උඹේ වස්තුව මම ළිඳට දැම්මා-පුළුවන් දෙයක් තියෙනවා නම් කරපන්

උඹේ වස්තුව මම ළිඳට දැම්මා-පුළුවන් දෙයක් තියෙනවා නම් කරපන්

ඉකුත්දා ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පෙත්සමක් ලැබිණි. එය එවා තිබුණේ තැන්නපංගුව ප්‍රදේශයේ පදිංචි අමරසිංහ නමැති අයෙකු විසිනි. ඔහු පෙත්සමේ සඳහන් කළේ තම දියණියගේ මාස හයක් වයසැති බිළිඳා සුදු පැහැති වෑන් රියකින් පැමිණි පිරිසක් පැහැරගෙන ගිය බවය. එම පිරිස අතර තම දියණියගේ හිටපු සැමියා වූ සංජීවත් තමාගේ දෙවෙනි කසාදයේ බිරිය වූ සෝමාවතිත් කන්දකැටිය පොලීසියේ නිලධාරීන් දෙදෙනකුත් සිටි බවත් ඔහු පෙත්සමේ සඳහන් කර තිබිණි. ඔවුන් තමාට මරණ තර්ජන එල්ල කොට තම දියණිය වූ චන්ද්‍ර කුමාරිගේ මාස හයක්

වු දියණිය පැහැරගෙන ගිය බවත් ඔහු වැඩිදුරටත් කියා තිබිණි.

එබැවින් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා තම දියණියගේ දරුවා සොයා දෙන ලෙසත් ඔහු පෙත්සම ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේය.

කොළඹ ප්‍රධාන කාර්යාලයට ලැබුණු එම පෙත්සම විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා බදුල්ල කොට්ඨාශ බාර පොලිස් අධිකාරීවරයා වෙත යැවුණේ ඉන් පසුවය. මෙය අධ්‍යයනය කළ කොට්ඨාශ බාර පොලිස් අධිකාරීවරයා වහා මේ ගැන සොයන ලෙස බදුල්ල කොට්ඨාශ බාර අපරාධ විමර්ශන ඒකකයට පැවසීය. එහි ස්ථානාධිපතිවරයා පෙත්සමේ සඳහන් පාර්ශවය කැඳවා කරුණු විමර්ශනය කර මෙම අතුරුදන්වීම සිදු වී ඇත්තේ මහියංගන පොලිස් වසමේ බැවින් ඒ බව කොට්ඨාශ බාර පොලිස් අධිකාරීවරයාට දන්වා සිටියේය.

එම ලිපිගොනුව මහියංගන කොට්ඨාශ බාර සහකාර පොලිස් අධිකාරිවරයා වෙත යැවූනේ ඉන් අනතුරුවය. ලිපි ගොනු විමර්ශනය කළ සහකාර පොලිස් අධිකාරී ලියනගේ මහතා පෙත්සමට සම්බන්ධ පාර්ශවය කැඳ වීය. ඒ අනුව අතුරුදන් වූ බිළිඳියගේ මව වන චන්ද්‍ර කුමාරිත් ඇගේ පළමු සැමියා වන සංජීව යන අයගෙනුත් කරුණු විමසනු ලැබීය.

“අපේ තාත්තා මටත් ඔය කතාව කිව්වා. එතකොට මම වසන්තත් එක්ක පවුල් කනවා. එයාට දාවත් මට දරුවෙක් ඉන්නවා. ඒ නිසා මම ඒක ඒතරමට ගණන් ගත්තේ නැහැ.”

චන්ද්‍රා කුමාරිගෙන් සිය දියණියගේ අතුරුදන් වීම ගැන කිසිදු තොරතුරක් හෙළි නොවූ හෙයින් අදාල ලිපි ගොනුවට ලබාගත් සාක්කි එකතු කළ සහකාර පොලිස් අධිකාරීවරයා ඒ බව සටහන් කොට එය

අදාල උසස් නිලධාරියා වෙත යැවීය. එතැන් පටන් ඒ මේ අත ගිය එම ලිපිගොනුව මහියංගන පොලීසියේ අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා වෙත ලැබෙන්නේ ඉන් අනතුරුවය.

එය නිරීක්ෂණය කළ උප පොලිස් පරික්ෂක චතුරංග මේ පිළිබඳ විමර්ශනයක් සිදු කළ යුතු බවට වටහා ගෙන පෙත්සමේ සඳහන් බිළිඳාගේ අතුරුදන්වීම ගැන තොරතුරක් දැන ගැනීම සඳහා පෙත්සම්කරුගේ දියණිය චන්ද්‍රකුමාරි හා ඇගේ පළමු සැමියා වූ සංජීවට මහියංගන පොලීසියට එන ලෙස දැනුම් දුන්නේය.

“මම එයාලට තුන් පාරක්ම පොලීසියට එන්න කියලා දැනුම් දුන්නා. ඒත් එයාලා පොලීසියට ආවේ නැහැ. පස්සේ මම මේ සම්බන්ධයෙන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය දැනුම්වත් කළා. ඊට පස්සේ පෙත්සම්කරුගේ වැඩිමහල් දියණියටත් ඇගේ සැමියාටත් 2018 ජනවාරි 25 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළා. ඒක ලොකු කාලයක්. ඒ නිසා මම සාජන් දිසානායකට කතා කරලා කිව්වා අපි තව පොඩ්ඩක් උත්සාහ කරමු. අපි මේ අයට මැසේජ් එකක් යවලා ගෙන්වාගන්න බලමු කියලා. ඒ අනුව කිතුල්ගල පොලීසියට මැසේජ් එකක් යැවුවා වහාම මහිංයගන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස.”

උප පොලිස් පරීක්ෂක චතුරංග විමර්ශන ඇරඹි ආකාරය එසේ සඳහන් කරන්නට විය. ඔහු දුන් පොලිස් පණිවිඩය අනුව නියමිත දිනය දා පෙත්සම්කරුගේ දියණිය චන්ද්‍රකුමාරිත් ඇගේ සැමියා සංජීවත් මහියංගන පොලීසියේ පෙනී සිටියහ. ඔවුන් සමඟ පෙත්සම්කරු වූ අමරසිංහ ද පොලීසියට පැමිණ සිටියේය.

“අපි එන්න කිව්වෙත් නැහැ. ඒත් පෙත්සම ගහලා තිබුණු අමරසිංහත් පොලීසියට ඇවිත් හිටියා. මම චන්ද්‍ර කුමාරිගෙන් මේ පෙත්සම සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. ඒ ප්‍රශ්න කරද්දී ඒකට උත්තර දෙන්නේ අමරසිංහයි. මම එයාට කිව්වා මම තමුන්ගෙන් නෙමේ ප්‍රශ්න අහන්නේ තමන්ගේ දුවගෙන් කියලා. එහෙම කියලා නැවත චන්ද්‍ර කුමාරිගෙන් ප්‍රශ්න කරද්දී දුව වෙනුවට මෙයා තමයි උත්තර දෙන්නේ. ඒ නිසා මට පොඩි සැකයක් ඇති වුණා. පස්සෙ මම ඔය අමරසිංහ කියන පුද්ගලයාව අපරාධ විමර්ශන අංශයෙන් ඉවතට යැව්වා."

පෙත්සම්කාර අමරසිංහ එතැනින් ඉවත් කළ අපරාධ විමර්ශන අංශය බාර ස්ථානාධිපතිවරයා චන්ද්‍ර කුමාරි තමා ළඟට කැඳවා මෙලෙස කියන්නට විය. ඒ ඇය කිසියම් දෙයක් සඟවන බව ඔහුට වැටහුණු නිසාය.

“තමන් ඇත්ත කියන්න ඕන. අපි මේ සේරම

හොයාගෙන ඉවරයි. තමන් කාව හරි බේරන්න එයාව සුද්ද කරන්න ආවොත් තමන්ටත් දඬුවම් විඳින්න වෙයි.”

ස්ථානාධිපතිවරයාගේ කතාව හොඳින් අසා සිටි චන්ද්‍ර කුමාරි ඉන් අනතුරුව වැළහින්නියක් සේ හඬන්නට වූවාය.

“මම කියන්නම් සර්. මම ඇත්ත කිව්වොත් තාත්තා මාව මරාවි සර්”

“ඇයි තමන් ඒතරම්ම තාත්තාට බයද, තමන්ව කොහොමද තාත්තා මරන්නේ”

“එයාට මිනියක් මරන එක සුළු දෙයක් සර්. අපේ ගෙදර එළුවො ඇති කරනවා. එයාට ඕන වෙලාවෙදි එළුවාගේ බෙල්ල කපලා මරලා උයලා කනවා”

චන්ද්‍රකුමාරි බියෙන් හා සැකයෙන් යුතුව අපරාධ විමර්ශන අංශය බාර ස්ථානාධිපතිවරයාට කීවාය.

“හරි ඒක මම බලාගන්නම්කෝ. තමන් අපිට ඇත්ත කියන්න”

“සර් තාත්තා තමයි මගේ දුවව වගා ළිඳට දාලා මැරුවේ. පස්සේ මාවත් මරනවා කිව්වා ඒක කාටවත් කිව්වොතින්”

ඇය එසේ කියමින් මීට වසර ගණනකට පෙර සිදු වූ තම දියණියගේ ඝාතනය පිළිබඳ කරුණු හෙලිදරව් කරන්නට විය.

චන්ද්‍රකුමාරි පෙත්සම්කරු වන අමරසිංහගේ එකම දියණියයි. අමරසිංහගේ බිරිය ඔහු අතහැර ගොසිනි. ඉන් අනතුරුව චන්ද්‍රකුමාරි හදා වඩා ගත්තේ ඇගේ මිත්තණිය විසිනි. කාලයාගේ ඇවෑමෙන් අමරසිංහ තවත් ගැහැනියක් ඒ ගෙදරට ගෙන ආවේය. ඇය සෝමාවතීය. කුලී වැඩ කරමින් මුදලක් උපයා ගත් අමරසිංහ දක්ෂ ගොවියෙකු විය. ඒ නිසා ඔහු නිතරම උනන්දු වුණේ ගොවිතැන්වල යෙදීමටය.

සෝ්මාවතී සමග පවුල් කෑවද අමරසිංහගේ ජීවිතය ඒතරම් සාර්ථක නොවීය. ඔවුන් නිතරම ඇය සමඟ අඩ දබර ඇති කර ගත්තේය. අවසානයේ සෝමාවතිත් සිය සැමියා දමා යන්නට ගියේය. ඒ 2012 වසෙර්ය.

ඒ වන විට චන්ද්‍රකුමාරි ගමේ පාසලේ අධ්‍යාපනය ලබහින් සිටියාය. මිත්තණියගේ සෙනෙහස මැද හැදී වැඩීමෙන් ඇය සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වූවාය. ඒත් උසස් පෙළ විභාගය ලියන්නට ඇයට හැකියාවක් ලැබුණේ නැත. ඊට බොහෝ හේතු තිබිණි. ඉන් එකක් වූයේ කුඩම්මා වූ සෝමාවතී සිය පියා අතහැර යාමය. අනෙක පියාගේ බීමත් හැසිරීමය. සෙනෙහසක් ආදරයක් නැති තැන ඇය ජීවිතේ ගැට ගසා ගන්නට රස කැවිලි සකසා ඒ අවට කඩවලට විකුණුවාය.

ඒ අතර අමරසිංහ ද ගොවිතැන් කිරීම සඳහා ගිරාඳුරුකෝට්ටේ බලා ගියේ මිතුරෙකුගේ

ඇරැයුමක් අනුවය. ඔහු කුඹුරුවල අඳේට වැඩ කළේය. ඔය අතරේ ඔහුට ප්‍රේ්මවතී දැන හඳුනා ගන්නට ලැබිණ. ප්‍රේමවතීගේ සැමියා ඇය අතහැර ගොසිනි. ඒ ඇගේ කුසට දරුවකුත් ලබාදීමෙන් පසුවය.

“මට ඔයාගේ දරුවා දෙන්න. මම එයාව හොඳට බලාගන්නම්”

අමරසිංහ ප්‍රේමවතීට කීවේය. ප්‍රේමවතීටද එය මහත් අස්වැසිල්ලක් විය. ඇය ගිරාඳරුකෝට්ටේ රෝහලේදී සිය දරුවා බිහි කළාය. ඇයට නම තැබුවේ මධුවන්ති කියාය. බිහි වූ හැටියේම ප්‍රේමවතීගේ කැමැත්ත මත අමරසිංහ දරුවා ද රැගෙන ගමේ මහ ගෙදරට ආවේය. දරුවා රැකුණේ මිත්තණියගේ සෙනෙහස මැද්දේය.

මේ අතර කරදඬු උස් මහත් වූ චන්ද්‍රකුමාරි ඇඟළුම් කම්හලක සේවයට ගියාය. ඇයට සංජීව හමු වන්නේ ඒ අතරය. මාස කිහිපයක් ඇසුරු කිරීමෙන් පසු ඇය සංජීව හා විවාහ වන්නට කැමැත්ත පළ කළාය. එහෙත් ඒ වන විට ඇගේ වයස අවුරුදු දාහතකි. ඒ බව සඟවා ඇය හා සංජීව ලියා පදිංචි කාර්යාලයේ විවාහයට නම් තැබුහ. ඒ දහ අට වන විට නීත්‍යානුකූලව විවාහවීමේ පොරොන්දුව මතය.

නීත්‍යානුකූලව විවාහ නොවුණත් එදා පටන් චන්ද්‍ර කුමාරි සිටියේ සංජීවගේ මහ ගෙදරය. කල් යාමේදී සංජීවට දාව ඇයට පිරිමි දරුවෙක් ලැබිණි. ඒ දරුවා තුන් කුළුඳුල් දරුවකු වීම විශේෂත්වයක් විය.

දෙදෙනා සතුටින් කාලය ගත කළහ. ඒ අතරතුර සංජීවට මිතුරෙකු තොරතුරක් කීවේය.

“ඒ උඹේ දරුවා තුන් කුළුඳුල් නේද. නිධානයක් ගන්න කෙනෙක් ඔය තුන් කුළුඳුල් දරුවෙක් හොයනවා. මොකද උඹ කියන්නේ. හැබැයි ඉතින් අපි සේරම ගොඩ”

මිතුරා කී මේ කතාව සංජීවගේ සිතේ තැන්පත් විය. ඔහු මේ බව චන්ද්‍ර කුමාරිට ද කීවේය. ඇය ඊට කිසිසේත් කැමැති නොවීය. ඒත් සංජීව දිගින් දිගටම ඇයව සිය අදහසට එකඟ කරගන්නට උත්සාහ කළේය. එය අවසන් වූයේ කන්දකැටිය පොලීසියෙනි. ඇය මේ බව කියමින් පොලීසියට පැමිණිලි කළාය. නිලධාරින් සංජීව කැඳවා අවවාද කළේය.

මේ වන විට අමරසිංහ සිටියේ මහියංගන සොරබොර ගම්මානයේය. අක්කර ගණනක කුඹුරුවලට හිමිකම් කී ධම්මි නැමති කාන්තාවගේ කුඹුරු අඳේට කරමින් අමරසිංහ එහි තිබූ පැල්පතක ජීවත් විය. අමරසිංහ සොරබොර ගම්මානයට පැමිණියේ ඔහු හදා වඩාගත් දියණිය මධුවන්තිද සමඟය. මධුවන්ති දියණිය ඉඩම් හිමි ධම්මිගේ නිවෙසේ රැඳ වූ අමරසිංහ ඇගේ කුඹුරුවල වැඩකළේය. ඒ වන විට ඔහුගේ දියණිය චන්ද්‍රකුමාරි සිය සැමියා වූ සංජීව සමඟ ඔහුගේ මහ ගෙදර ජීවත් විය.

එත් ඒ දීගෙට එතරම් ආයුෂ තිබුණේ නැත. සංජීවගේ යටි සිතෙහි වූයේ නිධන් හෑරීමය. ඒ නිසා චන්ද්‍ර කුමාරි නිතරම සංජීව ගැන සිටියේ සැකයෙනි. අය නිතරම සිය දරුවා ගැන සෙවිල්ලෙන් සිටියාය. ඒ සැමියා දරුවාට හානියක් කරතැයි තිබූ බිය නිසාය. වරෙක ඇය දරුවා නිවෙසේ රඳවා දිය නාන්නට ගියාය. ඒ සමඟම ඇයට ඇසුණේ දරුවා හඬන හඬය. ඇය වහා නිවෙසට දිව ආවාය. සැමියා දරුවා රැගෙන නිවෙසින් යන්නට සූදානම්ය. ඇය ඉදිරියට පැන දරුවා උදුරා ගත්තාය. මින් කිපුණු සංජීව ඇයට බැන වැදී පහර දී යළි නොඑන බව කියමින් නිවෙසින් යන්නට ගියේය. ඔහු නිවෙසින් යන්නේ එම දරුවා තමාගේ නොවන බව ද කියමින්ය.

ඉන් අනතුරුව ඇය දරුවා ද සමඟ තනි වූවාය. අවසානයේ ඇය සිය පියා සිටි සොරබොර වැවට යන්නේ සිය දරුවා ද සමඟය. ඇය ඉන් පසු එතැන ජීවත් වන්නීය.

ඇයට වසන්ත මුණ ගැසෙන්නේ ඔය අතරය. ඔහු ද කුලී වැඩ කරමින් ජීවත් වූවෙකි. ඇගේ දුරකථන අංකයට ඔහු නිතරම කතාබස් කිරීමත් සමග ඇය මේ බව පියා වූ අමරසිංහට කීවාය.

“කමක් නැහැ, උඹ කැමති නම් මෙහාට ඇවිත් මට කතා කරන්න කියපන්”

අමරසිංහ සිය දියණියට කිවේය.

ඒ අනුව වසන්ත ඊට පසු දිනෙක සොරබොර වැවට එන්නේ චන්ද්‍ර කුමාරි හමුවීමටය. ගිනිගත්හේන ඔහුගේ ගමය. ආගිය විස්තර කතා කිරීමෙන් පසු වසන්ත ද එහි බින්න බැස්සේය.

චන්ද්‍ර කුමාරිට පළමු කසාදයෙන් දරුවෙකු ඉන්නාබව ඔහු දැන ගත්තේ එදාය. ඒත් ඊට ඔහු විරුද්ධ නොවීය. ඔහු මේ බව ගිනිගත්හේනේ පදිංචි සිය මවට ද කීවේය. ඇය කීවේ දිනෙක චන්ද්‍ර කුමාරි එහි කැඳවාගෙන එන ලෙසය. ඒ අනුව ඔහු සිය පෙම්වතිය ද රැගෙන මව බලන්නට ගිනිගත්හේනට ගියේය. වසන්තගේ මවගේ නිවෙසේ දින දෙකක් නතර වු ඔවුහු යළි සොරබොර වැවට ගියහ.

“මම හෙට වැඩට යන්න ඕන. ඔයා පරිස්සමින් ඉන්න”

දින කිහිපයකට පසු වසන්ත ඇයට එලෙස කිවේ ජීවත් වන්නට මුදලක් අවශ්‍ය නිසාය. ඒ අනුව එසේ කී වසන්ත ඇගෙන් සමුගෙන කොළඹ ගියේ කුලී වැඩ සඳහාය.

දින දෙක තුනක් ගත විය. චන්ද්‍රා කුමාරිගේ දියණිය නිතර නිතර හඬා වැටීම අමරසිංහ දුටුවේ කරදරයක් ලෙසය. ගොවිතැන් වැඩ ඉවර කොට මත්පැන් පානය කළ ආ දාට අමරසිංහ සිය දියණියට දොස් කීවේ පියා නැති දියණියගෙන් ඇති වන කරදරය ගැන කියමින්ය.

“ඔය ළමයට තාත්තෙක් නැහැ. උඹට ජීවත් වෙන්න විදියක් නැහැ. හරිහමන් මිනිහෙක් නැහැ. මට නම් මේක එපා වෙලා තියෙන්නේ”

කුඹුරු වැඩ ඉවර කොට පැමිණි අමරසිංහ එසේ කියමින් සිය දියණියට දොස් තැබීය. මින් කෝපයට පත් අමරසිංහ ඇයට පහර ද දුන්නේය. ඉන් නොනැවතුණු ඔහු සිය වැඩිමහල් දියණිය ඇදගෙන ගොස් දූෂණය ද කළේය. පියාට ඇති බිය නිසා ඇයට ඊට විරුද්ධවීමට නොහැකි විය. ඇය හඬා වැලපෙමින් සියල්ල දරා සිටියාය.

“කෝ දියන් ඔය ළමයා”

සියල්ල අවසානයේ අමරසිංහ ඇගේ බිළිඳිය උදුරාගෙන නිවෙසින් පිටතට ගියේය. ඇය වෙන්නට යන්නේ කුමක්දැයි නොදැන බිරාන්තව බලා සිටියාය. මොහොතකට පසු අමරසිංහ යළි නිවෙසට පැමිණියේය.

“අන්න උඹේ වස්තුව මම වගා ළිඳට දැම්මා. දැන් සේරමෙ ප්‍රශ්න ඉවරයි. උඹ මේ ගැන කාට හරි කිව්වොත් උඹවත් මම ඔය ළිඳට දානවා”

අමරසිංහ සිය දියණිය වූ චන්ද්‍ර කුමාරිට කිවේය. ඇය තුෂ්ණිම්භූතව ඔහු දෙස බලා සිටියාය. ඒත් ඇයට පියාට එරෙහිව යාමට නොහැකිය.

“කවුරු හරි දරුවා ගැන ඇහැව්වොත් උඹ කියපන් මම ඒකව හදාගන්න දුන්නා කියලා, හරිද”

ඇය ඊට හිස වැණුවාය. සියල්ල එතැනින් නිම වනු ඇතැයි අමරසිංහ සිතුවේය. ඒත් ඇයට මෙය දරා ගත නොහැකි විය. ඇය පියාට හොරෙන් සැමියා වූ වසන්තට ඇමතුමක් දුන්නාය.

“මට මෙතන ඉන්න බැහැ. තාත්තා මට ගහනවා. මාව අරගෙන යන්න”

ඒ පණිවිඩය ලද වසන්ත පසුවදාම සොරබොර වැවට ආවේය.

“කෝ දරුවා”

දරුවා නොපෙන්නට වු තැන ඔහු චන්ද්‍ර කුමාරිගෙන් විමසුවේය.

“දරුවා තාත්තා කාටද හදාගන්න දීලා”

පියා කීදේම ඇය සැමියා වූ වසන්තට ද කීවාය. වසන්තට ද එය එතරම් ගණනක් නොවීය. ඒ දරුවා ඔහුගේ නොවන නිසාය. ඔහු චන්ද්‍ර කුමාරි ද කැඳවාගෙන සිය ගම වූ ගිනිගත්හේනට ගියේය.

ගිනිගත්හේනට ගිය පසුවදාම ඇගේ දුරකථනයට අමරසිංහ කතා කළේය.

“උඹේ ළමයා වගා ළිඳේ පාවෙවි හිටියා. මම ඒක අරන් ගිහින් මහවැලි ගඟට දැම්මා. උඹ කාටවත් කියන්න එපා”

ඇය සිය පියා කී දේ අසා සිටියා මිස කිසිවක් කීවේ නැත. ඒ පියාට වූ බිය නිසාය. කල්යාමේදී ඇයට වසන්තට දාව ද දරුවෙකු ද ලැබුණේය. ඇය සියල්ල අමතක කොට ඒ දරුවා ද හදා වඩාගෙන ජීවත් වූවාය.

ඒත් අපරාධයක් කිසිදා සැඟවිය නොහැකිය. එය කවදා හෝ හෙළිවනු ඇත. වයෝවෘද්ධ අමරසිංහට තමා කළ කී දේ ගැන තිබුණේ බියක්ය. කවදා හෝ තමන් කළ අපරාධය හෙළිවෙතැයි ඔහු සිතුවේය. ඒ නිසා එම අපරාධයට වෙනත් කෙනකු හසු කිරීමේ අරමුණෙන් ඔහු පෙත්සමක් සැකසුවේය. එහි චූදිතයන් ද සඳහන් කොට තම දියණියගේ දරුවා සොයා දෙන ලෙස සඳහන් කරමින් ජාතික පොලිස් කොමිසන් සභාවට එය එවන්නේ තමා මීට හසුවන බව හීනෙකින්වත් නොසිතාය. ඒත් අපරාධයක් කිසිදා සැඟවිය සිටි නොහැක. එය සාක්ෂාත් කරමින් මහියංගන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සුදේශ් චතුරංග මේ සියල්ල හෙළි කර ගන්නේ පුංචි බිළිඳිය වගා ළිඳට දමා වසර හතරකට පසුව කරන ලද සාර්ථක විමර්ශනයක් නිසාය.

මේ සම්බන්ධව චන්ද්‍ර කුමාරි පොලීසියට පවසා ඇත්තේ මෙවැන්නකි.

“සර් ඔය පෙත්සමේ තියෙන්නේ බොරු. පෙත්සම ගැහුවේ තාත්තා. බොරු දේවල් කියලා. තාත්තා තමයි මගේ ළමයා ගේ ළඟ වගා ළිඳට දාලා පස්සේ මහවැලි ගඟට දැම්මේ. කාටවත් කිව්වොත් තෝත් මරනවා කියලා මට කිව්වා. පොලීසියට කියන්නම එපා කියලමයි මට තර්ජනය කළේ. මම මේ සිද්ධිය පොලීසියට කියන්නේ කොහොමද කියලා බල බලා හිටියේ. තාත්තට තියෙන බය හින්දාමයි මේ ගැන පොලීසියට කියන්න බය හිතුණේ. ගෙදර ඇති කරන එළුවෝ පවා තාත්තට හිතුණ හිතුණ වෙලේ මරලා උයලා කනවා. අපි ඒවා දැකලා තියෙනවා. මාවත් මරයි කියලා මට බය හිතුණා. අනික මට දැන් දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒ හින්දා තවත් බය හිතුණා. ඔය මහත්තයා අහන ප්‍රශ්නවලට උත්තර නොදී ඉන්නම බැරිකමටයි මම මේ ඇත්තම විස්තරේ කියන්නේ” පෙත්සම්කරුගේ වැඩිමහල් දියණිය ඉතිහාස කතාව එසේ දිග හරින්නට වූවාය.

“අපි මහියංගනේට එන්න කලින් බදුල්ල තැන්නේ පංගුව ප්‍රදේශයේ හිටියේ. තාත්තා මුලින්ම කුලී වැඩට මහියංගනයේ සොරබොර වැව ගුරුමඩ කියන ගමට ආවා. එහේ වත්තක් හම්බ වුණා නතර වෙලා ඉන්න. ඒකේ ගෙදරකුත් තිබ්බා. තාත්තා ඒ ගෙදර නතර වෙලා එහේ වැඩ කරේ. අපේ අම්මා තාත්තව දාලා ගිහින් හිටියේ. ඒ හින්දා තාත්තා දෙවෙනි වතාවට කුඩම්මා කෙනෙක් ගෙනාවා. තාත්තා එහෙදි කසිප්පු තමා පෙරුවේ ජීවත්වෙන්න. තාත්තා කසිප්පු බීගෙන ඇවිත් කුඩම්මාට හොඳටම කරදර කරනවා. නංගි හොඳට ඉගෙන ගන්න දක්ෂයි. නංගිට උසස් අධ්‍යාපනය කරන්න අමාරු වුණා. තාත්තා සල්ලි දුන්නේ නෑ. බිබී නැටුවා විතරයි. නංගිට උගන්නන්න මම කෑම හදලා කඩවල්වලට දැම්මා.

ඒක හරි ගියෙත් නැහැ. පස්සේ මම තීරණය කළා ගාමන්ට් යන්න. ඔය අතරේ මට මහරගම ගාමන්ට් එකකට යන්න ලැබුණා. එහේදී මට හම්බ වුණා බදුල්ලේ මයිලගස්තැන්නේ කෙනෙක්. අපි ටික කාලයක් ආශ්‍රය කළා. පස්සේ බදුල්ල කච්චේරියට ඇවිත් අපි නම් ප්‍රසිද්ධ කරලා එකට හිටියා. ඔහොම ඉන්න කොට මට දරුවෙක් ලැබෙන්න ආවා. දරුවා හම්බ වුණාට පස්සේ එයා මාව දාලා ගියා. ඒ ගැන තාත්තට ආරංචි වෙලා ඇවිත් මාව සොරබොරට එක්කගෙන ගියා. ඔහොම ඉන්නකොට මගේ යාළුවෙක්ගේ හිතවත්කමක් මාර්ගයෙන් වෙන කෙනෙක් එක්ක මට සම්බන්ධයක් ඇති වුණා. එයා සොරබොර අප හිටිය ගෙදරට ආවා. ඇවිත් සතියක් විතර අපේ ගෙදර නතර වෙලා හිටියා. එහෙම ඉන්න කොට අපේ විවාහයට ගෙදරින් කැමති වුණා. 2013. දෙසැම්බර් 13 දින අපි බතලයාය විවාහ රෙජිස්ටාර් ගාවට ගිහින් විවාහ වුණා. පොඩි දරුවත් අරගෙනයි ගියේ. එයාට එතකොට මාස 06 ක්.”

"ඊට පස්සේ 17 වෙනිදා මහත්තයා කොළඹ වැඩට ගියා. ඔහොම ඉන්න කොට දවසක් තාත්තා ගේ ළඟ ගඩොල් කප කප ඉඳලා හැන්දෑවේ කඩේ පැත්තේ ගියා.”

"එදා රූ 11 ට විතර ගෙදර ඇවිත් මාත් එක්ක හොඳටම රණ්ඩු වුණා. මට හොඳටම ගැහුවා. දරුවාගේ උප්පැන්නෙට තාත්තා කෙනෙක් නෑ කිව්වා. මට දරුවා ජීවත් කරවන්න විදියක් නෑ කිව්වා. පොඩි දරුවා බිම මෙට්ටේ නිදි කරලා තිබුණේ."

"පස්සේ මට දස වධ දීලා මාව දූෂණය කළා. මම හොඳටම ඇඬුවා. මෙහාට දීපිය ඕකා කියලා මගෙන් දරුවා උදුරාගෙන එළියට දිව්වා. පාන්දර 3.00 ට විතර ගෙට ඇවිත් “උඹේ වස්තුව ළිඳට දැම්මා. උඹට පුළුවන් දෙයක් කරපන් කියලා කිව්වා. කාට හරි කියලා තිබුණේත් තෝත් මරනවා . තොගේ පවුලත් විනාශ කරනවා කිව්වා. තොගේ මිනිහට එන්න කියාපිය" කියලා එදා රෑ මට බැන්නා. මම ෆෝන් එකෙන් මහත්තයට එන්න කිව්වා. එයත් හදිසියේම එදා රෑ ගෙදර ආවා. මහත්තයා ඇවිත් චූටි පුතා කෝ කියලා ඇහුවා. මම කිව්වා තාත්තා පුතාව හදාගන්න කෙනෙකුට දීලා කියලා. අපි ගමේ අයටත් කිව්වේ ඒ විදියට. මම මහත්තයත් එක්ක ගිනිගත්හේනට ආවා. 22 රෑ තාත්තා ෆෝන් එකෙන් කතා කරලා කිව්වා “අර ළිඳට දාපු ළමයා ගොඩ ඇවිත් තිබුණා. මම ඒකව ගඟට දැම්මා. කාටවත් කියන්න එපා. කව්රුත් ඇහුවොත් හදාගන්ට ළමයි නැති කෙනෙකුට දුන්නා කියපන්” කියලා කිව්වා. ඔහොම කාලයක් ගෙවිලා ගියා. මට අලුත් කාසදෙන් 2014 හා 2015 දරුවෝ දෙන්නෙක් හම්බ වුණා. චූටි පුතා ලැබෙන්න ඉන්න කොට 2016. 05. 07 දිනෙක මගේ ළමයෙන් අතුරුදන් කියලා පෙත්සමක් මහියංගන පොලීසියට ලැබිලා තියෙනවා. එකට ඔෆිස් එකට එන්න කියලා පණිවිඩයක් ආවා. ඔෆිස් එකට තාත්තයි මායි ගියා. ඒ පෙත්සමේ තිබුණේ මගේ මුල් මහත්තයා, කුඩම්මා හා කන්දකැටියේ පොලිසියේ මහත්තයෙක් එකතුවෙලා දරුවා අරන් ගියා. මොකද වුණේ කියලා දන්නේ නෑ කියලා. හොයලා දෙන්න කියලා තාත්තා විසින් කරපු ඉල්ලිමක්. පොලිස් ඔෆීස් එකට යන්න ඉස්සෙල්ලා තාත්තා කිව්වා මට දරුවා මගේ මුල් මහත්තයා, කුඩම්මා හා කන්දකැටියේ පොලීසියේ මහත්තයෙක් එකතු වෙලා අරන් ගියා කියලා පොලීසියේ මහත්වරුන්ට කියන්න කියලා. මමත් ඒ විදියටම ලොකු මහත්තයාගේ ඔෆීස් එකට ඇවිත් කිව්වා. පස්සේ පොලීසිය කුඩම්මා, මගේ නංගිගෙනුත් ප්‍රශ්න කළා. නංගි සොරබොර ඉඩමේ අයිති කට්ටියගේ ගෙදර ඉඳලා හදලා ඉස්කෝලෙට ගිහින් ඉගෙන ගත්තා. අන්තිමට අපි මොනවා කිව්වත් ඇත්ත මොකක්ද කියලා මහත්තයා හොයා ගත්තා.”

ඇය අපරාධ විමර්ශන අංශය බාර ස්ථානාධිපතිවරයා ඉදිරියේ කියන්නට වූවාය.

ඇයගේ ප්‍රකාශය මත මහියංගන පොලීසිය විසින් පෙත්සම්කාර සැකකාර පියා අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු දින 14 ක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෙතෙම නියෝග කෙරිණි.

මහියංගන සහකාර පොලිස් අධිකාරී උජිත් ලියනගේ මහතාගේ උපදෙස් මත මහියංගන පොලීසියේ ස්ථානාධිපති චන්දන විජේසේකර මහතා, නියෝජ්‍ය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් වීරකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති සුදේශ් චතුරංග මහතා ප්‍රමුඛ සැරයන් 28534 දිසානායක, 58004 වේරගොඩ, 20016 නන්දසේන, කොස්තාල්වරුන් වූ 66024 ජයසේකර, 67270 රෂ්නායක, 38588 සම්පත්, 75337 සඳලාල්, 34116 ධර්මදාස, 34419 අත්තනායක, 88742 ප්‍රේමරත්න, 54192 උපාලි ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන පැවැත්වූහ.

කීර්ති මෙන්ඩිස්

රංජිත් කරුණාවීර මහියංගනය