දෙවරක්ම වැරදුණු ඉලක්කය

දෙවරක්ම වැරදුණු ඉලක්කය

අපරාධයක් සිදුවීමට කලින් ඒ අපරාධය සිදුවීම වැළැක්වීම පොලිසිය සතු කාර්ය භාරයකි. ඒ සඳහා බුද්ධි තොරතුරු ඒකකයක් පොලිසිය සතුව තිබිය යුතුය. ඒ ඒ නිලධාරියාට සම්බන්ධ හිතවත් පෞද්ගලික ඔත්තුකරුවන් ද සිටිය යුතුය. ඔවුන්ගෙන් තොරතුරු ලබාගැනීම නිලධාරියාගේ දක්ෂතාවයයි. ඒ සඳහා තොරතුරු ලබා දෙන්නට අදාල නිලධාරියා කෙරෙහි විශ්වාසයක් තිබිය යුතුවේ. එසේ නොවුණහොත් ඔහු පොලිස් නිලධාරියාට තොරතුරු ලබාදීමට මැලිකමක් දක්වයි. නැතහොත් ප්‍රතික්ෂේප කරයි.

පොලිසියට මහජනයා අවශ්‍යයි.මහජනයා නොමැති තැන පොලිසියක් ද අවශ්‍ය නොවේ. ඒ නිසා මහජනයා හා සමීපව අසුරු කිරීමට නිලධාරියා සමත් විය යුතුය. ඒ සඳහා නිලධාරියා සතු අවංකකම, දක්ෂතාවය මෙන්ම කැපවීමද මනාව බලපායි. එවැනි නිලධාරියකුට තොරතුරු දීමට මහජනයා ද පසුබට නොවේ.

කළුතර දිසා අපරාධ ඒකකයේ ස්ථානාධිපතිවරයාට පසුගියදා තොරතුරක් ලැබිණි. ඒ තොරතුරු දෙන්නවුන් ඔහු කෙරෙහි තිබු විශ්වාසය නිසාවෙනි. එම තොරතුරෙන් කියැවුණේ කිසියම් පුද්ගලයෙක් සතුව ටී- 56 වර්ගයේ ගිනි අවියක් තිබෙන බවය.

ඒකකයේ ස්ථානාධිපති සුනෙත් ශාන්ත දක්ෂ නිලධාරියෙකි. ඔහු අපරාධ ගණනාවක් ද විසඳා ඇති පරිනත නිලධාරියෙකි. ඔහුගේ කාර්යක්ෂම බව දත් හිතවතා ඔහුට ඔත්තුවක් දුන්නේ ඒ නිසා වන්නට ඇත. ලැබුණු ඔත්තුව ප්‍රතික්ෂේප කිරීම නිලධාරියාගේ කාර්ය භාරය නොවේ. ඔත්තුව බොරු එකක් වුවත් ඇත්ත එකක් වුවත් එය පරීක්ෂා කිරීම නිලධාරියා සතු වගකීමකි. ස්ථානාධිපතිවරයා ද ලැබුණු ඔත්තුවේ සත්‍ය තාවය දැනගන්නට රහසිගත විමර්ශනයක් ඇරැඹීය.

ඒ අනුව අදාල පුද්ගලයා පිළිබඳ තොරතුරු සෙවීම ආරම්භ කෙරිණි. එහිදී අනාවරණය වුයේ ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත වී මෑතකදී පැමිණි අයකු බවය. ඔහු හිරේ ගොස් තිබුණේ පුද්ගලයකුට වෙඩි තැබීම නිසාය. පොලිසිය ඔහු කොටුකරගෙන තිබුණේ එම පුද්ගලයාට වෙඩි තැබු තුවක්කුවද සමඟය. ඒ වෙඩි වැදි තුවාලලත් පුද්ගලයාගේ ප්‍රකාශය මතය.

මොහුගේ පෙර වැරැද්ද ගැන තොරතුරු ලැබීමත් සමඟ ලැබුණු තොරතුරු ද සත්‍ය වන්නට ඇතැයි සිතූ ස්ථානාධිපතිවරයා සිය නිලධාරීන් යොදවාගෙන ඔහු කොටුකර ගන්නට සැළසුමක් සකස් කළේය. ඒ ඔහු තුවක්කුවද රැගෙන නිවෙසින් පිටව යනු ඇතැයි සැක සිතු නිසාය. ඒත් එය එසේ සිදු නොවීය. පසුව ඔහු නිවෙසේ සිටින මොහොතක් බලා නිලධාරින් නිවෙස වට කළේය. කිසිම ආකාරයකින් සැකකරුට පිටව යාමට ඉඩ නොතබා නිවෙසට ඇතුළු වූ නිලධාරීහු සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත්හ. නිලධාරීහු නිවෙස වටලන අවස්ථාවේත් ඔහු ටී - 56 ගිනි අවියේ මැගසිනයට උණ්ඩ දමමින් සිටියේය.

කොයි මොහොතක හෝ වෙඩි තැබීමට හැකිවන අයුරින් තුවක්කුවට පතරොම් ගැබ යෙදු බව ප්‍රශ්න කිරීමේ දී ඔහු කීවේය.

“සර් මම අද වුණත් ඌට ගහන්න ලෑස්ති වෙලයි හිටියේ.”

ඔහු නිලධාරින් හමුවේ එසේ කීවේය. තව දුරටත් ප්‍රශ්න කිරීමේදී හෙළිවුණේ සැකකරු පෞද්ගලික ආරවුලක් පිරිමසා ගන්නට ටී - 56 ගිනි අවිය ළඟ තබාගෙන සිටි බවය.

සැකකරු කොසු ඉඳල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර ඊට මුවා වී නීති විරෝධී මත්පැන් ජාවාරමේද නියැලෙන බව පොලිසිය කීය.

සැකකරුගේ බිරිය වෙනත් පුද්ගලයකු සමඟ පැන ගොසිනි. ඒ බව දැනගත් දා සිට සැකකරු එම පුද්ගලයා සමඟ සිට ඇත්තේ තදබල වෛරයකිනි. මේ හේතුව නිසා ඔහු මීට කලින් වතාවක ද එම පුද්ගලයාට පිස්තෝලයකින් වෙඩි තබා ඇත. ඒත් ඔහු එම වෙඩිපහරින් මිය ගියේ නැත. ඒ ඉලක්කය වැරදී ගිය නිසාය. දෙවන වරට ඔහු මෙළෙස සුදානම් වුයේ ටී - 56 ගිනි අවියකින් වෙඩි තැබීමටය.

ටී පනස් හයෙන් ප්‍රහාරයක් එල්ල කළහොත් එය කලින් මෙන් නොවරදින බව සැකකරු සිතන්නට ඇත.

බන්ධනාගාරයේ සිටියදීත් ඔහු කල්පනා කර ඇත්තේ තමන්ගේ බිරිය රැගෙන ගිය පුද්ගලයාගෙන් කෙසේ හෝ පළිගැනීමටය. අනතුරුව රිමාන්ඩ් ගතව සිට ඇපමත පැමිණීමෙන් පසු ටී - 56 ගිනි අවියක් මිලදී ගෙන ඇත්තේ ඒ නිසාය. ඒ ලක්ෂ එකහමාරකට බව ප්‍රශ්න කිරීමේදී සැකකරු ඒකකයේ ස්ථානාධිපතිවරයාට පවසා ඇත.

එහෙත් තමන්ට එල්ල වී ඇති මරණ තර්ජන හමුවේ මොහුගේ බිරිය රැගෙන ගිය පුද්ගලයා ජීවත්ව ඇත්තේ සැඟ වී ගෙනය. බිරිය වෙනත් නිවෙසක රඳවා ඔහු නොයෙකුත් නිවෙසේ වල විටින් විට කාලය ගත කර ඇත. ඒ සැකකරු හිරෙන් නිදහස්ව පැමිණි දා සිටය.

කොයි මොහොතේ හෝ තම ඉලක්කය සපුරා ගැනීමට මාන බලමින් සිටි සැකකරු අවසානයේ පොලිසියට කොටුවුයේ මිනිස් ඝාතනයක් සිදුවීමට තිබු ඉඩකඩ අහුරාලමින්ය.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ මෙම ගිනි අවිය ලබාගත්තේ පාතාල කණ්ඩායමක සාමාජිකයකුගෙන් බවය. ඔහු ද මේ වන විට පොලිස් වෙඩි පහරින් මැරුම් කා ඇති බව ඔහු පවසා ඇත.

කලක් පානදුර පින්වත්ත හෙල්ලු කණ්ඩායමේ නායකයා වුයේ “සම්බබා” ය. ඔහු පාතාල කෙරුමෙක් විය. ඒ වන විට පානදුර කොට්ඨාස බාරව සිටියේ රන්මල් කොඩිතුක්කුය. ඔහු මෙම පාතාල කණ්ඩායම තුරන් කිරීමට බොහෝ වෙහෙස මහන්සි විය. එහි ප්‍රතිඵලයක් ලෙස පොලිසිය සමඟ ඇති වූ ගැටුමකදී “සම්බබා” මැරුම් කෑවේය.

සම්බබා විසින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් ඝාතනය කර ඇත. අම්බලන්ගොඩ ප්‍රදේශයේ රන්බඩු අලෙවි සලක් කොල්ලකෑමට පැමිණි මොහොතකදී පොලිසිය සමඟ ඇති වූ ගැටුමකදී නිලධාරීන් දෙදෙනෙක් සම්බබා අතින් මැරුම් කෑවේය. වාද්දුවේදී ද ඔහු පොලිස් සැරයන්වරයකු වෙඩි තබා මරා දැමීය. සම්බබා පොලිස් වෙඩි පහරින් මියගිය පසු ඔහු වටා සිටි කණ්ඩායමේ සෙසු සාමාජිකයන් විසිරි ගියේය. එලෙස විසිරී ගිය පුද්ගලයන් හා සබඳකම් පවත්වා ඇති සැකකරු ් මෙම ගිනි අවිය මිලදී ගත් බව පොලිසියට කීවේය. එහෙත් පොලිසිය එය විශ්වාස කරන්නේ නැත. ඒ පිළිබඳ විමර්ශන අරඹා ඇති බව ස්ථානාධිපති සුනෙත් ශාන්ත මහතා කීවේය.

සැකකරු ළඟ තිබී අත්අඩංගුවට පත් ටී - 56 ගිනි අවියේ අංකය මකා දමා ඇත. ඒ නිසා පොලිසියේ සැකය වී ඇත්තේ මෙම ගිනි අවිය පොලිසියෙන් හෝ හමුදාවෙන් ලබාගත් බවටය.

මේ අතර ඒකකයේ ස්ථානාධිපතිවරයා පවසන්නේ මෙම ගිනි අවිය යොදාගෙන වෙනත් මිනිස් ඝාතන සිදුකර ඇත්දැයි සොයන බවය. මීට මාස කිහිපයකට පෙර හොරණ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුවිය.

රථයකින් ගමන් ගත් ඇඟලුම් කේෂ්ත්‍රයට සම්බන්ධ කළමනාකරුවකු රථය තුළම වෙඩි තබා මරා දැමීය. ඒ නාඳුනන තුවක්කු කරුවකු විසිනි. පොලිසිය මේ පිළිබඳ විමර්ශන ඇරඹුවත් අද වන තුරු එම ඝාතනය සිදුකළ සැකකරු කවුදැයි යන්න හඳුනාගෙන නැත. එම ඝාතනයටත් මෙම ටී - 56 ගිනි අවිය උපයෝගී කරගෙන ඇත්දැයි යන්න සැකයක් පොලිසිය සතුව පවතී. එය අනාවරණය කර ගැනීමට මේ වන විට විධිමත් පරීක්ෂණයක් අරඹා ඇත. මෙම ගිනි අවිය වෙනත් ඝාතනවලට කුලියට ලබාදී ඇතැයි යන සැකය මත ඒ පිළිබඳවද විමර්ශන දියත් කොට ඇත.

සැකකරු පානදුර අධිකරණයට ඉදිරිපත් කොට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, කොට්ඨාශ භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න, සහකාර පොලිස් අධිකාරී සුසිල් විජේගුණවර්ධන මහත්වරුන්ගේ අධීක්ෂණය මත කළුතර දිසා අපරාධ ඒකකයේ ස්ථානාධිපති සුනෙත් ශාන්ත මහතාගේ මෙහෙයවීම මත උපපොලිස් පරීක්ෂක ධම්මික සිල්වා, සැරයන් වරුන් වූ බන්දුල (55337) උපුල් (56739) සොයිසා (28155) හා කොස්තාපල් වරුන් වූ සරත් (83809) ප්‍රභාත් (82857) සමිත් (34337) හා කොස්තාපල් රියදුරු බණ්ඩාර (16322) යන නිලධාරිහු මේ පිළිබඳ විමර්ශන පවත්වති.

චාමර කුමාරසිරි