අවංකව,හරියට වැඩකරන නිලධාරියාට අපරාධකාරයෙක් වුණත් ගෞරව කරනවා

 අවංකව,හරියට වැඩකරන නිලධාරියාට අපරාධකාරයෙක් වුණත් ගෞරව කරනවා

නිශාන්ත ද සොයිසා

අධ්‍යක්ෂ,කොළඹ අපරාධ කොට්ඨාශය (C.C.D))

1990 දී උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වන නිශාන්ත ද සොයිසා කළුතර දකුණ, අම්පාර හා මාතර දිස්ත්‍රික්කය වලත් වැලිගම මුලස්ථාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති පිටබැද්දර, ස්ථානාධිපති දකුණු පළාත් විශේෂමෙහෙයුම් ඒකකය ආදීි ගණනාවක රාජකාරි කළ දක්ෂ නිලධාරියෙකි. ප්‍රධාන පෙළේ අපරාධ ගණනාවක අනාවරණය කරගැනීමේ දක්ෂතාවය ලත් ඔහු පොලිස් පරීක්ෂවරකු ලෙස රාජාකරි කෙරෙන අවධියේ සිමීත තරග විභාගයකට ඉදිරිපත් වීමෙන් අනතුරුව සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස කෙලින්ම උසස් විම් ලැබුවේය 2008 සිට මිරිහාන හා කොළඹ දකුණු ප්‍රදේශය භාරව ක්‍රියාකරන සමයේදී පාතාල ක්‍රියාකාරකම් මැඩ පැවත්වීමට කටයුතු කිරීම නිසා ඔහු පොලිස්පති ප්‍රශංසා විශේෂ වැටුප් වර්ධක හි ත්‍යාග ලාභියකු ලෙස ද ප්‍රශංසාවට පත්විය. ඒ සමයේ පාතාලයන් සමඟ ගැටුණු ඔහු අතින් වළපල්ලට ගිය පාතාලයන් ද විය. 2016 වසරේදී පොලිස් අධිකාරිවරයකු ලෙස පත්වීම ලැබීමත් සමඟ අපරාධ විසඳීමේ ඇති දක්ෂතාවය නිසා පොලිස්පතිවරයා විසින් ඔහු කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කරන්නට විය. එම රාජකාරි කටයුතු අළලා අප ඔහු සමඟ කළ කෙටි සාකඡාවකි මේ.

* ඔබ කොට්ඨාශයෙන් සිදුකරන රාජකාරි ගැන සඳහන් කළොත්?

“කොළඹ දිසාව ඇතුලත තියෙන පොලිස් වසම් 23 ක සිදුවන අපරාධ විමර්ශනය කිරීම තමයි මෙමඟින් සිදුකරන්නේ. එහි ප්‍රාදේශීය පරිපාලක තමයි මෙහි අධ්‍යක්ෂවරයා. ඊට අමතර කොළඹ මධ්‍යම, කොළඹ උතුර හා කොළඹ දකුණ ලෙස සහකාර පොලිස් අධිකාරිවරු තුන් දෙනෙක් ඉන්නවා. ඒ ඒ වසම් සඳහා. මේ කොට්ඨාශයෙන් සිදුවන්නේ කොළඹ ප්‍රදේශයේ සිදුවන අපරාධ විසඳීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිසිවල තියෙන අපරාධ විමර්ශන ඒකකය සුපර්වයිස් කිරීමක්. ඊට අමතරව අයි.ආර්.සී. පුද්ගලයන් පිළිබඳ පරිපාලනය වන්නෙත් මෙහෙන්. අනික තමයි කොළඹ පොලිසිවලින් දෛනිකව සැකපිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් මෙම කොට්ඨාශයට ඉදිරිපත් කළ යුතු වෙනවා. මෙහිදී එයාලා ඡායාරූප ගත කරනවා. ඇඟිලි සලකුණු ගන්නවා. පෙර වැරදි කරුවන් ද අපරාධ වලට සම්බන්ධවුවන්ද අනාවරණය කරගෙන ඔවුන් සම්බන්ධයෙන් ලිපිගොනු පවත්වාගෙන යනවා. රථවාහන කේස් මෙහෙට ගේන්නේ නැහැ.”

* මෙම කොට්ඨාශය කොයි කාලයේ ද පටන්ගත්තේ?

“කොළඹ අපරාධ කොට්ඨාශය පටන් අරන් තියෙන්නේ 1972 වසරේ. ආර්.සුන්දරලිංගම් මහත්තයා තමයි මේකේ ප්‍රථම අධ්‍යක්ෂවරයා. ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස විශ්‍රාම ගියා. ඉන් පස්සේ රටේ නම ගිය පොලිස් නිලධාරින් මෙහි අධ්‍යක්ෂ ධුරය දැරුවා. සරත් ලුගොඩ, අනුර සේනානායක, නුවන් විදිසිංහ, වාස් ගුණවර්ධන ඒ අතරින් ටික දෙනෙක්. මම තමයි 22 වැනි අධ්‍යක්ෂවරයා”.

* ඔබ කොට්ඨාශයෙන් කරන්නේ කොළඹ දිසාවේ අපරාධ විසඳීම පමණක්ද?

“නැහැ. ප්‍රාදේශීය පොලිස් බල ප්‍රදේශ වල සිදුවන අපරාධ විමර්ශනය කිරීමට අමතරව පාතාල සංවිධානාත්මක අපරාධ පිළිබඳවත් විමර්ශනය කරනවා. ඊට අමතරව පොලිස්පති තුමා දෙනු ලබන නියෝග මත ලංකාවේ ඕනෑම පළාතකට ගිහින් ඒ සම්බන්ධ විමර්ශන කරනවා. අනෙක බස්නාහිර පළාතේම හෙරොයින් ඇල්ලීම සඳහා ඒකකයකුත් මේ කොට්ඨාශය තුළ පවත්වාගෙන යනවා.”

මේ සියල්ලට අමතරව රටේ ආන්දෝලනාත්මක ඕනෑම සිදුවීමක් තිබුණොත් පොලිස්පතිවරයා දුන් නියෝග මත විමර්ශනය කරනවා.”

* කොළඹ පාතාලය තවමත් ක්‍රියාත්මකයි නේද?

“ඉස්සර වගේ නැහැ. කොළඹ පාතාල කණ්ඩායම් හයක් විතර අපි හඳුනාගෙනයි තියෙන්නේ. බොහෝ දුරට පාතාලය පාලනය වෙලා තියෙනවා. මේ හැම පාතාල කණ්ඩායමක ප්‍රධානියා හැටියට මධුෂ් කියන පුද්ගලයා කටයුතු කරනවා. ඊට අමතරව පසුගිය කාලයේ රිමාන්ඩ්ගතව හිටිය පුද්ගලයන් දෙතුන් දෙනකුත් ළඟ දී ඇපමත නිදහස් වී ඇවිත් තියෙනවා. අපි ඔවුන් ගැන අවධානයෙන් ඉන්නේ. මේ කල්ලිවල ප්‍රධානින් විදේශ ගතව ඉඳන් තමයි මේ අපරාධ මෙහෙයවන්නේ.”

* කොළඹ සිදුවන මිනිස් ඝාතන පාතාල ක්‍රියාකාරකම් වගේ හැම අපරාධයක්ම විසඳිය හැකිද?

“ඔව්. ඕනෑම අපරාධයක් විසඳිය හැකියි. ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය සතුව තාක්ෂණය තියෙනවා. ඊට අමතරව නිලධාරියාගේ කැපවීම, උනන්දුව හඹා යාම තියෙනවනම් ඕනෑම අපරාධයක් විසඳීමට පුළුවන්.”

ඊට අමරතරව අනෙක් ආයතන සමඟ මනා සබඳතාවයක් තියෙනවා නම් ඔය අපරාධ ඉක්මනට විසඳිය හැකි වෙනවා.”

* ඒ කිව්වේ?

“දැන් අපරාධයක් සිදුවුණා කියලා අප හිතමුකො. අපි විමර්ශනය ආරම්භ කරනවනේ. ඒ සමඟම රස පරීක්ෂක, ඩී.එන්.ඒ. පරීක්ෂණ වගේම දුරකථන ආයතන වගේ ආයතනත් අපිත් එක්ක සම්බන්ධතාවක් තියෙන්න ඕන. නැත්තම් ලින්ක් එකක් තියෙන්න ඕන. අනිත් ආයතනත් එක්ක “ඔන්ලයින්” සෘජු සබඳතා පවත්වාගෙන යන ක්‍රමවේදයක් තියෙන්න ඕන.”

“නැත්තම් අපරාධයක් වුණොත් ඒ බව අධිකරණයට දැනුම් දීලා අධිකරණයේ අවසරය අරන් දුරකථන ආයතන වලට ගිහින් ඔවුන්ගේ ප්‍රධානින් හම්බවෙලා දුරකථනයක තොරතුරු ගන්න යනකොට කාලයක් යනවා. එතකොට අපරාධකාරයාට හැංගෙන්න පලායන්න පුළුවන්. එහෙම නැතිව ඝාතනයක් වුණ ගමන් ඔන් ලයින් දුරකථන ආයතන අපිත් එක්ක සම්බන්ධ නම් අපරාධයක් ඉතා ඉක්මනින් විසඳිය හැකියි.”

දැන් ඊඅච් එක සක්‍රියව මැදිහත්වෙලා තියෙනවා. දුරකථන ආයතනත් සහය දෙනවා. ඒ වුණත් එකකට එකක් ලින්ක් වෙලා නැහැ.”

* ඇත්තටම කොළඹ පාතාලය නැති කරන්න බැරිද?

“පාතාලය නැතිකරන්න නම් මුලින්ම නැති කරන්න ඕන “කුඩු”. පාතාලයේ ප්‍රධානතම අදායම් මාර්ගය තමයි හොරොයින් ජාවාරම හා කප්පම් ගැනීම. මත්කුඩු තමයි නොම්මර එක. මේක අද ජාතික ප්‍රශ්නයක් වෙලා. යුද්ධය අවසන් කළාට වැඩිය යුද්ධයක් කරන්න ඕන මේක ඉවර කරන්න. මත් කුඩු ඉවර කළොත් 80%ක්ම ඔය ප්‍රශ්නය ඉවරයි. මත්කුඩු තුරන් කරන්න මහජනයා දෙන සහයෝගයත් අඩුයි. ඔය ජාවාරමට සම්බන්ධ වෙලා ඉන්නේ අඩු ආදායම් ලාභි පිරිස්. ඒ නිසා ඒ අයත් මේක නතර කරනවාට කැමති නැහැ. ඔවුන් මේවා වළක්වන්න උදව් කරන්නේ නැහැ.”

* පාතාලයට පොලිස් නිලධාරින්ගේ සබඳතා තියෙන බව මාධ්‍ය නිතරම වාර්තා කරන දෙයක්?

“එහෙම සම්බන්ධකම් තියෙන නිලධාරින් ඇති. පාතාල කටයුතු විමර්ශනය කරන නිලධාරින් එක් එක් පිල් වල ඉඳගෙන අර ටීම් එක මෙහෙමයි මේ ටිම් එක මෙහෙමයි කියලා රාජකාරි කරන්න ගියොත් වැඩ වරද්දගන්නවා.”

ඔවුන් ස්වාධිනව කටයුතු කරන්න ඕන. එතකොට පාතාල පුද්ගලයන් වුණත් නිලධාරියා එක්ක වෛර බැඳගන්නේ නෑ. නිලධාරියා ස්වාධිනව කටයුතු කළ යුතුයි. නිලධාරියාගේ ඒකාන්ත පරමාර්ථය රාජකාරිය නම් පාතාලය මොනතරම් පීඩනයක් යෙදුවත් නිලධාරියා කලබල විය යුතු නැහැ. අනෙක අපරාධකාරයා වුණත් හරියට වැඩ කරන නිලධාරියාට ගෞරව කරනවා. ඒ මහත්තයා එයාලට සපෝට් කරන්නේ නැහැ කියලා. හැම කෙනාටම එක හැන්දෙන් බෙදනවානම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. රාජකාරියේදී නිලධාරියා අවංක විය යුතුයි. අවංක නැති නිලධාරියෙක් නම් ඔහුව මත් ජාවාරම් කරුවන,් පාතාලයන් විසින් අල්ලගන්න පුළුවන්.

* වගේම පොලිස් නිලධාරියෙක් හැටියට සමහර අවස්ථාවලදී නම්‍යශීලි වෙන්න සිදුවෙනවා. නමුත් හරි දේ නිවැරදි දේ නීතියට අනුව කටයුතු කළොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

කොළඹ කප්පම් ගැනීම් වගේම මිනිමැරුම් කරන්නේ බන්ධනාගාරය ඇතුළේ ඉඳන්. හිරේ ඉඳන් ජංගම දුරකථනවලට සිම් කාඩ් දාගෙන කප්පම් ගන්නවා. තර්ජනය කරනවා. මිනි මරනවා. මේක ලොකු ප්‍රශ්නයක් වෙලා. මේවා නතර වෙන්න ඕන එතකොට පාතාලයත් නතර වෙනවා.

* කැපවීම විතරක්ම ද තියෙන්න ඕන?

“කැපවීම තමයි නොම්මර එක. ඊට අමතරව පළපුරුද්දත් අවශ්‍යයි. හිටපු අපරාධ විසඳීමට දක්ෂ නිලධාරින් අරන් බැලුවහොත් ටිරල් ගුණතිලක ගාමිණි ද සිල්වා, පි‍්‍රයන්ත ජයකොඩි වැනි නිලධාරින්ට මේ පිළිබඳ ඉවක් තිබුණා. ඒ ඉව ඇතිවෙන්නේ අත්දැකිම් නිසා. ඒ අත්දැකිම් ලබාගන්න උනන්දුවෙන් කැපවීමෙන් රාජකාරි කරන්න ඕන. ඒ පළපුරුද්ද අනුව අපරාධයක් සිදු වූ වහාම ඒ අපරාධය කරන්නට ඇත්තේ කවුද කියලා නිගමනයකට එන්න ඔවුන්ට හැකියාව තිබුණා.”

* අපරාධයක් සිදුවන්නේ කොහොමද?

“අපරාධයක් සිදුවීමට ප්‍රධානම හේතුව තමයි මිනිසුන්ගේ නොසැලකිල්ල . වාහන සොරකම්වලට ප්‍රධාන හේතුව ඩ්ක නෙමේද. ගෙවල් බිඳුම් වලට ප්‍රධාන හේතුව මිනිසුන්ගේ නොසැලකිල්ල නෙමේද. කොච්චර උපදෙස් දෙනවද ගමනක් බිමනක් යනකොට ගෙදර ආරක්ෂා කරන්න ඕන ක්‍රම ගැන කියලා.

දොර ජනෙල් වහන්නේ කොහොමද? වාහනයක් නතර කරලා යනකොට අනුගමනය කරන්න ඕන මොකක්ද කියලා. ඒත් ඒවා හරියට කරනවද? වංචා කාරයන්ට කොච්චර මිනිස්සු අහුවෙනවද? කොච්චර උපදෙස් දෙනවද? අහුවෙන්න එපා කියලා. ඒ... නොසැලකිල්ල නෙමේද?

දැන් බලන්න කොළඹ මුල්‍ය ආයතන වලට ආරක්ෂක ක්‍රම වේද පිළිබඳ කොච්චර දැනුම්වත් කළත් ඒ ක්‍රම යොදාගන්නවද? නෑ. ඇයි ඒ? ඉන්ෂුවරන්ස් ක්ලේම් එක මත තමන්ට සිදුවන විනාශය ගැන වැඩිය කල්පනා කරන්න ඒ් අයට අවශ්‍ය නැහැ.

ඒ නිසා අපි යෝජනාවක් කරනවා හැම ආයතනයකටම හැම නිවෙසකටම පැය 24ක් ආවරණය වන දර්ශන ගබඩා කරගන්න පුළුවන් සී.සී.ටී.වී. කැමරා යොදා ගන්න කියලා.

නවීන එලාම් ක්‍රම නිවෙසට, ආයතනයට සවි කරන්න අද පුළුවන්. ගෙදරට කවුරුහරි ඇතුල්වෙනවානම්, තමන් කොහේ හිටියත් අතේ තියෙන ඔරලෝසුවට ඇලට් එකක් එන නැත්තම් එලාම් එකක් වදින ක්‍රමවේද අද තියෙනවා.”

වාහන පදවන්නන් නම් වාහන හිමිකරුවන් නම් ට්ර්‍ථඉ තාක්ෂණය යොදාගන්න පුළුවන්. සමහර වාහන හිමිකරුවන් තමන්ගේ වාහනය රෙජිස්ටර් කරන්නේ නැහැ. ඕපන් පේපර්ස් තියාගෙන ඉන්නේ. ඉතිං අපරාධයක් වුණාම නොයෙකුත් ප්‍රශ්න මතුවෙනවා.” මහජනයා මේ ගැන කෙතරම් දැනුවත් කළත් ඔවුන් නොයෙකුත් රැවටීම් වලට අහුවෙනවා. නුගත් අය පමණක් නෙමේ සමහර උගත් අය පවා රැවටීම් වලට අහුවෙලා අපිට පැමිණිලි කරන්න එනවා. ඒ සියල්ල අවසන් වුණාට පස්සේ.”

* ඔබ අපරාධ විසඳීම අතින් දක්ෂ නිලධාරියෙක්?

ප්‍රධාන පෙළේ අපරාධ විසඳීම් කිහිපයකම මම විමර්ශනයේ යෙදී හිටියා. චණ්ඩි මල්ලි ඝාතනය, දික්වැල්ලේ ව්‍යාපාරික පුතකු පහැරගෙන ගිහින් ලක්ෂ 50 ක කප්පමක් ඉල්ලීමේ සිද්ධිය, සුරිය වැව ප්‍රදේශයේ පාතාල ක්‍රියාකාරකම්, කොස්ගොඩ පාසල් දැරියක් පැහැරගෙන ගිහින් ලක්ෂ 20ක් ඉල්ලා හිටියා. මේ හැම අපරාධයක්ම විමර්ශනය කරලා විසඳාගන්නට හැකිවුණා.”

* අපරාධ විසඳීමේ දැක් වූ දක්ෂතාවය මෙතැන අධ්‍යක්ෂවරයා වීමට බලපාන්න ඇති?

“පොලිස්පතිතුමා තමයි මාව මෙතනට පත්කරන්නේ. මෙතනට ආව දවසේ ඉඳලත් අපි අපරාධ කිහිපයක්ම විසඳලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා උපදෙස් අනුව තමයි මේ හැම කටයුත්තක්ම සිද්ධ වෙන්නේ.”

* ඒ උපදෙස් හා අධීක්ෂණය අනුව සී.සී.ඩී යටතේ කෙරන අපරාධ විසඳීම් වල ප්‍රතිශතය කොබඳුද?

“කොළඹ දිසාවේම ගත්තොත් මේ වෙන කොට ශරීරිය පිළිබඳ වාර්තා වුණු 348න් 333ක්ම විසඳීලා තියෙනවා. දේපළ පිළිබඳ 1370ක් වාර්තා වෙලා තිබුණා ඉන් 1012 ක්ම විසඳලා තියෙනවා. ඒ අනුව ශරිරය පිළිබඳ විසඳීමේ ප්‍රතිශතය 96%ක් දේපළ පිළිබඳ 74%ක්. අපි ශරීරය පිළිබඳ 100%ක් බලාපොරොත්තු වෙනවා. දේපළ පිළිබඳ පොලිස්පතිතුමාගේ ඉලක්කයට කිට්ටු වෙන්න අපිට හැකියාව ලැබී තියෙනවා.

තවත් එකක් කියන්න ඕන. මේ සියල්ල කරන්නේ හුඟාක් ප්‍රශ්න මැද. අපරාධ විසඳීමට වඩා නිලධාරින් යොමු කරන්නට වෙලා තියෙන්නේ උද්ඝෝෂණ, විශේෂ රාජකාරි වලට. ඒවත් කරන ගමන් තමයි මේවත් කරන්නේ. සියලුම අපරාධ 26ක් තියෙනවා. අපි ඒ සියල්ලම බලනවා. ඉන් 16ක් ගැන විශේෂ අවධානය යොමු කරනවා. ඒවා පොලිස් මුල ස්ථානය වෙත වාර්තා කළ යුතු අපරාධ. එවැනි අපරාධ සිදු වූ ස්ථානයට සහකාර පොලිස් අධිකාරිවරයකු යා යුතුයි. ඒ අපරාධ ඔහුගේ සෘජු අධික්ෂණය යටතේ විමර්ශනය කෙරෙනවා.

කීර්ති මෙන්ඩිස්