවන මේ අහිංසකාවියන් ගේ කතා අපේම සමහරක් සොයුරියන් ගේ කතා හා සමාන නොවන්නේද?

ලෝකය කොයිතරම් ලස්සන මල් යායක් ද කියලා ජීවා ට හිතුණු වාර අනන්තයි. ඒත් ජීවාගේ කතාව ගොඩක් දුක්බරයි. තමිල්නාඩුවල රාන්ග්පූර් වල ගොඩක් දෙනාගේ ප්‍රසාදයට පාත්‍රවෙච්ච රන්දීර් හෝටලයේදී තමයි ජීවා අපිට හමු වුණේ. ජීවා තාමත් සුන්දර කාන්තාවක්. එයාගේ රූඹර සිරුර ඕනෑම කෙනෙක් ගේ නෙත් සිත් පැහැර ගන්නට තරම් සමත් වෙනවා.

“ඔයා ළමා කාලය කොහෙද ගත කළේ?”

මගේ මිත්‍රයා ජීවාගේ කතාවට මුල පිරුවා.

“මම සවාන්දන් ගමේ උපන් කෙනෙක්. මගේ තාත්තා අසනීප වෙලා ගෙදර හිටියා. අම්මා තමයි නංගිවයි මල්ලිවයි මාවයි නඩත්තු කළේ..... මමත් කොහොමහරි අම්මට උදව් වෙලා එයාව සතුටෙන් තිබ්බා. මට අවුරුදු 17 ක් විතර වෙනකල්ම කෝවිලේ වැඩ කරන්න මම ගියා. එහෙම ගිහිල්ලා හම්බවෙන රුපියල් 500 අපිට රුපියල් පන්දාහකටත් වඩා වටින බව අම්මා නිතර කිව්වා. කොහොම වුණත් ඒ කාලේ මගේ ලොකුම වුවමනාව වෙලා තිබුණේ අම්මවයි තාත්තවයි නංගිවයි මල්ලිවයි හොඳින් රැකබලා ගන්නයි.”

“ඔය කෝවිලේ ඉන්න කොට තමයි මට රාජු හම්බ වුණේ. එයා සාප්පුවක වැඩ කළේ. එයාට පොඩි මෝටර් සයිකලයකුත් තිබුණා. කෝවිලේ යාගයකට තනිවම ආපු දවසක තමයි මට එයාව මුලින්ම හමු වුණේ. මම රාජුට කිව්වා මං ගොඩක් දුප්පත් කෙනෙක් ඔයාට මං නිසා සැනසීමත් නැති වේවි කියලා. ඒත් එයා කිව්වේ “මිනිස්සු දුප්පත් වුණත් එයාගේ හිත තමයි ගොඩක් වටින්නේ කියලා.”

ටික දවසක් යද්දී කොහොමහරි එයාට මාවත් මට එයාවත් නැතිව බැරි වුණා. මම අම්මටත් රාජු ගැන කිව්වා. අපි වැටිලා හිටිය වළේ රාජුවත් දාන්න එපා කියලයි අම්මා කිව්වේ.

ඒත් මම අම්මා කිව්ව කතාව රාජු ට කිව්වම රාජු කිව්වේ මම ඔයාල ඔක්කෝම ඔය කරදරයෙන් බේර ගන්නවා කියලා. රාජු ගේ අම්මල තාත්තලා හිටියේ ශ්‍රී නගර්වල. එයාලටත් රාජු මං ගැන කියල තිබුණා. ඒත් අපේ පුංචි ගෙදරට එයාල කවදාවත්ම ආවේ නැහැ.”

හැම සතියකම රාජු අපේ ගෙදරට වියදම් කරන්න සල්ලි ගෙනල්ලා මට දුන්නා. ඒවායින් අපි කාලා බීලා ඉස්සරට වඩා සතුටින් ජීවත් වුණා.”

ඔයාලා කසාද බඳින්න තීරණය කරල තිබුණද?

මගේ මිත්‍රයා ආයෙත් ජීවාගෙන් ඇහුවා.

“ඔව් අපි දෙන්නා බඳින්න තීරණය කරල තිබුණා. මට දෙවියන් ඉදිරියේ එයාව මගේම කරල දෙන්නා කියලා විරුදම් ඇල්ලුවා. කවදහරි දෙවියෝ රාජුව මට ගෙනල්ලා දෙනවා කියලා මට විශ්වාසයක් තිබුනා. එයත් එක්ක අපේ ගෙදර අපිත් එක්ක ඉන්න ලැබන දවස ගැන මතක් කරලා මම ගොඩක් හීන මැව්වා.

හැම සතියෙම සෙනසුරාදා සවස මම කොහොම හරි රාජුව හමු වෙන්න ගියා. ගමට ටිකක් ඈතට වෙන්න තියෙන නිදහස් තැනකට වෙලා මම එයත් එක්ක කතා කර කර ඉඳලා සවස් වෙන්න කලින් ගෙදර ආවා. සතියකට සැරයක් උදාවෙන ඒ දවස එනකම් මම ගොඩක් ආසාවෙන් බලා උන්නා. හරියට පුංචි දරුවෙක් ට එයාගේ තාත්තා රස කැවිලි අරගෙන එනකල් බලාගෙන ඉන්නවා වගේ.”

“එදත් සෙනසුරාදා දවසක්. මගේ හිතේ ගොඩක් බලාපොරොත්තු තිබුණා. බැදපු අළු කෙසෙල් පැණි දාලා විකුණන්න තිබුණා. මට ඒවා පහක් විතර රාජු අරගෙන දුන්නා. අපි දෙන්නා ගොඩක් වෙලා වෙරළ අයිනේ තියෙන වැටකෙයියා පඳුරක් යට අපටම සීමා වුණු ලෝකයක ඉන්නවා වගෙයි මට හිතුණේ...”

“අපි ඉක්මනටම මේ ප්‍රශ්න ඔක්කොම විසඳගමු. මට උසස් වීමක් ලැබෙනවා ලබන අවුරුද්දෙදී. එතකොට මම මේ පරණ මෝටර් බයිසිකල් කටුව විකුණනවා. ඔයාට ලස්සන සල්වාර්, සාරි අරගෙන දෙනවා.”

රාජුගේ ඇස්වල බලාපොරොත්තු පිරිලා.

“අනේ ඒක කොච්චර ලොකු දෙයක් ද ඔයා ගොඩක් වාසනාවන්තයි රාජු”

මම එයාගේ අත අල්ලගෙන කිව්වා. අපිට එහෙම ගොඩ වේලාවක් ඉන්ට ලැබුණේ නැහැ. කවුදෝ මිනිස්සු දෙන්නෙක් එකපාරටම අපි දෙන්නා ගාවට අවා...

“ උඹ තමයි අපිට ඕන කරපු මිනිහා. උඹ රුපියල් ලක්ෂ ගණන් වංචා කරල මේ කෙල්ලත් රවට්ටා ගෙන නේද මෙතැනට ආවේ කියලා” එයලා රාජුට කරදර කරන්න ගත්තා. මේ මිනිස්සු කියන්නේ ඔක්කෝම බොරු කියල මට එකපාරටම තේරුණා.”

“අපිට යන්න දීලා උඹල ගේ පාඩුවේ යන තැනක පලයල්ලා” රාජු කිව්වා.

“ඒත් ඒ මිනිස්සු එහෙම ගියේ නැහැ. උන් රාජුට හොඳටම ගැහැව්වා... එකෙක් උන් ගාව තිබුණු පොල්ලකින් රාජුගේ ඔළුවට ගැහුවා. රාජු එතැනම බිම ඇදගෙන වැටුණා. ඒකෙන් එයාට සිහිය නැතිවුණා. උන් තුන්දෙනා මගේ බෙල්ලට දැලි පිහියක් තියාගෙන මාව උන් ආපු ත්‍රීවිල් එකට දාගත්තා.

එතකොට මිනිස්සු කවුරුවත් හිටියේ නැද්ද? ඔයාවයි රාජුටයි බේරගන්න ආවේ නැද්ද?

මගේ මිත්‍රයා එහෙම ඇහුවා. “නැහැ. එතැන ගොඩක් පාළු තැනක් මිනිස්සු පුංචි දරුවෝ හිටියේ ගොඩක් දුරින් ඉතින් එයාලට මේ කරදරය පෙනුණේ නැහැ. අනේ දෙයියනේ ඊට පස්සේ මේ මිනිස්සු තුන්දෙනා මාව ඒ ත්‍රීවිල් එකේ දාගෙන කොහේදෝ පාරක් දිගේ අරගෙන ගියා. මම බිරාන්ත වෙලා හිටියා. මගේ බලාපොරොත්තු ඔක්කොම මහ මුහුදේ දියවෙලා යන්න වගේ මට තේරුණා. පැයකට විතර පස්සේ උන් මාව පාළු ගෙදරකට අරගෙන ආවා. එතැන හිටපු කළු මහත උස මිනිහෙක් මගේ ගාවට ආවා.”

“දැන් උඹේ මිනිහා උඹ ගාවට ආයේ කවදාවත්ම එන්නේ නැහැ. අද ඉඳලා උඹ අයිති අපිට. අපිට ඕන දෙයක් උඹට කරන්න පුළුවන්. මතක තියා ගනින් උඹේ මිනිහා ආයේ කවදාවත්ම එන්නේ නැහැ.”

උන් තුන්දෙනාම මාව එදා රූ විනාශ කළා. මගේ ජීවිතේ මං හිතාගෙන හිටපු ඔක්කොම දේවල් මගේ හීන ඔක්කෝම එදා විනාශ වෙලා ගියා. ඔය විදියට දවස් ගානක් ගත වෙලා ගියා. එතැනින් ඩිංගක්වත් එළියට යන්න උන් මට ඉඩ දුන්නේම නැහැ. සතියකට විතර පස්සේ උන් මාව කොහේදෝ තැනකට එක්ක ගෙන ගිහිල්ලා තවත් මිනිහෙකුට භාර දුන්නා. එතකොට තමයි මං දැනගත්තෙ උන් මාව මේ මිනිහට විකුණුවා කියලා. ඌ මාව රාන්ග්පූර්වල හෝටලේකට අරගෙන ආවා. එදා ඉඳලා මේ ජරා ජීවිතේට මං හුරු වුණා. මගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වුණා. මට දැන් කිසිම දෙයක් වටින්නේ නැහැ. ඉර උදාවෙනවා බැහල යනවා.. ඒක තමයි මගේ ජීවිතේ...”

ඔයා හොයල බැලුවේ නැද්ද රාජු ගැන?

“අනේ නැහැ. මම මෙතැනට ආවට පස්සේ රාජු ගැන හොයන්න උත්සාහ ගත්තේ නැහැ. මොකද එයා කොයිතරම් ගුණ යහපත් කෙනෙක්ද එයාට හොඳ ගුණ යහපත් නෝනා කෙනෙක් හම්බ වෙන්න ඕන. එදා එයා මැරුණේ නැහැ. පස්සේ කවුරුහරි එයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න ඇති. අනේ එයාට කවදාවත් නරකක් නපුරක් වෙන්න එපා කියලයි හැමදාම මං දෙවියන්ට කියන්නේ?”

ඇයි ඔයා ආපහු අම්මල ගාවට යන්නේ නැත්තේ?

“මං කොහොමද අම්මලා ගාවට යන්නේ. මට සිද්ධ වෙච්ච දේවල් මං කොහොමද කියන්නේ. මං ගෙදර ආවද කියල බලන්න මං හොඳටම දන්නවා රාජු අනිවාර්යෙන්ම එනවා. එතකොට මං කොහොමද එයාට මූණ දෙන්නේ. මට මේව ඔක්කෝම මතක් වෙනවා. මගේ ජීවිතේ විනාශ වෙලා ගියාට මම ඒ ජීවිතවලට කවදාවත් දුකක් දෙන්න කැමති නැහැ.”

ඔයාට ඔයාගේ අම්මල ගැන දුකක් නැද්ද?

“ඇයි නැත්තේ. මම හැමදාම එයාලා ගැන හිතනවා. ඒත් මගේ ජිවිතය එයාලගෙන් ඈත් කරන්න මගේ දෛවය තීරණය කළා. ඒත් මගේ අම්මටයි නංගිටයි මල්ලටයි තාත්තටයි ජීවත් වෙන්න මම සල්ලි යවනවා. ඒත් ඒවා එවන්නේ මම කියලා එයාලා දන්නේ නැහැ. මෙහේ ඉන්න ගෑනියෙක් ලවා මම මාසේ ගානේ සල්ලි මං එයාලට යවනවා. මම කියල තියෙන්නේ ජීවාගේ යාළුවෙක් කෝවිලේදී හම්බවෙලා ජීවාට සිද්ධ වුණ දේ ගැන ගොඩක් දුක්වෙලා. අම්මටත් තාත්තටත් නංගිට මල්ලිට ජීවත් වෙන්න උදව් කරන්න සල්ලි දෙනවා කියලයි එයාල දන්නේ.”

ඔයාට ඔයා ගැන මොකද හිතෙන්නේ?

මම අන්තිමට එයාගෙන් ඇහුවා.

“මගේ ජිවිතය පුරාවටම තියෙන්නේ දුක. ඉතින් මම කොයිතරම් හිතුවත් මට දුක් විඳින්නට සිද්ධ වෙනවා. මම හැමදාම හිතන්නේ ඉර බැහැලා යනවා කරුවල වෙනවා... ආයෙත් උදේට ඉර පායනවා... ඒක තමයි මගේ ජීවිතේ කියලයි...."

ඩබ්ලිව්.ඒ සරත්චන්ද්‍ර