මාධ්‍යවේදියා වෙඩි තබා මැරුවාට අණ දෙන නිලධාරියා අත්අඩංගුවට

මාධ්‍යවේදියා වෙඩි තබා මැරුවාට අණ දෙන නිලධාරියා අත්අඩංගුවට

බෙංගාලි බසින් පළවන “සියන්දන් පත්‍රිකා” නමැති දිනපතා පත්‍රයේ සේවය කළ සුධීප් දත්ත භෞමික් අති දක්ෂ මාධ්‍යවේදියෙකි. විමර්ශනාත්මක මාධ්‍යවේදියකු ලෙස නම් දරා සිටි සූධීප් ජනතාවට බලපාන ප්‍රශ්න හා වෙනත් සැඟවුණු පුවත් සෙවීම පිළිබඳව විශේෂ හැකියාවක් තිබු අයෙකු විය.

මුදල් වංචාවක් පිළිබඳව ලැබුණු තොරතුරක් අනුව පසුගියදා ඔහු ත්‍රිපුර ප්‍රාන්තයේ හමුදා සේනාංක මුලස්ථානයට ගියේ ඒ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහාය. ඔහු එම කඳවුරේ අණදෙන නිලධාරි තාපන් (Tapan Debbarma) දෙබ්බර්මා හමුවී එම සිද්ධිය පිළිබඳ අණදෙන නිලධාරියාගෙන් විමසීමක් කළේය. ඉන් කිපුණු හමුදා නිලධාරියා වහා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට අණ කළේ සුධීප් වෙඩි තබා මරා දමන ලෙසය.

පසුගිය නොවැම්බර් 21 වනදා සිදු වූ මෙම ඝාතනය ඉන්දියාව පමණක් නොව ලෝපුරා සිටින මාධ්‍යවේදින්ගේ ප්‍රකෝපයට හේතු වූවා පමණක් නොව මහත් ආන්දෝලනයකට ද ලක් විය.

“සියන්දන් පත්‍රිකා” පුවත්පතේ ප්‍රධාන කර්තෘ සුබාල් කුමාර් ඩේ ප්‍රකාශ කළේ සුධීප් විසින් ලියන ලද ලිපි කිහිපයක් මෙම ඝාතනයට හේතු වී ඇති බවය.

හමුදා නිලධාරි දෙබ්බර්මා කඳවුරට පැමිණෙන ලෙස මාධ්‍යවේදී සුධීප්ට ඇරයුම් කර තිබු අතර එහිදී ඔහු කඳවුරේ සිදු වූ මුදල් ගනුදෙනු කිහිපයක් ගැන ප්‍රශ්න කිරීමේදී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදු වූ බව තමාට දැනගන්නට ලැබුණු බවත් පුවත්පතේ ප්‍රධාන කතුවරයා වැඩිදුරටත් පැවසීය. ත්‍රිපුර හමුදා කඳවුරේ සිදු වූ මුදල් අක්‍රමිකතා පිළිබඳව සුධීප් ලියු ලිපියක කරුණු සනාථ කරගැනීමට ඔහු මෙසේ කඳවුරේ අණදෙන නිලධාරි හමුවු බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිසිය ත්‍රිපුර හමුදා කඳවුරේ අණදෙන නිලධාරි දෙබ්බර්මා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට රිමාන්ඩ් භාරයට පමුණුවනු ලැබීය.

එසේම හමුදා නිලධාරියාගේ ආරක්ෂක නිලධාරි නන්දු රියැං යන අය ද පොලිසිය විසින් මිනී මැරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබු අතර ඔහු ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඇමරිකාවේ පවත්වාගෙන යන මාධ්‍යවේදින්ගේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන ඛ්ර්‍ථබ් ආයතනයේ ආසියාවේ නියෝජිත ස්ටීවන් බට්ලර් මෙම මාධ්‍යවේදියාගේ ඝාතනය පිළිබඳ අප්‍රසාදය පළ කරමින් ත්‍රිපුර ප්‍රාන්ත රජයේ බලධාරින් මෙම ඝාතනය පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වගකිව යුත්තන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළේය.

එසේම ත්‍රිපුර ප්‍රාන්තයේ සියළුම පුවත්පත් මෙම මාධ්‍යවේදියාගේ ඝාතනයට විරෝධය පළ කිරීම සඳහා කර්තෘ වැකි හිස්ව තබා පුවත්පත් පළ කිරීම ද විශේෂ සිද්ධියක් වූහ.

පොලිසිය මඟින් පවත්වන ලද පරීක්ෂණවලට අනුව දෙබ්බර්මා නමැති හමුදා නිලධාරියා සමඟ ඇති වූ බහින්බස් වීමෙන් පසු සුධීජ ඔහුගේ කාර්යාලයෙන් ඉවත්ව යැමට සුදානම් වෙද්දී ආරක්ෂක නිලධාරියා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විමර්ශනයේදී හෙළි විය.

වෙඩි වැදුණ සුධීජ එතැනදීම මරු මුවට පත් වූ අතර ඉන් අනතුරුව ඔහුගේ මළ සිරුර හමුදා භටයන් විසින් කඳවුරෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

සුධීජ ගේ ඝාතනය දැනට ඉන්දියාව තුළ සිදු වූ 41 වැනි මාධ්‍යවේදී මරණය බවට ඛ්ර්‍ථබ් ආයතනය පවසන අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී පොලිසියත් දේශපාලන පක්ෂයක සාමාජිකයින් පිරිසක් අතර පැවති ගැටුමක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකු ද මෙලෙස ඝාතනයට ලක් වූ අතර කැබලි කර තිබු ඔහුගේ සිරුරේ කොටස් සොයාගනු ලැබුවේ ඝාතනයට පසුවදා ය.

එසේම එම මාසයේදීම ප්‍රකට මාධ්‍යවේදීයකු වූ ගෞරි ලන්කේෂ් බගලෝරයේදී ජාතිවාදි හින්දුන් පිරිසක් විසින් ඝාතනය කරනු ලැබු අතර මෙතෙක් එම ඝාතනයට සම්බන්ධ කිසිදු පරීක්ෂණයක් පැවැත්වීම හෝ අත්අංඩගුවට ගැනීමක් සිදු නොවු බවද ඛ්ධ්බ් ආයතනය අවධාරණය කළේය.

හමුදා කඳවුර තුළ දී ඝාතනයට ලක් වූ සධීජ දන්ත භෞමික් මාධ්‍යවේදියාට වහාම සාධාරණයක් ඉටුවිය යුතු බවද ඛ්ර්‍ථබ් ආයතනය ඉන්දීය බලධාරින්ට අවධාරණය කර ඇත.

රෝහණ ආර්යරත්න