ඇස් රතු කළ ෆේස්බුක් විහිළුව

ඇස් රතු කළ ෆේස්බුක් විහිළුව

අති ප‍‍්‍රබල සහ වේගවත් සන්නිවේදන මාධ්‍යයක් වන ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මෙරට තුළ භාවිතා වන්නේ එහි නිර්මාණකරුවන් බලාපොරොත්තු වූ සැබෑ අරමුණු වෙනුවෙන්දැයි ඇත්තේ ගැටලුවකි. ඊට හේතුවී ඇත්තේ තමන් කන බොන දෑ වල සිට ලිංගිකත්වය, ප‍‍්‍රචණ්ඩත්වය සහ ගැටුම් ඇවිලවීම දක්වා වූ නොයෙකුත් අදහස් විවිධ පිරිස් මුහුණු පොතට ඇතුලත් කරමින් සිටිමයි. එබැවින් අද වන විට මුහුණු පොත තුළ සංසරණය වෙමින් ඇති තොරතුරුවලින් බහුතරයක් හරසුන්, ව්‍යාජ සහ අසත්‍ය ඒවා බවට පත්ව තිබීම කණගාටුවට කරුණකි.

මෙන්ම ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය අවභාවිත කරමින් සිදුකෙරෙන පුද්ගල හිංසනයන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහළ යමින් ඇති බව පොලිස් වාර්තා අනුව පැහැදිලි වෙයි. මෙහි ආසන්නතම සිදුවීම පසුගිය සතියේදී කුරුණෑගලින් වාර්තා විණි. දුරදිග සිතාබැලීමකින් තොරව, විහිළුවක් කිරීමේ අරමුණින් මුහුණු පොත යොදාගත් ක‍ි‍්‍රයාකාරකමක් රක්ෂිත බන්ධනාගාරගතවීමක් දක්වා දුරදිග යාමක් ඉන් සිදුවිණි.

කුරුණෑගල නගරයේ පිහිටි ප‍‍්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන 17 හැවිරිදි අරුණ තවත් දෙසතියකින් ආරම්භ වන අපොස සාමාන්‍යපෙළ විභාගයට මුහුණදීම සඳහා ලහිලහියේ සූදානම් වෙමින් සිටියේය. තනිව පාඩම් කිරීමට වඩා තවත් යහළුවකු සමඟ එක්ව පාඩම් කිරීම වඩාත් ඵලදායී බව වටහාගත් අරුණ තම මව්පියන්ගේ අවසරය මත ඔහුගේ මිතුරකු වන සුජීවගේ නිවසට ගොස් පාඩම් කිරීමට තීරණය කළේය. සුජීව ඉගෙනුම ලැබුවේද කුරුණෑගල පිහිටි තවත් මිශ‍‍්‍ර පාසලකය. සුජීවගේ සහ අරුණගේ මව්පියන් සමීප මිතුරන් වූ බැවින් දරුවන්ගේ එක්ව පාඩම් කිරීමේ තීරණයට ඔවුන්ගේ අනුමැතිය ද ලැබිණි.

අවාසනාවන්ත සිදුවීමකට පාර කැපෙන්නේ පාඩම් කිරීම සඳහා අරුණ, සුජීවගේ නිවසට ගිය එවන් දිනයකය. සුජීවගේ මව්පියන් එදින නිවසේ නොසිටි නමුත් ඔවුන්ගේ නිවස වෙත එදින තවත් අමුත්තෙකු පැමිණ සිටියේය. ඒ සුජීවගේ මෙන්ම අරුණගේත් මිතුරෙකි. ඔහු පසුගිය වසරේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසුව පාසල් අධ්‍යාපනය අතහැර දැමූ 18 හැවිරිදි තරුණයෙකි. පාඩම් කිරීමේ අරමුණින් නොවුණත් මිතුරු ඇසුර සඳහා ඔහු සුජීවගේ නිවස වෙත පැමිණ සිටියේය. මිතුරා සමඟ පාඩම්වල යෙදී සිටි අරුණට ඇඟපත සෝදා පිරිසිදු වීමේ අවශ්‍යතාවක් ඇතිවූයේ ඔය අතරය. හැඳ සිටි ඇඳුම් ගලවා පැත්තකට දමා, තුවායක් පමණක් ගත දවටා ගත් අරුණ‘‘මචං, මම නාගෙන එන්නම්. ’’ යැයි පවසමින් නාන කාමරයට වැදී දොර වසාගත්තේය. අරුණට බයිට් එකක් දිය යුතු බවට සුජීව සහ අනෙක් මිතුරාගේ සිත්වලට අදහසක් මතුවූයේ ඉන් අනතුරුවය. ඒ සඳහා ලහි ලහියේ සැලසුමක් සකස්වෙද්දී, කිසිත් නොදත් අරුණ තුවාය පමණක් ගත දවටාගෙන නාන කාමරයෙන් ඉවතට පා තැබීය. දොර අසල රැඳී සිටි සුජීව, අරුණගේ විලි වසාගෙන තිබූ තුවාය එක්වරම කඩා දමද්දී අනෙක් මිතුරා ඔහු අත තිබූ ජංගම දුරකථනයෙන් අරුණගේ නිරුවත් රුව දිගට හරහට ඡායාරූපයට නගන්නට විය.

ක්ලික්, ක්ලික් හඬින් විදුලි එළි දැල්වෙමින් සිය නිරුවත් සිරුර මිතුරාගේ දුරකථනයේ සටහන් වෙනු දුටු අරුණ, දෑතින් නිරුවත වසාගැනීමට දැරූ උත්සාහයද ව්‍යර්ථ වී ගියේ සුජීව පැමිණ ඔහුගේ දෑතම හිරවෙන ලෙස අල්ලා සිටීම හේතුවෙනි. සුජීව, අරුණගේ දෑත් අතහැරියේ නිරුවත් ඡායාරූප ගොන්නක්ම අනෙක් මිතුරාගේ දුරකථනය තුළ සටහන්වීමෙන් අනතුරුය.

‘‘කැත වැඩ කරන්න එපා බං. ඕවා ඩිලිට් කරපං. ’’

අරුණ සිය මිතුරන් හමුවේ බැගෑපත් වූ නමුත් බඩවල් අල්ලාගෙන සිනාසෙනු විනා සුජීව සහ අනෙක් මිතුරා එම ඉල්ලීම ගණනකට ගත්තේ නැත. දුරකථනයේ සටහන් වී තිබූ අරුණගේ නිරුවත් ඡායාරූප පෙන්වමින් සුජීව සහ අනෙක් මිතුරා දෑස්වලින් කඳුළු පනින තෙක්ම සිනාසුණහ.

මකා දමන ලෙසට අරුණ විසින් කොතෙකුත් ඇවිටිලි කළ නමුත් ඔහුගේ නිරුවත් ඡායාරූප මිතුරාගේ ජංගම දුරකථනයේ මුහුණ පොත තුළ සුරක්ෂිතව ගබඩා විය. අදාල සිදුවීම මිතුරන් විසින් කළ විහිළුවක් යැයි සිතූ අරුණ ද එම සිදුවීම එතැනින් අමතක කර දැම්මේය.

ඉන් දින කිහිපයකට පසුව එම ඡායාරූප ගැන අරුණගේ මතකය අලුත් කරන්නේ ඔහු වෙත ලැබුණු නරක ආරංචියකින්ය.

‘‘අපි උඹේ නියුඩ් පොටෝ දැක්කා. පට්ට බොඩිය ඈ...’’

මගතොටේ හමුවන ඇතැම් මිතුරන්ද අරුණට විහිළු කරන්නට පටන්ගැනීමත් සමඟ අරුණට හීන් දාඩිය දැම්මේය. තමන් විහිළුවකට සීමා කළ නමුත් මිතුරන් විසින් එය විහිඵවක සීමාවෙන් ඔබ්බට ගෙනගොස් ඇති බව වටහාගත් අරුණ තම නිරුවත් ඡායාරූප පිළිබඳව අනෙක් මිතුරන් දැනගත්තේ කෙසේදැයි සොයන්නට විය. මිතුරන් කිහිපදෙනෙකු විසින් මුහුණුපොත තුළ නිර්මාණය කරගෙන සිටින කණ්ඩායම් සංවාදයක් වෙත තම නිරුවත් ඡායාරූප මුදාහැර ඇති බවත්, එහි සාමාජික මිතුරන් විසින් එම ඡායාරූප පිළිබඳව කමෙන්ට් කරමින් සිටින බවත් අරුණ දැනගත්තේය.

ඒ අතර අරුණගේ පියා හමුවීමට පැමිණි තවත් පියෙකු මුහුණු පොතට ඇතුළත්කර ඇති අරුණගේ නිරුවත් ඡායාරූප ඔහුට පෙන්වන්නේ අරුණගේ පියා ද අන්දමන්ද කරවමින්ය. අදාල ඡායාරූපවල සුලමුල අරුණගෙන්ම දැනගත් ඔහුගේ පියා , තම දරුවාට සිදු වී ඇති අකටයුත්ත මෙන්ම එය මුහුණු පොත තුළ තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීමටත් ඇති එකම මග නීතියේ පිහිට පැතීම බව වටහාගත්තේය. අරුණගේ පියා ඒ සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරන්නේ ඒ අනුවය. ශ්‍රී ලංකා පොලිසියට මෑතකදී එක් වූ තොරතුරු තාක්ෂණ ඒකකයේද සහය ඇතිව පොලිස් පරීක්ෂණ කඩිනමින් ආරම්භ වූ අතර, අදාල මුහුණුපොත් සංවාද කණ්ඩායමේ සාමාජිකත්වය දරන සිසුන් එකොළොස් දෙනෙකුගෙන් ප‍‍්‍රකාශ සටහන් කරගැනීමට පොලිසිය කටයුතු කළේය. පොලිස් පරීක්ෂණ අවසානයේදී අරුණගේ නිරුවත් ඡායාරූප ලබාගැනීමට සහ එය අන්තර්ජාලයට මුදාහැරීමට සුජීව සහ අනෙක් මිතුරාට අමතරව, මෑතකදී පාසල් අධ්‍යාපනය අවසන් කළ වයස අවුරුදු 18 ක තවත් තරුණයකුද සම්බන්ධ වී ඇති බවට පොලිසිය කරුණු අනාවරණය කර ගත්තේය. ඒ අනුව පොලිසිය විසින් පසුගිය 25 වැනිදා සුජීව අත්අඩංගුවට ගත් අතර මව්පියන් සමඟ පැමිණි අනෙක් මිතුරාද එදින පස්වරුවේ කුරුණෑගල මූලස්ථාන පොලිසිය වෙත බාරවිය.

කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් ෆිලීෂියන් පෙරේරා මහතා වෙත ඉදිරිපත් කෙරුණු සුජීව සහ අනෙක් මිතුරා පසුගිය 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. දින දෙකකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි සුජීව සහ ඔහුගේ මිතුරා පසුගිය 27 වැනිදා කුරුණෑගල මහෙස්ත‍‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර පොලිසිය මගහරිමින් සිටි අනෙක් තරුණයාද එදින අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ.

සුජීව සහ අනෙක් දෙදෙනා විසින් වරද පිළිගැනීමත්, සුජීව මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටීම පිළිබදවත් සලකා බැලූ කුරුණෑගල අතිරේක මහේස්ත‍‍්‍රාත් චාමර වික‍‍්‍රමනායක මහතා එක් අයෙකුට රුපියල් පන්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත පිරිස මුදාහරින ලෙසට නියම කළේය.

දුරදිග නොසිතා කළ විහිළුවකට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියත් ඈඳාගැනීම නිසා එය අවසානයේදී කිහිපදෙනෙකුගේම ඇස් රතු කළ විහිළුවක් බවට පත්ව තිබුණේ එලෙසිනි.

කුරුණෑගල අතිරේක බණ්ඩාර රත්නායක.