අපරාධකරු කවුදැයි හොයන්න ඩී. එන්. ඒ. පරීක්ෂණයක්

අපරාධකරු කවුදැයි හොයන්න ඩී. එන්. ඒ. පරීක්ෂණයක්

පුහුල්වැල්ල පාසලේ නර්ථන ගුරුවරයකු ලෙස සේවය කරන පාලිත අබේවර්ධන මහතා හතලිස් දෙහැවිරිදි දෙදරු පියෙකි. ඔහු සිය දරු පවුල සමඟ පදිංචිව සිටින්නේ මාතර පොලිස් වසමට අයත් නාවිමන උතුර, සෝමාරාම පාර, දෙණියවත්ත ලිපිනයේ පිහිටි ඔහුට අයත් නිවසේය.

ඔහුගේ බිරිය සහ දරු දෙදෙනාට අමතරව ඔහුගේ වයෝවෘද්ධ මව පියා මෙන්ම ගෝලයකු වන සාලින් ද යන අය ද මෙම නිවෙසේ කල් ගෙවති. මහල් දෙකකින් යුත් මෙම නිවසේ පිදිංචියට සාලින්ද පැමිණ මේ වන විට ගෙවී ගිය කාලය වසර අටක් පමණය. එබැවින් ඔහු ද මේ පවුලේම අයකු බවට පත්ව සිටියේය.

මොහු පාලිත සමඟ වෙස් නැටුම් සංදර්ශන වලට සහභාගි වන නර්තන ශිල්පියෙකි. එබැවින් මොහු ගුරුවරයාගේ නිවෙසේම කල් ගෙවමින් ඔහුගේ සියලු වැඩ කටයුතු සඳහා සහයෝගය ලබා දුන්නේය.

පාලිතගේ බිරිය ගරුසිංහගේ ශ්‍රියාකාන්ති හතළිස් හැවිරිදිය. කලාප අධ්‍යාපන කාර්යාලයේ සංවර්ධන සහකාර නිලධාරිනියක ලෙස රැකියාව කළ ඇය සිව්මස් ගැබිනියකි.

පසුගිය මස විසිපස් වැනිදා සවස පාලිත ඔහුගේ පියා සහ සාලින්ද වැලිගම බලා පිටත්ව ගියේ වෙස් නැටුම් සංදර්ශනයක් සඳහාය. ඒ ගමන ඔවුන් ගියේ සාලින්දට අයත් ත්‍රිරෝද රථයෙනි.

එදින රාත්‍රිය වැලිගම පිහිටි පාලිතගේ සහෝදරියගේ නිවසේ ගත කළ තිිදෙනා පසුදින එනම් 26 වැනිදා ඉරිදා නිවෙස බලා පිටත් වන විට වේලාව දහවල් දොළහ පසු වී තිබිණි.

ගෙදර අයට දිවා ආහාරය ද රැගෙන වැලිගම නිවෙසින් මේ තිදෙනා පිට වූ අතර පාලිත මාතරින් බැස ගත්තේ තිහගොඩ සිටින හිතවත් ගුරුවරයකු හමුවිමට යන බව කියමිනි.

පියාත් ගෝලයාත් නිවෙසට එද්දී වේලාව දහවල් එකට ආසන්න වී තිබිණි. දහවලේ නිවෙසේ දොර ජනේල සියල්ලම වසා දමා තිබෙනු දුටු දෙදෙනාටම යම් ගැටලු සහගත බවක් දැනුණ ද දොරට තට්ටු කොට දොර විවෘත කරවා ගැනීමට දෙදෙනාම කටයුතු කළහ.

කොපමණ දොරට තඩිබෑව ද නම් කියමින් කොපමණ ශබ්ද නඟා කතා කළ ද දොරවල් විවෘත කරන පාටක් නම් පෙනෙන්නට තිබුණේ නැත.

එබැවින් සාලින්ද පොල්ලක් ගෙන ඉදිරිපස දොරේ උඩ අගුල අසලට තදින් පහර දෙන්නට විය. ඒ එම දොරේ උඩ අගුල පමණක් තිබෙන බවත්, එය ද එතරම් ශක්තිමත් නොමැති බවත් හෙතෙම දැන සිටි නිසාය.

පොලු පහර හමුවේ දොර විවෘත විය. දොර අසල පාලිතගේ වැඩිමල් දියණිය තුෂ්නිම්භූතව බලා සිටී. යම් මානසික ආබාධිත තත්ත්වයකින් පසුවන පස් හැවිරිදි දරුවා වෙතින් බියපත් බවක් දිස්්වේ.

නිවෙස තුළට ගිය සාලින්ද සහ පියා පහත මාලයේ කාමරයට ගිය විට දුටුවේ වයෝවෘද්ධ මව ඇඳ මත උඩුබැලි අතට වැටී සිටින අයුරුය.

ඇයගේ මුහුණ මත කොට්ටයකි. ඇය මිය ගොසිනි. දුටු දෙයින් කලබලයට පත් සාලින්ද වහ වහා උඩුමහලට දිව ගියේ සිය ගුරුවරයාගේ බිරියට කුමක් වී ඇත්දැයි දැන ගැනීම සඳහාය.

සාලින්දගේ කාමරය තිබෙන්නේ උඩුමහලේ ගුරුවරයා බිරිය හා දරුවන් නිදන කාමරය ඉදිරිපිටය. උඩු මහලට දිව ගිය සාලින්ද ගුරුවරයාගේ නිදන කාමරයට එබී බැලුවේය. මදුරු දැල තවමත් ඇඳේ දමා ඇත. ඒ අතරින් ඔහු දුටුවේ ඇස් අදහාගත නොහැකි දසුනකි.

ගුරුවරයාගේ බිරිය ශ්‍රියාකාන්ති ඇඳ මත උඩුබැලි අතට මරා දමා ඇත. ඇයගේ සිරුර නිරුවත්ය. දුටු සැනින් ඇය දූෂණයකට ලක්ව ඇති බව පෙනේ.

ඇයගේ වයස අවුරුදු එක හමාරක් වන දියණිය ද මදුරු දැල එලූ ඇඳ මත මව අසල සිටිනු දිස් විය.

පිරිමි තිදෙනාම නිවෙසින් පිටව ගිය පසු නිවෙසට ආ කවුරුන් හෝ මේ දෙදෙනාම මරා දමා ඇත. පියගේ හා සාලින්ද ගේ කෑගැසීම් ඇසුණු අසල්වැසියන් මෙම නිවෙස අසලට එක් රොක් වන්නට විය. දුරකථන ඇමතුමක් දී පාලිතට සිද්ධිය දැනුම් දුන් සාලින්ද සිය ත්‍රීරෝද රථයෙන් මාතර පොලීසිය බලා පිටත් විය.

26 වැනිදා සවස එකට මාතර පොලීසියට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ඇමතුමක් ලැබිණි. ඇමතුමෙන් කියා සිටියේ නාවිමන උතුර, සෝමාරාම පාර, දෙණියවත්ත නිවසක දෙදෙනකු මර දමා ඇති බවය.

තොරතුර ලද වහාම මූලස්ථාන පොලිස් පරීක්ෂක අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුලු කණ්ඩායමක් නාවිමන බලා පිටත්ව ගියේය.

 එක් රොක්ව සිටි අතර නිවෙසට ඇතුලු වූ පොලිස් කණ්ඩායම මුලින් දුටුවේ මව ඇඳ මත මරා දමා ඇති අයුරුය.

ඉහළ මාලයේ කාමරයේ ඇඳ මත ගුරුවරයාගේ බිරිය මරා දමා තිබෙනු දක්නට ලැබිණි. ඇයගේ සිරුර තිබෙන අයුරු දුටු පොලිස් නිලධාරීන් පවා දැඩි කම්පනයට පත් විය. ඒ ගැබිනියකව සිටි ඇය මෙතරම් කෲර ලෙස දූෂ්‍ය කර තිබෙන බවක් දිස් වූ නිසාය. ඇයගේ මුහුණ ඇඳ ඇතිරිල්ලකින් ඔතා තිබූ අතර ඒ ඇය කෑගැසීමට උත්සාහ කළ නිසා විය යුතු බව පොලීසියේ අදහස විය.

මේ කාන්තාව මෙතරම් කුරිරු හිංසනයකට ලක් කළේ කවුරුන්ද? ඒ කුමක් උදෙසා ද? ගුරුවරයාගේ අසූ තුන් හැවිරිදි වයෝවෘද්ධ මව මරා දැමුවේ ඇයි? කුමන හේතුවක් නිසාද? අපරාධකරු නිවෙසට ඇතුලු වූයේ කෙලෙසද? ඒ කවදාද, මේ දෙදෙනා ඝාතනයට ලක්වූයේ කොයි වේලාවකද? ඒ කෙලෙසෙද?

මෙම ගැටලුවලට පිළිතුරු සොයා පරික්ෂණ ආරම්භ කළ පොලීසිය මුලින්ම කළේ නිවෙස අපරාධ ස්ථානයක් ලෙස නම් කොට පොලිස් ආරක්ෂාව යෙදවීමය.

අනතුරුව මාතර මහේස්ත්‍රාත් වෙත කරුණු ඉදිරිපත් කළ අතර සොකේ අංශය, ඇඟිලි සලකුණු අංශය මෙන්ම අපරාධ නිල සුනඛයාද කැඳවීමට කටයුතු කළේය. මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කළ අතර පොලීසිය අපරාධය පිළිබඳ සුල මුල සෙවීම ආරම්භ කළේය.

මෙම දෙමහල් නිවෙසේ ඉහළ මාලයේ යකඩ දොරක් තිබෙන ස්ථානය අසල දිග ලෑල්ලක් තබා ඇත. එය එම ස්ථානයේ බිම වැටී තිබූ ලෑල්ලකි. එම යකඩ දොර ද විවෘත කර ඇති බවක් පෙනේ.

අපරාධකරු නිවෙසට ඇතුලුවන්නට ඇත්තේ ද ආපසු යන්නට ඇත්තේ ද එම දොරෙන් බව පරීක්ෂණ කණ්ඩායමට වැටහිණි. එම දොර වසා තිබූ නමුත් ඉබි යතුරු දමා තිබී නැත. එබැවින් පිටත සිට ඇතුළට අත දමා දොර විවෘත කළ හැකිය.

නිවැසියන් අතින් වූ සුලු අතපසුවීමක් හේතුවෙන් ජීවිත දෙකකට කුරිරු ඉරණමකට මුහුණදීමට සිදු වී ඇත.

තද වැසි පැවති නමුත් අපරාධකරු ඇතුලු වූ ස්ථානයේ හෝ ඒ අවට හෝ නිවෙස ඇතුලේ මඩ හෝ වතුර සහිත අඩි සලකුණු කිසිවක් පෙනෙන්නට තිබුණේ නැත. එබැවින් එලෙස මඩ සහිත අඩි සලකුණක් පවා නොසිටින ලෙස අපරාධකරු නිවෙසට ඇතුලු වූයේ කෙලෙස ද යන්න පරීක්ෂණ කණ්ඩායමට සැක උපදවන්නක් විය.

මේ අතර පරීක්ෂණ සඳහා කැඳ වූ මාතර අපරාධ නිල සුනඛ ජෙසික්ට කිරීමට තරම් රාජකාරියක් නොමැති බව එම ස්ථානයත් අවටත්, කාලගුණික තත්ත්වයත් දුටු ජෙසික්ගේ හිමිකරු කොස්තාපල් මහේෂ්ට වැටහී ගියේය.

ජෙසික්ට ඉව ඇල්ලීම සඳහා දිමට ද සැක කටයුතු යමක් නොවූ අතර ඝාතනය වූ ශ්‍රියාකාන්තිගේ මුව වසා තිබූ ඇඳ ඇතිරිල්ල ඉව සඳහා දීමට මහේෂ් තීරණය කළේය. එය හොඳින් ඉව කළ ජෙසික් කාමරයේ යන්තම් වටයක් කැරකි ගියේ මළසිරුර අසලටය. කිහිප වතාවක්ම එය දුන්න ද ජෙසික්ගේ ක්‍රියා පටිපාටියේ වෙනසක් පෙනෙන්නට වූයේ නැත. එබැවින් ජෙසික්ගෙන් කිසිදු හෝඩුවාවක් ලබාගැනීමට හැකි වූයේ නැත.

මේ අතර ඝතනය වූ ශ්‍රියාකාන්තිගේත්, ඥානවතීගේත් මළ සිරුරු පිළිබඳ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වූයේ දෙදෙනාම මිය ගොස් ඇත්තේ හුස්ම සිර කිරීමෙන් බවය.

එනම් ශ්‍රියාකාන්තිගේ හුස්්ම සිරකර තිබුණේ මුහුණ වට කොට ඇඳ ඇතිරිල්ල එතීමෙනි. ඥානවතීගේ හුස්ම සිරකර තිබුණේ කොට්ටය මුහුණට තබා සිර කිරීමෙනි.

එලෙසම මේ දෙදෙනා මරා දමා තිබුණේ පෙර දින රාත්‍රියේ බව ද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි විය. ඔවුන් රාත්‍රී ආහාරය ලෙස ගත් බත් ජීර්ණය වී තිබී නැත.

ශ්‍රියාකාන්ති දූෂණයක් වී තිබීම හේතුවෙන් ඇයගේ සිරුරෙන් ලබාගත් ආගන්තුක ජෛව කොටස් ඩී එන් ඒ පරීක්ෂණ සඳහා යොමු කෙරිණි.

මේ අතර කිසිදු සාක්ෂියක් ඉතිරි නොකොට ද්විත්ව ඝාතනයක් සිදු කළ පුද්ගලයා නිවසේ වූ කිසිම බඩු මුට්ටුවකට අතවත් තබා ඇති බවක් පෙනෙන්නට තිබුණේ ද නැත. එනම් පැමිණි අපරාධකරු සොරකු නොවන බව ඉන් පැහැදිලිය.

එසේ නම් ඔහුගේ අවශ්‍යතාව වුයේ ශ්‍රියාකාන්ති මරා දැමීම හේ ඇය හා ලිංගික සබඳතා පැවැත්වීම ද යන්න තවත් ගැටලුවකි.

එය එසේ නම් ඉහළ මාලයෙන් නිවෙසට ඇතුලු වූ අපරාධකරු ඉහළ මාලයේ කාමරයේ නිදා සිටි ශ්‍රියාකාන්ති පමණක් නොව පහළ මාලයේ සිටි වයෝවෘද්ධ ඥානවතී ද මරා දමන්නේ ඇයි?

“රෑ වැස්සේ ගැණු කෙනෙක් කෑ ගහනවා වගේ ඇහුණා. ඒත් දෙතුන් පාරක් කෑ ගැහුවා. ඊට පස්සේ සද්දේ නැතිවෙලා ගියා”

පෙර දින රාත්‍රිියේ මෙම නිවසේ වූ අබිරහස් සිදුවීම් මාලවේ තත්ත්පර කිහිපයක් කන වැකුණු අසල්වැසි කාන්තාවක එලෙස පවසා සිටියාය.

මේ අතර මෙම ද්විත්ව ඝාතනයට දින කිහිපයකට පෙර ශ්‍රියාකාන්ති හා උඩහ ගෙදර පුද්ගලයා අතර සිදු වූ කතාබහක තොරතුරක් ද හෙළි විය.

උඩහ ගෙදර පදිංචි අය ශ්‍රියාකන්තිගෙන් රන් ආභරණ ඉල්ලා තිබුණේ මළ ගෙදරක යාම සඳහාය. එවිට ඇය පවසා තිබුණේ තමා ළඟ රන් ආභරණ නොමැති බවත් ඒවා බැංකුවේ උකස් තබා ඇති බවත්ය. ඇයගේ පිළිතුරෙන් කිපුණ එම පුද්ගලයා ඇයට තර්ජනය කර තිබිණි. ‘ඒ . . .උඹට මොනවා වෙනවද කියලා උඹවත් දන්නේ නෑ’ ලෙස කියමිනි. ඒ බව ශ්‍රියාකාන්ති සිය මව සමඟ පවසා තිබිණි.

දරුවකු ලැබෙන්නට සිටියද, දරුවන් සිටිය ද මේ අඹුසැමි යුවළ අතර ද එතරම් හොඳ ආදරණීය බැඳීමක් තිබී නැති බවට පරීක්ෂණ කණ්ඩායම්වලට තොරතුරු ලැබී ඇත. එලෙසම කාලයක සිටම එනම් විවාහ වීමට පෙර සිටම සැමියා පාලිත තම ගෝලයකු නිවෙසේ පදිංචි කරවාගෙන සිටීමත්, ඔහුට ඉහළ මාලයේ මොවුන්ගේ නිදන කාමරය අසලම පිහිටි කාමරය ලබා දී තිබීමත් පිළිබඳ නොයෙක් කට කතා පැතිර ගොස් තිබිණි.

බිරිය ගැබ්ගෙන සිටියදීත් වයස අවුරුදු එකහමාරක පුංචි දියණියක හා මන්ද බුද්ධික දරුවකු සිටියදිත් නිවෙසින් පිටව ගිය සැමියා බිරියට දුරකථන ඇමතුමක් පවා නොදීම ද ගැටලු සහගත තත්ත්වයක් බවට පත්ව ඇත.

මහ වැසි පතිත, කුණාටු සහිත කාලගුණයක් පවතින අතර දරු දෙදෙනාත් ගැබිණි බිරියත් සිය මහලු මවත් නිවසේ තනිකර රැයක් පිටත ගත කිරීම ද ආදරබර සැමියකුට සුදුසු ක්‍රියාවක් වන්නේ නැති බව අසල්වැසියන්ගේ අදහසයි.

ඒ කරුණු කෙසේ වෙතත් දැන් සියල්ල සිදු වී අවසානය. අපරාධකරුවන් බොහෝ විට මෙවැනි අපරාධ සිදු කරන්නේ කාලයක් තිස්සේ සැලසුම් කිරීමෙන් අනතුරුවය.

එහෙත් මෙලොව වසනා කිසිම අපරාධකරුවකුට අපරාධ කොට සදා සැඟව සිටීමට නොහැකිය. එලෙසම කෙතරම් සැලසුම් කොට කිසිදු සාක්ෂියක් නොතබා අපරාධකරු පලාගිය ද පුංචිම පුංචි හෝඩුවාවක් හෝ ඉතිරිව තිබීමත්, එය කෙලෙසක හෝ පරීක්ෂණ කණ්ඩායම් අතට පත්විමත් අපරාධ ලෝකයේ සිරිතය.

ශ්‍රියාකාන්තිටත් ඥානවතීටත් දිවි අහිමි කොට පලා ගිය අපරාධකරුවා ද ප්‍රබල සාක්ෂියක් ඉතිරි කර ගොස් තිබිණි. ඒ ඔහුගේ ඩී. එන්. ඒ. සාම්පලයයි.

දැනට පරික්ෂණ සඳහා යොමු කෙට ඇති අපරාධකරුගේ ජෛව සාම්පලයේ ප්‍රතිඵල නොබෝ දිනකින් අධිකරණයට ලැබෙනු ඇත. එවිට ඒවයේ හිමිකරු කවුරුන්දැයි සෙවිය යුතුය. දැනට මෙම ද්විත්ව ඝාතනය සඳහා සැක කෙරෙන පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් කටඋත්තර ලබාගෙන ඇති අතර නුදුරු දිනකදී ඔවුන් අතරින් අපරාධකරු කවුරන්දැයි හඳුනා ගැනීමට ජීව විද්‍යාත්මක සාක්ෂිවලට හැකිවනු ඇත.

මාතර තංගල්ල බාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, මාතර කොට්ඨාශය බාර පොලිස් අධිකාරි මාරපන, සහකාර පොලිස් අධිකාරි තුෂාර දලුවත්ත යන නිලධාරින්ගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක ධම්මික අමරසිංහ, අපරාධ අංශයේ ස්ථානාධිපති කමල් කිරිඇල්ල, පොලිස් පරික්ෂක විජේරාම ප්‍රමුඛ අපරාධ අංශය පරීක්ෂණවල නිරතව සිටී.

තක්ෂිලා ජයසේකර

ඡායාරූප - ජයසිරි පේදුරු ආරච්චි ගන්දර සමූහ

පොලීසිය යන විට නිවෙස අවට විශාල පිරිසක්