අන්තිමට ඇය යන්නම ගියා

නමින් මැලින්ඩා වූවත් කවුරුත් ඇය ආදරයට ඇමතුවේ “මින්ඩි” නමිනි.

ඇමෙරිකාවේ ආර්කන්සාස් පළාත මුල් කරගත් සුප්‍රසිද්ධ ගායිකාවක ලෙස ආ ගමනට ඇය අත්පොත් තැබුවේ වයස අවුරුදු තුනේදී තරම් කාලයේදීය.

මින්ඩි ඉපදුණේ ෆ්ලොරිඩාවේ ෆෝර්ට් මයර්ස්වලයි. ඇය මුලින්ම සින්දු කිව්වේ වයස අවුරුදු තුනේදී ගමේ පෙන්තකොස්ත පල්ලියේදීයි.

පාසල් අවදියේ සිටම ඇගේ සිහිනය වුණේ ගායිකාවක වීමයි. ඒ බලාපොරොත්තතුව ඇතිව මින්ඩි වයස අවුරුදු දහඅටේදී ටෙනසි පළාතේ නාෂ්විල්වලට පැමිණියා.

එක්දහස් නවසිය අනූ හය වසරේදී ඇය පටිගත කළ මුල්ම තැටිය මිලියන දෙකකටත් වැඩි පිටපත් සංඛ්‍යාවකින් අලෙවි වුණා.

එතැන් පටන් මින්ඩි ඇමෙරිකානු ගැමි සංගීතයේ ඉතා ඉහළ ගායක තරුවක් ලෙසයි සැලකුණේ. මින්ඩි වයස අවුරුදු විස්සේ දී ක්ෂණිකව තරුවක් බවට පත්වුණා. මින්ඩි ඉන්පසු දිගින් දිගටම ගීත පටිගත කළා. ඒ සියලු සංගීත තැටි විකිණී ගියේ මිලියන ගණනින්. ඒ සමඟම මින්ඩිගේ ජනපි‍්‍රයත්වය ද ඉහළ ගියා.

ගායිකාවක ලෙස තම බලාපොරොත්තු ඉතා ඉහළින් මුදුන් පමුණුවා ගත්තත් මින්ඩිට තම සිතනම් එක තැනෙක රඳවා ගැනීමට හැකිවුණේ නැහැ. ඇය මුලින්ම පෙම් හබයක පැටළුණේ ඇමෙරිකානු සුප්‍රසිද්ධ රූපවාහිනී නළුවකු වන “ඩීන් කේන්” සමඟයි.

එහෙත් ඒ සබඳතාව වැඩිකල් නොගොස්ම නතර වුණා. මින්ඩි ඉන්පසු ඇසුරු කරන්නට ගත්තේ සුප්‍රසිද්ධ ක්‍රීඩා තරුවක්. “ඩ්‍රේක් බොරෙබ්ස්කි” නම් වූ කැනේඩියානු ජාතික අයිස් හොකී ක්‍රීඩකයකු වූ ඔහු ඇමෙරිකාවේ ප්‍රාන්ත හොකී කණ්ඩායම් ගණනාවක ක්‍රීඩා කළ දක්ෂ ක්‍රීඩකයෙක්. ඒත් ඒ සබඳතාවත් වැඩිකල් පැවතුණේ නැහැ. ඉන් පස්සේ ඇගේ සිත නතරවුණේ තවත් ජනපි‍්‍රය ගායකයකු ළඟයි. “බිලී” නමින් සුප්‍රසිද්ධ වූ ඔහුත් ඇයත් අතර සබඳතාව පැවතියේ දෙවසරයි.

දෙදහස් පහ වසරේදී “බිලී” අත්අඩංගුවට පත්වූයේ මින්ඩිට අඩන්තේට්ටම් කර පහරදීමේ චෝදනාවටයි.

දෙදහස් පහ වසරේ එක් දිනෙක මින්ඩි ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ “පීපල්ස්” සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ප්‍රකාශ කළේ තමාත් බිලුත් අතර දැන් කිසිම සබඳතාවක් නැති බවයි.

ඉන්පසු සතියයි ගතවුණේ මින්ඩි ෆ්ලොරීඩාවේ හොටෙල් ශාලාවක සිහි තැනිව වැටී සිටියදී හමුවුණා.

“මින්ඩි එදා ඇගේ දිවි හානි කරගැනීමට තැත් කළා. ඇය හඳුනානොගත් මත්ද්‍රව්‍ය සහ

මත්පැන් විශාල ප්‍රමාණයක් පානය කර තිබු බව රෝහල් ගත කළ පසු අපට දැන ගන්න ලැබුණා” එදා සිද්ධිය ගැන මින්ඩිගේ මව පවසා තිබුණා.

ඒ සිද්ධියෙන් පසු බිල් සහ මින්ඩි යළිත් එක් වුණා. ඒ සබඳතාවේ ප්‍රතිඵලයක් ලෙස මින්ඩි ගැබ් ගත්තා. ඒත් ඇගේ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය නම් අඩු වුණේ නැහැ.

මින්ඩි යළිත් වරක් සියදිවි හානි කර ගන්න උත්සාහ කළා. වාසනාවකට එදා ඇය බේරුණා.

ඇගේ පළමු දරුවා බිහිවුණේ දෙදහස් හයේදීයි. මින්ඩි ඒ පුතා නම් කළේ සැන්ඩර් ලෙසයි.

මේ අතර මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදා ගැනීම සඳහා මින්ඩි නිතරම පුනරුත්ථාපනය සඳහා යොමු කෙරුණා. එහෙත් ඉන් පිටවී පැමිණි වහාම ඇය කළේ යළිත් මතට ඇබ්බැහිවීමයි. වරක් ඇයට හොර බෙහෙත් තුන්ඩුවක් ඉදිරිපත් කර වේදනා නාශක බෙහෙත් වර්ගයක් මිලදී ගැනීමේ චෝදනා එල්ල වුණා.මත්ද්‍රව්‍ය නිසා ඇය මෙතෙක් ගායිකාවක ලෙස ගොඩනංවාගෙන තිබූ කීර්තිමය නාමයට බොහෝ හානි පැමිණියා. වරක් අධික වේගයෙන් රිය පැදවීමේ වරදට සහ බීමත්ව රිය පැදවීමේ වරදට ඇගේ රියැදුරු බලපත්‍රය අත්හිටවනු ලැබුවා. ඉන් මාස දෙකයි ගත වුණේ. ඇයට යළිත් චෝදනා එල්ල වුණේ නීතිවිරෝධී ලෙස රිය පැදවීමයි.

දෙදහස් අට වසරේ දිනක් හදිසි වෛද්‍ය සේවා මින්ඩිගේ නිවෙස වෙත ළඟා වූවා. ඒ ඇය සිය අතේ නහර කපාගෙන තිබූ නිසයි. එවර ඇය නොමැරී බේරුණේ වෛද්‍යවරුන්ගේ දස්කම් නිසයි.

මේ අතරවාරයේ පුවත්පතක් ඇගේ නම රටේ සුපතල බේස්බෝල් කීඩා තරුවක වන රොජර්ගේ නමා හා පටලා පුවත් පළ කළා. මින් කලබලයට පත් රෝජර්ගේ ප්‍රකාශකයකු වහාම ඒ පුවත ප්‍රතික්ෂේප කළත් මින්ඩි ඒ ගැන සිය හඬ අවදි කළා.

“පුවත් පත පළ කළ අන්දමට මා ඔහු හා සබඳතාව පටන් ගත්තේ වයස අවුරුදු පහළොවේදී නොව දහ අටේදීයි. එය බොහෝ කාලයක් පැවැති සබඳතාවක්. “ ඇය ඉන්පසු සියල්ල හෙළි කළා.

මින්ඩි දිගින් දිගටම මත්ද්‍රව්‍ය භාවිතයෙන් කරන වැරදි නිසා වරක් නීති බලධාරීන් ඇය පරිවාස භාරයට පත් කළා. ඒ අනුව ඇයට පරිවාස නිලධාරීන්ගේ අවසරයකින් තොරව තමා පදිංචි ප්‍රදේශයෙන් පිටව යෑමටත් නොහැකි වුණා.

එවර ඇය අත්අඩංගුවට පත්වුණේ අනවසරයෙන් ෆ්ලොරීඩාවට යෑමට උත්සාහ කළ නිසයි. එවර ඇය වසරක සිර දඬුවමකට ලක් වුණා.

මේ අතරවාරයේ මින්ඩි ගේ මව සැන්ඩර් පුතාගේ බාරකාරීත්වය ලබා ගත්තා. සිරදඬුවමක් විඳ පැමිණි මින්ඩි බලහත්කාරයෙන් මවගේ නිවෙසට ඇතුළු වී සැන්ඩර්

පැහැරගෙන එනු ලැබුවා. ඒ වරදට පසුව මින්ඩිට චෝදනා එල්ල වුණා. කෙසේ වූවත් සැන්ඩර්ගේ නීත්‍යනුකූල බාරකාරිය වුණේ මින්ඩිගේ මවයි.

ගී තැටි නිෂ්පාදකයකු වූ ඩේවිඩ් සමඟ මින්ඩිගේ ආදර සබඳතාවක් ගොඩ නැගෙන්නේ මේ අතරයි. ඒ ආදරයේ ප්‍රතිඵලය වුණේ ඔවුන්ගේ චූටි පුතා “සේන්” ය. දෙදහස් දොළහේ අප්‍රේල් මාසයේ උපන් සේන් පුතාට ඩේවිඩ් බොහෝ ආදරය කළා.

ඩේවිඩ්ට පියා අහිමිවුණේ කුඩා වියේදීමයි. පියා සිය පුතුට තම උරුමය පවරා තිබුණේ කොටස් ලෙසයි. එසේම ඔහුගේ මියගිය මවගෙන් ද ඩේවිඩ්ට මුදලක් උරුමවීමට තිබුණා. මේ වසරේ පෙබරවාරි දහතුන් වැනිදාට ඩේවිඩ්ට වයස අවුරුදු තිස්පහ සම්පූර්ණ වෙනවා. මියගිය දෙමවුපියන්ගෙන් උරුම වූ මුදල් ඔහුට ලැබීමට නියමිතව

තිබුණේ එදිනයි.

ඒ වෙද්දි මින්ඩි සහ ඩේවිඩ් චූටි පුතු සේන් සමඟ ආර්කන්්සාස් හී පිහිටි මින්ඩිගේ නිවෙසේ පදිංචිව සිටියා.

මේ වසරේ ජනවාරි දහතුන් වැනිදා මින්ඩිට හරිම මූසල අඳුරු දිනයක්. එදා උදෑසන සිටම ඇය සිටියේ නිවෙසේ. පළාතේ නිහඬතාව බිඳිමින් එක්වරම මින්ඩිගේ නිවෙස දෙසින් නැඟුණේ වෙඩි හඬ කිහිපයකි. ඩේවිඩ් නිවෙස ඉදිරිපස ආලින්දයේ වෙඩි වැදී මිය ගිහින්.

ආර්කන්සාස් පොලිසිය වහාම එතැනට කැඳවූවා. පරීක්ෂණ ආරම්භ කළ පොලිසියේ නිරීක්ෂණයට ලක්වූයේ ඔහුට ලැබීමට නියමිතව තිබූ මුදල්ය.

“මෙතරම් මුදල් ඉදිරි දිනයකදී ලැබීමට නියමිතව තිබියදී ඉන් සුව පහසු ජීවිතයක් ගත කිරීමට හැකියාව තිබෙද්දීත් ඩේවිඩ් දිවිහානිකර ගත්තේ ඇයි?” පොලිසිය ඉදිරියේ මතුවූ සැකය එයයි.

පොලිසියේ සැකය මින්ඩි දෙසට එල්ල වුණා. එහෙත් ඔවුන් කෙළින්ම මින්ඩිට චෝදනා එල්ල කරන්න පසුබට වුණේ ඇය පළාතේ ඉතා ජනපි‍්‍රය චරිතයක් වූ නිසයි. එහෙත් ඇය දැඩිලෙස සැකයට භාජනය වුණා.

“ඩේවිඩ් කියන්නේ මගේ ජීවිතයයි. ඔහුගෙන් තොර ලෝකයක් මට නැහැ”

ඩේවිඩ්ගේ මරණයෙන් කම්පාවට පත්වූ මින්ඩි පැවසුවා.

කෙසේ වූවත්, පොලිසිය ඩේවිඩ්ගේ මරණය සියදිවි හානිකර ගැනීමක් ලෙස පිළිගැනීමට සූදානම් වූයේ නැහැ. ඒ වෙනුවට ඩේවිඩ්ගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂාවට ලක්කර ගෙන්වා ගැනීමට තීරණය කළා. එහෙත් අවසන් තීරණය වූයේ ඩේවිඩ්ගේ මරණය දිවිහානිකර ගැනීමකින් සිදුවූවක් බවයි.

මේ සිද්ධියෙන් පසු මින්ඩි තවත් අසරණ වූවා. මානසිකව බිඳ වැටුණු මින්ඩි තවතවත් මත්පැන් සහ මත්ද්‍රව්‍ය සිය ජීවිතයට ළං කරගත්තා.මේ වෙද්දි මින්ඩිට වයස අවුරුදු තිස් හතයි. ඇගේ අවුල් මානසිකත්වය නිසා දරු දෙදෙනාත් ඇය ළඟ නැහැ. දිගින් දිගටම වේදනා නාශකවලට ඇබ්බැහි වූ මින්ඩිට ඩේවිඩ්ගේ මරණය දැඩි කම්පනයක් ගෙන ආවා.

“ඔබ ඔබේ පෙම්වතා මරා දැමුවාද?” වරක් ප්‍රාදේශීය පුවත්පත් වාර්තාකරුවකු ඇගෙන් විමසුවා.

ඉන් කම්පනයට පත් ඇය පිළිතුරු දුන්නේ කෑ ගසමින්.

“මගේ දෙවියනේ නැහැ. එයා මගේ ජීවිතය. අපි දෙන්නට අපි දෙන්නා විතරයි”

මින් ටික දිනකට පසු මින්ඩිගේ පියා යළිත් ඇය පුනරුත්ථාපනය සඳහා යොමු කළා.

පෙබරවාරි මස මුල සතියේ අදාළ ආයතනය වෙත ගිය ඇය එහි ගතකළේ එක් දිනයි. යහපත් කල් ක්‍රියාව නිසා ඇය යළි නිවෙසට එවනු ලැබූවා.

“ඇය මානසිකව ශක්ති සම්පන්න යැයි ඔවුන් තීරණය කළා. මත්ද්‍රව්‍ය භාවිත කරන බවට කළ පරීක්ෂණවලින් ද ඇය නිදොස් වී සිටියා.

එදා පෙබරවාරි දහ තුන් වැනිදා. ඩේවිඩ් මිය ගොස් ගතවී තිබුණේ මසක පමණ කාලයක්. මින්ඩිගේ නිවෙස දෙසින් එක්වරම නැඟුණු වෙඩි හඬකින් අසල්වැසියන් කලබල වුණා.

ඔවුන් වහාම පොලිසියේ හදිසි ඇමතුම් අංශය ඇමතුවා. පොලිසියට මින්ඩිගේ නිවෙසට ළඟාවීමට ගතවූයේ මිනිත්තු කිහිපයකි.

නිවෙසට පැමිණි පොලිස් නිලධාරීන් දුටුවේ ඉදිරිපස ආලින්දයේ වෙඩි වැදි සිටි මින්ඩිය. ඇය ඒ වන විටත් මියගොසින්. පරීක්ෂණවලින් පසු තහවුරු වූයේ ඇය සියදිවි නසාගෙන ඇති බවයි. ඉන් මසකට පෙර මින්ඩිගේ පෙම්වතා වෙඩි තබාගෙන දිවිහානි

කරගත් ස්ථානයේම මින්ඩිද මියගොස් සිටියා.

මින්ඩි මිය යෑමට පෙර ඩේවිඩ්ගේ සුරතල් බල්ලා ද වෙඩි තබා මරා දමා තිබුණා.

මින්ඩි සියදිවිහානි කර ගැනීම කාටත් ප්‍රශ්නයක් වුණේ ඒ වෙද්දී ඇය යහපත් මානසික තත්ත්වයකින් සිටි බවට පරීක්ෂණවලින් තහවුරු වී තිබීම නිසයි.

මිය යද්දී ඇය සියදිවි නසාගන්නන් ඉන් වළක්වා ගැනීම සඳහා විශේෂ ගීත ඇල්බමයක් සඳහා ගීත ගයා තිබුණා.

ඇගේ රසිකයකු විසින් ගීත රචනා කර තිබු ඒ තැටිය ඒ වෙද්දීත් නිෂ්පාදනය සඳහා කටයුතු සූදානම් කර තිබුණා.

සේමාලි කැල්ලපත