පුංචි සියුමිගේ ඝාතකයා කවුද ?

පුංචි සියුමිගේ ඝාතකයා කවුද ?

කතරගම දෙවියන්ටත් නොපෙනුණු මැණික්පුර දැරියගේ ඝාතනයට

වගකිවයුත්තෝ කවුරුන්ද යන්න සොයා ගැනීමට කතරගම පොලිසිය මෙතෙක් සමත් වී නැත. කතරගම දෙවිහාමුදුරුවන්ගේ අඩවියේ ඇති කතරගම මැණික්පුර ගමම හැඬ වු අහස පොළොව නුහුලන මේ මහා අපරාධය සිදු වුයේ ඉකුත් 26 වන දින ඉර අවරට යන මොහොතේය. මෙය ක්ෂණයකින් ගම පුරා පැතිර යන්නට වුයේ එය ඇසු ඇසු කෙනා මේ මොන වින්නැහියක් වෙන්න යනවද දෙවියනේ කියමිනි. අපරාධය කිනම් අයුරින් සිදුවිද යන්න ගම්මුන්ට මෙන්ම පරික්ෂණ පවත්වන පොලිසියට ද ගැටලුවකි.

වයස අවුරුදු 22ක් වු චාරුක සුනිල් හා 19 හැවිරිදි ජයනි සඳරේඛා කතරගම වල්ලිමාතාගම මැණික්පුර ප්‍රදේශයේ පදිංචි කරුවෝය. ජයනි සඳරේඛා පානදුර ප‍‍්‍රදේශයේ පදිංචිකාරියක වන අතර විවාහයෙන් පසු මැණික්පුර පිහිටි සිය සැමියාගේ මහ ගෙදර ජීවත්ව ඇත. විවාහයෙන් පසු ඔවුන්ගේ කැදැල්ලට තවත් සාමාජිකාවක් එක් වුවාය. ඒ සියුමි සාදනා සිගිත්තියයි.

චාරුක සුනිල් සිය පියා මව හා ඔහුගේ බිරිය ජයනි සදරේඛා හා චුටි

දියණිය සියුමි සාදනා සමඟ පුංචි පැල්පතක සතුටින් ජිවත් වූ අතර චාරුක යාල සෆාරි ජිප් රථ රියදුරෙකු ලෙස සේවය කළේය. ඔහුගේ පියා මාලු වෙළෙන්දෙකි.

මේ අයගේ නිවසට මිටර් 200ක් පමණ දුරට වන්නට පිහිටා ඇත්තේ

වල්ලිකන්දාරාම පුරාණ විහාරයයි.ප්‍රදේශයේ තරුණයෝ විහාරස්ථානයට ගොස් විහාරාධිපති හිමියන් හා කතා බස් කර ඒම සාමාන්‍ය සිරිතක් කරගෙන සිටියෝය. ඉකුත් 26 වැනිදා සවස සුපුරුදු පරිදි රැකියා නිමාවෙන් පසු චාරුක සුනිල්ද විහාරස්ථානයට ගියේය. ඒ යන විට නිවසේ සිට ඇත්තේ මාස දෙකයි දින විසි එකක් වයසැති බිළිඳියත් ඔහුගේ බිරියත් පමණි. වල්ලිකන්දාරාම පන්සලට ගිය චාරුකට ඒ අතරතුර දුරකතන ඇමතුමක් ලැබුණි. ඒ වනවිට වේලාව සවස 6.51ට පමණ ඇත. තම බිරියගෙන් ලැබුණු දුරකතන ඇමතුමෙන් කියවුණේ "කවුද දෙන්නෙක් ඇවිත් මාව දුෂණය කරන්න හැදුවා. මම පැනලා දිව්වා. දරුවා එක්කෙනෙක් අරගෙන ගියා" යනුවෙන්ය. මෙම දුරකතන ඇමතුම ලැබිමත් සමඟ උන්හිටි තැන් පවා අමතක වු චාරුක පන්සලේ සිට නිවසට දුවගෙන ආවේ

සිය කුළුදුල් දියණියට සිදු වුයේ කුමක්ද යන්න සොයා ගන්නටය. ඔහු නිවසට යන විටත් අසල් වාසීහු ඔහුගේ නිවසට එක් රොක් වි සිටියහ.

අසල්වැසියන් සමඟ එක්වූ චාරුක කුඩා දියණියට වුයේ කුමක් දැයි ගමම

පෙරළා සොයන්නට වූහ. පිරිසක් අහළ පහළ ගෙවල් වලට එබී බලද්දී,තවත් පිරිසක් පාරේ යන එන වාහන නතර කර පරික්ෂා කරන්නට වුයේ දරුවා පැහැරගත් ගෝනි බිල්ලා කවුරුන්දැයි සෙවිමටය. මේ අතරේ දරුවාගේ පියා ඔහුගේ පදිංචි කුඩා නිවසට යාබදව ඉදිකරගෙන යන නව නිවස පරීක්ෂා කළේ කිසියම් හෝඩුවාවක් දැන ගැනීමේ අපේක්ෂාවෙනි.එහිද දරුවා නොවීමෙන් ඉදිකරගෙන යන නිවස අසල පිහිටි වතුර පිරී තිබු

ප්ලාස්ටික් බැරලය අසලට පැමිණි චාරුක ඔළුවට දෙඅත් ගසාගෙන “කෝ දෙයියනේ මගේ දරුවා” කියමින් මහ හඬින් වැළපෙන්නට විය. යළි දිග සුසුමක් ගත් ඔහු නිකමට මෙන් වතුර බැරලය දෙස බැලීය. බැරලය තුළ බාල්දියක් වැනි යමක් ඔහුට දිස් විය. චාරුක බැරලය තුළට අත දමා එයද පරික්ෂා කරන්නට විය. බැරලය තුළට අත දැමු චාරුකට කෑ ගහනවා හැරෙන්න වෙන යමක් කරන්නට හැකි නොවිය.

"මම දරුවා හැම තැනම හෙව්වා. නමුත් කොහෙවත් හිටියේ නෑ පස්සේ මම අලුතින් හදන ගේ ළඟට ගිහින් බලන කොට එතන තිබුණු වතුරු පිරුණු ප්ලාස්ටික් බැරල් එකේ දරුවා හිටියා. මම දරුවා අරගෙන ගසලා කතරගම රෝහලට අරගෙන ගියා. නමුත් දරුවා මියගිහින් කියලා දොස්තර මහත්වරු කිව්වා.”

ඔහු කියන්නේ එවැන්නක්ය.

මෙම දරුවාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් වන ප්‍රබලතම සාක්ෂිය බවට පත් වුයේ මියගිය දරුවාගේ මව වන විජේසූරිය ආරච්චිගේ දොන් ජයනි සඳරේඛා (19) මහත්මිය පොලිසියට දුන් ප්‍රකාශයයි. ඊට හේතුව වූයේ සියලු සිදුවිම් සිදුවන විට නිවසේ සිටි එකම අය වුයේ ඇය වීමය. මෙම සියලු සිදුවිම් දාමය උදෙසා මුහුණ දුන් එකම පුද්ගලයාද ඇයය. සියලු දෙනා දන්නේ ඇය කියන දේ පමණි. ඇය හැරෙන්නට මේ සිදු විම දුටු කිසිවකු නොමැත. වෙනත් කියන්නට තරම් ප්‍රබල සාක්ෂියක් ද පොලිසියට හමු වී නැත. ඒනිසා පොලිසිය ඇයගෙන්ද මේ සිදු වීම පිළිබඳව විමසුවේය. මේ ඇය කියු කතාවයි.

“මගේ සැමියා යාල සෆාරි ජිප් රථ රියදුරෙක් ලෙස කටයුතු කරනවා. මරා දමා ඇත්තේ අපට සිටි එකම දරුපැටිය යි. සැමියා හැමදාම වගේ හවසට ගමේ පන්සලට යාම පුරුද්දක් කර ගෙන තිබුණා. මේ සිද්ධිය වෙන වෙලාවේත් සැමියා ගමේ පන්සලට ගිහින් හිටියේ. සවස 6.45 ට විතර දෙන්නෙක් ගෙදරට ආවා. මාමා කෝ කියා ඇසුවා. අපේ මාමා මාළු විකුණනවා. ඒ වෙලාවේ ඔහු ගෙදර හිටියේ නැහැ. මම කිව්වා මාමා ගෙදර නැ කියලා.ඒත් මම ඇහැව්වා මාමා හොයන්නේ ඇයි කියලා.ඒ වෙලාවේ ඔවුන් කිවුවා අද උදේ මාමගෙන් මාළු වගයක් ණයට ගත්තා ඒකේ සල්ලි දෙන්නයි ආවේ කියලා. මාමා නොමැති නිසා ඔවුන් දෙන්නා යන්න ගියා. මම පොඩි එකා වඩාගෙන සිටියදී කලින් ආ දෙදෙනාම නැවත ඇවිත් ගෙට ඇතුළු වුණා. එක් කෙනෙක් මම කෑගහද්දිම මගේ අතේ හිටිය දරුවා උදුරාගත්තා. අනෙක් එකා මාව අල්ලාගෙන මට කරදර කරන්න හැදුවා.මම ඌත් එක්ක පොර බදා කොහොම හරි උගෙන් බේරීලා පස්සෙ දොරෙන් එළියට පැනලා අල්ලපු ගෙදරට ගියා. ඒත් එක්කම මට ත‍‍්‍රිරෝද රථයක් වේගයෙන් යන හඬකුත් ඇසුණා. මම කෑ ගහලා සිද්ධිය කීවම අහල පහළ අය දුවගෙන ආවා. ඒත් දරු පැටියා පේන්න හිටියේ නැහැ.”

"මම මහත්තයටත් කෝල් කරලා සිද්ධිය කිව්වා. පස්සෙ කට්ටියම එකතුවෙලා සොයා බලද්දී තමයි දරු පැටියා අලුතින් හදන ගේ ළඟ වතුර බැරල් එක ඇතුලේ ඉඳලා හම්බ වුණේ. එළියට අරගෙන බලනකොටත් දරු පැටියා නැති වෙලා. මේ අපරාධය කළ දෙන්නා නැවත දැක්කොත් මට හඳුනාගන්න පුළුවන්”

සිද්ධියට මුහුණ දුන් තරුණ කාන්තාව වැඩි දුරටත් පවසා ඇත්තේ මුහුණ පුරා රැවුල වවාගත් පුද්ගලයකු හා තවත් අයකු නිවසට පැමිණි බවයි.

එහිදී රැවුල වවාගත් පුද්ගලයා තමන්ගේ අතින් අල්ලා බදා ගන්නා විට අනෙක් පුද්ගලයා අතේ සිටි දරුවා උදුරාගෙන නිවසින් පිට වු බව ඇය ප්‍රකාශ කර සිටියාය. රැවුල වවාගත් පුද්ගලයා තමන්ව තල්ලු කරගෙන අල්මාරියට තද කරගෙන දුෂණය කිරීමට උත්සාහ කළ බවද කියන ඇය ඔහු උස මහත අයකු බවද කීවාය. කෙසේ හෝ ඔහුගේ ග්‍රහණයෙන් මිදි නිවසින් එළියට දිව යන විට ඔහුද ඇයගේ පසු පසින් ඒමට උත්සාහ කළ බවත් එහිදී ඔහු නිවසේ කුඩා උළුවස්සෙහි ගැටුණු බවත් ඇය පවසන්නීය.

සිදුව ඇති අපරාධය පිළිබඳව දැනුවත් වු වල්ලිකන්දාරාමාධිපති පුජ්‍ය

ලත්පඳුරේ විපුලභද්‍ර හිමියන් වහාම ඒ පිළිබඳව කතරගම පොලිස් ස්ථානාධිපති උපාලි කාරියවසම් මහතාට දුරකතනයෙන් සියල්ල පැවසුහ. දුරකතන ඇමතුම අනුව වහා ක්‍රියාත්මක වු ස්ථානාධිපතිවරයා තවත් නිලධාරී කණ්ඩායමක්ද සමඟින් අපරාධය සිදු වු ස්ථානයට ගියේ අපරාධයේ සුලමුල සොයා ගැනීමේ අටියෙනි.

අපරාධය සිදුවු ස්ථානයට ගිය ස්ථානාධිපති වරයා ඇතුළු නිලධාරීන් වහා පරීක්ෂණ ආරම්භ කරන්නට වූහ. ඒ අනුව තංගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ (ඉර්‍ණඛ්ර්‍ණ) ස්ථානාධිපති එදිරිසිංහ මහතා ඇතුළු එම ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් මෙන්ම පොලිස් ඇඟිලි සලකුණු අංශයේ නිලධාරී කණ්ඩායමක්ද පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ. මේ සියල්ල අතරේ අපරාධයේ කිනම් හෝ හෝඩුවාවක් සොයා ගත හැකි වේය යන අටියෙන් තංගල්ල මූලස්ථාන පොලිසියේ නිල සුනඛ “පබ්ලෝද“ අපරාධය සිදුවූ ස්ථානයට රැගෙන විත් තිබිණි.

පරීක්ෂණ පැවැත් වු පොලිස් නිලධාරින්ට අපරාධය සිදු වු නිවස ඉදිරිපිට තිබි හඳුනාගත් වු ත්‍රි රෝද සළකුණු පිළිබඳව අවධානය යොමු විය. ඒ මියගිය දැරියගේ මව මේ අපරාධයත් සමග ත්‍රි රෝද රථයක ශබ්දයක් ඇසුණු බව කි නිසාවෙනි. කෙසේ වෙතත් එම ත්‍රි රෝද සළකුණද අපරාධයට පැමිණි කිසිවකුගේ නොවන බවට පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට පැහැදිලි වීය.

මෙම සිද්ධියට අදාලව මේ වන විට පොලිස් කණ්ඩායම් 03ක් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.මේ සියල්ල අතරේ ගම්මුන් අතරද විවිධ කසු කුසු පැතිර යන්නේ පවනට බඳු වේගයෙනි. ඒ අතරින් ඇතමෙකුගේ සැකය දරුවාගේ මව වෙත ද එල්ලවී තිබේ. තවකෙකු කියන්නේ මෙය කිසියම් තරහක් පිරිමැසීමට කවුරුන් හෝ සිදු කළ එකක් බවය. ගම්මුන් එලෙස විවිධ මත දරද්දී පරීක්ෂණ පවත්වන නිලධාරින්ටද ගැටළු කිහිපයක් ඉතිරි වි තිබේ. මේ අපරාධයට පැමිණි අය නිවසේ සිටි කාන්තාව හැර වෙනත් කිසිවකුත් දැක නොමැති වීමයි. අපරාධය සිදුව විනාඩි ගණනක් තුළ ගම්වැසියන්ද එක් රොක් වි ඇතත් පැමිණි කිසිවකුත් දැක ගැනීමට ලැබි නොමැති වීම පොලිසියට ගෙනදී ඇත්තේ ප්‍රශ්නයකි.

කවුරුන් විසින් මේ අපරාධය කිනම් කාරණාවක් සඳහා සිදු කළේද?. මේ කාටත් ඇති ගැටළුවයි. කෙසේ වෙතත් පොලිස් පරීක්ෂණ පුළුල් කර ඇති අතර නුදුරේදිම දරුවාගේ ඝාතනය පිළිබඳ අබිරහස හෙළි වනු නොඅනුමානය.

හම්බන්තොට සහ තංගල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ විශේෂ උපදෙස් මත තංගල්ල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් සහ හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී සනත් අමරසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ කතරගම පොලිස් ස්ථානාධිපති උපාලි කාරියවසම් මහතාගේ ප‍‍්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන ලක්මාල්,විජේතුංග හා පොලිස් සැරයන් සමන් (52830), පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රියදර්ශන (74929), මධුරංග (40888), කුලසූරිය (63173), එදිරිසිංහ (90227) සහ මහීපාල (37937) යන ඇතුළු පොලිස් කණ්ඩායමක් සැකකරුවන්

අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.

නුවන් ජයසේකර සුරියවැව