අතුරුදන් අයියයි නංගියි සොයා දුන් "ජොනී"

අතුරුදන් අයියයි නංගියි සොයා දුන් "ජොනී"

මේ අයියාගේත් නංගීගේත් අම්මා එකය. පියවරු දෙදෙනෙකි. අයියා සුබ්‍රමනියම් මහෙන්ද්‍රන්ගේ වයස අවුරුදු විසි අටකි. ඔහුගේ පියා මිය ගොසිනි. මවගේ දෙවැනි විවාහයේ වැඩිමල් දයණිය පරමේෂ්වරම් මහලෙච්චිමිගේ වයස අවුරුදු දහ අටකි.

බාල සහෝදරියගේ වැඩිවිය පැමිණීිමේ උත්සවයට සහභාගී වීම සඳහා මේ අයියා නගෝ පැමිණියේ ඔවුන් සේවය කරන කොළඹ වැඩපලේ හිමිකරු ලබා දුන් බොලෙරෝ ජීප් රථයෙනි.

උත්සවය අවසන් වීමෙන් අනතුරුව මේ දෙදෙනා ජීප් රථයට නැගී නිවෙසින් බැහැරව ගියේ ජංගම දුරකථනයක් අස්ථාන වීම පිළිබඳ මස්කෙළිය පොලීසියේ පැමිණිල්ලක් දමා ආපහු පැමිණෙන බව කියමිනි.

එහෙත් පැමිණිල්ල දැමීමට ගිය දෙදෙනා පිළිබඳ දින දෙකක් ගතවන තුරුත් කිසිම තොරතුරක් නොලැබීම මොවුන්ගේ මවට විශාල ගැටලුවක් විය.

ඇය මස්කෙළිය පොලීසියට ගොස් මේ දෙදෙනාගේ අතුරුදන් වීම පිළිබඳ දැනුම් දෙන අතර ඇයට දැනගන්න ලැබුණේ මොවුන් පැමිණිල්ලක් කිරීම සඳහා පොලීසියට නොපැමිණි බවයි.

මේ අතර එදිනම උදේ ගවරවිල වත්තෙන් මස්කෙළිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබිණි. ඒ දින දෙකක් තිස්සේ වත්තේ පහළ බොලෙරෝ කැබ් රථයක් නවතා තිබෙන බවටය.

අතුරුදන් අයියා නගෝ ගොස් තිබුණේ ද බොලෙරෝ කැබ් රථයකිනි. වත්තේ දමා ගොස් ඇත්තේ ද බොලෙරෝ කැබ් රථයකි. පැමිණිලි දෙක අතර සමාන බවක් දක්නට ඇත.

පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය එම කැබ් රථය පරික්ෂා කළේය. එවිට එහි තිබී කාන්තා හා පිරිමි ඇඳුම්, කාන්තා පාවහන් යුගලක්, ජංගම දුරකථනයක්, මුදල් පසුම්බියක් ඇතුලු උපකරණ හමු විය. ඒවා සිය දියණියගේත් පුතාගේත් බවට මව හඳුනා ගත්තාය.

මේ දෙදෙනාට සිදු වූයේ කුමක් ද? පරීක්ෂණ සඳහා හැටන් නිල සුනඛයා කැඳවීමට මස්කෙළිය පොලීසිය කටයුතු කළේය.

පසුගිය විසිහත් වැනිදා උදේ පාන්දරින්ම කොස්තාපල් (71136) රංජිත් කුමාර මොරේමඩ ට හැටන් පොලිස් අධිකාරී කාර්යාලයෙන් පණිවිඩයක් ලැබිණි. ඒ් නිල සුනඛ ජොනි ද රැගෙන මස්කෙළිය පොලීසියට යන ලෙසටය.

හැටන් සිට මස්කෙළියට දුර කිලෝ මීටර් තිහක් පමණ වේ. රාජකාරියට කොපමණ දක්ෂ වුවත් වාහනවලින් දුර ගමන් යාම නම් ජොනීට අපහසු කාර්යයකි.

තම දරුවකුට සේ ජොනිට සලකන මොරේමඩට ජොනී වාහනයේ ඉදිරිපස අසුනේ තමා අසලින් හිඳවාගෙන අල්ලාගෙන ආරක්ෂා සහිතව රැගෙන යාමට වගබලා ගත්තේය.

බොලෙරෝ කැබ් රථය අසලට ගොස් පරික්ෂණවලට එක් වූ මොරේමඩ ජොනීට ඉව ඇල්ලිම සඳහා ලබා දුන්නේ රථයේ තිබූ කාන්තා පාවහන් යුගලයි.

එය හොඳින් ඉව ඇල්ලූ ජොනී වත්ත පහළ ටික දුරක් ඇවිද ගොස් ඉන් පසු වේගයෙන් ඉදිරියට දිව යන්නට විය.

එලෙස දිව ගිය ජොනී නතර වූයේ පහළ පිහිටි ඇළ අසලය. ඇළ ඉවුර දිගේ තවදුරටත් ඉදිරියට ගිය ජොනී ඉවුරේ වැටී තිබූ ලේන්සුවක් ඉව ඇල්ලුවාය.

තවත් අඩි කිහිපයක් ඉදිරියට යන විට පිරිමි පාවහන් යුගලක් හමු විය.

'ඔය ඇළට පැනලා මීට කලින් මනුස්සයෙක් මැරුණා'

ගම්මු එලෙස තොතුරු පවසද්දී පාවහන් යුගළ තිබූ ස්ථානය අසල ඇළ දෙසට ලිස්සා ගිය අඩි පාරවල් ද මොරේමඩ දුටුවේය.

යළි ඉව ලබා දුන්න ද ජොනී ඉන් එහාට ගියේ ද නැත.

"සර් . . . මෙතනින් එහාට ජොනී යන්නේ නෑ. ඇළ චෙක් කළොත් හොඳයි වගේ"

සිය රාජකාරිය අවසන් කළ මොරේමඩ ජොනී සමඟ පැත්තකට ගිය අතර නාවික හමුදා කිමිදුම්කරුවන් ගෙන්වා ඇළ සෝදිසි කිරීමට පොලීසිය කටයුතු කළේය.

ඇළේ පිහිටි අඩි 16 ක් පමණ ගැඹුර වළේ තිබී අයියා නගාලගේ මළසිරුරු හමු විය.

"මේ දෙන්නා අයිය නගෝ වුණාට වෙන මොකක් ද සම්බන්ධයක් තිබිලා. තාත්තලා දෙන්නෙක්ගෙනේ. ඒකයි මේ දිවි නහගෙන තියෙන්නේ"

වත්තේ පදිංචි අය එලෙස පවසද්දී මෙම සිදුවීම ඇසූ දුටු සැමගේම අදහස එලෙස විය.

එහෙත් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ නංගි තවමත් කන්‍යාවක් බවත් ඇය කිසිදු අතවරයකට ලක් වූ තරුණියක් නොවන බවත්ය.

පොලීසිය පවුලේ අයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මේ දෙදෙනා දිවි නසා ගන්නට ඇතැයි උපකල්පනය කළ හැකි තොරතුරු රැසක් හෙළි විය.

පියවරු දෙදෙනකුගේ වුව ද එකම මවගේ ලෙයින් උපන් මේ අයිය නගෝ අතර පැවැති සහෝදර ප්‍රේමය වචනවලින් කිව නොහැකි තරම්ය.

අයියා නංගිටත්, නංගි අයියාටත් බෙහෙවින් ආදරය කළ අතර අයියා නංගී රැක බලාගෙන තිබුණේ දෑස මෙනි.

එහෙත් නංගිගේ පියා අයියාට නිතරම වෙනස්කම් කළේය. ඒ ඔහු තමාගේ දරුවකු නොවන බව කියමින්ය. "උඹ පලයන්, උඹ අපේ එකෙක් නෙවෙයි පලයං" කියමින් නංගිගේ පියා අයියාට නිතරම බැන වැදී ඇත. වෙනස්කම් ද කර ඇත.

සිද්ධිය වූ දිනයේ නංගීගේ පියා අයියාට බැන වැදී තිබූ අතර බොරුවක් කියා අයියා නිවෙසින් පිටවන්නට ඇත්තේ තවදුරටත් ඉවසා සිටීමට නොහැකි නිසා විය යුතුය. නංගී අයියා පසුපස ගොස් ඇති අතර අයියා ඇළට පනිද්දී බේරා ගැනීමට ගිය නංගී හෝ නංගී ඇළට පනින්නට යද්දී බේරා ගැනීමට ගිය අයියාත් ඇළට වැටී දෙදෙනා මිය යන්නට ඇති බව පරික්ෂණ කණ්ඩායමේ අදහසයි.

එහෙත් ඇත්තටම මේ දෙදෙනා ඇළට වැටුණේ කෙලෙසද යන්න දන්නේ ඒ දෙදෙනාම පමණි.

හැටන් කොට්ඨාශය බාර පොලිස් අධිකාරි බුද්ධි උඩුගම්සූරියගේ උපදෙස් මත මස්කෙළිය ස්ථානාධිපති ටිරෝන් මහතා ද පොලිස් නිල සුනක ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්නගේ උපදෙස් මත කොස්තාපල් මොරේමඩ මෙම මෙහෙයුමට එක් වූහ.

තක්ෂිලා ජයසේකර