බටපොළ වෙඩි තැබීමේ සුලමුල හෙළිවේ

බටපොළ වෙඩි තැබීමේ සුලමුල හෙළිවේ

බට පොළ ටයි රාජුලට වෙඩි තියන්න කියලා අපිට කිව්වේ පොඩි ලසී. කොස්ගොඩ සුජී ගේ මාමා මරපු පලිය ගන්න තමයි ඒක ප්ලෑන් කළේ. සුජී, රට ඉඳලා ඇතුලෙ ඉන්න පොඩි ලසී ට කෝල් කරලා කියලා තිබුණා. ඊට පස්සේ තමයි පොඩි ලසී අපිට කෝල් කරලා වැඩේ කරන්න කිව්වේ. සුජී අයියා කොළඹින් එක්කෙනෙක් අපිට සපෝට් එකට එවලා තිබුණා.”

“තෙල්වත්තෙ දසන්ත මෙන්ඩිස්ට වෙඩි තියන්න ගියෙත් අපි. ඒකට ටී - 56 දෙකක් අරගෙන ගියේ. ඒකටත් සුජී අයියා කොළඹ එක්කෙනාව එව්වා. ඒ ගේමට එයත් ටී - 56 එකක් අරගෙන ආවා. යද්දී ආපහු අරගෙන ගියා. බටපොළ එකට එද්දී නම් තුවක්කුවක් ගෙනාවේ නෑ.”

බටපොළ පොලිස් වසමේ ඊරියගහදොළ පදිංචි අසංක මනෝරාජ් සොයිසා නොහොත් “ටයි රාජු” සහ දරුවන් ගමන්ගත් මෝටර් රථයට ඔක්තෝම්බර් මස තිස් එක් වැනිදා රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

එම වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් අනුර මෙන්ඩිස් සහ චන්ද්‍රපෝල් යන දෙදෙනා බටපොළ ප්‍රහාරය ක්‍රියාත්මක කළ ආකාරය එලෙස හෙළි කළහ.

ටයි රාජු යනු කොස්ගොඩ තාරක නම් වූ පාතාල කල්ලි සාමාජිකයාගේ මවගේ අයියාය. එනම් මාමාය. තාරක කුඩා අවදියේ දී වසර දෙකක පමණ කාලයක් පාසල් ගියේ ද මේ මාමාගේ නිවෙසේ නතරව සිටය. එබැවින් මේ මාමා කෙරෙහි කොස්ගොඩ තාරකගේ සිතෙහි දැඩි ගෞරවාදරයක් තිබෙන බව නොරහසකි.

එලෙස සිය මාමාට ආදරය කරන තාරක සිය කල්ලියේ නායකයා වූ කොස්ගොඩ ලොකු ඝාතනය කිරීමේ සිද්ධියට පළිගත්තේ කොස්ගොඩ සුජී ගේ මාමා හා දරුවන් ඝාතනය කරමිනි. ඒ.... කොස්ගොඩ ලොකු මරා දැමුවේ කොස්ගොඩ සුජී ගේ අවශ්‍යතාව හා මෙහෙයවීම මත බව හෙළිව තිබු නිසාය. ඒ තොරතුරු සියල්ල හෙළි කළේ කොස්ගොඩ ලොකු ඝාතනයට සම්බන්ධ රණා, රාජු ඇතුලු සැකකරුවන් සියල්ලෝම පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඔවුන් කළ පාපොච්චාරණ වලිනි.

වෙඩික්කාරයන්, සැලසුම් කරුවන් ඇතුලේය. මහ මොළකරු විදේශයකය. එබැවින් සිය ඥාති සහෝදරයා මෙන්ම කල්ලියේ නායකයා මැරු පලිය ගන්නට කිසිවකු සොයා ගැනීමට නොහැකිය. වර්ෂය අවසන් වීමට පෙර පලිගත යුතුය. එබැවින්.. කොස්ගොඩ තාරක මෙන්ම කොස්ගොඩ ලොකු ගේ බාල සහෝදරයා වන දේශාන් ද පලි ගැනීම සඳහා තෝරා ගත්තේ සුජී ගේ මාමා වන මහින්ද රාජාය.

කොස්ගොඩ ලොකු ජීවත්ව සිටී සමයේ දී මහින්ද රාජා ගේ දරුවන් සමඟ කිහිප වතාවක්ම ගෝරි වලට පැටලී තිබිණි. දෙදහස් පහළොව වර්ෂයේ ජනවාරි මාසයේ දිනයක ලොකු තවත් කිහිප දෙනකු සමඟ රාත්‍රියේ මහින්ද රාජාගේ නිවෙසට පැන බිරිය ඇතුලු පවුලේ සියල්ලන්ටම පහර දී තිබිණි.

සිය මාමා ත් මල්ලිලා ත් මැරූ පලිය ගැනීම සඳහා කොස්ගොඩ තාරක බෙහෙවින් ආදරය කරන “ටයි රාජු” ඇතුලු දරුවන් මරා දැමීම සඳහා කොස්ගොඩ සුජී සැලසුම් කළ ද බලාපොරොත්තු වු ප්‍රතිඵල ලබා ගැනීමට සුජීට හැකි වුයේ නැත.

බටපොළ ප්‍රහාරය පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණ සඳහා බටපොළ පොලිසියට අමතරව කරන්දෙණිය, මීටියාගොඩ, සහ අම්බලන්ගොඩ පොලිස් ස්ථාන වලින් ද කණ්ඩායම් යොදවා තිබිණි. මේ කණ්ඩායම් එක්ව පරීක්ෂණ කරගෙන යන අතරතුර පෞද්ගලික ඔත්තුකරුගෙන් තොරතුරක් ලැබිණි.

“සර්.... ඔය බටපොළ වෙඩි තියපු කෙස් එකට තෙල් වත්තේ අනුර මෙන්ඩිස් සම්බන්ධයි.”

මෙලෙස ලැබුණු තොතුරට අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම් ඔහු සොයා තෙල්වත්ත පැලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙසට ගිය ද ඒ වන විට ඔහු නිවෙසේ සිටියේ නැත. විටින් විට දින කිහිපයක්ම ඔහු සෙවු නමුත් ඔහු පොලිසිය මඟහැර පලාගොස් ඇති බව තහවුරු විය.

මෙලෙස දින ගණනක් තිස්සේ අනුර මෙන්ඩිස් සොයන පොලිස් කණ්ඩායම අංක තහඩු නොමැති පල්සර් යතුරුපැදියක් පැදයන පුද්ගලයකු අල්ලා ගත්තේ තෙල්වත්ත දුම්රිය හරස් පාර අසලදීය. ඔහු... අනුර මෙන්ඩිස්ය.

ප්‍රශ්න කිරීමේදී ඔහු සියල්ල හෙළි කළේය. වෙඩි තැබීම සඳහා උපයෝගී කරගත් ගිනි අවිය හා යතුරුපැදිය ගැන ද ඔහු කියා සිටියේය.

“වෙඩි තියන්න ගිය හොණ්ඩා ඩියෝ බයික් එකයි වෙපන් එකයි අපේ ගෙදර තියෙනවා. වෙපන් එක බයික් එකේ කැබියේ හංගලා තියෙන්නේ.”

“මමයි බටපොළ චන්ද්‍රපොලුයි, තව සුජී කොළඹින් එවපු එක්කෙනයි අපි තුන්දෙනාම තමයි මේ කේස් එකට ගියේ. තෙල්වත්තෙ දසන්ත ගේ ගෙදරට වෙඩි

තිබ්බේ පොඩි ලසී ගේ වුවමනාවට. එයා කාලෙක ඉඳලා දසන්ත එක්ක තරහයි.”

අනුර මෙන්ඩිස් මෙලෙස තොරතුරු හෙළි කළේය. ඔහුගෙන් ලබාගත් තොරතුරු වලට අනුව බටපොළ චන්ද්‍රපෝල් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායමක් ගිය අතර අනුර මෙන්ඩිස් ගේ නිවෙස බලා තවත් කණ්ඩායමක් පිටත්ව ගියේය.

නිවෙස ඉදිරිපිට හොණ්ඩා ඩියෝ යතුරුපැදිය නවත්වා ඇත. එහි කැබිය විවර කළ විට දුටුවේ ටී - 56 ගිනි අවිය එහි රඳවා තබා ඇති බවත්, එය රැඳවීම සඳහා යතුරුපැදියේ බඳ කපා සකස් කර තිබිණි.

ටී - 56 ගිනි අවිය යතුරුපැදියේ කැබියට වඩා දිගුය. එය කැබියට දමා වසා තැබීමට නොහැකිය. එබැවින් කැබියේ පිටුපස කොටස ටී - 56 අවියේ ඉදිරිපස කොටස බැස්සවිය හැකි ලෙස කපා සාදා තිබිණි.

බටපොළට ගිය කණ්ඩායම චන්ද්‍රපෝල් අත්අඩංගුවට ගත් අතර ප්‍රශ්න කිරීමේදී හෙළි වුයේ ඔහු මත්කුඩුවලට තදින්ම ඇබ්බැහි වුවකු බවත් දිනකට රුපියල් දොළොස් දහසක පමණ කුඩු අවශ්‍ය බවත්ය.

චන්ද්‍රපෝල් විවාහ වී සිටින්නේ වත්පොහොසත්කම් ඇති පවුලක තරුණියක සමඟය. මොහු හොරොයින් වලට ඇබ්බැහි වුවකු බව දැනගත් බිරියගේ පියා ඔහුට කඩයක් කරගනෙ යාමට අවශ්‍ය සියලු

ප්‍රතිපාදන සපයන්නේ දියණිය අමාරුවේ වැටීම වලක්වා ගැනීම සඳහාය.

මොහුට දරුවකු ද සිටී. බිරිය හා මොහු එක්ව කඩය කරගෙන යන අතර ලැබෙන ආදායමෙන් දිනකට මොහු රුපියල් දොළොස් දහසක් වැය කරන්නේ හොරොයින් පානය සඳහාය.

තෙල්වත්තේ දසන්ත ට වෙඩි තැබීම සඳහා ටී - 56 ගිනි අවිය ලබාදෙන්නේ පොඩි ලසීය. එය අනුර මෙන්ඩිස්ට ලබාදෙන අතර යතුරු පැදිය පැදයන්නේ ද ඔහුය.

කොස්ගොඩ සුජී කොළඹ සිට සගයකු තෙල්වත්තට යවන්නේ ටී - 56 ගිනි අවියක් ද සමඟය. යතුරුපැදි දෙකකින් තෙල්වත්තට එන මේ තිදෙනා තෙල්වත්ත පන්සල අසල වන ලැහැබක යතුරු පැදි නවත්වන අතර ප්‍රහාරය සඳහා යන්නේ දෙදෙනෙකි. ඒ... චන්ද්‍රපොල් සහ කොළඹින් ගිය පුද්ගලයාය. දෙදෙනා අතේම ටී - 56 ගිනි අවි තිබිණි.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පැවැති පරීක්ෂණ වල දී මුල සිට සියල්ල ඇසු දුටු අයකු පොලිසියට කට උත්තර දී තිබුණේ මෙලෙසිනි.

“මම අපේ අයියගේ පුතාගේ (දසන්ත මෙන්ඩිස්) ගෙවල් පැත්තට යන්න හදද්දී කැලෑ ඉඩම හරහා කොල්ලො දෙන්නෙක් ආවා. දෙන්නගෙම අතේ තුවක්කු තිබුණා. මම ඒක දැකලා කෑ ගහද්දී උං දාගෙන ආපු සෙරෙප්පුත් ගලවල දාලා දුවන ගමන් පුතාගේ ගේ දිහාට වෙඩි තිව්වා. වෙඩි තියාගෙන බයික් වල නැගලා යන්න ගියා.”

එදා.... සිද්ධිය වූ දිනයේ එම පුද්ගලයා කී තොරතුරු නිවැරදි බව අනුර මෙන්ඩිස් සහ චන්ද්‍රපෝල් ගේ පාපොච්චාරණ වලින් තහවුරු විය.

මේ දසන්ත මරා දැමීමට උත්සාහ කළ දෙවැනි වතාවය. ඒ කුරුමානම ද වැරදී ගියේය.

බටපොළ “ටයි රාජු” ට ප්‍රහාර එල්ල කිරීමේ අවශ්‍යතාව තිබුණේ කොස්ගොඩ සුජීටය. එහෙත් ඔහුට බටපොළ පැත්ත ගැන හොඳින් දන්නා වෙඩික්කරුවන් නැත. දැන් ඔහුට වැඩකට යැවිය හැකි වෙඩික්කරුවන් සිටින්නේ කොළඹය.

ප්‍රදේශය ගැන දන්නා වෙඩික්කරුවන් දැන් සිර ගෙවල් වලය.

ටයි රාජු ඝාතනය කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සකසන ලෙසට සුජී විදෙස් රටක සිට ගාල්ල බන්ධනාගාරයේ සිටින පොඩි ලසීට දැනුම් දෙන්නේ ඒ නිසාය.

පොඩි ලසී ගේ ගම තෙල්වත්තයි. තෙල්වත්ත. හික්කඩුව, මීටියාගොඩ, බටපොළ පොඩි ලසී ගේ ගමට ආසන්නයේ පිහිටි ප්‍රදේශය. එබැවින්.... ඒ පැතිවල පොඩි ලසී ගේ කල්ලියේ හිතුවතුන් සිටී.

අනුර මෙන්ඩිස් අමතන පොඩි ලසී පවසා තිබුණේ සුජී කොළඹින් වෙඩික්කරුවකු එවන බවත් ඔහු සමඟ ගොස් “ටයි රාජු” ට වෙඩි තබන ලෙසත්ය.

එදා..... යතුරු පැදිය පැද්දේ අනුර මෙන්ඩිස්ය. තුවක්කුව අත තිබුණේ කොළඹ සිට පැමිණි පුද්ගලයා අතේය. චන්ද්‍රපෝල් මෙම මෙහෙයුමට සම්බන්ධ නමුත් වෙඩි තැබීම සඳහා ගියේ නැත.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වන්නේ සවස හතට පමණය. “ටයි රාජු” සිය මෝටර් රථයේ පිටුපස දරු තිදෙනා ද ඉදිරිපස අසුනේ ගරාජ් බාස් ද හිඳුවාගෙන අම්බලන්ගොඩ බලා යමින් සිටියේය.

ඔවුන් කොයි මොහොතක හෝ එනතුරු මඟ රැක සිටි අනුර මෙන්ඩිස් හා තුවක්කුකරු මෝටර් රථය යනතුරු බලා සිට ප්‍රහාරය සඳහා සුදානම් වුහ.

අනුර මෙන්ඩිස් යතුරු පැදිය වේගයෙන් පදවාගෙන යයි. පිටුපස අසුනේ සිටි තුවක්කු කරු වෙඩි තබන්නේ යතුරුපැදිය මෝටර් රථය පසු කරනවාත් සමඟය.

එහෙත්... මරන්නට බැරි පුද්ගලයා ගලේ ගැසුවත් මැරෙන්නේ නැත. ඝණ අඳුරත් පින්නත් නිසා මෝටර් රථයේ වින්ස්ක්‍රිනයෙන් පිටත පැහැදිලිව පෙනෙන්නේ නැත. එබැවින් රියැදුරු අසුනේ සිටි රාජු රෙදි කැබැල්ලක් ගෙන ඉදිරියට ඇදී වින්ස්ක්‍රිනය පිස දමන්නට විය. ඒ.. සමඟම ඉදිරිපස අසුනේ සිටි ගරාජ් බාස් ද රෙදි කැබැල්ලක් ගෙන ඔහු සිටි පැත්තේ වින්ස්ක්‍රිනය පිස දමන්නට විය. තුවක්කුකරු රැගත් යතුරු පැදිය මෝටර් රථයට ඉස්සර කරන්නේ ඒ මොහොතේදීය.

ඉලක්කය ගෙන මෝටර් රථයේ ඉදිරිපස අසුන් වෙත වෙඩි පහර එල්ල කළ ද ඒ වන විට ඉදිරිපස අසුන් දෙකේ සිටි දෙදෙනාම සිටියේ ඉදිරියට ඇදී වින්ස්ක්‍රිනය පිස දමමිනි. එබැවින් .... ඒ දෙදෙනාටම කිව යුතු තරමට තුවාල වන පරිදි වෙඩි පහර එල්ල වුයේ නැත.

“වෙඩි තියාගෙන අපි ඉස්සරහට ගියා. හරියට වෙඩි වැදුණ ද කියලා ෂුවර් නැති නිසා ආපහු හරවගෙන ඇවිත් රාජු ලාට ආපහු වෙඩි තිව්වා.”

අනුර මෙන්ඩිස් එලෙස පැවසු අතර මෝටර් රථයේ පිටුපස අසුනේ සිටි දරුවන් තිදෙනා තුවාල ලබන්නේ මෙලෙස දෙවන වර එල්ල වු වෙඩි පහර වලිනි. යතුරු පැදිය ආපසු හරවාගෙන එද්දී රාජු සහ ගරාජ් බාස් පහත් වී ආරක්ෂක පියවර ගත්ත ද කුඩා දරුවන්ට එලෙස ආරක්ෂා වීමට ගත යුතු පියවර කුමක් දැයි නොතේරෙන්නට ඇත. ඔවුන් තිදෙනානම වෙඩි පහර වලට ගොදුරු වන්නේ ඒ නිසා විය යුතුය.

“වෙඩි තියලා ඉවර වෙලා කොළඹින් ආපු එක්කෙනා ආපහු යන්න ගියා. මම බයික් එකේ වෙපන් එක හංගගෙන ගෙදර ගියා.”

අනුර මෙන්ඩිස් මෙලෙස පාපොච්චාරණය කළ අතර චන්ද්‍රපෝල් ද තමා මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වූ ආකාරය විස්තර කළේය.

ඌරගස්මන්හන්දියේ පදිංචිව සිටි මහින්ද රාජා ඇතුලු දරු දෙදෙනාත්, කපිල රත්න යන අයත් වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව වැඩිපුරම බියට පත්ව සිටියේ හිර ගෙදර සිටින පොඩි ලසීය.

ඒ... කොස්ගොඩ තාරක විසින් කරන ලද තර්ජනයක් හේතුවෙනි. එම තර්ජනය වුයේ බන්ධනාගාර බස් රථය හරස් කොට හෝ ප්‍රහාර එල්ල කොට මරා දමන බවය.

බටපොළ දී “ටයි රාජු” ට ප්‍රහාර එල්ල වුයේ මහින්ද රාජා ඝාතනය කොට ගෙවී ගිය තෙවැනි දින රාත්‍රියේදීය. එම ප්‍රහාරය ගාල්ල බන්ධනාගාරයේ සිටින පොඩි ලසී ගේ මෙහෙයවීමෙන් සිදු වූ බවට කතා පැතිර ගියේය.

එහෙත්.... බන්ධනාගාර බලධාරීන් පවසා සිටියේ ඇතුලේ සිට පොඩි ලසී එවැනි ප්‍රහාරයක් සැලසුම් කරන්නේ කෙලෙස ද කියාය.

ඇතුලේ සිටිය ද පොඩි ලසී ලා සතුව ජංගම දුරකථන තිබෙන බවට පොලිසිය සිදුකරගෙන යන පරීක්ෂණ වලදී ද සනාථ වී තිබිණි.

මේ බව බන්ධනාගාර බලධාරින් පිළිනොගන්නා අතර ඔවුන් බන්ධනාගාරය සෝදිසි කිරීමට ද කටයුතු කළේය. ඒ අනුව පොඩි ලසී, සුද්දා, රාජු සහ රණා සිටින සිර කුඩුව දැඩි ලෙස සෝදිසි කිරීමට කටයුතු කළේය. එම සෝදිසියේ දී ජංගම දුරකථන තබා දුරකථන කැබැල්ලක් වත් හමු නොවු බව බන්ධනාගාර අධිකාරි වරයා තහවුරු කළේය.

එබැවින්.... බටපොළ ප්‍රහාරය හිරගෙදර සිට කළ සැලසුමක් බවට ප්‍රචාරය වු තොරතුරු බන්ධනාගාර බලධාරීන් තරයේ ප්‍රතික්ෂේප කළ ද ඒවා සත්‍යම සත්‍ය තොරතුරු බව හෙළි වුයේ අනුර මෙන්ඩිස් හා චන්ද්‍රපෝල් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.

මින් සනාථ වන්නේ බන්ධනාගාර අධිකාරි වරයා කොපමණ උත්සාහ දැරුවද ඇතුලේ ජංගම දුරකථන පාවිච්චිය නවතා දැමීමට බලධාරින්ට නොහැකි වී ඇති බවයි.

එය එලෙස වන්නේ කෙලෙසද? ඊට ද පිළිතුරු ඇත. පිළිතුරු වන්නේ ජෙලර් වරුන් හා බන්ධනාගාර නියාමකයන් මුදල් වාසි තකා හිරකරුවන්ට ඕන ඕන දේවල් කිරීමට ඉඩ ලබා දීම සහ ඒ සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ ආදිය ද සැපයීමට උදව් උපකාර කිරීමයි.

ඇල්පිටිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරි නිහාල් තල්දුව ගේ උපදෙස් මත බටපොළ පොලිසියේ ස්ථානාධිපති දයාන් ද සිල්වා ඇතුලු කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රසන්න, උප පොලිස් පරීක්ෂක වරුන් වන ජනක සම්පත්, කරුණාරත්න. බාලේන්ද්‍ර පරීක්ෂණ සඳහා එක්වුහ. කොළඹ සිට පැමිණි බව කී වෙඩිකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

තක්ෂිලා ජයසේකර

ඡායාරූප අනුරාධ පි‍්‍රයදර්ශන

අම්බලන්ගොඩ.